Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දරුවන් සුමඟට යොමු කරන ලෝවැඩ සඟරාව

දශක පහකට හයකට පමණ පෙර පාසල් යන වයසේ සිටි දරුවන් ගමේ පන්සල ආගමික මධ්‍යස්ථානයකට පමණක් සිමා නොකොට අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවටද පත්වූ අයුරු එකල පන්සලේ ගත කළ ආකාරය සිහිපත් කරති. මාපියෝ තම දරුවන් පන්සල වෙත යොමු කළහ. සවස් කාලයේ ගමේ පන්සලට එකතු වන දරුවෝ බුද්ධ ගජ්ඡය, සකස්කඩය, වදන් කවිපොත, නම් පොත සහ මගුල් ලකුණ ආදි ග්‍රන්ථ මෙන්ම ලෝවැඩ සඟරාව, සුභාෂිතය, බුදුගුණාලංකාරය වැනි ග්‍රන්ථද කියවූහ. ලෝවැඩ සඟරාව සුභාෂිතය වැනි ග්‍රන්ථ දිනපතා පාසලේත්, දහම් පාසලේත් දරුවන්ට පරිශීලනය කිරීමට ලැබිණි. එම පොත්වල කවි කට පාඩම් කළ යුතු විය. කවිවල පද සම්බන්ධය, අර්ථය මතක තබා ගත යුතුය. මේ නිසා අර්ථය සහිතව එම කවි මතක තබා ගැනීම පමණක් නොව චරිත සංවර්ධනයටද ඒ තුළින් මහත් පිටිවහලක් ලැබුණු අතර, සාර්ථක ජීවිතයකටද මග පෑදුන බව පැරැණි අය අදත් ආඩම්බරයෙන් සිහිපත් කරති.

සාරධර්ම රැක ගැනීමට ඉවහල් වන, සමාජ පෝෂණය සඳහාම ග්‍රන්ථ කරණයෙහි යෙදුන පැරැණි සාහිත්‍ය කරුවන් අතර භික්ෂූන් වහන්සේට හිමි වන්නේ සුවිශේෂී තැනකි. සද්ධර්මරත්නාවලිය රචනා කළ ධර්මසේන හිමි, සැළළිහිණි , පරෙවි ආදී සංදේශ ග්‍රන්ථ කීපයක් රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, ගුත්තිලය රචනා කළ වෑත්තෑවේ හිමි හා ලෝවැඩ සඟරාව, බුදුගුණාලංකාරය රචනා කළ වීදාගම මහා මෛත්‍රිය හිමි ඒ අතර ප්‍රධාන වෙති.

හය වැනි පරාක්‍රමබාහු හය වැනි බුවනෙකබාහු යන රජවරුන් රජ කළ කෝට්ටේ යුගයේදී වීදාගම “ඝනානන්ද පිරිවෙනේ “ වාසය කරමින් වීදාගම මහා මෛත්‍රිය ස්වාමින් වහන්සේ විසින් රචිත “ලෝවැඩ සඟරාව විස්තර වශයෙන් සඳහන් කළ යුතු ධර්ම කරුණු රැසක්ම ඉතාම සරලව කාටත් තේරෙන බසින් ඉදිරිපත් කළ ධර්ම කෝෂ ග්‍රන්ථයකි. එකල සාහිත්‍යයට යොමු වී සිටි ස්වාමින් වහන්සේ ග්‍රන්ථ කරණයට යොමු වුයේ අද මෙන් මුදල් රැස් කිරීමේ පටු පරමාර්ථයෙන් නොවන බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය. සමාජයට ධර්ම කරුණු කියා දීම එකම පරමාර්ථය වූ බව ඉඳුරාම පැහැදිලි වේ. උන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සගරාවත්, බුදුගුණලංකාරයත් කියවීමේදී මේ බව මනාව පැහැදිලිවේ.

ලෝවැඩ සගරාව එකල දිනපතා පාසලේත් දහම් පාසලේත් අනිවාර්ය ග්‍රන්ථයක් විය. එහෙත් අද දරුවෝ එවැනි ග්‍රන්ථයක් ඇති, බවක් වත් නොදනිති. දහම් පාසල් පොතටද කවි කීපයක් පමණක් ඇතුළත් කර ඇත. දිනපතා පාසලින් හා දහම් පාසලින් මෙවන් අගනා දහම් පොත් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශීඝ්‍රයෙන් සාරධර්ම පිරිහෙන සමාජයක් බිහිවෙමින් පවතින බව කණගාටුවෙන් කිව යුතුය. මෙම ග්‍රන්ථය ධර්ම ග්‍රන්ථයක් බව කතුවර හිමියන් විසින් මුලින්ම කරන තෙරුවන් වැඳීමෙන් අනතුරුව පවසයි.

“වෙසෙසින් පෙළ දම් නොම දත් දන හට
පවසම් කළ කම් පල දැන් හෙළු කොට “

“ත්‍රිපිටක ධර්මය ලියා ඇත්තේ පාලියෙනි. පාලි භාෂාවෙන් ලියා ඇති ධර්මය නොවැටහෙන ජනතාවට කුසලාකුසල කර්මයන් අනුව පල විපාක ලැබෙන බව සිංහල භාෂාවෙන් කියමි “ යනුවෙනි. ධර්ම කරුණු කියාදීම ආරම්භ කරන්නේ ජනතාව අකුසලින් වෙන් කොට කුසල් දහම්හි යොමු කිරීම එකම පරමාර්ථය වී ඇත.

වීදාගම හිමියන් සැරසෙන්නේ ධර්ම දේශනාවකටයි. එබැවින් ධර්මය ශ්‍රවණය කරන ආකාරයද පැහැදිලිකරයි.

“බිම ඉඳ සිට කී බණ නාසන්නේ
විමතිව උඩ හිඳ සිට නාසන්නේ
කැමතිව කීවොත් විමසා සන් නේ
එමවද සග මොක් සැප සාදන් නේ ”

ධර්ම ගෞරවය ඇතිව තැන්පත් වී විමසිලිමත්ව ධර්මය ඇසීමෙන් ස්වර්ග මෝක්ෂ සම්පත්තිය ළඟා කර ගන්නා ලෙස ඉතාම කරුණාවෙන් ඉදිරිපත් කරයි.

බුදුවරුන් වහන්සේගේ අවවාදය සසර දුක් දුරු කරන, නිවන් සුව ලබාදෙන කුසල් රැස් කිරීමටයි. එහෙත් එසේ කුසල් කළ නොහැකි, කාල ස්ථාන 8 ක් (අෂ්ට දුෂ්ටස්ථාන හෙවත් දුෂ්ටක්ෂණ) ඇති බව වීදාගම මා හිමියෝ දක්වති. ඒ ස්ථානවල උපත ලදහොත් කුසල් රැස් කර ගැනීමට නොහැකිවෙයි. “බුද්ධ “ යන උතුම් වචනය පවා ඇසීමට නොහැකි වෙයි.

“සියල් සසර දුරුකර නොයෙකී
අසල් කරන මොක් සිරි සැප නිසැකී
සියල් සතුනි පින් කරවයි මුනිකී
නොකල් අටෙකි පින් කම් කළ නොහැකී

ඒ දුෂ්ටක්ෂණ නම් :-

1. නිරයේ උපත ලැබීම
2. තිරිසන් අපායේ උපත ලැබීම
3. පේ‍්‍රත ලෝකයේ ඉපදීම
4. බුදු දහම ඇසීමට නැති පෙදෙසක උපත ලැබීම
5. අඳගොළු බිහිරිව ඉපදීම
6. අසඤ්ඤ තලයේ ඉපදීම
7. මිථ්‍යා දෘෂ්ටිගතව ඉපදීම
8. අබුද්ධෝත්පාද කාලයක උපත ලැබීම

අනතුරුව විදාගම මාහිමියෝ කුසල් කිරීම කෙරෙහි ජනතාව යොමු කරති. මිනිසත් බවක් ලැබීම කලාතුරකින් සිදුවන්නකි. ඉතාම දුෂ්කර වු එම අවස්ථාව ධර්මයෙහිද සඳහන් වන අතර ලෝ වැඩ සඟරාවේද ඒ ආකාරයෙන්ම කවියට නගා ඇත.

“දිගු පුළුලින් සක් වළ වන් සිඳු කුස
සිය වසකින් උඩ එන කැස්බා හිස
විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැස
තව උපදින්නට බැරි මෙමිනිස් කුස ”

දිගු විස්තරයක් කවියකට නගා සරලව පැහැදිළි කරන ආකාරය ඉතාම සිත් ගන්නා සුළුය.

සාගරය මැද පාවෙන විය ගසක සිදුර තුළින් සිය වසරකට වරක් ජලය යට සිට අහස දෙස සිට බැලීමට තැත් කරන කැස්බෑවාගේ කාර්යයටත් වඩා දුෂ්කර කාර්යයකි මිනිසත් බව ලැබීම

නිස් බවක් ලැබීම මෙන්ම බුදුන් වහන්සේ කෙනෙකුගේ පහළ වීමද කලාතුරකින් සිදුවන්නකි. කල්ප ගණනාවකිනි. ඒ අවස්ථාව ලැබෙන්නේ. මිනිස් අත් බවක් ලැබී මත්, බුද්ධෝත්පාද කාලයක් ලැබීමත් යන අවස්ථා දෙකම ලැබීමට තරම් වාසනාවන්ත වූ අප ඒ අවස්ථාවෙන් උපරිම පල ලබාගත යුතු බවයි වීදාගම මාහිමියන් පවසන්නේ.

“කලකිනි බුදු කෙනෙකුන් උපදින් නේ
දුකෙකිනි මිනිසත් බව ලැබගන් නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරලන් නේ
සුදනෙනි කිම වීරිය නොකරන් නේ ”

මේ අවවාදය බෞද්ධ හදවත් වලට තදින් කා වැදෙන්නෙකි.

කුසල් රැස් කළ යුත්තේ කෙසේද යන්නත් විදාගම මාහිමි පැහැදිළි කරයි.

ඉසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
කුසලට මඳකුත් පමා නොවනු මිස
මෙසසර අත්හැර නොයන මෙදුක් රැස
වෙසෙසින් නැත අත්හරිනා උප දෙස ”

හිස ගිනිගත් අයෙකු ඉක්මනින්ම ඒ ගින්න නිවා දැමීමට උත්සාහ කරන්නා සේම ප්‍රමාද නොවී කුසල් රැස් කළ යුතු බවයි මෙයින් දැක්වෙන්නේ . එසේ නොකොට අකුසල්ම කළොත් සිදුවන ප්‍රතිඵලයද දක්වා ඇත.

“තැතකින් ගෙන දැමුවත් කැට නුබ කුස
අතරක නොරඳන මෙන් මේ බිම මිස
සිත සතොසින් පින් නොකළොත් නිසි ලෙස
නැත සිටිනා තැන් සතර අපා මිස ”

උත්සාහයෙන් අහසට විසි කළ ගලක් අතරක නොරැඳි බිමටම වැටෙන්නා සේ අකුසල් කරන අය අනිවාර්යයෙන්ම සතර අපායේම වැටෙති. උපත ලබන හැම සත්වයාම මරණයට පත්වෙති. මරණය කවදා සිදුවේ දැයි කිව නොහැකිය. ඒ සදහා සූදානම්ව සිටිය යුතුය. මරුවා අප පසු පසම සිටී. අද අදම මරුවා එයි. හෙට නොපැමිණෙතියි කෙසේ සිතන්නද? එබැවින් අලස නොවී කුසල් රැස් කළ යුතුය.

“අද අද එයි මරු පින්කර ගන්නේ
කෙළෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ ”

කුසල් කිරීම කෙරෙහි වඩ වඩාත් ජනතාව නැඹූරු කිරීම විදාගම හිමියන්ගේ එකම අරමුණ වී ඇත.

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.