Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රේෂ්ඨත්වයට මාවත

මිනිසා ලෞකික ලෝකෝත්තර ශ්‍රේෂ්ඨ බවක් අපේක්‍ෂිතද ඔහු ගමන් කළ යුතු පංච ශීල ප්‍රතිපදාවක පිහිටා ආර්ය මාර්ගයෙන් මෙහා ගණිත, විද්‍යා, භාෂා, සෞඛ්‍ය දර්ශන, සමාජ විද්‍යා, දේශපාලන, අධ්‍යාපන,කොම්පියුටර් තාක්ක්‍ෂණ,ගෝලීයකරණ උන්මාද හඹා ගියද ආධ්‍යාත්මික විමුක්තියක් කරා, බෞද්ධ චින්තනයෙනුත් බෞද්ධ සංස්කෘතියෙනුත් , හැඩ වැඩ කොට මිනිසා යොමු නොකරන තෙක් සමාජ අර්බුද ගැටලු උග්‍රවීම නොවැළක්විය හැකි ය.

අන් සතුනට වඩා දියුණු මනසක් ඇති මිනිසා මිහිමඬලේ අධිපති බව තමන් සතුය යන විනිශ්චය ඇති ව යම් අභිමාන පරවශ බවකින් පෙළෙන බව පෙනෙයි. තමන්ගේ අයිතීන් උදෙසා සටන් වදින, අනුන් වෙත ද තමන්ගේ ආධිපත්‍යය පතුරුවන මිනිසා ම දෙවියන්ගේ අධිකාරිත්වය පිළිගැනීමට මෙතරම් රුචි වන්නේ, නිවට වන්නේ ඇයි ද යන්න ඒ අනුව ගැටලුවකි.

වෛදික යුගයේ පටන් අද දක්වාත්, මනුෂ්‍යත්වයට වඩා දේවත්වයට ගැති මානසිකත්වයක් මිනිසා තුළ වෙයි. වෛදික මිනිසා මරණින් මතු පීතෘ ලෝකයට යාමට ඉෂ්ටා පූර්ත දානය දීමටත්, උපනිෂත් යුගයේ දේව වාදය වැඩි දියුණුව බ්‍රහ්මණ් හා එක්වීමට යාග හෝම බ්‍රහ්ම පූජා විධීන් වෙතටත්, කුලයට අනුව නිශ්චිත වෘත්තීන්හිම යෙදීමටත් නූතන ක්‍රිස්තියානි , මුස්ලිම් වැනි ආගමික යෝ සර්වබලධාරි දෙවියන් තම මෝක්‍ෂය ලබා දෙන හෙයින් දේව කැමැත්තට අනුව ජීවිතය හැසිරවීමත්, පිළිගෙන එන, ගමන් මඟකයි මිනිසාගේ මනස පවතින්නේ. ස්වාධීන චින්තනයකට නොපත් මිනිසා විශ්ව ජීවින් අතර ශ්‍රේෂ්ඨත්වයක් ගැන කතා කරන්නේ මෙවන් පටු මානසිකත්වයක සිටය. බෞද්ධ වූ බොහෝ දෙනාද දේව ඇදහිලි විශ්වාස වලින් මිදුණෝ නොවෙති.

“මාර්ගයද ජීවනය ද මා කරණකොට ගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත “ (ශු යොහාන් 14.6)
“ශුද්ධාත්මයාණන් වහන්සේ තුළින් මනුෂ්‍යාව සවර්ග රාජ්‍යයට ගෙන යන සේක “
ජේසු ජීවමානයි ජූලි කලාප - 97 පි.
කොළඹ 1996

දෙවියන්ට රහසිගතව පව්කම් කළත් ලෝක විනාශයෙන් පසු ඒ හැම අල්ලා දෙවියන් දැන ,පින් පව්, පත්‍රය සකසා කිරා බලා අපායටත්, සර්වගයටත් යන ලියවිල්ල දෙවියන්ගෙන් ලැබෙන බව මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි.

බුදු දහමේ මෝක්‍ෂය යනු නිවනයි. සියලු කෙලෙස් නැති කිරීමෙන් ඒ උතුම් තත්ත්වයට පත් විය හැකිය.

(සංයුක්ත නිකාය, 5 - 270 පිට, බු.ජයන්ති සංස්.)

“අත්තාහි අත්තනෝ නාථෝ
කෝහි නාථෝ පරෝසියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං “
( 1ධ.ප.ආත්ම වර්ගය )

“තමාට පිහිට තමාමය. වෙන කවරෙක් තමාට පිහිට වේද? මනාව තමන් දමනය කර ගැනීම හේතු කොට ගෙන ම දුර්ලභ වූ අර්හත් ඵල නමැති පිහිට ලබයි”

භාග්‍යවතුන් වහන්සේ මාර්ගය කියා දෙනවා පමණි. එය අනුගමනය කොට මෝක්‍ෂ මාර්ගය ලබා ගැනීම තමන් සතුය.

උතුම්හෙහි කිච්චං ආතප්පං
අක්ඛාතාරෝ තථාගතා
(ධ.ප.මග්ග වග්ගය)

අප මේ කරුණ දැක්වූයේ මත වාදයක් ගොඩ නැඟීමට නොව අද ලෝකයා මුහුණ පා ඇති ගැටලු අර්බුද විසදා ගැනීමට නිදහස් චින්තනය, ලෞකිකවත්, ලෝකෝත්තරවත් අවශ්‍යයි යන විනිශ්චයේ සිටයි. කිතුනු මුස්ලිම් දේව ආගම් ලෝකය ,සත්වයා ස්වර්ගය, දේව කේන්ද්‍රියව විග්‍රහ කරයි. බුදු දහම ලෝකය, දැන, දැක අවබෝධයෙන් මිදීම “විප්ප මුතත සස සබ්බධී “ සියල්ලෙන් මිදීම මිනිසා වෙතම පවරයි. පංචස්කන්ධ දුකෙන් මිදුණු තැන නිවන යි.

අප මහ බෝසතාණන් වහන්සේ මිනිසත්ව ඉපිද ලොව ශ්‍රේෂ්ඨ බවට අභීත සිංහ නාද කළේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, කාම -රූප - අරූප තුන් භවය ඉක්මවා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වන අන්තිම දේහධාරී පශ්චිම භාවික උත්පත්තිය ලැබූ අවස්ථාව නිසාය. ඉන් පෙර කොතෙකුත් මනුෂ්‍ය උපත් ලැබූවද ශ්‍රේෂ්ඨ බවට ප්‍රකාශයක් කොට නොමැත. ඒ අවිද්‍යා - තෘෂ්ණා දුරු නොකළ නිසාය.

ඡ්‍යොතිෂය , විද්‍යාව, දර්ශනය , දේශපාලනය , ගණිතය ක්‍ෂේත්‍ර තුළ සුවිශේෂ වූවෝ පහළවී මිනිසා විශ්මයට පත් කරවන නිෂ්පාදනත් , සංකල්පත් සමාජයට දායාද කොට ඇත. ඉන් සමාජ සුභ සිද්ධිය මෙන්ම අනිෂ්ට විපාකයන්ද අත් විඳින බව අප පිළිගත යුතුය. ලෞකිකත්වය තුළ ශ්‍රේෂ්ඨත්වයක් ගැන උදන් ඇනීමට මිනිසාට අද අයිතියක් නැත්තේ බොහෝ ගැටලු නිර්මාපකයාද මිනිසා වීමය.

මානවයාගේ ගැටලු වලට අර්බුද වලට පිළියම් නොවූ තැන අවිද්‍යාව වෙයි නම්, විද්‍යාව පහළ වූ තැන අර්බුද ගැටලු නොතිබිය යුතුය. දියුණු මානවයා විද්‍යා ජයග්‍රහණ ලෙස අත්පත් කරගත් දෑ සියල්ල අර්බුද විසදීමටද, තව තවත් අර්බුද වැඩිකොට ආවේගකාරී, අසහනකාරී , විසමාචාර මිනිසකු බිහිකිරීමටද, හේතු වූයේ යන කරුණ අද විද්වතුන් විමසිය යුතුය.

උසස් මානසික මට්ටමක් දියුණු කරගෙන ආ මනුෂ්‍යයාට චතුස් සත්‍යාව ;බීධය පහසුය. සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අග්‍රශ්‍රාවක, රහත් උත්තම ශ්‍රේෂ්ඨත්වයන්ට පත් වූයේ මිනිසත් බව ලැබීම නිසාම පමණක් නොව සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ තරම් සිට ඒ ඒ පදවි සඳහා පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී, අයුරින් දස පාරමි පූරණය වීමෙනි. දාන, සීලාදි සුවිශේෂ ගුණ ධර්ම වඩා සිත උසස් කර ගැනීමටත් ත්‍රිලක්‍ෂණාවබෝධයෙන් ඔබ අප පරිහරණය කරන මේ නාම රූපය විදසුන් නුවණකින් දැක සසර දුකින් මිඳීමේ වාසනා ගුණයත් මිනිස් වු අප සතු ය. අනන්ත සංසාරයේ පටන් මේ දක්වා ඔබ විඳින දුක්ඛයන්ගේ නිමාවක් දකින ජීවිතයක්, මෙය කරගත හොත්, ඔබ සැබෑ බෞද්ධයෙක් වූවා වෙයි. මිනිසත් වීමේ භාග්‍ය ලැබුවා ද වෙයි.

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං “

ඔබ සියලු බුදුවරයින් වහන්සේ ගේ මෙවන් අනුශාසනාව පිළිපදින්නෙක් ද වෙයි. මේ නොසලකා හරින ඔබ නරක ය. තිරිසන්, ප්‍රේත, පහළ උත්පත්ති ලැබ කල්ප ගණන් දුක් විඳින්නෙක්ද , වෙයි. මෙලොවද පිරිහුණේ වෙයි.

රෝග පීඩා, නියඟ, ගංවතුර, භූමි කම්පා, සුළිසුළං , කුණාටු, සුනාමි, යුද්ධය, අද ව්‍යසනයන් ගෙන් වැඩියෙන් දුක්ඛිත තත්ත්වයට පත් වන්නේ මිනිසාමය. හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම්, උනුන් ගහ මරා ගැනීම්, තාඩන පීඩන, දේපොළ විනාශ කිරීම් දුෂණ, විෂමාචාර ක්‍රියා, හඳවත් කම්පා කරන ඛේදනීය සිදුවීම්, අසන්නට දකින්නට ලැබෙන්නේත් පංච දුශ්චරිතයෙන් නොමඟ යාම නිසාය. මිනිසා ලෞකික ලෝකෝත්තර ශ්‍රේෂ්ඨ බවක් අපේක්‍ෂිතද ඔහු ගමන් කළ යුතු පංච ශීල ප්‍රතිපදාවක පිහිටා ආර්ය මාර්ගයෙන් මෙහා ගණිත, විද්‍යා, භාෂා, සෞඛ්‍ය දර්ශන, සමාජ විද්‍යා, දේශපාලන, අධ්‍යාපන,කොම්පියුටර් තාක්ක්‍ෂණ,ගෝලීයකරණ උන්මාද හඹා ගියද ආධ්‍යාත්මික විමුක්තියක් කරා, බෞද්ධ චින්තනයෙනුත් බෞද්ධ සංස්කෘතියෙනුත් , හැඩ වැඩ කොට මිනිසා යොමු නොකරන තෙක් සමාජ අර්බුද ගැටලු උග්‍රවීම නොවැළක්විය හැකි ය.

මරණින් මතු විමුක්තිය පිළිබඳ නැත්නම් “නිවන “ පිළිබඳ කිතුණු , මුස්ලිම්, සෙසු ආගමිකයින්ට විවාද පන්න වීමට කරුණු ඇති මුත් ලෞකික ජීවිතය සැපසේ සුවසේ ගත කිරීමට සදාචාර විය යුතුය. යන්න තර්කයට භාජන නොවන්නක් යැයි සිතමි. 2011 බුද්ධ ජයන්තියට පිළිවෙතින් සැරසෙන ලාංකික වු අපි පන්සිල් රැක ගුණවතුන් නැණවතුන් වෙමු. ආගම් බේදයකින් තොරව මිනිස් වූ ඔබට ලෝකයේ යමක් වෙයි නම් ඇත්ත, ඒ ඇත්ත ඇති සැටියේ දකින නුවණ සැමට පහළ වේවා යහපත් මිනිසෙක් හදන, ශ්‍රේෂ්ඨ මිනිසෙක් හදන වැඩ පිළිවෙළකට ආගම් බේදයකින් තොරවම මෙලොව දුක අකැමැති, සැප කැමැති, අය සමෝධාන විය යුතු යැයි යෝජනා කරමු.

“චිරං දිප්පතු ස_මෙමා
අස_ මමං විනාසයං “


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.