Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පහසු භාවනාව තෝරාගන්න

බොහෝ දෙනා භාවනාවට හෙවත් යෝගයට කැමති වන්නේ වෙන අයට නැති “තුන් වැනි ඇස “ වැනි ආධ්‍යාත්මික ගුප්ත බලයක් ලබා ගැනීම සඳහාය. ඇස්වලින් දැක ගැනීමේ බලය හොඳින් තිබිය දී ම, කන් වලින් දැකීමේ බලයකුදු ලබා ගන්ට උත්සාහ කළ එක්තරා උපාසිකාවක් ටික කලකට පෙර ඉන්දියාවේ විසු බව මෙහි ලා නිදසුනක් හැටියට සඳහන් කළ හැකිය. මේ වූකලි ආධ්‍යාත්මික දුරුපයෝගයක් මිස අන් කිසිවක් නො වේ. මෙය ද බලයට ඇති ආශාව හෙවත් තෘෂ්ණාව මය.

භාවනා යන වචනයේ සැබෑ තේරුම නම් සිත වැඩීම සිත දියුණු කිරීම යනුයි. ඒ වනාහි කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ,උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා ආදි කෙලෙස් වලින් සිත මුදා පිරිසිදු කර, ඒකාග්‍රතාව , ස්මෘතිය, බුද්ධිය, අධිෂ්ඨානය , වීර්යය, විවේචන ශක්තිය, ශ්‍රද්ධාව , පි‍්‍රතිය ,ශාන්තිය ආදි ගුණ දියුණු කර සියල්ල තතු පරිද්දෙන් දක්නා උතුම් ප්‍රඥාව ලබා දී, පරම සත්‍ය හෙවත් නිර්වාණය අවබෝධ කර දීම අරමුණු කර ඇත්තේය.

භාවනා වර්ග දෙකක් වෙයි. ආකිඤ්චඤ්ඤායතන , නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි උසස් යෝගී තත්ත්වවලට මුල් වන සමථය , සමාධිය, සිත එකඟ බව (චිත්තේකග්ගතා) වැඩීම එයින් එකකි. මේ පිළිබඳ විවිධ ක්‍රම ධර්ම ග්‍රන්ථවල විස්තර කර තිබේ. මේ සියලු ධ්‍යාන ම සංස්කාරවලින් හටගත් (සංඛත) මනෝමය තත්ත්ව බව බුදුන් වහන්සේ වදාළහ. තථය, සත්‍යය හෙවත් නිර්වාණයත් ඒවාත් අතර කිසි සම්බන්ධයක් නැත. මේ භාවනා වර්ගය බුද්ධ කාලයට පෙර ද තිබුණේය. හුදු බෞද්ධ භාවනාවක් නොවුවද, එය බෞද්ධ භාවනා ගුණයෙන් බැහැර නොවේ. එහෙත් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ඒ අවශ්‍ය ම යයි නො කිය හැකිය. බුද්ධත්වය ලැබීමට පෙර ඒ ඒ ආචාර්යවරුන් යටතේ මේ ධ්‍යාන පුරුදු කළ ගෞතමයන් වහන්සේ ඉතා උසස් යෝගී තත්ත්වලට පැමිණියහ. එහෙත් සම්පූර්ණ මුක්තිය, පරම තථය, එමගින් ප්‍රතිවේධ කළ නො හැකි හෙයින් එය උන් වහන්සේගේ තෘප්තියට හේතු නො වීය. මේ ධ්‍යාන වනාහි මේ ජීවිතයේ සුවසේ විසීමක් (දිට්ඨ ධම්ම සුඛ විහාර) සැනසිල්ලේ විසීමක් (සන්ත විහාර) මිස ඊට වඩා උසස් දෙයක් නොවන බව උන් වහන්සේ වදාළහ.

එහෙයින් උන් වහන්සේ විපස්සනා (විදර්ශනා) නමැති අනික් භාවනා ක්‍රමය සොයා ගත්හ. විපස්සනාව නම් සිත පිළිබඳ සම්පූර්ණ නිදහස ලැබීමටත් පරම තථය හෙවත් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් ඉවහල් වන ප්‍රතිවේධයයි. මෙය සහමුලින්ම බෞද්ධ භාවනාවකි. මේ වනාහි සිහියත් අප්‍රමාදයත් නිරීක්ෂණයත් මුල් කොට ඇති විශ්ලේෂණ ක්‍රමයකි.

භාවනාව ගැන බුදුන් වහන්සේ කළ දේශනා අතුරින් ඉතා ම වැදගත් වනුයේ (දීඝනිකායේ 22 වැන්න ද මජ්ජිමනිකායේ 10 වැන්න ද වන) සතිපට්ඨාන සූත්‍රයයි.මේ සූත්‍රයට ඇතුළත් භාවනා, ක්‍රම ජීවිතයෙන් බැහැර නො වේ. ජීවිතය මග හැරීමක් ද එහි නැත. ඒ භාවනා ක්‍රම සියල්ල ම අපේ ජීවිතයට සම්බන්ධය. අප දිනපතා කරන පොදු වැඩ වලටත් අපේ සොම්නස් දොම්නස්වලටත් වචනවලටත් සිිතිවිලිවලටත් ධාර්මික හා බුද්ධිමය කාර්යන්ටත් සම්බන්ධය.

මේ සූත්‍රය කොටස් හතරකට බෙදා තිබේ. එයින් පළමු කොටසට කය (කාය ) ද, දෙවැනි කොටසට විඳිම් (වේදනා) ද තුන්වැනි කොටසට සිත (චිත්ත ) ද, සතරවැනි කොටසට ධාර්මික හා බුද්ධිමය විෂය (ධම්ම ) ද ඇතුළත්ය.

මෙයින් කවර භාවනා ක්‍රමයක් තෝරා ගත්තත් සිහියත් (සති) අවධානය හා නිරික්ෂණයත් (අනුපස්සනා) අතිශයින්ම අවශ්‍ය බව මෙහිලා සිත තබා ගත යුතුය.

කය මුල් කොට ඇති භාවනා ක්‍රම අතුරින් ඉතා ප්‍රකට ජනපි‍්‍රය, ප්‍රායෝගික එකක් නම් ආශ්වාස පිළිබඳ සිහිය (ආනාපානසතිය) යි එක්තරා අමුතු ඉරියව්වක් නියම කර ඇත්තේ මේ භාවනාව සඳහා පමණකි. මේ සූත්‍රයේ දක්වන ලද සෙසු සියලු භාවනාවන් අප කැමති පරිද්දෙන් හිඳ ගෙන හෝ සිට ගෙන හෝ සක්මන් කරමින් හෝ හාන්සි වී හෝ වැඩිය හැකිය. එහෙත් ආනාපානසතිය වැඩීමේ දී අප බද්ධපර්යංකයෙන් (එරමිණිය ගොතා ) හිඳ, කය කෙළින් තබාගෙන, සිහි එළවා ගත යුතු බව මේ සූත්‍රයේ දැක්වෙයි. එහෙත් පලක් බැඳ හිඳීම සියලු රටවල මිනිසුන්ට පහසු නොවන බව පෙනේ. වෙසෙසින් ම මෙය බටහිර රටවල අයට අපහසුය. එහෙයින් බද්ධපර්යංකයෙන් හිඳ ගන්නට අසමත් අය පුටුවක වාඩි වී, කය කෙළින් තබා ගෙන, සිහි එළවා ගත යුතුය. කෙසේ වුවද මේ භාවනාවෙහි යෙදෙන තැනැත්තා උඩු කය ඍජු කොට හිඳ ගැනීම අවශ්‍යය. එසේ හිඳ ගෙන දෙ අත් උකුලේ තබා ගත යුතුයි. මෙසේ හිඳගත් පසු, අපට පහසු පිළිවෙළට, ඇස් පියා ගත හැකිය. නැතහොත් නාසයේ් අගට ඇස් යොමු කළ හැකිය. සිත එකඟ කිරීම සඳහා ඇස් පියා ගැනීම වඩා ප්‍රයෝජනවත්ය.

අපි රෑ දාවල් දෙකේ ම නොකඩවා ආශ්වාස ප්‍රශ්වාස කරමු. එහෙත් ඒ ගැන මොහොතකුදු සිත යොමු කිරීමක් නම් නැත. මේ භාවනාවේ දී අප කරන්නේ එයට සිත යොමු කිරීමය. යත්නයක් හෝ මහන්සියක් නො දරා, පුරුදු පිළිවෙළට පහසු ලෙස ආශ්වාස ප්‍රශ්වාස කරනු. දැන් ඒ ආශ්වාස ප්‍රශ්වාසයට සිත එකඟ කර ගනු. ආශ්වාස ප්‍රශ්වාසය දෙස බලා සිටින්නට සිත මෙහෙයවනු. හුස්ම ඇතුළු වන පිට වන තැන, නාසයේ අග, සිහිය පිහිටුවා සිත එකඟ කරනු. අප ගන්නා හුස්ම ඇතැම් විටක දික් වෙයි.ඇතැම් විටක කෙටි වෙයි. එහි ඇති වරදක් නැත. එහෙත් අප ගන්නා හුස්ම දික් නම් ඒ දික් යයි ද, කෙටි නම් කෙටි යයිද දැන ගත යුතුය. මෙහි දී අප සිත ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි කොතරම් දුර යොමු කළ යුතුද යත් එය ඇතුළු වන සැටිත් පිට වන සැටිත් වෙනස් වන සැටිත් දැන ගත යුතුය. වටාපිටාවේ, පරිසරයේ හැම දෙයක් අමතක කරනු. ඇස් යොමා කිසිවක් දෙස නො බලනු. මිනිත්තු දහයක් හෝ පහළොවක් මෙසේ කිරීමට උත්සාහ දරනු.

ආශ්වාස ප්‍රශ්වාසයට සිත එකඟ කර ගැනීම ඉතා අමාරු යැයි මුලදී සිතෙන්නට පුළුවන. මෙහි දී සිත පැන දුවන සැටි අපේ විස්මයට හේතු වෙයි. එය එතැන රැඳී නො සිටී. අපි නොයෙක් දේ ගැන සිතන්නට පටන් ගනිමු. පිටින් ශබ්ද අපට ඇසේ. අපේ සිත අවුල්ය. කලබල සහිතය. මෙහිදී අධෛර්යක්, එපාකමක් ඇති විය හැකිය. එහෙත් දිනපතා දෙවරක්, උදේ සවස, වරකට මිනිත්තු දහයක් හෝ පහළොවක් බැගින් නො කඩවා මෙය පුරුදු කළහොත් ආශ්වාස ප්‍රශ්වාසයට ටිකින් ටික පිළිවෙළින් සිත එකඟ කර ගන්නට අපි සමත් වෙමු. මෙසේ කලක් පුරුදු කරන විට ආශ්වාස ප්‍රශ්වාසයට මුළුමනින්ම සිත යොමු වූ, එකඟ වූ සියුම් ඇසිල්ලක් ඇතිවෙයි. බාහිර ශබ්දයක් පවා මේ මොහොතේ දී අපට ඇසෙන්නේ නැත. බාහිර ලෝකයක් අපට නැත. මේ වූ කලි සිත මුළුමනින්ම ආශ්වාස ප්‍රශ්වාසයෙහි රැඳුණු මොහොතකි. මේ ස්වල්ප මොහොත කෙබඳු පී‍්‍රතියකින් හෝ සැනසිල්ලකින් පිරි මහැගි අත් දැකීමක්ද යත් අපි එය රඳවා ගන්නට කැමැත්තෙමු. එහෙත් එසේ රඳවා ගැනීමට අසමත් වෙමු. එසේ වුවත් භාවනාව නොකඩවා පුරුදු කර ගෙන යන විට, අර අත්දැකීම නැවත නැවත ද, වැඩි කලකට ද විඳ ගත හැකි වෙයි.

ඉතා සරල , ඉතා පහසු භාවනාවලින් එකක් වන මේ ආනාපානසතිය වනාහි උසස් ධ්‍යානවලට හේතු වන ඒකාග්‍රතාව දියුණු කිරීම අරමුණුකර ඇත්තේය. යථා තත්වාවබෝධය , නිර්වාණාවබෝධය ඇතුළු කෙබදු ගැඹුරු අවබෝධයකට වුවත් මේ ඒකාග්‍රතාව අවශ්‍යමය.

මේ හැර ආනාපානසතියෙන් වහා ම ලැබිය හැකි ප්‍රතිඵල ද වෙයි. එය අපේ සෞඛ්‍යයටද , විශ්‍රාමයට ද, හොඳ නින්දට ද, දවසේ වැඩ හොඳින් කිරීමට ද ඉවහල් වෙයි. එයින් සිතට සාමයත් සැනසිල්ලත් ලැබේ. සිත කැලඹී තිබෙන විටක මිනිත්තු දෙක තුනක් මෙය වැඩුවොත් ඒ කැලඹීම වහා ම සංසිඳෙන බව අත් දකින්න පුළුවන. එවිට හොඳ විවේකයකින් නැඟී සිටියාක් මෙන් දැනේ.

(‘බුදුන් වදාළ ධර්මය’ කෘතියෙනි)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.