බැඳීම්
බිඳ දමන මඟ
බද්දේගම මහගොඩ කන්ද
ඉසිපතනාරාමාධිකාරී
ගා/ ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ ආචාර්ය බද්දේගම ප්‍රාදේශීය
ශාසනාරක්ෂක
බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති - ශාස්ත්‍රපති
බලගොඩ සිරිනිවාස හිමි
මේ ඉන්ද්‍රිය පිනවමින් කම් සැපතෙහි ඇලුණු විට අපේ හිතේ බර ගතිය
වැඩිවෙයි. අනාගත බලාපොරොත්තු වැඩිවෙයි. ආශාව වැඩි වෙයි.
කාම සම්පත් වලට ඇති ඇලීම වැඩි වෙයි.
මේ නිසා සිතේ අසහනය වැඩි වෙයි.
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
එතං දළ්හං බන්ධනමාහු ධීරා
ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං
එතම්පි ඡේතවාන පරිබ්බජන්ති
අනපෙකඛිනො කාමසුඛං පහාය
සුපින්වත
අද ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ බෞද්ධ මහජනතාවගේ හස්තසාර බෞද්ධ
ධර්මෝපදේශයක් වන ධම්මපදයට අයත් ධර්ම ගාථාවකි.
එදා කොසොල් ජනපදයෙහි හොර සතුරන් අල්ලාගත් චර පුරුෂයින් කොසොල් රජු කරා
පමුණුවයි. එහිදී නඩු අසා වරදකරුවන් බවට පත් වූ අපරාධකරුවන්ට විවිධ
දඬුවම් පමුණුවයි. ඉන් පිරිසක් සිරගත කරයි.
දිනක් පිඬුසිඟා ගිය භික්ෂු පිරිසක් මෙසේ සිරගත කොට ඇති අපරාධකරුවන් දැක
ගනියි. ඔවුන් සිර කූඩුවේ විඳින දුක් ගැහැට දැක කම්පාවට පත් වී ඒ බව
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සැළකර සිටිති.
එම අවස්ථාවෙහි එම සිදුවීම පදනම් කරගෙන මෙම ධම්මපද ගාථාව දේශනා කළහ.
යකඩ, දැව ආදියෙන් කොටු කරන ලද කූඩු බැමි විවිධ ආයුධවලින් කපා බිඳහළ
හැක.
කිසිදු ආයුධයකින් කපා හෙළිය නොහැකි ඊටත් වඩා තදබල බැම්මක් හෙවත්
බන්ධනයක් ඇත. එය පංචකාම බන්ධනය ලෙස නම්කළ හැක. අඹු දරුවන් හා රූපාදි
පංචාරම්මණයන් නිසා ගොඩනැගෙන ආදර බැඳීම ඉතා ප්‍රබල බව මේ ගාථාවත් සමග
අවධාරණය කොට ඇත. එම දැඩි බැඳීම සිඳ බිඳ දමා නුවණැති අය පැවිදි වී සසර
බැඳීම ද තරණය කරන බව දේශනා කළහ.
පින්වත, මෙහි ඇතුළත් වන දැඩි බැඳීමට අල්ලා ගැනීමට මූලික පදනම
තෘෂ්ණාවයි. හැම බැඳීමකටම මේ තෘෂ්ණාව මුල් වෙයි. තෘෂ්ණාව නිසා සත්ත්වයා
විවිධ කාමසම්පත් අල්ලා ගනියි. ඇසට රූපය ගැටුන වහා එය සිතට ඇතුල් වෙයි.
‘චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං’ යන විග්‍රහයට අනුව
ඇස රූපය ගැටීමෙන් චක්ඛු විඤ්ඤාණයක් හට ගනියි.
මෙය සිදු වන්නේ ආශාව තෘෂ්ණාව මුල්වීම නිසයි. ඒ වගේම ස්‍රෝත විඤ්ඤාණය,
ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය වශයෙන් ඒ ඒ ඉන්ද්‍රිය
සඳහා ඊට අදාළ අරමුණු එක් වීමෙන් විඤ්ඤාණ පහළ වන්නේ මෙන්න මේ ක්‍රමයටයි.
ඒ හැම විඤ්ඤාණයක්ම පහළ වන්නේ මේ තෘෂ්ණාව මුල්වීම තුලිනුයි.
අපගේ මනුෂ්‍ය ජීවිත ආරම්භයේ සිට අවසානය දක්වා අප කරන එකම දෙය මේ
ඉන්ද්‍රිය මඟින් අරමුණු ගැනීමයි. මේක තමයි ජීවත්වනවා යැයි විග්‍රහ
කරන්නේ. මෙය කාම සම්පත් විඳීමක්.
මෙසේ කාම සම්පත් වින්දහම මොකද අපට වන්නේ. ඒ ගැනත් අප සිතිය යුතුයි.
මේ ඉන්ද්‍රිය පිනවමින් කම්සැපතෙහි ඇලුන විට අපේ හිතේ බර ගතිය වැඩියි.
අනාගත බලාපොරොත්තු වැඩිවෙයි. ආශාව වැඩියි. කාම සම්පත් වලට ඇති ඇලීම
වැඩිවෙයි. මේ නිසා සිතේ අසහනය වැඩිවෙයි. විවිධ වැරැදි කාමාශාවන් විඳීමට
පෙළඹෙයි.
සමහර විට ඉන් මෙලොව ජීවිතය පිරිහීමට පත්වෙයි. පරලොව වශයෙන් ‘ඔහාරිනං
සිථිලං දුප්පමුඤ්චති. නරකයට පමුණුවා දුකට පත් කරයි. පළගැටියා සිය
පිනවීමට ගොස් පහන්සිළට පිලිස්සී මරණයට පත්වන්නා සේම අපට ද එලෙස දුකට
පත්වීමට සිදුවෙයි.
එසේනම් පින්වත අප කළ යුත්තේ කුමක්ද? ඉන්ද්‍රිය පිනවීම නතර කරනවාද? එය
කළ හැකිද? බැහැ. සෑම මිනිසෙකුගේම ස්වභාවය ඉන්ද්‍රිය පිනවමින් මේ ගමන
යෑමයි. තෘෂ්ණාදී කෙලෙස් බරිත පෘතග්ජන අපි නිතරම මේ ඉන්ද්‍රිය පිනවමින්
විවිධ අරමුණු රස විඳ ගෙනයෑම ස්වභාවකොට පවතියි.
මේ ඉන්ද්‍රිය පිනවීමේදී කාම සම්පත් විඳීමේදී ඤාණවන්ත අපි බුදුදහමට අනුව
කළ යුතු කාර්යයන් කීපයක් ඇත.
තෘෂ්ණාව වර්ධනය වන ඕනෑම අරමුණක් අපේ ඇස ආදී ඉන්ද්‍රියවල ගැටෙන කොටම එම
වස්තුවෙහි යථා ස්වභාවය වටහා ගත යුතුයි. නිත්‍ය ශුභ කිසිදු වස්තුවක්
මෙලොව නොමැති බවත් ලොව පවතින සියල්ල අස්ථිර වෙනස්වන සුළු තාවකාලික ඒවා
බවත් වටහා ගත යුතුයි. ඒ වටහා ගැනීමේදී ඔබ තුල යෝනිසෝමනසිකාරය හෙවත්
නුවණින් යුතුව සෑම ආරම්මණ වස්තුවක් දෙසම බැලිය යුතුය. එවිට ඒ වස්තුවේ
ඇත්ත ඇති සැටියෙන් දකියි. එවිට ඉන්ද්‍රිය මඟින් ගන්නා වස්තුව නිසා
අලුත් බැඳීමක් හෝ තෘෂ්ණාවක් ඇති නොවෙයි. එය දුකට වේදනාවට හේතුවක්
නොවෙයි.
ඊළඟ වැදගත් කාරණය වන්නේ ඉන්ද්‍රිය සංරක්ෂණයයි. ඉන්ද්‍රිය පාලනය කර
ගැනීමයි. ඇස් කන් ආදී පංච ඉන්ද්‍රිය පාලනය කර ගැනීම, ඉන්ද්‍රිය ආරක්ෂා
කර ගැනීම වැදගත් වෙයි. රකින ලද ඉන්ද්‍රිය නිසා තමාට හිතවත් බවක් යහපතක්
සිදුවෙයි. නොරකින ලද ඉන්ද්‍රිය තමාට අහිත පිණිසම බලපායි. එමනිසා ඔබේ
ඉන්ද්‍රිය පාලනයක් ඔබ ඇතිකර ගත යුතුයි. ඉන්ද්‍රිය සංවර ශීලය බුදුදහමෙහි
ඉතා අගය කොට සලකයි.
බුද්ධ කාලයෙහි විවිධ ආගම් නායකයින් මේ ඉන්ද්‍රිය සංවරය සඳහා විවිධ
ක්‍රම උපයෝගි කරගත්බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ඉන් ප්‍රබලම
කෙනෙකි පාරාසරිය බමුණා.
ඔහු ඉන්ද්‍රිය සංවරය සඳහා කළ ඉගැන්වීම නම් ඇසෙන් රූපයක් දුටු විට ඇස
අත් දෙකින් වසා ගත යුතුයි. අනිත් ඉන්ද්‍රියනුත් එසේ වසා තබා ගතහොත් ඉන්
ඉන්ද්‍රිය සංවරය ඇතිවන බව පෙන්වා දී ඇත.
මේ පාරාසරිය බමුණාගේ අදහස ප්‍රතික්ෂේප කරන බුදුරජාණන් වහන්සේ එලෙස
කිසිදු ඉන්ද්‍රියක් සංවර කර ගත නොහැකි බවත් යම් රූපයක් දුටුවහොත්
දිට්ඨෙ දිට්ඨ මතතං සුතේ සුත මත්තං. යනුවෙන් පැහැදිලි කෙරෙන පරිදි දුටු
දේ දැකීමට පමණක් සීමා වෙනවා නම් ඇසුන දේ ඇසීම් මාත්‍රයට පමණක් සීමා
වෙනවා නම් එතැනදී ඉන්ද්‍රිය සංවරයක් වෙයි. තෘෂ්ණාවෙන් ඉන්ද්‍රියවලට
ගොදුරු වන සියල්ල ග්‍රහණය කළ යුතු නැත.
ඊළඟට මෙම ගාථාවෙහි වැදගත්ම අංශය ගැන අවධානය යොමුකළ යුතුයි. ‘එකම්පි
ඡෙත්වාන පරිබජනති. අනපෙක්ඛිනො කාම සුඛං පහාය.’ මේ සියල්ල ගැන මනා
අවබෝධයෙන් සිටින නුවණැති උතුමෝ සියලු කාම වස්තු අත්හැර දමා එම කාමවස්තු
ගැන කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව ඒවා අත්හැර දමා පැවිදි වෙති.
මේ පැවිදි වීමෙන් කම්සැපත අතහැර දමා එහි ඇලීම් ගැටීම් ඇති නොකරගෙන මේ
ඇලීම හෙවත් කාම බන්ධනයෙන් ද මිදීමට ඉමහත් වෙහෙසක් දරති. අදත් ගිහි
බැඳීම්වලින් ඈත්ව පැවිදි වීම සියල්ලටම කළ හැකි දෙයක් නොවේ’ බෞද්ධ
මහජනතාව මේ කුඩා දරුවන් පැවිදි වී සසුන ශෝභාමත් කර ගෙන යෑම පිළිබඳව
විශේෂ අවධානයක් හා ගෞරවයක් තිබිය යුතුයි. මේ ගමන සමග පැවිදි වූ
භික්ෂුවගේ මූලික අරමුණ වියයුත්තේ සියලු ඇලීම් බැඳීම් සිඳබිඳ දැමීමට
සටන් කිරීමයි. භික්ෂුවගේ මූලික අරමුණ වන්නේත් සියලු දුක් නැති කොට
නිවන් ලැබීමයි.
එසේම මේ ඇලීම බැඳීම් වලට මූලික හේතුව වන තෘෂ්ණාව ක්‍ෂය කර දැමීම
තුලින්ම ඒ සියල්ල සිඳ බිඳ දමා නිවන් ලැබිය හැක.
සම්බුදු සසුනෙහි පැවිදි වී නිවන් මගට පිළිපන් අයම ඇලීම් බැඳීම් සිඳ බිඳ
දමති.
ඒ මහරහතන් වහන්සේ සියලුම කම්සැප පිළිබඳ අපේක්ෂාවක් ආශාවක් නොමැති ඉතා
නිර්මල උත්තමයෝ වෙති.
පින්වත් ඔබත් මේ පිළිබඳ අවධානය යොමු කරන්න. ඔබට ඔබේ පවුලේ අයට ඇතිවන
සියලු කරදර බාධක කම්කටොළුවලට මූලික හේතුව මේ තෘෂ්ණාව මුල් වී ඇතිවන
ඇලීම් බැඳීම් බව ඤාණවන්තව සිතන්න. |