Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

එළියට - අඳුරට යන හැටි

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
‘චත්තාරො ‘ මෙ භික්ඛවෙ පුග්ගලා
සනේතා සංවිජ්ජමානා
ලෝකස්මිං කතමෙ චත්තාරො’
තමො තම පරායනො , තමො ජෝති පරායනො
ජෝති තම පරායනො, ජෝති ජෝති පරායනො

“ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සුපින්වන්ති ,

සසර සැරිසරන අපමණ සත්වයන්ගේ යථා ස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවත්නා සත්ව නානත්වය හේතු සාධක සහිතව පෙන්වා වදාළ සේක. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට චින්තනයෙන් හා ක්‍රියාවෙන් වෙනස්වන නිසා පුද්ගලාන්තර අනන්‍යතාවය සලකුණුවන නිසාම සත්ව සන්තතියේ ප්‍රගතිය රඳා පවත්නේය. නාම රූප ධර්මයන්ගේ ප්‍රධාන ක්‍රියාකාරිත්වය ඒකාකාර වුවද එයින් සකස් වෙන ජීවලෝකය හා ද්‍රව්‍යලෝකය විවිධාකාරයෙන් සංකීර්ණ වන්නේය.

විවිධ අවස්ථාවල පුද්ගලානුරූපව බුදුරජාණන් වහන්සේ විසින් පුද්ගලයන්ගේ ස්වභාවය හඳුන්වාදී අවසානයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනාකොට සගමොක් මගට යොමු කිරීම දේශනා ක්‍රමය වේ.

තමො තමපරායනො හෙවත් අඳුරෙන් අඳුරට යන පුද්ගලයා තමො ජොතිපරායනො හෙවත් අඳුරෙන් එලියට යන පුද්ගලයා, ජොති තමපරායනො හෙවත් එළියෙන් අඳුරට යන පුද්ගලයා, ජොති ජොතිපරායනො එළියෙන් එළියට යන පුද්ගලයා වශයෙන් හතර දෙනෙක් මෙම සූත්‍ර දේශනාවෙන් හඳුන්වා දී ඇත.

පින්වත්නි, ඉතා කෙටියෙන් හඳුන්වා දී විස්තරාත්මකව එම පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වයත්, එම ක්‍රියාකාරිත්වයෙන් ලබන සාධනීය ප්‍රතිඵලයක් ගෙන හැර දක්වා මානව සමාජයේ පවත්නා පොදු ප්‍රවණතාවයත් සමාජ විද්‍යාත්මකව විවරණය කර ඇත්තේ යහපත් සමාජ ධර්මතා වර්ධනය කිරීම සඳහාය.

සෑම මිනිසාම තමාගේ පුද්ගල හැඟීමෙන් තවත් කෙනෙකුට සාම්‍ය නොවන නිසා “ නානත්තකායා නානත්ත සඤ්ඤා “ යනුවෙන් දක්වා ඇති නමුත් සමාජ ධර්මතා අනුව මිනිසුන් වර්ගීකරණය කොට මානව ධර්මයන් කෙසේ ප්‍රකාශනයට පත්වන්නේ දැයි බුදුදහමෙන් විග්‍රහකොට ඇත.

ලෝකය පවත්නාතාක් සත්වයාට සොබාදහමින් පරිත්‍යාග කොට ඇති අඳුර හා ආලෝකය ජීවාත්මක ශක්තිය පවත්වා ගැනීමට එකසේ මහෝපකාරි වේ. අඳුරක් නැත්නම් ආලෝකයක්ද නැත. ආලෝකයක් නැත්නම් සදා අන්ධකාරවීමක් සොබාදහමින් නිර්මාණය වී නොමැති අතර අඳුරත්, ආලෝකයත් සංකේතාත්මකව පරිහානියත් අභිවෘද්ධියත් දක්වා ඇත්තේ පරිසරයත් ජීවයත් එයින් පෝෂණය වන බැවිනි. මේනිසා බුදුරජාණන් වහන්සේ අඳුර පිරිහීමටත් ආලෝකය අභිවෘද්ධියටත් උපමාකොට එය පුද්ගල ක්‍රියාකාරිත්වයට ආරෝපනය කළ සේක.

“තමො තමපරායන හෙවත් අඳුරෙන් අඳුරට යන පුද්ගලයා “ පින්වත්නි” මෙලොව යමෙක් භෞතික වශයෙන් දුගී දුප්පත්ව ප්‍රාණඝාතාදී අකුසල් කරමින් ආගම දහම සදාචාරයට පිටුපා පවින් පවට පත්වේ නම් ඔහු තමො තම පරායන පුද්ගලයා නම් වන්නේය. එයින් එම පුද්ගලයා දෙලොවම පිරිහෙන්නේය.

02 තමො ජොතිපරායන පුද්ගලයා

තවද පින්වත්නි යම් පුද්ගලයෙක් උපතින් නීච කුලයන්හි ඉපිද දුගී දුප්පත්ව ඉතාම දුකසේ ජීවත්ව කෙසේ හෝ සිත කය වචන සංවරව දානශීලාදී සුචරිත ධර්මයන්හි නිරතවේද එයින් එම පුද්ගලයා මරණින්මතු දෙව් මිනිස් දෙගතියෙහි ඉපිද ලෞකික සැප සම්පත් විඳිමින් තව තවත් පින්දහම් කරන්නේය. ඔහුගේ ජීවන පැවැත්ම සමාජයට ආදර්ශයක් ආලෝකයක් වන්නේය.

03. ජොති තම පරායන එලියෙන් අඳුරට යන පුද්ගලයා යමෙක් උසස් කුලයක ධනවත්ව ඉපිද ධනයෙන් බලයෙන්, ආඪ්‍යව ප්‍රාණඝාතාදී අකුසල්කොට මරණින් මතු අපායේ ඉපිද දුක්විඳින්නේද එම පුද්ගලයා එළියෙන් අඳුරට යන්නා හෙවත් ජෝති තමපරායන නම් වන්නේය.

04. ජොති ජොති පරායන පුද්ගලයාගේ ලක්‍ෂණ

පින්වත්නි ,

යමෙක් උසස් කුලයක ඉපිද ධනයෙන් බලයෙන් සම්පූර්ණව තුන්දොරින් සුචරිත ධර්මයන්හි හැසිර දානාදී දස කුසල ධර්මයන් කරමින් උසස් ධාර්මික ජීවිතයක් ගත කර මරණින් මතු දෙව් මිනිස් දෙගතියෙහි උපදින්නේද ඔහු ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා නම් වන්නේය.

බුදුරදුන් විසින් දක්වා වදාළ මෙම පුද්ගලයන් හතර දෙනාගෙන් තමො තම පරායන හා ජොති තම පරායන යන දෙදෙන නිසා පුද්ගලයන් පමණක් නොව ඔවුන් ආශි‍්‍රත ජනයාද එම ස්වභාවයට පත්වෙන බැවින් ජනවංශය නමැති සාරවත් මහා වෘක්‍ෂයේ හට ගන්නා පිළිල මෙන් එම පුද්ගලයන්ගෙන් තමන්ටත් සමාජයටත්, මෙලොවටත් පරලොවටත් අර්ථයක් නොවන්නේමය.

මිනිසා තනිව උපන්නත් ජීවත් වන්නේ පුද්ගලාන්තර සම්බන්ධයෙන් නිසා සමාජ අනුගත ජීවිතයේදී පෞද්ගලිකත්වය විවිධාංශවලින් බැහැර කළ යුතුවේ. විශේෂයෙන් සාමූහික ප්‍රයත්නයෙන් ආරක්‍ෂාවෙන ආගම දහමට ගරු කිරීම උදාර මිනිසාගේ සමාජගත ජීවිතයේ ප්‍රධාන වගකීමයි. පරලොව ජීවිතයට පෙර උපන් සමාජයේ බුද්ධිමත්ව, සුචරිතවාදීව, නිරවද්‍ය ආර්ථික ප්‍රතිපත්තියකින් පුද්ගලික ජීවිතය ගෙන යන්නේ නම් තම ජීවිතය සමාජයට ආලෝකයක් වන්නේමය.

සත්ව ලෝකයේ අඳුරෙන් ආලෝකයට යන්නට ශක්තිය ඇති එකම ජීවියා මිනිසා බව බුද්ධ ධර්මය අනුව නිගමනය කළ හැකිය. සෙසු සත්වයන් අඳුරෙන් අඳුරටම යනවා විනා එලියක් ලබා ගැනීමට තරම් බුද්ධි ප්‍රභාවයක් ඔවුනට උපතින් හෝ ආශ්‍රයෙන් හෝ නොලැබෙන්නේය. අතිදිර්ඝකාලීන පරිචිත කුසල බල මහිමයෙන් හා ප්‍රාර්ථනයෙන් ලබාගන්නා මනුකයින් මතු යක්ෂ, පේ‍්‍රත, පිශාචාදී ආත්මයක් ලබන්නට තරම් අවාසනාවන්ත පව්කාර වන්නේ නම් එම මනුෂ්‍යාත්ම භාවයෙන් අංශුමාත්‍රයකුදු අර්ථයක් නොවන්නේය.

අඳුරෙන් අඳුරට යාමටත් ආලෝකයෙන් අඳුරට යාමටත් ප්‍රධාන හේතු කීපයක් ඇත.

01. පෙර සසරදී කළ අකුසල්
02. උපන් පරිසරය
03. ආධානගාහි දෘෂ්ටිය
04. බාහිර පීඩනය

සත්වයා අගක් මුලක් සොයා ගැනීමට නොහැකි ඉපදෙන මැරෙන යළි යළිත් එතනම ගමන් කරන්නාවූ නාම රූප සංකලනයෙන් සසලවන තැනැත්තාය. ඔහුගේ සිත සතතින් යොමුවන්නේ උපන් දා සිට කෙසේ හෝ තණ්හා ජාලයේම ඇලී ගැලී යළිත් එහිම ඇලෙන්නටය. එයට විශ්වයේ ලෝකයන් සකස් වී ඇත. කුසල් යන විකල්පය කෙරෙහි යොමුවන්නේ ලොව්තුරා බුදු කෙනෙකු මනුලොව ඉපදී ඒ උතුම් දහම් දෙසන, පවතින කාලය ඉපදී යම් හේතුවකින් යොමුවෙන්නේ නම් පමණි. කෙතරම් ලෝකය භෞතික වශයෙන් දියුණුවුවද උපන් පරිසරයත් තමන් දරන මිථ්‍යාමතයේම ඇලීගැලී සිටීමත් ජීවන අඳුරට ආලෝකය ලබාගන්නට නොහැකිය. මූලික වශයෙන් මානසික මිථ්‍යා දෘෂ්ටිය ආත්ම වසා ගැනීමේ පොරෝනය කරගන්නේ නම් කුමන ක්‍රියාමාර්ගයක් ගත්තත් කිසි දිනෙක ජීවනාලෝකයක් නම් නොවන්නේය.

යම් පුද්ගලයෙක් ප්‍රථමයෙන් ප්‍රමාදවී පසුව අප්‍රමාදවී පංචශීලාදී ප්‍රතිපත්තීන්ද දාන සීල, භාවනාදී කුසල කර්මයන්හි නිරතවන්නේද පැවිද්දෙක් නම් ත්‍රිවිධ ශික්‍ෂා පුරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන්නේද වලාකුළකින් මිඳුනු පුරහඳමෙන් ලෝකය ආලෝක කරන්නේය.

බැලීම් අර්ථයෙන්ද විනාශවෙන අර්ථයෙන්ද ලෝකය නම් වූ බාහිර පරිසරයත් ඹ්ෂතයත් ලෝක යන වචනයෙන් ප්‍රකට වන අතර ඒ දෙකම දීප්තිමත් කරන්නේ බුද්ධිය, වීර්ය විවේකය ඇති තැනැත්තාය.

හැඟීම හා බුද්ධිය අතර විශාල වෙනසක් ඇත. උපන් පරිසරය අනුව සෑම සත්වයාටම තම ආත්මීය හැඟීම් ක්‍රියාත්මක කරන්නට දැනීමක් ඇත. එහෙත් හැඟීම් ජාලයෙන් මිදී සිහිබුද්ධියෙන් යථාර්ථය අවබෝධකරගත් තැනැත්තා පමණක් විදර්ශනා ප්‍රඥාලෝකය ලබන්නේය.

පුද්ගලයෙකුට තම ආලෝකය ඇති කර ගැනීමට අත්‍යාවශ්‍ය ආසන්නතම කරුණු කීපයකි.

01. ආධානග්‍රාහි සංකල්පවලින් හිත නිදහස්වීම
02. කල්‍යාණ මිත්‍ර සේවනය
03. තීරණ ප්‍රඥාව
04. ධර්ම සාකච්ඡා

ලෝකයේ පවතින ප්‍රධාන බාධකය නම් ආධානගාහි පිළිවෙත හෙවත් එක් මතයකම ඇලීගැලී වෙලී පැටලී සිටීමයි. එය අන්ධකාර පටලයකි. එයින් මිනිසාගේ මනස සංවෘත වන අතර කිසිම අරමුණක සත්‍යාසත්‍යතාවය අවබෝධ නොවන්නේය.

මානව පරපුරේ මෙතෙක් ඉපදුන තමො තම පරායන පුද්ගලයන් මෙන්ම ජොති තම පරායන පුද්ගලයන්ද කෝටි ගණන් ලෝක සමාජයට කෙතරම් ව්‍යසනයන් කරන්නට ඇත්දැයි ඉතිහාසයෙන් ප්‍රකට වන්නේය. එහෙත් තමො ජොති පරායන පුද්ගලයන් හා ජොතිජොති පරායන පුද්ගලයන්ගේ ඉපදීම අල්ප වුවද එම උතුමන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවෙන් තම තමන් මෙන්ම ලෝක ලෝකාන්තර් දක්වා ආලෝකය ව්‍යාප්ත කළ අයුරු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාගේ චරිත කතාවලින් ප්‍රත්‍යක්‍ෂ වන්නේය.

පින්වත්නි ,

මෙම ධර්ම දේශනාව කියවීමෙන් සත්‍යධර්මය පිළිපැදීමෙන් තමන්ගේ ජීවිතය ආලෝකවත් කරගන්නට අප්‍රමාදි වන්න.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.