Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධ්‍යාපනය යි - පැරැණි පිරිවෙන යි

ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපන විද්‍යාඥයා ගෞතම බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ ගේ ඉගැන්වීම් ක්‍රම මූලධර්ම රැසෙක් විය. විශ්වයේ අනන්තා පරිමාණ සත්ව සමූහයාට පලදායී ලෙස කරුණු අවබෝධ කැරවූ හැටි බෞද්ධ ලේඛනයෙන් හෙළි වෙයි. උන් වහන්සේ ගේ ඉගැන්වීම් ක්‍රම පදනම් කරගෙන භික්ෂූන් වහන්සේ ගේ ඉතිහාසය කෙතෙක් ඈතට දිවෙයි ද එතෙක් ඈතට බෞද්ධ අධ්‍යාපන ක්‍රමයෙහි ඉතිහාසය ද දිවෙයි. ඒ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ආරාමික අධ්‍යාපන ක්‍රමය පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය විය.

ඈත කල සිට මැ බෞද්ධ සංස්කෘතියේ අතිශය වැදගත් අංගයක් වුයේ බෞද්ධ අධ්‍යාපනයයි. බෞද්ධ ලෝකයා මේ ගැන දක්වනුයේ මහත් සැලැකිල්ලෙකි. භික්ෂූන් වහන්සේ නමක් උපසම්පදා ලැබීමේදි යම් උගත් කමක් වැදගත් විය. ඉගෙනීම අගය වත්ම ආරාම ශාස්ත්‍රාලෝකය පතුරුවන බෞද්ධ විද්‍යා මධ්‍යස්ථාන විය.

අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පුරෝගාමියා භික්ෂුව වූ අතර, ගිහි පැවිදි කාහටත් උගැන්වීම උන් වහන්සේ ගේ කාර්යය විය. ධර්ම ශාස්ත්‍ර මෙන් ම ලෝක ශාස්ත්‍රය පිළිබඳවද උන් වහන්සේ දත්හ. “බෞද්ධ අධ්‍යාපනයෙහි ඉතිහාසයද, භික්ෂුව පිළිබඳ ඉතිහාසය ද එකිනෙකට දැඩි ලෙසින් සම්බන්ධය. ඒ දෙක ම එකක් යයි කිව හැකි තරම්ය.”

මුල්කාලවලදී පොතපත නොවීය. ත්‍රිපිටකය මුඛ පරම්පරාගතව ආයේය. ධාරණ ශක්තිය පැරණි අධ්‍යාපනයෙහි වැදගත් විය . වචනවල අර්ථය පාඩම් කිරීම මුල්කොට පැවති උච්චාරණය, නිවැරදි විය යුතුය. මතක තබා ගැනීම පහසු විය යුතුය. උච්චාරණය හා අර්ථය වැදගත් හෙයින් නිරුක්ති, ව්‍යාකරණ විෂයයන් ඉගැන්විණ. ධර්මාන්විත කරුණු ගැන තර්ක කිරීම අවශ්‍ය විය. තර්ක ශාස්ත්‍රය වැදගත් විය. බෞද්ධ ධර්මය මැනවින් දැන ධර්මය ව්‍යාප්ත කරවීම සඳහා නානා භාෂා පිළිබඳ දැනීම අවශ්‍ය විය. කාලානුරූප පරිදි ශිෂ්‍යයෝ පුහුණූ වූහ. පිරිවෙන් අධ්‍යාපන විෂය මාලාව ව්‍යාප්ත වී ගියේය. ව්‍යාකරණ, ඡන්දස්, ඡ්‍යොතිෂ, නක්ෂස්ත්‍ර, ආයුර්වේද ආදි විවිධ විෂයයන් සමග බෞද්ධයා පමණක් නොව අබෞද්ධයා පිරිවෙන් මගින් අධ්‍යාපනය ලබන්නට විය. කාටත් එක ලෙස මෙලෙස පිරිවෙනින් අධ්‍යාපනයක් දෙන ලදී. එකල අපේ පිරිවෙනට වඩා උසස් මධ්‍යස්ථානයක් නොවීය.

අධ්‍යාපනය භික්ෂුව අත වූ හෙයින් ධර්මයට මුල් තැන ලැබිණි. සදාචාරයෙන් තොර අධ්‍යාපනය නිරර්ථක යයි භික්ෂූන් වහන්සේ කල්පනා කළහ. අධ්‍යාත්මික චරිත වර්ධනය නොතකන්නාට ඉගැන්වීමට උන්වහන්සේ මැළි වූහ. එසේම උගත්කම තිබුණත් නොහැදුණු පුද්ගලයාගෙන් ඉගෙනීමට ශිෂ්‍යයාද කැමති නොවීය. සෑම පුද්ගලයාට ම බුද්ධ ධර්මය පිළිබඳ දැනීමක් දෙන ලදී. අධ්‍යාපනය ලබාදුන් බෞද්ධ ආයතන වැඩිකල් නොගොස්ම ලෝකයේ නොයෙක් බෞද්ධ රටවල ද දක්නට ලැබිණ. නාලන්දා, වික්‍රමශීලා, ඕදාන්තපූරී, වලහී, ජගද්දලා, තක්ෂිලා ආදි අධ්‍යාපන ආයතනවල බෞද්ධ බලය පැවැතිණ. මෙබඳු විශ්වවිද්‍යාලයනට බෞද්ධ අබෞද්ධ ගිහි පැවිදි උභය පක්ෂ යම පැමිණියහ. නා නා රටවලින් පැමිණෙන ශිෂ්‍යයින් මේවාට ඇතුළත් කර ගන්නා ලද්දේ යෝග්‍යතා පරීක්‍ෂණයෙකින් පසුවය. මේ කාර්යය විශේෂයෙන් නාලන්දා විශ්ව විද්‍යාලයෙහි පැවැති බව කියැවේ. මීට සමාන සිද්ධියක් ලංකාවේ මහා විහාරය ගැන සලකන විට දැකිය හැකිය. එවකට ලෝකයේ විශාලතම පුස්තකාලය වූ මහා විහාර පුස්තකාලය ප්‍රයෝජනයට ගැනීමට අවසර ඉල්ලූ බුද්ධ ඝෝෂ හිමියන්ට උන්වහන්සේ ගේ දැනුම් ශක්තිය පෙන්වීම සඳහා ගාථා දෙකක් මත ග්‍රන්ථයක් ලිවීමට සිදු විය. ‘විසුද්ධි මග්ගය “ බිහිවූයේ එහි ප්‍රතිඵලය ලෙසිනි. මේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ගෙන් ආගමික මෙන්ම අධ්‍යාපනික සේවාවද ඉටු වුයේය.

ලංකාව දෙස බලන කල මුලදි පිරිවෙන් යන නම සංඝාවාසයනට භාවිතා කළ බැව් පෙනේ. කාලපාසාද පිරිවෙන, සුන්තාන පිරිවෙන,, දීඝවංකමනා පිරිවෙන, ඵලග්ගා පිරිවෙන, දීඝභාණ්ඩ සේනාපති පිරිවෙන, යනාදි සංඝාවාසයන් දැකිය හැකිය. මේ ආකාර සංඝාවාස සමූහය ‘ මහා විහාරය’ විය. මහා විහාරයෙන් නික්මුණූ ආගමික හා අධ්‍යාපනික ආලෝක ධාරාව ශ්‍රී ලංකාව බුබුළුවමින් පුරා විහිදී ගියේය. උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස මහා විහාරය ලෝක ප්‍රකට වත් ම පාහියන් , බුද්ධඝෝෂ වැන්නෝ මහා විහාරය කරා ඇදී ආහ.

මහාවිහාරය අටුවා ටීකා සහිත (ථෙරවාදී) ත්‍රිපිටක ධර්මයට ප්‍රධාන ස්ථානය දුන් අතර, අභයගිරි විහාරය බාහිර ශබ්ද ශාස්ත්‍රයනට ද වැදගත් තැන් දුන්නේය. ධර්මය හැරෙන්නට පැරණි පිරිවෙන්වල ආරාමික අධ්‍යාපන විෂය මාලාවේ ජන්දෝලංකාර , ව්‍යාකරණ, නිරුක්ති , සාහිත්‍යය, තර්ක ශාස්ත්‍රය, ගණිතය, වෛද්‍ය ශාස්ත්‍රය,, නක්ෂස්ත්‍ර ආදිය උගන්වන්නට ඇත.

චිත්‍ර ශිල්පය, මූර්ති කලාව ගැනද අවබෝධයක් ආරාම මගින් ලැබෙන්නට ඇත. මහා ථූපයේ ධාතු ගර්භයේ බිත්තිවල සිතුවම් කරන ලද්දේ ඉන්ද්‍ර ගුප්ත නම් භික්ෂුවක විසිනි. රජකුමරකුට අවශ්‍ය කඩු ශිල්ප, දුනු ශිල්ප, ආදිය පවා පිරිවෙන් අධ්‍යාපනයෙන් ලැබෙන්නට ඇත. සමහර විට මේවා උගන්වන්නට ඇත්තේ පිරිවෙන්වල ගිහි ගුරුවරුන් විසිනි.

රජවරු පවා දක්ෂ ශිල්පීහු වූහ. රජකුමරාට මෙන්ම සාමාන්‍ය ගම්බද දරුවාට ඉගැන්විය යුතුදේ පිරිවෙන් අධ්‍යාපනයෙහි විය. ප්‍රධාන විහාර තුනට අයත්, පිරිවෙන් රාශියෙක් දිවයින පුරා විය. මුලදී අනුරාධපුරයේ මහා ආරාමයට පමණක් මහා විහාරය යන නම භාවිතා කළත් පසුව ඒ හා බැඳුණූ සියලු ආයතනයනට මහා විහාර යන නම භාවිතා කළාදැයි පැහැදිලි නැත. කෙසේ වුවත් පස්වන සියවසේ පාලි අටුවාවල මහා විහාරය යනුවෙන් සඳහන් කළේ අනුරාධපුරයේ මහා විහාරයටය.

පැරණි පිරිවෙන්වල උගත් ඇතැම් භික්ෂූන් වහන්සේට වැඩිදුරටත් තවත් ඉගෙනුම සඳහා යාහැකි අධ්‍යාපන ආයතනය ද වූ බව පෙනේ. මාගමතිස්ස මහා විහාරය, කල්ලගාමයෙහි මණ්ඩලාරාමය, කාලදීඝවාපිද්වාර විහාරය, එබඳු වැදගත් අධ්‍යාපන ආයතනය. මහා විහාර භික්ෂූහු පවා විශේෂ ඥානය ලැබීමට මෙබඳු විද්‍යාස්ථානවලට ගියහ. මේ හැර ධර්මයෙහි යම් යම් විෂයයන් පිළිබඳව විශේෂතම දැනීමක් ඇත්තෝ වූහ. අභිධර්මය ඉගැන්වු භික්ෂූන් වහන්සේට විශේෂ සැළකිල්ලෙක් ලැබිණි. ඇතැම් භික්ෂූහු සූත්‍ර පිටකය පිළිබඳ විශේෂ ඥානය ලැබුවෝ වූහ. අධ්‍යාපන ක්‍රමයෙහි සාකච්ඡාවන්ට ද වැදගත් තැනෙක් ලැබිණි. සැක දුරු කර ගනු සඳහා ඒ ඉවහල් විණි. සාමාන්‍යයෙන් ආරාමයෙක දිනකට තුන්වරක් පන්ති පැවැත්විණි. භික්ෂූන් මෙන්ම භික්ෂුණීහුද පුරුෂයින් මෙන්ම ස්ත්‍රීහුද අධ්‍යාපනය ලද්දෝ වූහ. ලංකාව උගතුන් වෙසෙන රටක් ලෙස ලෝක ප්‍රසිද්ධ වු බව කියැවේ.

අනුරාධපුර අවසාන සමයේ පිරිවෙන් ආයතන කීපයක් පැවැති අතර, පොළොන්නරු දඹදෙණි ආදි සමයන්හි දි පිරිවෙන් ආයතන රැසෙක් විය.පොළොන්නරු සමයේ විශ්චිමාරාමයට අයත් පිරිවෙනට ලැබුණූ රාජ අනුග්‍රහය සඳහන් වෙයි. කපාරා මුල, වහදාමුල, උතුරු මුල ගකාරා මුල, සෙනෙවියා මුල, ගලතුරු මුල, විල්ගම්මුල, මහනෙත්පාමුල ආදි මූල රැසකි. මයුරපාද පිරිවෙන, පතිරාජ පිරිවෙන, දඹදෙණි අවධියේ උසස් අධ්‍යාපනය ලැබිය හැකි වු ආයතනයෝය. කුරුණෑගල යුගය වන විට පවා තොටගමුවේ විජයබා පිරිවෙන ශ්‍රේෂ්ඨ පිරිවෙනෙකි. කෝට්ටේ යුගයේ පිරිවෙන් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වයෙක් පෙනේ. මෙකල මහනෙත් පාමුල, සෙනෙවියා මුල, ගලතුරු මුල, උතුරු මුල ආදි මුල පෙනේ. තොටගමුවේ විජයබා පිරිවෙන, වීදාගම ශ්‍රී ගුණානන්ද පිරිවෙන, පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන, දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන ආදි නම් විශේෂයෙන් සඳහන් කළ යුතුවෙයි. පළාබත්ගල ආරණ්‍යයද එකල දියුණුව පැවතිණි. විජයබා පිරිවෙන නානා රාෂ්ට්‍රීක නානා ආගමික, නානා ජාතික පිරිසකගෙන් සමන්විත වු විශ්ව විද්‍යා පීඨයෙකි.

දඹදෙණි යුගයේ, කාව්‍ය නාටක ගර්භිත විද්‍යානුගතයුතු ඉගැන්විය යුතු යන නියමයක් පැවතියත් මෙකල විෂයයන් පවා පිරිවෙන් වල ඉගැන්විණි. බෞද්ධාගමික විෂයන් මෙන්ම අනේක විධ විෂයයන් ඉගැන්වු බව සන්දේශ වලින් පෙන්වයි. පොදු ජන රුචියට අනුව කාලානුරූපව විෂය මාලාව වෙනස් වූ බව පෙනේ. අටුවා, ටීකා සහිත ත්‍රිපිටකය, වේධ වේදාංග, ෂඩ් දර්ශන, පාලි සිංහල, සංස්කෘත, මාගධි, දෙමළ ,සෞරස්ති, අර්ධ මාගධී, පෛශාචි, අපභංශ, මහාරාෂ්ට්‍රී ඡ්‍යොතිෂ නක්ෂස්ත්‍ර , වෛද්‍ය ජන්දෝලංකාර කාව්‍ය නාටක, දස අට පුරාණ, අර්ථ ශාස්ත්‍රය , ඉතිහාසය, ප්‍රජාපාලනය ආදි විවිධ විෂයයෝ වූහ. පැරණිතම විෂය මාලාවට තවත් ලෞකික විෂයයන් ඇදුණූ බව පෙනේ. ගම්පල යුගයෙන් පසුව පිරිවෙන් වලින් වූ සේවය ඉතා වැදගත් ලෙස පෙනේ.

පෘතුගීසින්ගේ පැමිණීමෙන් පසුව පිරිවෙන් අධ්‍යාපනයට යළිත් දුර්දශාවෙක් උදා විය. සරණංකර හිමි කල ඇම්බැක්ක අසල පිරිවෙනක් අරඹූ නමුත් ඒ ගැන වැඩි විස්තර නැත.ගාල්ලේ මේධංකර හිමියෝ පැල්මඩුල්ලේ විද්‍යා පීඨයක්ද , වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ රත්මලානේ පරම ධර්ම චේතිය පිරිවෙන ද ඇරඹූහ.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ 1873 දී මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ද, රත්මලානේ ධර්මාරාම හි 1875 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනද ආරම්භ කළහ. මේ ආයතන දෙකින් උගත් භික්ෂූන් වහන්සේ දිවයිනේ නානා ප්‍රදේශවල පිරිවෙන් පිහිටුවමින් ශාස්ත්‍රාලෝකය පැතිරවූහ.

අද පිරිවෙනට රජයේ ආධාර පවා ලැබෙයි. 1902 දී පිහිටුවා ගත් ප්‍රාචීන භාෂෝපකාර සමිතිය මගින් පණ්ඩිත උපාධිය පිරිනැමීමට කටයුතු යෙදිණි. 1947 න් පසු ජ්‍යෙෂ්ඨය දක්වාද, 1959 න් පසු උසස් පාඨ ශාලා සහතික පත්‍ර විභාගය අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය ද , විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය , දක්වාද පන්ති විය. 1959 දී විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් සරසවි තත්ත්වයට පත් කැරිණි. වර්තමාන පිරිවෙන් දිවයිනේ පොදු අධ්‍යාපනය හා බෙහෙවින් ළං වෙයි. ඒවායේ කලා මෙන්ම විද්‍යා විෂයයන් ද ඉගැන්වෙයි. වැටුප් ආදිය රජයෙනි. රජයේ අනුග්‍රහය වැදගත්ව පෙනේ. අද පිරිවෙන් රාශියෙක ම විශ්ව විද්‍යාල උපාධි විභාගයනට සිසුන් පුහුණු කිරීමේ පන්ති වෙයි.

ජාතික ආගමික සංස්කෘතික දීප්තිය දැන්වීමේදී භික්ෂුවගෙන් පිරිවෙනින් වු සේවාව මහත්ය. අපේ පිරිවෙන් සම්ප්‍රදායට සමාන වු ආයතන අන් බෞද්ධ රටවල ඇතිවූ බවෙක් නොපෙනේ. කෙටියෙන් කිවහොත් අපේ පිරිවෙන් නිසා නොවේ නම් මේ රටේ බුද්ධ ශාසනය, සිංහල භාෂා ශාස්ත්‍රය ,, සංස්කෘතිය , සභ්‍යත්වය ආදිය විනාශ වී යනු ඇතැයි කිව හැකිය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.