Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙ මහල් ධර්ම ශාලා මන්දිරය ජනාධිපතිතුමා අතින් විවෘත කැරෙන ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරස්ථානය

ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරස්ථානය මහනුවර යුගයේ අගභාගයෙහි ඉදි කරන ලද පුරාණ විහාරස්ථානයකි. මෙහි තිබෙන පැරණි විහාරමන්දිරය එයට සාක්‍ෂ්‍ය කියයි. සංඝයා වහන්සේ විනයකර්ම කරන උපෝසථ ඝරයද විහාර මන්දිරය යයි. විහාරමන්දිරය වටා සීමා ගල් සිටුවා මෙම පොහොය සීමාව සම්මත කොට තිබේ. එකල පැවති සම්ප්‍රදායකි විහාර මන්දිරයක් පොහොය සීමාවක් එකම ගොඩනැඟිල්ලක පිහිටුවීම.

මෙහි තිබෙන විෂ්ණු කතරගම දේව මන්දිර දෙකද එම යුගයේ සම්ප්‍රදාය අනුව විහාර මන්දිරයේම දෙපස තනා තිබේ. නුවර සමයේ දේව ඇදහිල්ල, ප්‍රචලිතව පැවැති අතර බුදුන්ගේ ආරක්‍ෂකයන් වශයෙන් සැලකූ හෙයින් බුදුරුව දෙපස විෂ්ණු කතරගම දේව ප්‍රතිමා තැනූ බව සැලකිය හැකි ය.


විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, රාජකීය පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි

එදා සිට ක්‍රමයෙන් දියුණු වූ මේ විහාරස්ථානය පැරණි වූවත් විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වීම සිදුව ඇත්තේ මන්දගාමීවය. මෙහි තිබෙන බෝධීන් වහන්සේ ද ඉපැරණි ආනුභාව සම්පන්න මහජනයාගේ වන්දනා මානයට බෙහෙවින් පාත්‍ර වූ පූජනීය සංකේතයකි.

එහෙත් දාගැබ සහ පැරණි ධර්මශාලාව, ඝණ්ඨාස්ථම්භය යන සංකේත තුන තනා ඇත්තේ 1920 න් පසුව ය. එහි නිර්මාතෘවරයාණෝ එකල විහාරාධිපති ධූරය දැරූ බෝදර කන්දේ සරණතිස්ස මහා ස්වාමීන් වහන්සේ ය.

බෝදරකන්දේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ 1972 වසරේ අපවත් වූ පසු මෙහි ආධිපත්‍යයට පත් වූයේ උන්වහන්සේගේ පැවිදි සහෝදර දැනට විහාරාධිපති ධූරය දරන දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නා හිමිපාණෝ ය. දිවයිනේ චිරප්‍රසිද්ධ ධර්ම දේශකයාන නමක් වන උන්වහන්සේ පැරණි පෙලේ උගතෙකි.

ප්‍රාචීන පණ්ඩිත උපාධිය සහ විශ්වවිද්‍යාල ශාස්ත්‍රවේදී සාමාන්‍ය හා ගෞරව විභාග සමත් පඬිවරයෙකි. ගත්කතුවරයෙක් ද වන මුන්වහන්සේ ප්‍රකට ලේඛකයෙකි. දිගුකලක් අධ්‍යාපන සේවායෙහි යෙදී සිට විශ්‍රාම ගත් ආචාර්යවරයෙකි. සුපේශල ශික්‍ෂාකාමී හිමිනමක් වන මුන් වහන්සේ 1972 දී මෙම විහාරස්ථානයෙහි ආධිපත්‍යයට පත්ව රටේ ලෝකයේ ආගමික සාමාජික කටයුතුවල යෙදෙමින්ම විහාරස්ථානය දියුණු කිරීමෙහි නිරත වූහ. මුන්වහන්සේ විහාරස්ථානයෙහි ආධිපත්‍යය භාර ගන්නා විට සංඝයාට සුවපහසු සේ වැඩහිඳීමට තරම් සුදුසු සංඝවාසයක් නොතිබුණි. පළමු කොටම සංඝාවාසයක් තැනීමේ කාර්යය අවසන් කළ මුන් වහන්සේ පැරණි විහාර මන්දිරයෙහි පිටමාලේ බුදුසිරිත් සිතුවම් කරවා විහාර මන්දිරය අංගසම්පූර්ණ කළහ.

අනතුරුව සැදැහැවත් දානපතියකු වූ කස්තුරිආරච්චි මහතා විසින් අලංකාර බෝධි ප්‍රාකාරය තනවා එහි මළුවද මැනවින් සකසා දී තිබේ. එමෙන්ම විහාරස්ථානයේ සුරක්‍ෂිතතාව සඳහාත් අලංකාරය සඳහාත් ඉදිකොට තිබෙන සියලුම පවුරු පදනම් තැනුනේ මුන්වහන්සේගේ ද ආධාරයෙන් හා උපදෙස් පරිදි ය. නැ‍ෙගනහිර දෙසැ අලංකාර වාහල්කඩ විහාරස්ථානයේ ශ්‍රේෂ්ඨ දායිකාවක්ව සිට පරලෝ සැපත් විජේසුන්දර මැතිණිය සිහිවීම පිණිස දරුමුණුබුරන් විසින් මේ නොබෝදා තනවා පූජාකරන ලදී.

ඉහත සඳහන් පරිදි සියලුම විහාරාංගයන්ගෙන් සමන්විත සුන්දර විහාරස්ථානයක් වන මෙහි තිබුණ ධර්මශාලාව පැරණිව ගිය හෙයිනුත් දහම්පාසල ආදී ආගමික සාමාජික කටයුතු සඳහා ඉඩ කඩ මදිබව පෙනී ගිය හෙයිනුත් එය සම්පූර්ණයෙන් ඉවත් කොට දෙමහල්, සුවිසල් ධර්ම ශාලවක් තැනීමට නා හිමියන්ගේ උපදෙස් පරිදි දායක සභාව විසින් තීරණය කරන ලදී. අභිනව ධර්මශාලා මන්දිරය තැනීම ආරම්භ කරන ලද්දේ 2007 මාර්තු මස 28 දිනයෙහි ය.

විහාරස්ථ දායක පිරිසගේ හා බාහිර සැදැහැවතුන්ගේ නොමසුරු ආධාරයෙන් දෙවසක් තුළ ධර්මශාලා මන්දිරය තනා නිම කර ගැනීමට හැකි වූ අතර මේ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ හා දිනේශ් ගුණවර්ධන ඇමතිතුමාගේ අනුග්‍රහයෙන් පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශයෙන් ලබා දුන් රු. ලක්‍ෂ තිහක පමණ ආධාර මුදල ද අතිශයෙන් උපයෝගී විය. මෙම අභිනව තනවන ලද දෙමහල් ධර්මශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යමහෝත්සවය මෙම මැයි මස 13 වන දින සිට 19 දා තෙක් සිදුකිරීමට නා හිමියන් ප්‍රධාන දායක සභාව කටයුතු සම්පාදනය කොට ඇත.

ඒ අනුව 13 වන දින පස්වරු 4.00 ට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් ධර්මශාලාව විවෘත කරනු ලබන අතර දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ද මේ අවස්ථාවට සහභාගි වේ. අනතුරුව බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කෝට්ටේ පාර්ශ්වයේ අනුනාහිමිපාණන් විසින් මුලසුන දරන අතිගරු ජනාධිපතිතුමා ද සහභාගි වන ගිහි පැවිදි උත්සව සභාව පැවැත්වේ.

පසුදින හෙවත් මැයි 14 වන දින කොළඹ හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝනායක, කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති, විද්‍යාලංකාර මහා පරිවේනාධිපති ආචාර්ය වැලිමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් විසින් රාත්‍රී 8.00 ට අභිනව ධර්ම ශාලාවේ අභිනව ධර්මාසනයේ වැඩ සිට පවත්වනු ලබන ප්‍රථම ධර්ම දේශනාවයි. පසුදින හෙවත් 15 දින රාත්‍රී 09.00 ට සත්වරුවේ මහා පරිත්‍රාණ දේශනාව ආරම්භ කෙරේ.

එහි දොරකොඩ අස්න හා අනුශාසනා දේශනාව 18 වන දින රාත්‍රී පැවැත්වේ. අනුශාසනා දේශනාව පවත්වන්නේ රත්මලාන කොතලාවලපුර මාතර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ස්වර භඤ්ඤ විශාරද මාපලගම බුද්ධසිරි නායක ස්වාමීන් වහන්සේ විසිනි. 19 දා දාවල මල්වතු මහා විහාරස්ථ අනුනාහිමිවරුන් වන නියංගොඩ විජිතසිරි අනු නාහිමි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි, පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි’ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ. එදිනම රාත්‍රී මීපාවල ශ්‍රී සුදර්ශනාරාමාධිපති මිල්ලව සමිද්ධි නා හිමියන් විසින් පවත්වනු ලබන පුණ්‍යානුමෝදනා ධර්ම දේශනයෙන් අනතුරුව දෙවියන් සහිත ලෝකයාට පින් අනුමෝදන් කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.