Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
ලංකා ශාසනික ඉතිහාසයේ සටහන් වන සුවිශේෂ ප්‍රකාශනයකි මේ. මම තෙරුවන් සරණ ගියෙමි බුද්ධ ශාසනයෙහි උපාසක බවට පැමිණියෙමි. නරෝත්තමයාණෙනි, ඔබද සිත් පහදවන ඒ තෙරුවන් සරණ යන්න.
මේ පණිවිඩය කවුරුන් විසින් කවුරුන් වෙත එවන ලද්දක්ද?

පිළිතුර
ධර්මාශෝක මහරජතුමන් විසින් මසකට පමණ කලින් දේවානම්පියතිස්ස ලක්රජු වෙත එවන ලද මෙම දහම් පණිවිඩය මිහිදු මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිසේ කාර්ය භාරය පිළිබඳ කළ පෙරවදනක් සේ සැලකිය හැකිය.

ප්‍රශ්නය
හැකිතාක් කාලයක් සතුටින් ජීවත්වීම සෑම මිනිසෙකුගේ අපේක්‍ෂාව බව බුදුන් වහන්සේ දේශනා කළහ. පැහැදිලි කරන්න.

පිළිතුර
බුදුන් වහන්සේ මිනිසා සෑම විටම අපේක්‍ෂා භංගත්වයට (බලාපොරොත්තු කඩවීමට) හේතු දෙකක් මූලික වන බව පෙන්වා දෙයි.

“ද්වෙමා භික්ඛවෙ ආසා - දුප්පජහා

කතමෙ ද්වෙ - ලාභාසාච – ජීවිතාසාච” ලාභාපේක්‍ෂාව සහ ජීවිතාපේක්‍ෂව නිසා නිරතුරුව අසතුටින් ජීවත්වීමට හේතු වන බව බුදු දහමෙහි සඳහන් වෙයි.


කැලණි රාජමහා විහාරස්ථානය

ප්‍රශ්නය
පියකුගේ හද තුළ ඇති දරු සෙනෙහසේ මහිමය ඔහු තේරුම් ගත්තේ තමාද පියෙකු වූ පසුවයි. මෙම කියමනට පාදක වූ පියා සහ පුතුගේ නම කුමක්ද?

පිළිතුර
පියතුමා මගධාධිපති සේනිය බිම්බිසාර රජතුමාය. අජාසත් කුමරා පුත්‍රයා විය.

ප්‍රශ්නය
“සමගිය බලය වේ. එය ශිෂ්ට සම්මත සමාජයක මූලික ගුණයකි. බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවක සමගිය අවධාරිත පෙළ දහමෙහි සඳහන් අවස්ථාවක් සඳහන් කරන්න.

පිළිතුර
“සමග්ගා සම්මෝදමානා අවිවාදමානා බීරොදකී භූතා අඤ්ඤ මඤ්ඤං පිය චක්ඛුහි සම්පස්සන්තා විහරථ” සමගිව සතුටුව විවාද නොකරමින් කිරි හා ජලය සේ එකතුවී ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නෙමු” (විනය මහා වග්ග) තවත් අවස්ථාවක ගෞතම බුදුන් වහන්සේ හා සංවාදයකදී – නන්දීය – අනුරුද්ධ- කිම්බිල තෙරුන් වහන්සේලා” ස්වාමීනී! අපගේ ශරීරයෝ නම් වෙන්ව පවතී. එහෙත් අපගේ සිත නම් එකක් මය සිතින් අප වෙන්ව නැත.

ප්‍රශ්නය
බුදු දහම තුළින් බෞද්ධයාට හිමිවන එකම චින්තනය විශ්වය එකම ජීවී ලෝකයක් ලෙස සැලකීමයි. මෙය බණ පදයකි. පෙල දහමින් නිදසුන් මගින් පැහැදිලි කරන්න.

පිළිතුර
සූත්ත නිපාතයේ කරණීය මෙත්ත සූත්‍රයේ “සුඛිනොවා ඛේමිනො හොන්තු යන සිව්වැනි ගාථාවේ සිට දිගටම ඉදිරිපත් කරනුයේ විශ්වය පිළිබඳ ආකල්පයයි. සත්ව ලෝකය ඔවුනොවුන්ගේ ශරීර ප්‍රමාණ වශයෙන්වත් සිටිනා තැන් වශයෙන් වත් කොටස් වලට නොබෙදා ‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යනුවෙන් පොදුවේ සැමට සෙත ශාන්තිය පැතීම බෞද්ධ චින්තනයයි. මෙවන් ධර්ම පර්යායක් තුළ තම පණ පරපණ වශයෙන් හෝ සත්ව මිනිස් වශයෙන් හෝ භේදයක් බෞද්ධයන් අතර බිහිවූයේ කෙසේද යන්න ගැටලුවකි.

ප්‍රශ්නය
“ධම්ම උපෝසථඨ” යනුවෙන් බුදු දහමෙහි සඳහන් වන්නේ කුමක්ද?

පිළිතුර
ධර්මයෙහි ස්වාක්ඛාතාදී සය වැදෑරුම් ගුණ සිහි කරමින් සමාදන්ව ආරක්‍ෂාකරන උපෝෂථ කර්මයයි. තථාගතයන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද බැවින් ස්වාක්ඛාතය තමා විසින් දැක්ක යුතු බැවින් සන්දිඨිකය. කල් නොයවා විපාක දෙන බැවින් අකාලිකය. එව බලව! යන විධානයට සුදුසු බැවින් එහි පස්සිකය, තමා තුළ සිහි එලවා සිත්හි තබාගත යුතු බැවින් ඔපනයිකය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි වෙන වෙනම සිහි එලවා පිළිපැදිය යුතු බැවින් පච්චත්තං වේදිතබේබා විඤ්ඤූහීති යනුවෙන් ආර්ශ්‍රාවක තෙමේ ධර්මයෙහි ගුණ සිහි කරන විට සිත කෙළසුන්ගෙන් පිරිසුදු වී සිතෙහි පැහැදීම ප්‍රමෝදය ඇතිවෙයි. ඇඟ අතුල්ලන ගල නිසාත්, ඇඟෙහි ගාන ‘වත්සුණු’ නිසාත්, ජලය නිසාත් උත්සාහය නිසාත් අපවිත්‍ර වූ කිලිටි වූ ශරීරය උපක්‍රමයෙන් පිරිසුදු බවට පත්වන්නාසේ කෙලෙසුන්ගෙන් අපිරිසුදු වූ සිත ධර්මයෙහි ගුණ මෙනෙහි කරනවිට පිරිසුදු බවට පත්වෙයි. ධර්මය සමග නිරතුරුව විසීමත් දහම් සිත්හි පහන්බවට පත්වීමත් නිසා එය ධම්ම උපොෂථය යැයි සඳහන් වෙයි.

ප්‍රශ්නය සිඟාලෝවාද සූත්‍රාගත තොරතුරු වලට අනුව සේව්‍ය සේවක අන්තර් සබඳතාවය පිළිබඳ බුදු දහම අවධාරණය කරන ක්‍රමවේදය පැහැදිලි කරන්න.

පිළිතුර
1. යථාබලං කම්මන්ත සංවිධානෙන. මෙය ශරීර ශක්තිය පමණක් නොව උගත්කම පුහුණුව පළපුරුද්ධ චරිත ශක්තිය අවංකකම වගකිම් දැරීම් හැකියාව ආදී මානසික ආධ්‍යාත්මික පෞරුෂය සලකා බැලීම.
2. භත්ත වෙතනානුප්පදානෙන - මෙහි බත් හෙවත් ආහාරපානත් වැටුප් හෙවත් ශ්‍රමයට ගෙවීමත් ඇතුලත් වේ.
3. ගිලානුපට්ඨානෙන - සේවක සෞඛ්‍ය ප්‍ර‍්‍රශ්නය විසඳාලිය යුතුය.
4. අච්ඡරියානං රසානං සංවිභාගෙන මිහිරි රස බොජුන් තනිව නොවළහා සේවකයාටත් බෙදා දී වැළඳීමයි.
5. සමයෙ වොස්සග්ගෙන - සුදුසු කල සේවකයාට නිවාඩු විවේක හා විශ්‍රාම දීම යුතුකම වේ.

මේ ආකාරයට සේවකයා ගැන සේවකයා විසින් තම යුතුකම් කොටස හරිහැටි ඉටුකර සේවය ලබා ගැනීම බෞද්ධ ඉගැන්වීමයි.

ප්‍රශ්නය
අනුරාධපුර යුගයට අයත් සෙල චෛත්‍යය පිහිටියේ කොහිද එහි නිදන් කොට ඇති සව¢ඥ ධාතූන් වහන්සේ මොනවාද?

පිළිතුර
අනුරාධපුර මිහින්තලයෙහි ගල්තලාවක සේල චෛත්‍යය පිහිටා ඇත. ගල්තලාවක පිහිටි නිසා ශෛල යන්න සේල යනුවෙන් ව්‍යවහාරයට යන්නට ඇත. බුදු රජාණනන් වහන්සේ ගේ “ඌර්ණ” රෝම ධාතුව නිධන් කොට මහාදාඨික මහානාග රජතුමා විසින් “ගිරිභණ්ඩ”” නම් උදාර පූජාවක් කළබව සඳහන් වෙයි.

ප්‍රශ්නය
ලෝකයේ උසම චෛත්‍යය වන මෙය උසින් අඩි 400 වනසේ ඉදි කොට ඇත. බුද්ධ වර්ෂ නවවන සියවසෙහි මෙම චෛත්‍ය මහසෙන් මහරජතුමා විසින් කරවන ලදී. මෙහි නම කුමක්ද? පිහිටියේ කුමන ස්ථානයකද?

පිළිතුර:
අනුරාධපුර ජේතවන ස්ථූපය.

ප්‍රශ්නය
සමකාලීන අන්‍ය නිකායිකයන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ අදහස් හා මතවාද ඛණ්ඩනය කරමින් අශෝක මෞර්ය යුගයෙහි දී තුන්වන ධර්ම සංගායනාවෙහිදී ග්‍රන්ථයක් සැකැසිණ. මෙම ග්‍රන්ථය කුමක්ද කතුවරයා කවුරුන්ද?

පිළිතුර
කථා වත්ථුප්ප කරණය කතුවරයාණෝ මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේය.

ප්‍රශ්නය:
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශ්‍රාවක තනතුරු අතරින් ලැබූ තනතුර කුමක්ද?

පිළිතුර
ධූතාංග ධාරීන් අතරින් අග තනතුර ලැබූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශාසන වංශ කතාවේ තුන්වන ශ්‍රාවකයාණන් වහන්සේ වන සේක.

ප්‍රශ්නය:
ස්ථූප ආකෘති අතරෙන් ධාන්‍යාකාර සහ බුබ්බුලාකාර ආකෘති අනුව නිර්මාණය කළ ස්ථූප මොනවාද?

පිළිතුර
ධාන්‍යාකාර ආකෘතිය කැලණි රාජමහා විහාරස්ථානයෙහි දක්නට ලැබෙන අතර අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යරාජයන් වහන්සේ “බුබ්බුලාකාර” ආකෘතියෙන් නිමවා ඇත.

ප්‍රශ්නය:
අනුරාධපුර ශාසනික ඉතිහාසයෙහි ආරම්භක අවස්ථාවෙහිදී නිතර භාවිත සුමන හා භණ්ඩුක යන නාමයන් පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර
මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මදූත කණ්ඩායමේ සාමණේර නමක් වශයෙන් වංශකථාවල සඳහන්වන සුමන හිමියන් සංඝමිත්තා අරහත් මෙහෙණින් වහන්සේගේ ගිහිකල විවාහයෙන් උපන් පුත්‍රයා විය. ගිහි උපාසක වන භණ්ඩුක වේදිස දේවියගේ (මිහිඳු මාහිමි මව) නැගණියගේ පුත්‍රයා විය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.