ආනන්ද මෙත්තෙය්‍ය හිමි ජීවන චරිතය
ආචාර්ය
හාන්දුපැල්පොළ මහින්ද නා හිමි
පරිවර්තනය - නාරාවිල පැට්රික්
පසුගිය පත්‍රය හා සම්බන්ධයි
තමන්ගේ රාජකාරි කාලය ඉක්මවා ආපසු එංගලන්තයට පැමිණි පසුත් නොකඩවා ශ්‍රී
ලංකාව සමග සබඳතා පවත්වා ගෙන යමින් සිටි දැන උගත් සහ වැදගත් ඉංගිරිසි
ජාතිකයෝ විශාල පිරිසක් සිටියහ. ඔවුන් අතර කැපී පෙනුණාහු නම්, එදා
කීර්තිමත්ව වැජඹුණු බහුශ්‍රැත පඬිවරුනක් වූ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී
සුමංගල නාහිමියන් ඇසුරේ පාලි භාෂාව සහ බුදුදහම උගත් රෝබර්ට් චාර්මස්,
එෆ්. එල්. වුඩ්වඩ්, ජෝර්ජ් ටර්නර්, ඩබ්ලිව්. එෆ්. ස්ටිඩ්, මහාචාර්ය
රීස් ඩේවිඩ්ස් ආදීහු ය.
ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් එංගලන්තයට සැපත් කල්හි, ඉංගිරිසි ජාතිකයෝ
මහාර්ඝ උරුමයක් ලෙස බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ඔවුනට ප්‍රදානය කළ
හෙයින් උන්වහන්සේට ප්‍රශංසා කරමින් අගය කරන්නට වූහ. පළමුවැනි බෞද්ධ
ධර්මදූතයාගේ එංගලන්තයට පැමිණීම පිළිබඳ සිද්ධිය ඩේලි මේල් පුවත්පතේ
නියෝජිතයකු විසින් මෙසේ වාර්තා කරනු ලැබ ඇත.
‘මේ රටට පැමිණ ඇති පළමුවැනි බෞද්ධ භික්ෂූන් වහන්සේ වන ආනන්ද මෙත්තෙය්‍ය
හිමියන් බදාදා රාජකීය ඇල්බට් වරායේ ගොඩබැස සිටිති. උන්වහන්සේ පැමිණ
සිටියේ ශිෂ්‍යයන් විසිතුන් දෙනෙකු සහ බෞද්ධයන් කීප දෙනෙකුන් සමඟ යි.
ඔවුන්ගෙන් තුන්දෙනෙක් කාන්තාවෝ යි. එනම් ගමනට වියදම් සැපයූ ලා අවුං
මහත්මිය, බා අවුං මහත්මිය සහ මියන්මාර් විනිසුරුවකුගේ බිරිඳ වූ පා
මහත්මිය යි. ඩේලි මේල් පුවත්පතේ විදේශීය නියෝජිතයෙක් යාත්‍රාවට ගියේය.
එංගලන්තයේ බෞද්ධ සංගමයේ ගරු භාණ්ඩාගාරික මේජර් රොස්ට් විසින් මේ
පි‍්‍රයමනාප අමුත්තා ඔහුට හඳුන්වා දෙනු ලැබිණ. මේ අමුත්තා මුල්ලකට වී
වාඩි වී සිටියේ ය. ඔහු සිය නිකායට අයත් කහ පැහැති සිවුර පොරවාගෙන ය. එය
කොටස් තුනක් විය. පුද්ගලයාගේ ඉගටිය වටා කහ පැහැති ලණුවකින් ගැට ගසා
තිබිණ. හිසකෙස් මුළුමනින්ම බූ ගා දමා ඇත. දෙපතුල් විවෘත ය. බැලූ බැල්මට
මළමිනියක් මෙන් සුදුමැලිය.
මෙත්තෙය්‍ය හිමියෝ මාස හයක් ලන්ඩන් නුවර නතර වී සිටියෝ ය. බාර්න්ස්හි,
එල්හි ග්‍රෝව් පාරේ අංක 101 ස්ථානයේ උන්වහන්සේ ගේ පන්සල විය. එහිදී
තමන් වෙත පැමිණි අයට බෞද්ධ අදහස් ප්‍රගුණ කරන ලද්දේ ද, හඳුන්වා දෙන
ලද්දේ ද විය. මේ නිවස තවම ඇතත් එය දැන් ගිහි පවුලකට අයිති එකකි. ඩේලි
මේල් පුවත්පතේ වාර්තාකරුට අනුව ද එදා එය පන්සලකි. එහි මුළු දවස පුරා
ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
හිදැස් නැති කාල සටහන
කිසි තැනක හිදැසක් නැති කාල සටහනේදී සිය පන්සලින් පිටත ගොස් දේශන සහ
ධර්ම දේශනා පවත්වන්නට යොදාගෙන තිබිණ. එවැනි අවස්ථාවේදී ටැක්සියක් යොදා
ගත් බව කියනු ලැබේ. ලන්ඩනයේ මාස හයක් ගත කිරීමෙන් පසු 1908 ඔක්තෝම්බර
02 වැනිදා උන්වහන්සේ ආපසු මියන්මාරයේ රැන්ගුන් වෙත ආහ. ඩේලි
ටෙලිග්‍රාෆ් පුවත්පතේ නියෝජිතයෙක් 1908 සැප්තැම්බර් 28 වැනිදාට
පන්සලේදී සාකච්ඡාවක් ඉල්ලා සිටියේ ය. ඔහුගේ සාකච්ඡාවේ වාර්තාව 1908
සැප්තැම්බර් 29 වැනිදා ඩේලි ටෙලිග්‍රැෆ් පුවත්පතේ මෙසේ පළව තිබිණ.
‘මේ පැවිදි පුද්ගලයා දොඩම් පැහැති සිවුරක් හැඳ සිටියේ ය. ඔහුගේ තොලග
දුම්වැටියකි. ඔහු බෙහෙවින් හීන්දෑරී ය. උස ය. මනා රූ සපුවකි, ඔහුගේ හිස
මුඩු ය. දෙනෙත ලොකු ය. අඤ්ජන වර්ණිත ය, බිමට නැමුණේ ය..... තමාට
නොගැළපෙන්නාක් බදු ඇඳුම දරා සිටියේ අපහසුවෙනි’.
මෙත්තෙය්‍ය හිමියන් ගැන ඒ.ජේ. හැරිස් මෙසේ කියයි. ‘ආනන්ද මෙත්තෙය්‍ය
හිමියන් එංගලන්තයට ආවේ එහි ස්ථිර පදිංචිකාරයකුව නතර වීමේ අදහසිනි.
එහෙත් එය අසාර්ථක වීම ආපසු මියන්මාරයට යන්නට හේතුවක් විය. බෙහෙවින් ම
සිදුවිය හැකි පරිදි එතුමන්ගේ එංගලන්තයට පැමිණීමේ අරමුණ වූයේ අවසානයේදී
බටහිර, දේශීය ආරාමික සඟ පරපුරක් බිහිවීමේ ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීම
යි’.
ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ වාර්තාකරු සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවෙන්
ටික දිනකට පසු, එතුමන් එංගලන්තය අතහැර ගියේ තම ධර්මදූත ව්‍යාපාරය
පිළිබඳ අරමුණ අසාර්ථකවීම නිසා නොවේ. එතුමන්ගේ වෛද්‍යවරුන් දුන් උපදේශයේ
ප්‍රතිඵලය යි. උන්වහන්සේ අවස්ථා කීපයකදීම එංගලන්තයට පැමිණියා පමණක්
නොව, කීප වරක් ශ්‍රී ලංකාවටත් ගියහ. එහිදී නොයෙක් තේමා යටතේ ධර්ම දේශනා
ද පැවැත්වූහ. මේ අතර උන්වහන්සේ කොළඹ දේශගුණයටත් වැඩි කැමැත්තක්
දැක්වූහායි කියනු ලැබේ. පසු අවස්ථාවක අමරාවතී ආකෘතියෙන් දේශීය ථෙරවාදී
ආශ්‍රම ආරම්භ කළ අතර එයින් මෙත්තෙය්‍ය හිමියන්ගේ සිහිනය පසුව පළ දුන්
බව පෙනේ.
1912 - 1913 අතර සමයේ මෙත්තෙය්‍ය හිමියෝ බරපතල ලෙස රෝගාතුර වූහ.
නිදන්ගත ඇදුම රෝගයක් එක්ක ම වරින් වර එක දිගට අශ්මරී (වකුගඩු ගල්) රෝගය
උත්සන්න වූයේ ය. දොස්තර කැසියස් පෙරේරා මහතා මෙසේ සටහන් කර ඇත.
‘උන්වහන්සේ දෙවරක් ම සැත්කමට භාජනය කරන ලදහ.’
අන්තිමට වෛද්‍යවරුන්ගේ අනිවාර්ය උපදෙස් අනුව උන්වහන්සේ නොකැමැත්තෙන්
වුවත් උපැවිදි වන්නට තීරණය කළහ. ඒ අනුව ආනන්ද මෙත්තෙය්‍ය හිමියෝ 1914
මැයි මාසයේ උපැවිදි වූහ. ඉක්බිති ඔහුගේ එක ම සොහොයුරිය ජීවත් වෙමින්
සිටි කැලිෆෝර්නියාවට යන ගමනේ් ගිහි වෙසින් ලන්ඩනයට ආවේය.
ඒ අතර එම 1914 සැප්තැම්බර 12 වනිදා ඇලන් බෙනට්ගේ සොහොරියත්, ඇගේ
සැමියාත් ඔහු ඇමරිකාවට කැඳවා ගෙන යනු පිණිස ලන්ඩනයට ආහ. ලිවර්පූල් සිට
ගමන් ආරම්භ කරන්නට සැලසුම් කර තිබිණි. එහෙත් නැවේ වෛද්‍යවරයා බෙනට්ට
නැවට නගින්නට අවසර දීම ප්‍රතික්ෂේප කළේ ය. එයට හේතුව සෞඛ්‍ය හේතු මත
ඇමරිකානු බලධරයන් බෙනට්ට ඇමරිකාවට ගොඩබැසීමේ බලපත්‍රයක් නිකුත් නො කරනු
ඇතැයි බියට පත්වීමයි. බෙනට්ගෙන් තොරව නැව පිටත් වන්නට සූදානමින්
තිබියදී ඔහුගේ සහෝදරියත්, ඇගේ අට හැරිවිදි දුවත් නැවට නගින්නට බල කරනු
ලැබූහ. මෙසේ කාත් කවුරුනුත් නැති අසරණ ගිහියකු වූ බෙනට් බ්‍රිතාන්‍ය
හිතවතුන්ගේ කර පිටට මුදා හරින ලද්දක් විය. 1916 අවසානය වනතුරු බෙනට්
ලිවර්පූල්හි ජීවත් වූයේ ය.
ඔහුගේ එතරම් කෙටි ජීවිත කාලය බුදුදහම ප්‍රචාරය පිණිස කැප කර තිබිණ. ඔහු
තමා බරපතළ ලෙස රෝගාතුර වුවත්, ‘බුඩිස්ට් රිවිව්’ සඟරාවට නොකඩවා
ලිවුවේය. එසේ ම බෞද්ධ කටයුතු වලට උපකාර කරන්නට හැම උත්සාහයක් ම ගත්තේ
ය. An Outline of Buddhism or Religion of Burma 1910 කෘතිය ඔහුගේ
ජීවිත කාලය තුළ ප්‍රකාශයට පත් කැරණි. 1923 දී ප්‍රකාශයට පත්
The Wisdom of Aryas ඔහුගේ අන්තිම කෘතිය යි. ඔහු සිය භෞතික ප්‍රශ්න අමතක කර වෙහෙස
නොබලා අවශ්‍ය වූ හැම විටක ම බුදුන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ලියූ අතර
දේශන ද පැවැත්වී ය.
1916 දී යුද්ධය නිසා නොයෙක් කරදර වලට මුහුණ පාන්නට සිදුවිය. එහිදී ඖෂධ
සහ ආහාර හිඟය ඇතුළු දරුණු අවදානම් වලට බෙනට් මුහුණ පෑවේ ය. එහෙත් ඔහු ඒ
සියල්ල විඳ දරා ගත්තේ දැඩි අධිෂ්ඨානයෙනි. නොයෙක් වාර්තාවන්හි සඳහන්
පරිදි ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවදානම් සහගත මට්ටමින් කෙමෙන් පිරිහුණේ ය.
එවන් වේදනා සහ දුක්ගැහැට විඳිමින් වුවත්, ඔහු බුදුදහම පිළිබඳ දේශන
පවත්වා තිබිණ.
බෙනට්ගේ මිතුරෝ ඔහු ක්ලැෆම් හන්දිය පෙදෙසේ අලුත් නිවහනකට කැඳවා ගෙන
ගියහ. ඔහු 1917 ජනවාරියේදී කොළඹ එච්. පී. ප්‍රනාන්දු සහ සමාගමේ
අනුග්‍රහයෙන් ‘ද බුඩිස්ට් රිවිව්’ ප්‍රකාශයට පත් කළේ ය. එයින් ඔහුගේ
කැපවීමත්, අධිෂ්ඨානයත් මැනවින් පැහැදිලි වෙයි. ඔහු එහි 1918 - 1920
වෙළුම් ද පළ කරවූයේ ය. එහෙත් 1921 මුද්‍රණයෙහි ඔහු සිය කායික අපහසුතාව
ගැන සමාව අයැද සිටියේ ය.
1923 මාර්තු 09 වැනිදා බෙනට් පරලෝ සැපත් විය. ඔහුගේ මරණ මොහොතේ පැමිණ
සිටි මිතුරන් අතර ලෙෆ්ටිනන් කර්නල් ෆ‍්‍රැන්සිස් ජෝන් ජේන් ද සිටියේය.
ඔහු විසින් බෞද්ධ අවමංගල සේවා සංවිධානය කරන ලදී. මෘතදේහය ක්ලැෆම්
හන්දියේ, එකල්ස් පාරේ, අංක 90 නිවසේ තැන්පත් කර තිබිණි. සොහොන්බිම
වාර්තාවට අනුව ෆ‍්‍රැන්සිස් ජෝන් පේන් විසින් අංක 1588, 1589 සහ 1590
දරන සොහොන්බිම් කට්ටි තුන මිලයට ගෙන තිබිණ. 1923.03.14 වැනිදා අංක 1588
බිම් කඩෙහි මෘතදේහය මිහිදන් කරන ලදී. 1924.03.24 වැනිදා අංක 1589 සහ
1590 දරන බිම්කට්ටි ජේන් විසින් පවරා ගැනිණ. 1937.06.07 වැනිදා හිමිකම්
ඔප්පුව ඔහුට ලැබිණ.
බෙනට්ගේ දසවැනි අනුස්මරණ සංවත්සර රැස්වීමට පැමිණ සිටි පිරිස අමතා පේන්
තමාගේ අරමුණ මෙසේ අනාවරණය කළේ ය. ‘අමතර බිම් කට්ටි දෙකක් සමග මට
බෙනට්ගේ සොහොන මිලයට ගන්නට හැකි වූයේ ආනන්ද මෙත්තෙය්‍ය හිමියන්ගේ
සොහොනේ තනි හිමිකරුවා මා වන හෙයිනි.
‘’යම් විටක එහිලා අව්‍යාජ බල අධිකාරියක් ඉදිරිපත් වුවහොත් එහි
නීත්‍යානුකූ®ල අයිතිය එයට පවරමි. එය වර්ග අඩි 15 ක බිම්කඩකි. එවැනි
බිම්කට්ටි තුන මත, බුදුදහම මේ රටට හඳුන්වා දුන් ඔහු වෙනුවෙන් කුඩා
ස්තූපයක් හෝ සිහිවටනයක් ඉදිකළ හැකිය’.
දුර්ලභ ධර්ම ප්‍රචාරයක්
ආනන්ද මෙත්තය්‍ය හිමියන් දුන් ආදර්ශයට අනුව බොහෝ ඉංගිරිසි ජාතිකයෝ
බෞද්ධ භික්ෂූන් බවට පත්වූහ. දැන් එක්සත් රාජධානියේ බොහෝ පන්සල් ඇත. එවක
අපරදිග ලෝකයේ බුදුදහම ප්‍රචාරය කරන්නට ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් දරන ලද
ප්‍රයත්නය බෙහෙවින් දුෂ්කර එකකි. එහෙත් උන්වහන්සේ විසින් ඒ අභියෝගය බාර
ගන්නා ලදී. බොහෝ උගත්තු උන්වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දීමෙන් සංඝ
සමාජයට ප්‍රවේශ වන්නට තීරණය කර සිටියහ.
දොස්තර ආතර් ද සිල්වා සහ සිල්වා මහත්මිය, එච්. දොන් කරෝලිස්, ජෝන්
එලිසන් රිචඩ් පෙරේරා ආදීහු ආනන්ද හිමියනට හැකි හැම අතදීමක් ම කළහ. සර්
ඩී.බී. ජයතිලක, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, අනගාරික ධර්මපාල, දොස්තර
කැසියස් පෙරේරා, රෝයි ද මැල්, ඒ.පී. ද. සොයිසා, දයානන්ද හේවාවිතාරණ සහ
දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ආදීහු, ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් හඳුනා ගෙන
සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් කීප දෙනෙකි. ඉහත සඳහන් දසවැනි අනුස්මරණ
උත්සවයේදී ෆ්‍රැන්සිස් ජෝන් පේන් නිර්ලෝභීව මෙසේ ප්‍රකාශ කළේය. “
හේවාවිතාරණ පවුල බුදුදහමේ පුනර්ජීවනය සඳහා විශිෂ්ඨ සේවාවක් කර ඇත”.
පැමිණි සිටි වාර්තාකරුවන් හා වෙනත් හිතවතුන් සහ දැන හඳුනා සිටි බොහෝ
දෙනා විසින් ආනන්ද මෙත්තෙය්‍ය හිමියන්ගේ පෞද්ගලික යහගුණ සමුදාය ගැන
සඳහන් කර ඇත. උදාහරණයක් ලෙස, බෞද්ධයකු ලෙස ආනන්ද මෙත්තෙය්‍ය, හිමියන්
සාවධාන හා ශක්තිමත් ස්වියත්වයකින් පිරිපුන් චරිතයක් බව ක්ලිෆර්ඩ්
බැක්ස් හෙළි කරයි. ලන්ඩනයේ වැඩිදෙනා විසින් හඳුනා ගනු නොලැබ දුප්පතකු
ලෙස කල් ගෙවූ අකලට වියපත් ඔහු නිදන්ගත රෝගියෙක් වූයේ ය. ඔහු සිය
උඩුකබාය ලා ගනිමින් සිටින විට මිනාගුන් මෙසේ කියනු අසන්නට ලැබිණ. ‘මොකද
ඔය උඩුකබායේ ඔය තරම් හිල්. වෙඩි වැදිල ද?’ එයට ප්‍රතිචාර ලෙස බෙනට්
කීවේ, ‘ඒක හරි ලස්සනයි නෙ’ යනු යි. ඒ අතර ‘ටික දවසකින් අපි එකක් අරගෙන
දෙන්නම්. මේක හැම තැන ම හිල් වෙලා’ යි මිනා කියා ගෙන ගියා ය. එවිට
බෙනට් ව්‍යංග්‍යාර්ථයෙන් යුතුව ලජ්ජාවෙන් පිළිතුරු දුන්නේ ‘ඔන්න
අහගනින්, තේරුණා ද? මම සාන්තුවරයෙක් වෙන්න යනවලුනෙ’.
ප්‍රථම බෞද්ධ සංගමයේ ගරු ලේකම් අර්නස්ට් ආර්. රොස්ට්ගේ සහෝදරිය වූ ලුසී
බෝල්ස් මෙනවිය, බෙනට්ගේ ජීවිතයේ අන්තිම දින කීපය පිළිබඳ සිත් කම්පා
කරවන වාර්තාවක් ලියා ඇත. ‘දරුණු වේදනාවකින් පෙළෙමින් සිටියත්, දුක්
ගීයක් ගයමින් පාරේ ගමන් කරමින් සිටි යදියකු කෙරෙහි අනුකම්පාවෙන්, තමන්
නතරව සිටි නිවසේ හිමිකාරිය අත කිසියම් මුදලක් යවන්නට තරම් ඔහුගේ හදවත
උණුවනසුලු විය. ඒත් ඔහු මරණයට ආසන්න පැය කීපය ගත කරද්දී ය’.
මරණ මඤ්චකයේ වැතිර සිටියදී පවා ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් විසින්,
බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ බෞද්ධ සංගමයේ සේවා විෂයයෙහි අනෙක් අය
දිරිමත් කරනු පිණිස තමාට කළ හැකි හැම දෙයක් ම කර තිබිණි. බෞද්ධ සංගමයේ
සභාපති ක්‍රිස්මස් හම්පි‍්‍ර සහ දොස්තර කැසියන් පෙරේරාත්, බුදුදහම
අපරදිග ප්‍රචාරය කරනු පිණිස ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් විසින් දැවැන්ත
සේවාවක් කර ඇති බව පෙන්වා දී ඇත.
අනගාරික ධර්මපාලතුමන් විසින් බුදුදහම ව්‍යප්තිකරණය පිණිස ඉටු කරන ලද
විශිෂ්ට සේවාව කිසිසේත් ලඝු කර සැලකිය නොහැකි ය. එතුමා 1925 දී
ඇමරිකාවට යන ගමනේ ලන්ඩනයට පැමිණියේ ය. 1926 දී යළිත් ලන්ඩනයට පැමිණ
විහාරයක් සඳහා මිඩ්ල්සෙක්ස් අසල ඊලිංගි, මෙඩ්ලි වීදියේ අංක 86 දරන ඉඩම
මිලයට ගෙන ඇත. එහෙත් එයින් බලාපොරොත්තු වූ අරමුණු ඉටුවූයේ නැත.
ධර්මපාලතුමා 1928 දී රීජන්ට්ස් පාක්හි, ග්ලෝස්ටර් වීදියේ, අංක 41 දරන
වෙනත් ඉඩමක් මිලට ගත්තේ ය. හෑගොඩ නන්දසාර, දෙහිගස්පේ පඤ්ඤාසාර, පරවාහැර
වජිරඥාන ආදී හිමිවරු බ්‍රහ්මචාරී දේවපි‍්‍රය වලිසිංහත් සමග පැමිණ එහි
නේවාසිකයන් ලෙස සිටියහ. ඉක්බිති 1930 දී නන්දසාර සහ පඤ්ඤසාර හිමිවරු
දෙදෙනා ආපසු ශ්‍රී ලංකාවට ආහ.
1932 දී භාරතීය පූජ්‍ය රාහුල සංකෘත්‍යායන සහ පූජ්‍ය ආනන්ද කෞශල්‍යායන
හිමිවරු එහි පැමිණ නේවාසිකව විසූහ. 1933 - 1937 සමයේ එහි විහාරාධිපති
වූයේ රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියෝ ය. විහාරය වසා දමන්නට පෙර 1938 -
1940 සමය තුළ විහාරාධිපති වූවාහු දෙහිගස්පේ පඤ්ඤාසාර හිමියෝ ය. අනගාරික
ධර්මපාලතුමන් විසින් මිලදී ගෙන තිබුණු ඉඩම සහිත දේපොළ විකුණා දමා ලත්
මුදල මහබෝධි සමාගමේ ගිණුමේ තැන්පත් කරන ලදී.
ක්‍රිස්මස් හම්පි‍්‍ර මේ කාලවකවානුව ගැන මෙසේ විස්තර කරයි. ‘වෙනත් තැනක
සඳහන් පරිදි 1940 දී විහාරය වසා දැමු අතර, 1954 වනතුරු යළි විවෘත කළේ
නැත. ඒ අවුරුදු කීපය තුළ වඩාත් බලාපොරොත්තු සහිත සහ සිත් ගත් අරමුණ
වූයේ බෞද්ධ විහාර සමාගම පිළිබඳ අදහස යි. එයින් අදහස් කැරුණේ විහාරයක්
ගොඩනැගීම සහ මට පෙනෙන හැටියට නම් ප්‍රධාන වශයෙන් ථෙරවාදි සඟ පරපුරක්
බිහි කිරීම යි. ඒ අදහසට අනුබල ලැබුණේ සර් සිරිල් සොයිසා විසින්
මෙහෙයවන ලද සිංහල පරිත්‍යාගශීලීන් පස් දෙනෙකුගෙනි.
විහාරය නැවත පිහිටුවනු පිණිස භාරකාර මණ්ඩලයක් පත්කර ගැනීමෙන් පසු, එස්.
ඩබ්ලිව්. 3 ඕවින්ටන් ගාර්ඩන්ස්, අංක 10 යටතේ දේපොළ බද්දට ගැනීමට
සැලසුම් කැරිණ. ඒ අතර ලහි ලහියේ ම 1954 වෙසක් පෝයදා විහාරය පටන්ගන්නා
ලදී.
මෙසේ අලුතින් පටන් ගන්නා ලද ලන්ඩන් බෞද්ධ විහාරයේ පළමුවන අධිපති බවට
පත්වූවාහු පුජ්‍ය නාරද මහ තෙරණුයෝ ය. 1955 සහ 1956 අතර උන්වහන්සේ ගේ
පශ්චාද්ගාමියා වූවාහු පුජ්‍ය මිරිස්සේ ගුණසිරි මාහිමියෝ ය. 1957 දී
පූජ්‍ය මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස මහ තෙරණුවෝ අධිපති බවට පත්කරනු
ලැබූහ. මෙසේ ලන්ඩන් බෞද්ධ විහාරය ස්ථාවරව ස්ථාපිත කරන ලදී. 1964 දී එය
හීත්ෆීල්ඩ් ගාඩන්ස්හි අංක 05 වෙත ගෙන යැවිණ. හම්මලව සද්ධාතිස්ස
හිමියන්ගේ අධිපති සමයේ මිලදී ගන්නා ලද බැරෝ ගේට්හි දේපොල විකුණා දැමූ
අතර, අලුත් තැන වූයේ ධර්මපාල ගොඩනැගිල්ලයි. එය පිහිටියේ ඩබ්ලිව් 4
1යූඩී, චිස්වික් වීදියේ ය. එය අත්පත් කර ගන්නා ලද්දේ පූජ්‍ය ආචාර්ය
මැදගම වජිරඥාන හිමියන්ගේ නිල කාලයේ 1994 මැයි 21 වැනිදාය. උන්වහන්සේ
අපවත් වීමෙන් පසු 2007 දී පූජ්‍ය බෝගොඩ සීලවිමල හිමියෝ අධිපති වූහ. මේ
නිබන්ධනයේ නිමාවක් දකින්නට ඊ.ජේ. හැරිස්, ක්‍රිස්මස් හම්පි‍්‍ර සහ
ජේ.එෆ්. මැතිනිගේ (සීලාචාර හිමි) ප්‍රකාශ මතකයට නැඟීම මැනව ය සිතමි.
‘කාව්‍යාත්මක සියුම් සංවේදිත්වයෙන් බුදුන් වහන්සේ ගේ පණිවිඩය සිය
ලේඛනයෙන් සන්නිවේදනය කළ සහ අදත් තවම විද්‍යාත්මක අවංකත්වයෙන් අප අමතන
එවන් පුද්ගලයාගේ සලකුණු දැකිය නොහැකි සොහොන එය හිමිකරුට අසාධාරණයක් පළ
කරන්නේ නොවේ ද?’ ‘සමූහ වශයෙන් එක්රැස් වුණු සාමාජිකයන් විසින් සොහොන මත
තැන්පත් කරන ලද පුෂ්ප රාශිය සහ සුගන්ධ වර්ගයෝ ය. බුදුන් වහන්සේගේ
පණිවිඩය වන සජීවි විශ්වාසය එංගලන්තයට හඳුන්වා දීම නිසා යම් දිනක
ඉතිහාසය සම්මානයට පත් කළ හැකි මිනිසා එවැනි ම මිනිසුන්ගේ දර්ශනයෙන්
ඈත්ව යන්නේ ය.
‘එවන් ශ්‍රේෂ්ඨ මිනිසකු අනුස්මරණය පිණිස අපි නිවැරදි ආකාරයෙන්ම
ප්‍රණාමය පුද කරමු. එවන් මිනිසෙක් නියතයෙන් ම බෞද්ධයන්ගේ ප්‍රණාමයට
පාත්‍ර වන්නට මෙහිදීත් හැම තැනදීත්, දැනුත් හැම අතින් ම සුදුසු වන්නේ
ය. මේ රට තුළ ස්ථාවර සංඝ පරම්පරාවක් සංස්ථාගත කළ පූජ්‍ය ආනන්ද
මෙත්තෙය්‍ය හිමියන් අනුස්මරණය පිණිස සුදුසු සොහොන්ගලක් නිර්මාණය කිරීම
දැන් අප වෙත පැවරී ඇති වගකීම යි.’
බුදුදහම ප්‍රචාරණයට ආනන්ද මෙත්තෙය්‍ය හිමියන්ගේ බලපෑම මෙසේ විවරණය කළ
හැකි ය. උන්වහන්සේගේ පූර්වාදර්ශය හා දේශන බෞද්ධ සංඝ ශාසනයට දායක වන්නට
අපරදිග ජනතාව මෙහෙයැවී ය. ඒ අතර විශිෂ්ටතමයා පූජ්‍ය ඥානාතිලෝක හිමියෝ
ය. උන්වහන්සේ විසුද්ධිමග්ග හා අභිධම්ම පිටකයේ ජර්මන් පරිවර්තන කීපයක්
ඉදිරිපත් කළහ. උන්වහන්සේගේ බෞද්ධ ශබ්දකෝෂය සහ
path to Deliverance
(විමුක්ති මග්ග) අපරදිග පාඨකයන් අතර බෙහෙවින් ජනපි‍්‍රය වූයේ ය. පුජ්‍ය
ඥානාතිලෝක හිමියෝ 1903 දී ආචාර්ය සීඩන්ස්ටියුකර් විසින් අරඹන ලද,
ජර්මනියේ ලයිප්සිග්ගි බෞද්ධ සංගමයේ සඟරා වලට නිතර ම ලිපි සැපයීමෙන්
දායක වූහ.
පූජ්‍ය ආනන්ද මෙත්තෙය්‍ය හිමියෝ කසාවන් සිවුර හැඳ පෙරවා ස්වේච්ඡා
භික්ෂූ වේශයෙන් බ්‍රිතාන්‍ය දේශයේ ධර්මදූත සේවාවේ නිරත වෙමින් නොයෙක්
දුක් කම්කටොලු වලට මුහුණ දී ඒවා විඳදරා ගත්හ. |