Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතයම අමාවක් කරන මෙත් සිත

‘කරණීය මත්ථ කුසලේන යංතං සන්තං පදං අභිසමෙච්ච සක්කො උජු ච සුජු ච සුවචො චස්ස මුදු අනතිමානි සන්තුස්සකොච සුභරො ච අප්ප කිච්චො ච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝ ච නිපකො ච අප්පගබ්භො කුලේසු අනනුගිද්ධො නච ඛුද්ධං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං සුඛිනොවා ඛේමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’

ශාන්ත පදය යි කියන නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට උත්සාහවත් අත්ථ කුසල යන නම ලබන පුද්ගලයකු විසින් කළ යුතු දේ කවරේ දැ යි කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් ව තිබේ. අත්ථ කුසල යන නම යම් පුද්ගලයකුට යෙදිය හැකිනම් ඔහු සැබෑ බෞද්ධයෙකි. එම පුද්ගලයාගේ ස්වභාවය වන්නේ නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන කුසල් දහම්හි නිරතවීම යි. දානා දී පින්කම්වල නිරත වන නිර්වාණගාමී පුද්ගලයකු තුළ තිබිය යුතු සුවිශේෂී ලක්ෂණය ලෙස මෙම සූත්‍රය පෙන්වා දෙන්නේ මෛත්‍රී සහගත වීමයි. මෛත්‍රීය නැතහොත් මෙත්තා ගුණය සරලව හඳුන්වා දුනහොත් ජාති, කුල ගෝත්‍ර හෝ කලු, සුදු හා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආදී වශයෙන් බෙදීමකට ලක් නොකොට එක ලෙසින් සැමට පැතිරවිය හැකි මිතුරුකම යි. යහළුකම යි. මෙම මිතුරුකම යහළුකම බෞද්ධයා තුළින් ප්‍රකටවන විට එහි තවත් සුවිශේෂ ලක්ෂණයක් දක්නට ලැබෙයි. එනම් මෙම මිතුරුකම යහළුකම ඉතා කුඩා තිරිසන්ගත සත්වයාගේ සිට විශාලතම සත්වයා දක්වාත්, පරිසරයේ ඇති අනෙකුත් ගස් වැල් ආදිය දක්වාත් පැතිරවීමට ඔහු සමත්ව සිටීම යි. එබඳු මිතුරුකමක් හා යහළුකමක් පිළිබඳ අවබෝධයක් ඔහුට ලැබී ඇත්තේ බුද්ධ භාෂිතය තුළ ඇති මෙවැනි සූත්‍ර ධර්ම පරිශීලනය කිරීමට අවස්ථාව ලැබී තිබෙන හෙයිනි. මෛත්‍රීය හෙවත් මිතුරුකමේ ඇති අගය ඉතා ඉහළින් පෙන්වා දෙන මෙම සූත්‍රය මිතුරුකම ඇති පුද්ගලයකු තුළ තිබිය යුතු තවත් කරුණු සමුදායක් ඉදිරිපත් කරයි. එම කරුණු වලින් මෙම සූත්‍රය අවධාරණය කරන්නේ ලක්ෂණ ප්‍රකට වන මෛත්‍රී සහගත පුද්ගලයා සැබෑ බෞද්ධයකු වන බව යි.

එම ලක්ෂණ පෙන්වා දෙන කරණීය මෙත්ත සූත්‍රය පළමු කරුණ ලෙස දක්වන්නේ ‘සක්කො’ යන්නයි. සැබෑ බෞද්ධයකු නම් ඔහුට බොහෝ දේ කිරීමට හැකියාව තිබිය යුතුය. සක්කො යන්නෙන් පෙන්වා දෙන්නේ එයයි. එදිනෙදා ජීවිතයේ දී පුද්ගලයාට මුහුණ දීමට සිදුවන යම් අභියෝගයක් හමුවේ එම අභියෝගයට මුහුණදීමට ඔහුට ඇති හැකියාව සක්කො යන්නයි. ඇතැම් විටෙක තම බිරිය ඇගේ ස්වාමිපුරුෂයා ලෙඩ වූ විටක තේ කෝප්පයක් හෝ බතක් ව්‍යාඤ්ජනයක් පිළියෙළ කර ගැනීමට ඇති හැකියාව දක්වා මෙම සක්කෝ යන්න අර්ථවත් වෙයි. එපමණක් නොව අඩුම තරමින් තම තමන්ගේ මූලික කටයුතු පිළිවෙළට කර ගැනීමට සෑම අයකුටම තිබිය යුතු හැකියාව මෙයින් කියැවේ. එම හැකියාව යම් පුද්ගලයකුට තිබෙයිනම් ඔහු ඉදිරියට පැමිණෙන කවර අභියෝගයක දී වුවත් ශක්ති සම්පන්නව ඊට මුහුණදීමට හැකියාව සැලසෙනු ඇත.

‘උජු’ යන්න ද බෞද්ධයා හඳුනා ගැනීමට ඇති ලක්ෂණයකි. ඇතැම් තැනක මෙය අපැහැදිලිව විස්තර වී තිබෙනු දක්නට ලැබෙයි. එහෙත් උජු යන්නෙ හි සැබෑ අරුත නම් පුද්ගලයාගේ කය හා වචනය යන දොරටු දෙකින් සිදුවන වැරදි වලින් වෙන්ව වාසය කිරීම යි. උජු ගුණය ඇති පුද්ගලයා කයින් සිදුවන සතුන්මැරීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය හා වචනය මුල් වී සිදුවන බොරුකීම, කේළාම් කීම, පරුෂවචන කීම හා හිස් වචන කීම යන වැරැදි සිදුනොවන නිසා ඔහුට සමාජය තුළ කෙළින් සිටීමට හැකියාව උදා වනු ඇත. එඑවැනි මිනිසකුට කෙලින් මිනිසකු යැයි කීම සුදුසු වෙයි. සීලවන්තයා ය යන හැඳින්වීම ද ඔහුට සුදුසුය. කය වචනය දෙක සංවර කරගත් අයකු වෙයි නම් ඔහුට කිසිවිටකත් කවරෙකු ඉදිරියේදීවත් සැලීමට සිදු නොවෙයි. තමන් නිවැරැදි බව තම හදවතට දැනෙන හෙයිනි.

‘සුජු’ යනු පුද්ගලයා තුළ ඇතිවන්නා වූ මනා සෘජු භාවය යි. යම් පුද්ගලයෙක් ඉතාම හොඳින් සෘජු වන්නේ ඔහුගේ සිතින්වන අකුසල ධර්මයන්ගෙන් ද වෙන්ව වාසය කළවිට පමණි. පුද්ගල සිතේ ඇතිවන අභිධ්‍යාව හෙවත් විෂම ලෝභයෙන් යුතුව, සියල්ල තමන්ටම ලැබේවා යි සිතීම ව්‍යාපාදය හෙවත් අණ්‍යයන් නැසේවායි සිතේ ඇතිවන ද්වේෂය හෙවත් තරහ සිතිවිලිවලින් යුක්තව කල්ගත කිරීම, මිථ්‍යාදෘෂ්ටිය හෙවත් මෙලොව හා පරලොව කියා දෙයක් නැත. කළ කී දේ විපාක නැත. පින් හා පව් කියා දෙයක් නැත. ආදි වශයෙන් දසවිධ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීම වෙනුවට යමෙක් අලෝභය හෙවත් පරිත්‍යාග සිතිවිල්ල, අද්වේශය හෙවත් මිතුරුකම හා සම්‍යක් දෘෂ්ටිය සිතෙහි ඇතිකර ගනියි නම් එවැනි පුද්ගලයා සැබවින්ම සෘජු පුද්ගලයකු වෙයි. එසේ සම්පූර්ණයෙන්ම සෘජු බවට යමෙක් පත්වන්නේ ඔහු දසවිධ අකුසල කර්මයන්ගෙන් වෙන්ව වාසය කරන්නේනම් පමණි.

‘සුවච’ යනු පුද්ගලයා තුළ තිබිය යුතු කීකරුකමයි. සතා සිව්පාවුන් පවා ඇතැම් පුද්ගලයන්ට අසීමිත කීකරුකමක් දක්වයි. සතුන් තුළ පවා එබඳු කීකරුකමක් තිබෙන නිසාම නොවුනත් මිනිස් සමාජය තුළ ජීවත්වන පුද්ගලයාට නිරන්තරයෙන් වෙනත් පුද්ගලයකුට කීකරුවීමට සිදුවනු ඇත. එසේ කීකරුවීම එම පුද්ගලයාගේ ශීලාචාරකම පෙන්නුම් කරන සාධකයක් වෙයි. ඇතැම් විටක දැන උගත්කමින් යුක්ත වයසින් වැඩි පුද්ගලයෙකුට ලාබාල වයසේ දරුවකුට වුවද කීකරු වීමට සිදුවිය හැකිය. එසේ වුවහොත් එබඳු දරුවකුගේ බසට වුවද කීකරුවීම සැබෑ බෞද්ධයාගේ ලක්ෂණය යි. බෞද්ධ සාහිත්‍යයේ එන සැරියුත් තෙරුන්ගේ හා සාමනේර හිමියන්ගේ කතා පුවත මෙයට හොඳ උදාහරණයකි.

‘මුදු’ යන වචනයේ අදහස මෘදු යන්නයි. පුද්ගයකු විසින් කළ යුතු යම් වතාවතක් වෙයි නම් එම වතාවත් පිළිබඳව උදාසීන බවක් නොදක්වා ඉටුකිරීම එහි පැහැදිලි අදහසයි. මිනිසුන් අතර විවිධ තරාතිරමේ මිනිසුන් සිටින නමුත් ඒ ඒ පුද්ගලයා විසින් කළයුතු කටයුතු අනෙකකු විසින් ඉටුකර දෙනතක් බලා නොසිට ඉටුකිරීම බෞද්ධයකු තුළ ඇති විශිෂ්ඨ ලක්ෂණය යි.

‘අනතිමානී’ යනු අති මානයෙන් යුක්ත නොවීමයි. මානය හෙවත් මැනීම රහත් ඵලයට පත්වනතුරු නැති නොවන තත්ත්වයකි. එය සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන යනුවෙන් තෙවදෑරුම්ව පුද්ගලයා තුළ ඇති වුවත් මෙහි දී අවධාරණය කරන්නේ අතිමානයෙන් යුක්තවීමෙන් වැළකීම, බෞද්ධකමේ ලක්ෂණයක් වන බවයි.

‘සන්තුස්සකොච’ ලද දෙයින් සතුටුවීම බෞද්ධයකු තුළ තිබිය යුතු විශිෂ්ඨ ගුණයකි. අන්සතු වස්තුන් දෙස බලමින් සුසුම් ලෑම හෝ අන් අයට අවශ්‍ය පරිදි ජීවිත්වීම හෝ සැබෑ බෞද්ධකම නොවේ. ගින්න කොපමණ දර දැමුවත් සතුටු නොවන්නා සේ ද මහ මුහුද කොපමණ ජලය ගලා ආව ද සතුටු නොවන්නා සේ ද ඇතැම් පුද්ගලයෝ ලද සම්පත්වලින් සතුටු නොවෙති. එවැනි පුද්ගලයන්ට සිදුවන්නේ සදාකාලිකවම අතෘප්තිකර වූ ජීවිතයක් ගත කිරීමට යි. එය සැබෑ බෞද්ධකමේ ලක්ෂණයක් නම් නොවනු ඇත.

‘සුභරොච’ යනු පෝෂණය කිරීමට පහසු පුද්ගලයකු විය යුතු බව යි. සමාජයේ සිටින සෑම පුද්ගල කණ්ඩායමකම සිටින ඇතැම් පුද්ගලයන් කවර අයුරකින් හෝ සතුටු කළ නොහැකි ය. ඔවුන්ගේ ලක්ෂණය නම් තමන්ට ලැබෙන ලැබීම් තුළ කුමන හෝ අඩුවක් දකිමින් එය විවේචනය ඛ්ලමයි. ලද ආහාරය තුළ විවිධ අඩුපාඩු දකියි. ඇඳුම් පැළඳුම්වල ඇති දුබලතා දකියි. මෙසේ සියල්ලෙහිම දුබලතා දකින දරුවන්, මවුපියන්, ස්වාමිපුරුෂයන්, බිරින්දෑවරුන් කොතෙකුත් සිටිනු දැකිය හැකිය. මෙම ලක්ෂණය ගිහි පැවිදි දෙපිරිස අතරින් ද දැකීම එතරම් අපහසු නොවනු ඇත. ඔවුනොවුන් මත යැපෙන පුද්ගලයා පෝෂණය වීමේ දී දෙවැන්නාට කරදරයක් නොවෙන්නේ නම් එය සැබෑ බෞද්ධයාගේ ලක්ෂණයක්වනු ඇත.

‘අප්පකිච්ච’ යනු කටයුතු ස්වල්පයක පමණක් නිරතවීමයි. සමාජයේ සිටින සෑම පුද්ගලයෙකුටම ඉටු කළ හැකි සීමිත කටයුතු ප්‍රමාණයක් පවති යි. එය හැඳින නොගෙන අධික තෘෂ්ණාවෙන් යුතුව ගොවිතැන, වෙළඳාම, සත්ව පාලනය ආදී බොහෝ කටයුතු ආරම්භ කිරීමෙන් සිදුවන්නේ එයින් අපේක්ෂිත ප්‍රතිඵල උදාකර ගැනීමට නොහැකිව අසාර්ථක මිනිසකු බවට පත්වීමටයි. පුද්ගලයා උට්ඨාන වීර්යයෙන් හා දැහැමිව කටයුතු කරයි නම් එකම කාර්යයකින් පමණක් වුව ද ඔහුට දියුණුවිය හැකි ය. එසේ දියුණුව කරා පියමන් කරන්නා සැබෑ බෞද්ධයෙකි.

‘සල්ලහුක වුත්ති’ සැහැල්ලු පැවතුම් ඇතිබව ද පුද්ගලයා තුළ පැවතිය යුතු සුවිශේෂ ලක්ෂණයකි. ජීවත්වීම සඳහා අවශ්‍ය කරන මෙවලම් පරිහරණය කරන පුද්ගලයා තුළින් මෙම චාම්බව නිරතුරුව ප්‍රකටවිය යුතුය. ඇඳුම් පැළඳුම්, ආහාරපාන මෙන්ම ඉඳුම්හිටුම් ආදිය වර්තමානයේ ජීවත්වන පුද්ගලයා අධි පරිභෝජනයකට ලක්කරගෙන ඇති නිසා ඔහුට විවිධ රෝගාබාධ වැළඳී ඇති අයුරු දක්නට ලැබෙයි. අතීතයේ නෑසු නානා විධ රෝගී තත්ත්ව අසන්නට ලැබී ඇත්තේ පුද්ගලයා තුළ මෙම සැහැල්ලු ඇවතුම් පැවතුම් වෙනුවට අධි පරිභෝජන රාවකට නැඹුරුව සිටින නිසා බව කවුරුත් පිළිගන්නා පොදු එකඟතාවක් බවට පත්වී ඇත.

‘සන්තින්ද්‍රියෝච’ සන්තින්ද්‍රිය යනු පුද්ගලයා සතුව ඇති ඇස, කණ, නාසය ආදී පසිඳුරන්වල තිබිය යුතු සංයත භාවය යි. බුදුසමය පුද්ගල පසිදුරන්ට ගෝචරවන අරමුණු ගැනීම එකහෙළාම ප්‍රතික්ෂේප නොකරන අතර අවධාරණය කරන්නේ එම අරමුණු කෙරෙහි ඇතිවන බැඳීම පාලනය කරගත යුතු බවයි. ඒ සඳහා දැමුණු ඉන්ද්‍රිය පැවතීම අතිශයින්ම වැදගත් බවත් එය බෞද්ධයකු තුළ පැවතිය යුතු ගුණයක් බවත් පෙන්වා දෙයි.

‘නිපකොච’ නිපක යනු උසස්ම නුවණ යන්න යි. උසස්ම නුවණ යන්නෙන් මෙහි දක්වන්නේ සියලු සංස්කාර ධර්මයන්හි පවත්නා අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය දැකීමට ඇති හැකියාව යි.

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.