බේරුවල සපුගොඩ පුරාණ විහාරය
සටහන හා ඡායාරූප
කපිල කුලසිංහ කටුකුරුන්ද සමූහ
පිළිම වහන්සේ |
කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරුවල සපුගොඩ ශ්‍රී මහා පුරාණ විහාරය
පෞරාණික වටිනාකමකින් යුතු ඓතිහාසික සිද්ධස්ථානයකි. කොළඹ ගාල්ල ප්‍රධාන
මාර්ගයේ බේරුවල නගරය පසුකොට ගාල්ල දෙසට ගමන් කිරීමේදී හමුවන සපුගොඩ
මාර්ගයේ කෙටි දුරක් ගමන් කිරීමෙන් මෙම විහාරයට ළඟා විය හැකි ය.
බෝධීන් වහන්සේ |
ඉපැරණි බිතු සිතුවම්, ගොඩනැගිලි හා නටබුන් රැසක් පිරි මෙම විහාරය නුවර
යුගයේ ලක්ෂණ විදහා දක්වන මහනුවර පහත රට සම්ප්‍රදායට අයත් ය. මහනුවර
යුගයේ චිත්‍ර හා මූර්ති වලින් පිරී කොටස් තුනකින් යුත් මෙම විහාර ගෘහය
අතිශයින් චමත්කාරය. එහෙත් එහි චිත්‍ර කිහිපයක් මේ වනවිට විනාශ වෙමින්
පවතී.
කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලය තුළ සපුගොඩ ආනන්ද
හිමිපාණෝ බේරුවල මස්සල්ගොඩට පැමිණ මෙම විහාරය ආරම්භ කොට ඇත. සපුගොඩ
හිමියන්ට ගෞරව දැක්වීම උදෙසා මෙම විහාරය පසු කලෙක සපුගොඩ විහාරය බවට
පත්ව ඇත.
මහනුවර යුගයේ පහතරට සම්ප්‍රදායට අයත් පැරැණි සිතුවම් මෙහි විශේෂ බවක්
උසුලයි. බෝධිසත්ව ප්‍රතිමා සහිත මකර තොරණ උතුරු බිත්තියේ ඇති ඔටුන්න හා
රාජ්‍ය ලාංඡනය සහිත මකර තොරණ ද මෙහි දැකිය හැක. පැරණි වාහල්කඩ හා ගල්
උළුවහු මෙම විහාරයට නිර්මාණශීලිත්වයක් එකතු කොට ඇත.
නගරයට ආසන්න කඳු ගැටයක් මත පිහිටි මෙම පූජනීය පින්බිම වැඳුම් පිදුම්
කිරීම සඳහා සුදුසු සියලු අංගයන්ගෙන් සමන්විත ය. පුරාවිද්‍යා සංරක්ෂණ
මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති නිසා පිළිසකර කිරීම් එහි උපදෙස් මත
සිදුවිය යුතු ය. විනාශ වෙමින් පවතින චිත්‍ර, පවුර හා සීමා මාලකය
කඩිනමින් සංරක්ෂණය කළ යුතුව ඇතැයි විහාරවාසී භික්ෂූන් වහන්සේ පවසති.
වත්මන් විහාරාධිපති අම්පේගම පදුම හිමියන්ගේ මහත් වූ කැපවීම නිසා මෙම
සපුගොඩ විහාරය මේ වනවිට ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ බෞද්ධ මධ්‍යස්ථානයක්
බවට පත්ව ඇත.
සීමා මාලකය |
ඉපැරැණි දාගැබ |
විහාර ගෘහය |
පැරැණි බිතු සිතුවම් |
පැරැණි බිතු සිතුවම් |
|