Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දම් දෙසුමට වටාපත භාවිතයේ ආරම්භය

කථිකයකුට, ධර්ම දේශකයාණන් වහන්සේ නමකට ශ්‍රාවක පිරිස දෙස නොබලා කථාවක්, දේශනාවක් කිරීම අසීරු කරුණෙකි. වටාපතක් භාවිත කළත් ශ්‍රාවකයන් පෙනෙන සේ එය තබා ගැනීමට ද පිළිවන. කෙසේ නමුත් මුඛාවරණයක් වශයෙන් වටාපතක් පාවිච්චි කිරීම භික්ෂූන්ගේ සංවරශීලි භාවය වැඩි දියුණු වීමට උපකාරවත් වී ඇති බව පැහැදිලිව දක්නට ඇත. වටාපත පිළිබඳ බුද්ධ ප්‍රඥප්තියෙන් පසු භික්‍ෂූන් චාරිකාවෙහි වඩින විට ද වටාපත රැගෙන ගිය බව ත්‍රිපිටකාගත කථා පුවත් වලින් පෙනෙන කරුණකි.

වටාපත යනු තල් කොළයෙන් සාදා ගනු ලබන උපකරණයකි. විජිනිපත, අවාන, තල්අත්ත යනු එයට භාවිත වන තවත් නාමයෝ ය. බුද්ධ කාලයෙහි බෞද්ධ භික්ෂූන් පමණක් නොව අන්‍යාගමික පූජ්‍ය පූජකවරු ද අව්වැසි වලින් බේරීම සඳහා තල්කොළ වලින් සාදා ගත් ආවරණ භාවිත කළහ. බුදුරජාණන් වහන්සේ ද තම පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඡත්‍ර ලෙස භාවිතයට තල්කොළ ඡත්‍ර ද එක පාටක් ඇතිරෙදි ඡත්‍ර ද අනුමත කළ සේක. වටාපත භික්ෂූන් වහන්සේගේ භාවිතයට පැමිණ ඇත්තේ විශේෂයෙන් ධර්ම දේශනා කරන විට මුඛාවරණයක් වශයෙනි. පවන් සැලීමට ද උපයෝගී වන හෙයින් විජිනිපත යන නාමය ද වටාපතට භාවිත වෙයි. කැවුමක් වැනි මුහුණක් ඇති භික්ෂුවක් ධර්ම දේශනා කරන විට මුඛයේ ඇතිවන විකෘති ස්වභාවය නිසා බණ අසන්නෝ ඒ දෙස බලන්නට වූහ. මේ නිසා බණ ඇසීමට වඩා විකෘති මුඛය කෙරෙහි ශ්‍රාවකයන්ගේ සිත යොමු විය. ඒ නිමිතිකොට ගෙන ධර්මදේශනා කරන විට මුඛාවරණයට විජිනිපතක් භාවිතයට අනුදැන වදාළහ.

එතැන් සිට භික්ෂූහු ධර්ම දේශනාවක් පවත්වන විට දී පමණක් නොව ගමන් බිමන් යෑමෙහි දී ද වටාපත් භාවිත කළහ. එයට හේතුව වටාපතින් ප්‍රයෝජන රාශියක් ලැබීමයි. ගී‍්‍රෂ්ම කාලයේ දී පවන් සලා ගැනීමට, දන් වළඳන අවස්ථාවේ දී මැසි මදුරුවන් එළවා ගැනීමට ඡත්‍රයක් නැත්නම් අව්වෙන් හිස ආවරණය කර ගැනීමට වටාපත උපයෝගී වෙයි. භික්ෂුන් වහන්සේට වටාපත පරිහරණය පිළිබඳ විශේෂ විනය නීති මාලාවක් පණවා නැත.

ධර්මදේශනා කිරීමේදී මුඛය විකෘති නො වන භික්ෂූන් වහන්සේ නමක් වටාපත භාවිත නො කළ ද සිදුවන ඇවතක් විනයෙහි සඳහන්ව නැත. කථිකත්වයේ ලක්ෂණයක් වශයෙන් අංග චලනය ද සලකනු ලැබේ. ධර්ම දේශනාවක් පැවැත්වීමේ ශ්‍රමණ ස්වරූපයට නො ගැළපෙන පරිදි අංග චලනය නො කළ යුතු අතර කරුණූ වඩාත් පැහැදිලි කරනු සදහා කරන අංග චලනය වරදක් සේ පෙන්වා දී නැත. බුදුරජාණන් වහන්සේගේ මුද්‍රා අතර ධර්මචක්‍ර මුද්‍රාව ධර්ම දේශනාවක් පවත්වන විට දී සිදුකළ අංග චලනයක් සේ සැලකිය හැකිය. සමහර විට සිවුරු ගැබින් අත එළියටගෙන කරුණු පැහැදිලි කළ අවස්ථා ද ත්‍රිපිටකයෙහි විරලව නමුත් දක්නට ලැබේ.

කථිකයකුට, ධර්ම දේශකයාණන් වහන්සේ නමකට ශ්‍රාවක පිරිස දෙස නොබලා කථාවක්, දේශනාවක් කිරීම අසීරු කරුණෙකි. වටාපතක් භාවිත කළත් ශ්‍රාවකයන් පෙනෙන සේ එය තබා ගැනීමට ද පිළිවන. කෙසේ නමුත් මුඛාවරණයක් වශයෙන් වටාපතක් පාවිච්චි කිරීම භික්ෂූන්ගේ සංවරශීලි භාවය වැඩි දියුණු වීමට උපකාරවත් වී ඇති බව පැහැදිලිව දක්නට ඇත.

වටාපත පිළිබඳ බුද්ධ ප්‍රඥප්තියෙන් පසු භික්‍ෂූන් චාරිකාවෙහි වඩින විට ද වටාපත රැගෙන ගිය බව ත්‍රිපිටකාගත කථා පුවත් වලින් පෙනෙන කරුණකි. බුද්ධ කාලයේ වර්තමානයෙහි මෙන් බණට ආරාධනා කොට වඩම්මාගෙන යන සිරිතක් නො තිබිණි. චාරිකාවෙහි වඩින විට එක් කෙනකුට දෙන්නකුට හෝ කීප දෙනකුට හෝ පිරිසකට හෝ ධර්මදේශනා කිරීමට සිදුවෙයි. එකල බණ ඇසුවන් ද බෞද්ධයෝ ම නො වෙති. බණ අසා පැහැදී බෞද්ධයන් බවට පත්වෙති.මේ නිසා ඕනෑම අවස්ථාවක දී ධර්ම දේශනාවක් කිරීමට වටාපතක් ගෙන යා යුතුය.

කොසඹෑනුවර එක්තරා දායක මහතෙක් තිස්ස නම් තෙරනමක් වස් වසවාගෙන වැසි හාර මාසයෙහි සිවුපසයෙන් සංග්‍රහ කළේය. වස් අවසානයෙහි උන්වහන්සේ මහා පවාරණයෙන් පවාරණය කොට වඩින්නට සූදානම් වු විට දායක මහතා සිවුරක් හා අවශේෂ පුද පරිෂ්කාර ද පුජා කළේය. උන් වහනසේ සිවුර පිළිගත්තත් අනෙක් පරිෂ්කාර නොපිළිගත්හ. උපාසක තැන ඒ පිරිකර නො පිළිගන්නේ කුමක් නිසා දැයි විමසු විට අතවැස්සෙක් නැති නිසා යැයි කීහ. දායක මහතා තමාගේ හත් හැවිරිදි දරුවා උන් වහන්සේට භාර දුණි. එම දරුවා පැවිදි කිරීමට හිස බාද්දීම රහත් භාවයට පත්විය. එහෙත් සාමණේර නම රහත් වී යැයි ගුරු හිමිදැන සිටියේ නැත. තිස්ස තෙර තම ගෝලයාත් සමග බුදුරදුන් දකිනු පිණිස එන අතරමඟ දී එක්තරා විහාරයක රාත්‍රියට නැවතුණි, තිස්ස හිමියන් සැතපෙන ගෙහි ම සාමණේර නමට ද සැතපෙන්නට සිදුවිය.

සාමණේර නම ඇදුරු හිමියන්ට “ සහසෙය්‍යාපත්තිය “ සිදුවේ යැයි සිතා නො නිදාම ඇඳ ළඟ පලක් බැඳගෙන භාවනානුයෝගීව සිටියේය. තිස්ස හිමි ද අරුණට පළමු අවදිව ගෝල නම ගෙයින් පිටත් කරන්නට අවදි කරන්න සිතා තල් අතු මිටෙන් තට්ටු කළේය. තල් අතු මිට වැදුණේ සාමණේර නමගේ ඇසෙහිය.

ඇස තුවාල විය. පසුව තිස්ස තෙර ඒ බව දැන බෙහෙවින් කනගාටුවට පත්ව සාමණේර නමගෙන් සමාව ද අයැද සිටියහ. බුදුරදුන් වෙත පැමිණ වන්දනා මාන කොට හෙරණුගේ ගුණ ප්‍රකාශ කළේය. බුදුරජාණන් වහන්සේ සාමණේර නම රහත් නමක් බව අඟවා “ සන්තං තස්ස මනං හෝති “ යන ගාථාවෙන් දම් දෙසු සේක. මෙම කතා පුවතින් ද පැහැදිලි වන්නේ ගමන් බිමන් යන අවස්ථාවල දී පවා වටාපත රැගෙන ගිය බවයි. දෙව්දත් තෙර ද සංඝභේද කොට කැඳවාගෙන ගිය නවක භික්ෂූන්ට දම් දෙසද් දී වටාපතක් හෙවත් විජිනි පතක් භාවිත කළ බව ජාතක පොතෙහි ‍ෙමසේ සඳහන් වෙයි. “සාරිපුත්‍ර ස්ථවිරයෙනි, මගේ වසට රිදෙයි. තෙපි බණ කියන්නේ යහපතැ “ යි විජිනිපත්‍රය අතට දී වැදහොත්තාහ”.

මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩම කොට දෙවියන්ගෙන් දෙවඟනන්ගෙන් දෙව්ලොව ඉපදීමට කළ පින්කම් අසා කියාගෙන මිනිස්ලොව පැමිණ එම දෙවියන් දෙවඟනන් සෘද්ධිබලයෙන් පෙනෙන සේ සලසා ඔවුන් කළ පින්කම් ගැන කියා පිනෙහි ආනිශංස ප්‍රකාශ කළහ.

එසේම අපායෙහි තතු විස්තර කරන විට අපාය පෙනෙන්නට සලසා පවෙහි ආදීනව දේශනා කළහ. මේ ප්‍රාතිහාර්යය තරංගල වාසි ධම්මදින්න ස්ථවිරයන් වහන්සේ ද කළ බව විශුද්ධිමාර්ගයෙහි සඳහන් වේ. උන් වහන්සේ තිස්සමහාරාම චෛත්‍යස්ථානයෙහි හිඳ අපණ්ණක සූත්‍රයෙන් දම් දෙසන විට වටාපත පොළව දෙසට දිගුකොට අවීචිය තෙක් අපායයන් ශ්‍රාවකයන්ට පෙනෙන්නට සැලැස්සූහ. වටාපත අහස දෙසට දිගු කළ විට සදිව්‍ය ලෝක සහ බ්‍රහ්මලෝක පෙනෙන්නට විය. මෙයින් ලක්දිව අනුරාධපුර යුගයෙහි පවා දම් දෙසන විට වටාපත භාවිත කොට ඇති බවත් වටාපතින් ඍද්ධි ප්‍රාතිහාර්යයන් ද දක්වා ඇති බවත් පැහැදිලි වේ.

නුවර යුගයේ ශාසන පරිහානිය සිදුවී ඇති කාල පරිච්ඡේදයේ ද භික්ෂූන් වටාපත පරිහරණය කළ බව “මෙකල භික්ෂූන් වහන්සේ හිස රැවුල් බා වටාපතක් අතේ ඇතුව, ඒකාංශ කොට පොරවා ඒ මත පටියක් බැඳ හැසිරෙති “ යි රොබොට් නොක්ස් මහතා “ එදා හෙළදිව “ ග්‍රන්ථයෙහි සඳහන් කොට ඇත. වර්තමානයෙහි දී ඇතැම් භික්ෂූන් වහන්සේ ගමන් බිමන් වඩින විට වටාපොත නො ගෙන යතත් පිරිත් දේශනයේ දී ධර්ම දේශනයේදී පංශුකූලයේ දී අත්‍යවශ්‍ය උපකරණයක් සේ පරිහරණය කෙරෙති. අපේ ගැමි සමාජයේද වටාපත පිළිබඳ කතා කවි ලියැවී ඇත. “වටාපතක් සේ රැවුල ලැබෙන්ඩයි “ ආදි කවි එයට නිදසුන් වශයෙන් ඉදිරිපත් කළ හැකිය. යම් කිසි කෙනෙක් කලබලයෙන් වහ වහා කථා කරනවා නම් “ ඒ මනුස්සයගෙ කථාව තල් අත්තට බොරලු ගසන්නා වාගෙයි “ යනුවෙන් උපමා ද තල් අත්ත සම්බන්ධ ව සමාජයෙහි පවතී. වටාපත් පූජා කිරීමෙහි ආනිශංස අටක් ලැබෙන බව ධර්මයෙහි දක්වා ඇත.

තථාගතයන් වහන්සේට ශෝභන වූ පවන් අතු ද තල්වැට ද පුදා කර්මානුරූපව ආනිශංස අටක් ලැබුවෙමි. එනම්

1. සීත හා උණුසුම නො දැනීම
2. දාහයක් ඇති නොවීම
3. සිත තවන්නා වූ දාහයක් නැතිවීම
4. රාගාග්නිය නැතිවීම
5. ද්වේෂාග්නිය නැතිවීම
6. මෝහාග්නිය නැතිවීම
7. මානාග්නිය නැතිවීම
8. දෘෂ්ටාග්නිය නැතිවීම

වර්තමානයෙහි භික්ෂූන් වහන්සේ වෛවාරන්න තල්අතු හෙවත් වටාපත් පාවිච්චි කරනු පෙනේ. පාට පාට කුඩ භික්ෂූන්ට අකැප නම් විනය නීතියක් පණවා නැතත් මහාපදේශ අනුව විනයෙහිලා සලකා බලන කල විච්චූරණ තල්අතු භාවිතය අකැප බවක් පෙනේ. ඒ පිළිබඳ විමසීමට ධර්ම විනයධර මහතෙරුන් වහන්සේට භාර කරමි. නිෂ්පාදකයෝ කෙලෙස නිෂ්පාදනය කළත් ධර්ම විනයානුකූල නොවේ නම් එය ප්‍රතික්ෂේප කළ යුතුව ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.