බෞද්ධ ආචාර විද්‍යාවේ
පරමාදර්ශය
හලාවත කරවිටාගාර කැබැල්ලාවල
ශ්‍රී රතනසිරි මහ පිරිවෙනේ,
ශාස්ත්‍රපති
අම්බන සිරිසීල හිමි
බුදුන් වහන්සේ වදාළ ධර්මයට අනුව, සසර සැරිසරන සත්ත්වයාට දුකක් ද ඒ දුක
ඇතිවීමට හේතු ද ඒ හේතු නැති කිරීමෙන් ලැබෙන නිවීමක් ද තිබේ. ඒ නිවනට
එළඹෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් හඳුන්වනු ලැබේ. දුක් ඇති
වීමට හේතු වු තෘෂ්ණාව නැති කිරීමෙන් නිවන සාක්ෂාත් කළ යුතුවේ. එහෙයින්
එයට තණ්හක්ඛය යන නම ව්‍යවහාර කරනු ලබයි. දුකට හේතුවන තෘෂ්ණාව නැති
කිරීමෙන් ලැබෙන නිවන කෙබඳු එකක්ද? එහෙත් නිවනේ යථා ස්වරූපය පැහැදිලි
කිරීමට අප ව්‍යවහාර කරනු ලබන කිසිම භාෂාවක් ප්‍රමාණවත් නොවේ. නිර්වාණය
යන වචනයෙන් අදහස් කරන තත්ත්වය බොහෝ විට විස්තර කරනු ලබන්නේ නැත යන
අර්ථය ඇති නිෂේධාත්මක වචන වලිනි. එනම් තණ්හක්ඛය, විරාග, අසංඛත,
නිබ්බාන යන වචන වලිනි.
රහතන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ කරන ලද විමුක්තිය අංශ දෙකකින් යුක්තය.
එකක් නම් අවිද්‍යාවෙන් හා අලේශ ධර්මයන් ගෙන් මුළුමනින්ම නිදහස්ව ජිවිතය
පවත්නා තෙක් ජීවත්වීමේ වාසනාවයි. අනෙක නම් උන් වහන්සේගේ පරිනිබ්බාණයෙන්
පසු නැවත උත්පත්තියක් සිදු නොවීමේ වාසනාවයි. සතර ආර්ය සත්‍යයන්
පරිපූර්ණ ලෙස විනිවිද දක්නා ඤාණය විසින් උන් වහන්සේගේ සිතෙන් අවිද්‍යාව
පහ කරනු ලැබ ඇත. ක්ලේශයන්ගේ ආක්‍රමණයෙන් නිදහස් වී ඇත. උන් වහන්සේගේ
සිත සියලු කෙලෙසුන්ගෙන් මිදුනු නිසා “චෙතො විමුක්ති” නිදහස ලැබූ සිතක්
ලෙස විස්තර කෙරෙන අතර කිසියම් ආකාර කිලිටක් රැඳී නැති සේ අති පිරිසිදු
බවට පත් වී ඇත යන තේරුම සහිතව “ විරජං වීතමලං “ යන පදවලින් වර්ණනා කරනු
ලබයි.
බෞද්ධ ආචාර ධර්ම පද්ධතියේ මස්තක ප්‍රාප්තිය වන්නේ
නිර්වාණවබෝධය යි. පරාර්ථ චර්යාවෙන් යුත් රහතන් වහන්සේ
එහි පරමාදර්ශය යි. ඉහත සඳහන් වු ආකාරයට ඉතා ගැඹුරු වු රහතුන්ගේ
සිතිවිලි හා ක්‍රියා කලාපය සකල සත්ත්වයා කෙරෙහිත් ස්වභාව ධර්මය
කෙරෙහිත් පැතිරවීම උන් වහන්සේගේ ස්වභාවය වී ඇත.
රහත් බව ලැබූ තැනැත්තා ස්වභාවයෙන්ම සිල්වත් ය. මක්නිසාද, සම්මුති
දෘෂ්ටි කෝණයෙන් බලන විට නිර්වාණයේ ස්වරූපය වන්නේ
සදාචාරාත්මක පරප්‍රාප්තිය යි. එම නිසා රහතන් වහන්සේ
බෞද්ධ ආචාර විද්‍යාවේ පරමාදර්ශය යි. |
උන්වහන්සේගේ සිත අවිද්‍යාවෙන් මිදුණු හෙයින්ද ආලෝකවත් සිහියෙන් බබළන
හෙයින්ද “පඤ්ඤා විමුක්ති “ යනුවෙන් විස්තර කැරෙයි. කිසිදෙයකට නොඇලෙන
ස්වභාවය නිසා ඇති නිදහසත්, ප්‍රඥාලෝකයෙන් නිරතුරුව ඇත්ත දක්නා නිසාත්
රහතන් වහන්සේට පෘථග්ජන ලෝකයා සමග ඇලීමෙන් තොරව වාසය කිරීමේ හැකියාව ඇත.
ඒ රහතන් වහන්සේ තුළ සිව් පසය රැස් කිරීමක් නැත. වළඳන දානයේ යථාර්ථය උන්
වහන්සේ දනිති. ඒ උතුමන්ට ශූන්‍යතා සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත්
නිවනත් අරමුණු වේ.අහසේ පියාඹා ගිය කුරුල්ලන්ගේ ගමන කිසිවෙකුටත් දැකීමට
නොහැකිය. රහතුන් වැඩිය මගද කිසිවෙකුටත් දත නොහැකිය.
රහතන් වහන්සේ “මමය”, මාගේය, යන උපාදානය ලිහා දැමූ තමා හා අනුන් සසඳන “
මානය” නමැති පුරුද්ද අහෝසි කළ අත්දැකීම් තුළ කිසි ආත්මීය ලක්ෂණයක් නැති
බව දකිමින් ජීවත් වන්නා වූ, සාමය, ශාන්තිය මූර්තිමත් කරන නිසා මුනි
සන්තෝ යන විරුදාවලියෙන් පුද ලැබූහ. සාමාන්‍ය මිනිසා පීඩනයට පත් කරන
කිසි ක්ලේශ ධර්මයක් උන් වහ්සේ කරා ලං වන්නේ නැත. කෙනෙකුගේ සිත පහන්
කරවන හෝ කුල්මත් කරවන හෝ ඉන්ද්‍රිය අරමුණකින් උන් වහන්සේලා ගේ සිත සසල
වන්නේ නැත.
යස්සින්ද්‍රියානි සමථං ගතානි -අස්සා යථා සාරථිනා සුදන්තා
පහීණ මානස්ස අනාසවස්ස -
දෙවාපි තස්ස පිහයන්ති තාදිනො
සිතුවම - සරත් නන්ද කුමාර |
දක්ෂ රියදුරෙක් අශ්වයන් හොඳින් හීලෑ කරන්නා සේ යම් කෙනෙක් තමන්ගේ
ඉන්ද්‍රියන් හොඳීන් සංවර කර ගත්තේද මානය නැති කළ කෙලෙස් නැති කළ,
අකම්පිත සිත් ඇති ඒ රහතන් වහන්සේට දෙවියන් පවා කැමැතිය. සියලු දෙයකම
අනිත්‍යතාව දකින්නා වූ උන්වහන්සේගේ සිත කිසිදෙයක නොඇලේ. සෙලවීමට
නොහැකිය. වෙනස් කිරීමට නොහැකිය. රහතන් වහන්සේගේ සිතෙන් ලෝභය, ද්වේශය,
මෝහය , යන සියලු අකුසලයන්ට මුල් වූ ක්ලේශයන් පහ වී ඇත. එය යටපත්
කිරීමක් නොව යළිත් කිසි දවසක ප්‍රාණවත් විය නොහැකි ලෙස අනුසය මටටම
දක්වා අංශු මාත්‍රයක් වත් ඉතිරි නොකොට මුලින්ම උදුරා දැමීමකි.
රහතන් වහන්සේ සසර ගමන අවසන් කර ඇත. ශෝක රහිතය. සියලු දෙයින් මුළුමනින්ම
නිදහස්ය. සෑම කෙලෙස් ගැටයක්ම නැති කර ඇත. ඒ නිසා උන් වහන්සේ තුළ කිසිදු
කෙලෙස් දාහයක් නැත.
රහතන් වහන්සේට ක්ලේශ ධර්මයන්ගෙන් කිසිදු හිරිහැරයක් පීඩාවක් නොවුවත්
උන් වහන්සේ තවමත් දරා සිටින ඉන්ද්‍රිය හයක් සහිත ශරීරය හේතුකොට ගෙන
එක්තරා සීමාවක් තුළ හිරිහැර පීඩා ඇති කරවයි. කැමති, ඇකමැති නොවූවත්
ශරීරයට දුක වේදනා හා සුඛ වේදනා දැනෙන බව වළක්වන්නට බැරිය. එහෙත් සසරට
බැඳෙන කර්ම උන් වහන්සේ තුළ ජනිත නොවේ. ඒ වේදනා මට සැපය මට දුකය වශයෙන්
සලකනු නොලැබේ.
යම් කෙනෙක් ඇදහීම් ඉක්මවා ගියේද ප්‍රත්‍යක්‍ෂයට පැමිණියේද , ස්කන්ධ
පංචකයට කෙළෙහි ගුණ සලකන්නේ නැත්ද පටිච්චසමුප්පාදය ඉක්ම ගියේද උපදින්න
ඇති සෑම අවස්ථාවක්ම නැති කළේද කෙලෙස් නැති කළේද ඔහු උතුම් මනුෂ්‍යයෙකි.
රහත් කෙනෙකි.
කෙසේ වෙතත් ඒ ඒ අවස්ථාවලට අනුව තීරණ ගැනීම හා හැසිරීමද උන් වහන්සේලා
තුළ නිරන්තරයෙන් ගැබ්ව ඇත. මේ ස්වභාවය තේරුම් කරන්නේ අතීතයේ ගබඩා කළ
කර්ම ශක්තියේ ඉතිරිය නිරායාසයෙන්ම ඉදිරියට දිවීමක් ලෙසය. එහෙත්
උන්වහන්සේලා තුළ හට ගන්නා වූ සිතුවිලි , කල්පනා , නිරාමිස පී‍්‍රතිය
අතිශය සුන්දර ගීතයක් බවට පත්ව ඇත. ඒ සියලු දේ ආත්මීය පෞරුෂය පෙරදැරි
කොට පහළ වන ඒවා නොව විමුක්ති නිදහස පෙරදැරි කොට පහළ වන ඒවාය.
ස්වභාව ධර්මයේ සුන්දරත්වයෙන් පිබිදුණු මනසින් උත්තේජිත ඇතැම් තෙරවරු
ගලා යන දිය ඇල්ල මද සුළඟේ සැලෙන ළා දළු නිදැල්ලේගී ගයන කුරුලු රෑන්
පිපී නැමි ගිය මල්බර තුරුලතා , අහස සිපගත් මේකුළු සිහිල් සුවඳ මද නල
ලොව්තුරු මිහිර ගෙන එන සොඳුරු දසුන් බවට පත් කර ගත්හ.
රමණීයානි අරඤ්ඤානි -
යත්‍ථ න රමති ජනො
වීතරාගා රමෙස්සන්ති -
න තෙ කාම ගවෙසිනො
මහ වනාන්තර ඉතා සුන්දරය.කාමි ජනයා මෙන් රහතන් වහන්සේ වනයට නො ඇලෙති.
වීතරාගී රහතන් වහන්සේ මේ මහ වනයේ සුන්දරත්වය විඳිති. කම් සැප සෙවීමකින්
තොර වී ඇත.
බොහෝ තෙරවරු අරණ ගිරි ගුහා, සොසොන් බිම් ඇසුරු කරන ලද්දේ උපාදාන
ආරම්මණයෙන් තොරව බන්ධන විමුක්තියෙන් සුවපත් වීම පරමාර්ථ කොට ගෙනය. ගමක
හෝ වනාන්තරයක හෝ නිම්නයක් හෝ කඳු ගැටයක හෝ රහතන් වහන්සේලා යම් තැනක වැඩ
සිටීද ඒ බිම ඇත්තෙන්ම සුන්දරය.
බෞද්ධ ආචාර ධර්ම පද්ධතියේ මස්තක ප්‍රාප්තිය වන්නේ නිර්වාණවබෝධයයි.
පරාර්ථ චර්යාවෙන් යුත් රහතන් වහන්සේ එහි පරමාදර්ශයයි. ඉහත සඳහන් වු
ආකාරයට ඉතා ගැඹුරු වු රහතුන්ගේ සිතුවිලි හා ක්‍රියා කලාපය සකල සත්ත්වයා
කෙරෙහිත් ස්වභාව ධර්මය කෙරෙහිත් පැතිර වීම උන් වහන්සේලාගේ ස්වභාවය වී
අත. රහත් බව ලැබූ තැනැත්තා ස්වභාවයෙන්ම සිල්වත්ය. මක් නිසාද සම්මුති
දෘෂ්ටි කෝණයෙන් බලන විට නිර්වාණයේ ස්වරූපය වන්නේ සදාචාරාත්මක
පරප්‍රාප්තියයි. එම නිසා රහතන් වහන්සේ බෞද්ධ ආචාර විද්‍යාවේ
පරමාදර්ශයයි. |