Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘අනුන් ගැන නො සොයමු’

ජීවිත අවබෝධය ලද තැනැත්තා කිසිවිටකත් අනුන්ගේම ගුණ දොස් සොයමින් ලතවන්නේ නැත. විවේචනය කරමින් කාලය විනාශ කරන්නේ නැත. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ නැත. ජීවිත අවබෝධය ලත් උතුමන් සිතන්නේ උපේක්‍ෂා සහගතව යි. එබඳු උතුමෝ මෙලොව ජය ලබති. පරලොව ශාන්තිය ද උදා කර ගනිති.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“න පරේසං විලෝමානි
න පරේසං කතා කතං
අත්තනොව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානි ච “

අනුන් කළ නොකළ දේ ගැන නොසොයමු. තමා කළ යුතු නොකළයුතු දේ ගැනම සොයමු. ඒ ඉහත ගාථාවේ සරල අදහසයි. බෞද්ධයාගේ ජීවන ගමන වඩාත් අර්ථවත් කරන මාර්ග උපදේශක ග්‍රන්ථය ධම්ම පදයයි. ඉහත සඳහන් වන්නේ ධම්මපදයේ පුෂ්ප වර්ගයට අයත් හත්වන ගාථාව හා එහි සිංහල තේරුමයි.

කාරුණික පින්වත්නි ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතය තුළ ඉතා උසස් ගුණධර්ම දැක ගත හැකිය. එසේම එහි අනෙක් පැත්ත වු මිනිස්කමට නොගැලපෙන ඉතා නපුරු පහත් ගතිලක්‍ෂණ ඇතැම් චරිත වලින් දැකගත හැකිය. බෞද්ධ නොවන කෙනෙකු වුවද ඔහු මිනිසෙක් නම් මිනිස්කමට ඒවා නොගැලපෙන බව සිහියේ තබාගෙන ක්‍රියා කිරීම ඉතා අගනේය.

දෙමව්පියන් දරුවන් ගැන සොයති. ඔවුන් කළ නොකළ දේ ගැන නිරතුරු අවබෝධයෙන් හා අවධානයෙන් පසුවෙති. ගුරුවරු තම සිසුන් කෙරෙහි දක්වන ආකල්පයද එසේමය. රෝහල්හි වෛද්‍යවරු හෙද හෙදියන් තමා යටතේ ප්‍රතිකාර ලබන රෝගීන් කෙරේ දක්වන්නේ නොමඳ සැලකිල්ලකි. එය එසේ විය යුතුය. එසේ නොවීම වරදකි. එසේ සොයන අයගේ සිතිවිලි අතිවිශිෂ්ටය. ඒ හැම කෙනෙකුගේම අපේක්‍ෂාව අති උදාරය. එනම් තම රැකවරණ ලබන්නන්ට යහපතම සලසාලීමයි. ළමයි බුදුදහමට අනුව ඔවුන්ගේ චේතනාව අතිශයින් පිරිසුදුය, පිවිතුරුය.

“චේතනාහං භික්ඛ වේ කම්මං වදාමි “ බුදු හාමුදුරුවන් දේශනා කළේ මහණෙනි! මම චේතනාවම කර්මය යැයි කියමි යනුවෙනි.

බුදුවදනට අනුව ඉහත සඳහන් කරන ලද නිදසුන් කිහිපයෙහිම එනම් දෙමාපියන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් සියල්ලෝම අනුන් ගැන විශේෂ අවධානය යොමු කළේ පිවිතුරු හදින්මය. අන් අයට යහපතක් සිදු කිරීමේ මෛත්‍රී සහගත හා කරුණාබර බවින්මය. එබඳු චේතනා පෙරදැරිව අනුන් ගැන සෙවීම වරදක් නොවේ. අනුන් කෙරේ සෙවිය යුත්තේම එබඳු පිවිතුරු චේතනාවෙන්මය.

එය උතුම් මනුස්සකමට කරන ගෞරවයකි. මිනිසත් බව ලැබූවෙක් විසින් කළ යුතු යුතුකමකි. මේ උදාර සාරධර්මයන් අපට උරුම වූයේ අන් කවර තැනකින්වත් නොව බුදුසිරිතෙන්මය. අපමණ කලක් අපමණ සසර ගමනක යෙදුණු අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධ කාරක ධර්මයෝ සම්පූර්ණ කොට එදා වෙසක් පුර පසළොස්වක් පොහෝ දා සියලු සසර දුක් නිමාකොට සදාකාලික සැපත වූ සම්මා සම්බුද්ධ ඥානය පසක් කොට ගත් සේක.

එවක් පටන් උන්වහන්සේගේ මුළු දිවියම කැපකළේ සසර දුක් විඳින ලෝ දනන් සුවපත් කිරීමටයි. තමා සසර ජයගෙන ආත්මාර්ථකාමි දිවියක් සඳහා උන්වහන්සේ නොඑළඹුන සේක. හුදෙකලාව වන ගත දිවියකට පා එසවූයේ නැත.

මහා කරුණාව හා මහා මෛත්‍රියම එයට පාදක විය.

මම මිදුණෙමි - මම එතෙර වුණෙමි
අනුන් ද මුදවන්නෙමි – අනුන් ද සසර කතරින් එතෙර කරවන්නෙමි

යන පිවිතුරු චේතනාවම පෙරදැරි කර ගනිමින් අනුන් කෙරේම පූර්ණ අවධානය යොමු කළ සේක. උන් වහන්සේගේ චේතනාව අතිශය පාරිශුද්ධය අපේක්‍ෂාව අතිඋදාරය. ඒ අන් අයට යහපතම සැලසීමයි.

එම උදාර අරමුණු ඉටු කරනු වස් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ක්‍රමවේදයන් දෙකක් අනුගමනය කළ සේක.

1. තුරිත චාරිකා ක්‍රමයයි. සසර බොහෝ පින් කළ අයටද විපත් පැමිණේ. එබඳු අවස්ථාවලදී බුදුනැණැසට යොමු වන එබඳු අයට පිහිටන්නට උන්වහන්සේ ඉදිරිපත් වන සේක. අදිටන් බලෙන් වහා එබඳු තැනට වැඩමවා ඔවුන් මුදවා ගැනීම බුදුසිරිතයි. ඔහු දුකින් මිදෙන්නේ බුදුරදුන් අනුන් ගැන සෙවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එහි අවසානය දුකට පත් පුද්ගලයා සදාකාලික සැප ඇති අති උතුම් නිවනින් සැනසීමයි.

2. අතුරිත චාරිකාවයි :- මහ සඟරුවන පිරිවරා ගෙන පිණ්ඩපාතයද ලබා ගනිමින් දහම් දෙසමින් පා ගමනින් ගෙයින් ගෙට මගින් මග ගෙවමින් ගමන් කිරීමත් මින් අදහස් කෙරේ. උන් වහන්සේ මේ ක්‍රම දෙකින්ම වැඩ මවමින් සිදුකළෙ අනුන් ගැන සෙවීමයි. අවශ්‍ය ලෙස ඒ අයට පිහිට වීමයි. උන් වහන්සේගේ මෙම උදාර පිළිවෙත නිසා ජනයා මෙලොවත් සැනසුනහ. පරලොවත් සැනසුනහ.

වාසනාවන්ත පින්වත්නි, (අනුන් ගැන සෙවීම කොපමණ අගනේදැයි ඔබට සිතෙන්නට පිළිවන. ඔව් ඇත්තයි. එය එසේමය . එහෙත් ඔබ තරයේම සිහියේ තබාගත යුතු කරුණ නම පිරිසුදු පිවිතුරු චේතනාවෙන්ම අනුන් ගැන සෙවිය යුතුය යන්නයි.

නිතර දෙවේලේ බණ අහන, පන්සල් ගොස් විවිධ කුසලයන්හි නිරතවන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන විවිධ ජනමාධ්‍යයන්ගෙන් අපමණ දහම් සංවාද සාකච්ඡා , දේශනා ශ්‍රවණය කරන ඔබ අනුන් ගැන සොයන්නේත් මෙතෙක් කල සෙව්වේත් ඉහත සඳහන් කරන ලද උදාර පිරිසුදු චේතනා පෙරදැරි කරගෙන දැයි මොහොතක් ආපසු හැරී අවධානයෙන් ස්වයං විවේචනයක යෙදෙන්න. එසේ නම් ඔබට දැනෙන මානසික සුවය අධ්‍යාත්මික වින්දනය ඉතා ප්‍රබල වන්නේය.

එහෙත් පින්වත්නි! ඇතැම් දෙනා අනුන් ගැන සොයන්නේ එකී පිරිසුදු චේතනාවෙන් නොවීම මහත් කණගාටුවට හේතු නොවන්නේදැයි හිතා බලන්න. බොහෝ දෙනා අනුන් ගැන සොයන්නේ හදෙහි වු කාරුණික හෝ මෛතී සහගත බව නිසා නොවේ.අන් අයගේ ජීවිත ගමනට බාධා පැමිණ වීමටයි.

කාරුණික පින්වත ඔබ මේ ගැනත් සිතන්න කිසිම කෙනෙකුගේ ජීවිතය සරල රේඛාවකට උපමා කළ නොහැක. ලොව කිසිවකුටත් තමා ජීවත් වන මුළු කාලයම සියල්ලන්ගෙන් සපිරි දිවියක් ගත කළ නොහැක. කුමන හෝ ගැටලු බාධක කලින් කලට පුද්ගලයා පසුපස හඹා එන්නේ කිසිම ලෙසකින් බලාපොරොත්තු නොවු ලෙසයි. එය වැලකිය නොහැක. අපි හැමෝම එබදු ජිවන තත්ත්වයන්ට මුහුණදීමට ශක්තිය ඇති කර ගත යුතු වෙමු.

මෙලෙස ජීවිත අවබෝධය ලද තැනැත්තා කිසිවිටකත් අනුන්ගේම ගුණ දොස් සොයමින් ලතවන්නේ නැත. විවේචනය කරමින් කාලය විනාශ කරන්නේ නැත. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ නැත. ජීවිත අවබෝධය ලත් උතුමන් සිතන්නේ උපේක්‍ෂා සහගතව යි. එබඳු උතුමෝ මෙලොව ජය ලබති. පරලොව ශාන්තියද උදා කර ගනිති.

කාරුණික පින්වත්නි මෙම දහම් අවවාදය සිතට ගෙන ඔබේ දිවිමඟ සම්බුදු දහමින් පෝෂණය ලබා අර්ථවත් කරගන්නටත් පරාර්ථකාමි දිවිපෙවෙතක් ගොඩනගාගන්නටත් උපයෝගි කරගන්න යැයි කාරුණිකව දන්වමි. ඔබට සියලු සසර දුක් නිමා කර ලබන පරම ශාන්ත වූ නිවන් අවබෝධයම වේවා.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.