Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම සන්නිවේදනයේ නව ප්‍රවණතා

චින්තන නිදහස අග්‍රගණ්‍ය තැනෙක තබා, අනුත්තර දහමක් දේශනා කළ එකම ශාස්තෘවරයාණන් වන බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුද්ධානුගාමිකයා, ඇත්ත නැත්ත පිළිබදත් කළ යුතු නොකළ යුතු දේ පිළිබඳත් අන්ධානුකරණයෙන් තොරව, විමංසා බුද්ධියෙන් බැලීමට වරම් ලබා ඇත්තෙකි. කවුරු කෙසේ කීවත් අවබෝධය නමැති තුලාවෙන් කිරා මැන බලා ස්වයං විනිශ්චයකට පැමිණීමේ නිදහස තුළ ඔහු සර්වප්‍රකාරයෙන්ම සුරක්‍ෂිතය.

අංගුත්තර නිකායේ තික නිපාතයේ , “ තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ “ යන බුද්ධ භාෂිත පාඨයෙන් දැක්වෙන පරිදි, තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම විනය බබලන්නේ විවෘත වූ විට මිස සැඟවී තිබෙන විට නොවේ. බොදුනුවන්ට පමණක් නොව සමස්ත ජනතාවටම අද තථාගත ධර්මය විවෘත වෙමින් පවතී. අන්‍ය ලබ්ධිකයෝ පවා අද බුදු දහම විමසන්නට පටන් ගෙන ඇත. පොත් අල්මාරිවල සුරක්‍ෂිතව තිබූ ති‍්‍රපිටක ධර්මය සරල බසට, පෙරළී සාමාන්‍ය ජනතාව වෙතට ප්‍රවේශවෙමින් පවතී. මේ සඳහා අප රටේ සංඝ පීතෘන් වහන්සේලා දරණ උත්සාහය නමස්කාර පූර්වකව අගය කළ යුතුය. දිනපතාම කරුණාධ්‍යාශයෙන් යුතුව ධර්ම දේශනා පැවැත්වීමෙන් උන්වහන්සේලා මේ සඳහා ඉමහත් වෑයමක යෙදෙත්, කියවන්නන් අතරට නිකුත් කෙරෙන දහම් පොත් සංඛ්‍යාවද බොහෝය.

දේශක ශ්‍රාවක දෙපිරිස එකට සම්බන්ධ කෙරෙන බන්ධනය ධර්මයයි. එම බන්ධනය වඩ වඩාත් ශක්තිමත් විය යුතුවාක් මෙන් ම නොකැඩෙන සේ පවත්වාගැනීමද දෙපාර්ශ්වයේ ම වගකීමක් බව පැහැදිලි කරුණකි. මේ නිසා දේශනයෙන් හෝ ලේඛනයෙන් ධර්ම සන්නිවේදනය කිරීම මනා සංයමයකින් හා වගකීමකින් කළ යුත්තකි. එමෙන් ම ධර්මය ශ්‍රවනය කරන කියවන අයද මනා සංයමයකින් යුතු දහම් පහස ලබා තම ජීවිත අඳුරෙන් එළියට ගෙන ඒමට (තමෝ ජෝති පරායනෝ) වෑයම් කළ යුත්තාහ. අනාථ පිණ්ඩිකෝවාද සුත්‍රයේ මේ ගැන පැහැදිලි විවරණයක් ඇත. ධර්ම විනය බබලන්නේ, නොඇසු කරුණු අසාගැනීමටත් සැක සහිත තැන් නැතිකර ගැනීමටත්, සිත් සතන් පහදවා ගැනීමටත් දෘෂ්ටිය ඍජු කර ගැනීමටත් හැකිවන පරිදි ධර්ම සන්නිවේදනය සිදු වන විටය.

පර්යාප්ති ධර්මය අද තත්ත්වයට පත් වුයේ අනාදිමත් කාලයක් තුළ නොයෙකුත් විපරිනාමයන්ට භාජනය වෙමින් දුෂ්කර ගමනක් ගෙවා දැමීමෙන් පසුවය. එහෙත් ධර්මයෙහි හරය හෙවත් අරටුව නොසිඳී පවතින රටක් හැටියට අපේ රට මුලු ලොවම පිළිගනී. අනුගාමික දේශනා ලෙස රැකගෙන ආ බුද්ධ භාෂිතය අප වෙතට අද ප්‍රවේශ වී ඇත්තේ ග්‍රන්ථාරූඪ මාධ්‍යයෙනි. ජීවිත පරිත්‍යාගයෙන් ඒ උතුම් මෙහෙවර ඉටු කරන ලද්දේ බුද්ධ පුත්‍ර භික්‍ෂූන් වහන්සේලා විසින්මය. ගණිතය, භාෂාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව,ජීව විද්‍යාව, තර්ක ශාස්ත්‍රය ආදි විෂයානුබද්ධ ක්‍ෂේත්‍ර ගිහි උගතුන්ගේ අනුභූතීය චින්තනයේ කාලානුරූප ප්‍රතිඵලය. නමුත් ඒවායේ විෂය සන්ධාරයන් සර්වත්‍ර කාලීන නොවේ. එනම් නව සංකල්ප, නව සොයැගැනීම් මත ඒවා වෙනස් වීමේ ස්වභාවයෙන් ම පවතී. එක් ක්‍රමයකින් දෙවරක් පහ දහයයි යන්න තවත් ක්‍රමයකින් 1010 කි. තථාගත ධර්මය එසේ නොවේ. එය අකාලිකය. කිසිවෙකුටත් අලුතෙන් එකතු කරන්නට හෝ වැරැදි කොටසක් (අදට නොගැලපෙන ) ඇතැයි ඉවත් කරන්නට හෝ කිසිවක් නැති මුල මැද අග කල්‍යාණ වූ (ස්වාක්ඛාත ) දහමකි. නමුත් පුද්ගලයා එය තේරුම් ගන්නා ආකාරයේ හෝ තෝරා දෙන ආකාරයේ හෝ විවිධත්වයන් තිබිය හැකිය. එසේම අසන්නා හෝ කියවන්නා තේරුම් ගන්නා ආකාරයේද වෙනස්කම් තිබිය හැකිය. ඈත අතීතයේද මේ වෙනස්කම් තිබිණි. නමුත් එවැනි අවස්ථාවල වහා එකතුපාදා වූ සංඝයා වහන්සේ සංගායනා, කතිකාවත් වැනි ක්‍රම මගින් නැවතත් ප්‍රධාන මාර්ගය තුළට ඒවා නිරවුල් කොට සංග්‍රහ කෙරුණු බව පෙනේ. එය වර්තමානයේ සිටින අපගේ භාග්‍යයකි.

භික්‍ෂූන් වහන්සේ ධර්මය දන්නා පිරිස හැටියට බෞද්ධ ප්‍රජාව විසින් පිළිගනු ලැබුයේ අදක ඊයෙක නොවේ. දේශනයෙන් හෝ ලේඛනයෙන් උන්වහන්සේ තථාගත ධර්මය පැහැදිලි කරන විට ඊට සවන්දුන්, ධර්ම ග්‍රන්ථ කියවු ගිහි පිරිස සාදර ගෞරවයෙන් යුතුව ඒ දහම පිළිගත්හ. ඒ පිළිගැනීම කරණකාටගෙන, සමාජය තුළින් දැනුවත් බවේ අණබෙරය වැයුනා නොව, සදාචාරයේ වේදිකාව ඉදි කෙරුනි. අපේ රටට ධර්ම ද්වීපය යන විරුදාවලියද ලැබුනි. චන්දූපම සූත්‍රයෙහි (සං.නි. ii) දක්වා ඇති පරිද්දෙන්ම , ධර්ම දායකයෝ දැනුවත් භාවයේ ධජය නොනංවා, ධර්ම ප්‍රතිග්‍රාහකයා කෙරෙහි දයාවෙන්ම, කරුණාවෙන්ම, අනුකම්පාවෙන්ම ධර්ම දානය කළහ.

කාලයාගේ ඇවෑමෙන් බටහිර අධ්‍යාපන ක්‍රමවේදය මත සංස්කරණය වූ උගත්හු ග්‍රන්ථාරූඪ පර්යාප්ති ධර්මය දෙස ශාස්ත්‍රීය චින්තනයෙන් බලමින් ඔවුනොවුන්ට අනන්‍ය විනිශ්චයන් ගැනීමට පෙළඹුණු බව පෙනේ. ගිහි පැවිදි දෙපක්‍ෂයම එකම උසස් ආයතනයක, විෂයක් හෝ විෂය කිහිපයක් ලෙස ධර්ම අධ්‍යාපනයක් හෝ සමාන්තර අධ්‍යාපනයක් ලබා, උගත්කමේ අභිමානය රඳවන සම සහතික ලත් පසු ධර්මය උගත් ගිහියන්ද බිහිවූයෙන් ගිහි පැවිදි දෙපාර්ශ්වය අතරද යම් යම් ධර්මකාරණා පිළිබඳව තර්ක විතර්ක ගොඩනැගුනි. ශාස්ත්‍රීය චින්තනයේ පන්නරය තත්කාලීන අධ්‍යාපනය මගින් ලත් සමහර උගත්හු, සමහර ධර්ම කාරණා පිළිබඳව නව අර්ථ කථන කරන්නටද නොපසුබට වූයෙන්, ද්විතීයික තලයේ සිටින පසුපෙල ශ්‍රාවකයාට ඒවා පිළිබඳ යම් යම් අවිනිශ්චිතභාවයන් ඇති විය.

ශ්‍රාවකයාගේ් චින්තන නිදහසට විශිෂ්ට අවකාශයක් සලසන සංවාදයට හා සාකච්ඡාවට ශ්‍රාවකයාට ආරාධනා නොකෙරෙමින්, දන්නා අය දන්නා තැනැත්තන් ලෙසම නැගී සිටීමට, ස්ව මතවල ස්ථාවරව පිහිටමින්, දරන උත්සාහය නූතන යුගයේ ධර්ම සන්නිවේදනයේ නව ප්‍රවණතාවක් බව පෙනේ. බොහෝ ධර්ම සාකච්ඡා වල දී, මෙකී පසුපෙළ ශ්‍රාවක පිරිස විසින් අසනු ලබන ප්‍රශ්න ඇසුරෙන් මේ ස්වභාවය අපට ඇත්ත වශයෙන් ම අත්දැකිය හැකිය. මේ සංක්‍රාන්තිය ධර්මස්ථිතිය උදෙසා කෙසේ බලපාන්නේ ද යන්න වෙනම විමසිය යුත්තකි.

මෙම ලිපිය මගින් මා උත්සාහ කරන්නේ එවැනි අවිනිශ්චිතතාවයන්ට තුඩු දුන් අවස්ථා කිහිපයක් මතුකර දක්වමින් මෙකී කාරණය සාකච්ඡා කිරීමටය. මෙහිදී අවංකවම අවධාරණය කරන්නේ, ධර්ම සන්නිවේදන කාර්යයෙහි යෙදුනු කිසිම කෙනෙකු අරභයා අසද් විවේචනයක් මේ මගින් නොකෙරෙන බවය.

බුද්ධ භූ®මිය හෙවත් බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය ශ්‍රී ලංකාව බව ඒකාන්ත කොට දැක්වූ නව මතයක් රැගත් ග්‍රන්ථයක් පසුගියදා පාඨක පිරිස අතට පත්වීමෙන්, එය කියවූ බෞද්ධ පිරිස ඉමහත් වික්‍ෂිප්ත භාවයට පත් වු බව නොරහසකි. නව මතයක් එළි දැක්වුනු විට එය වහා ග්‍රහණය කර ගැනීමට සැදි පැහැදී සිටින අයද එමට සිටින නිසා එයින් යම් බලපෑමක් ඇති නොවීයයි කිව නොහැකිය. සහේතුක ඉතිහාසයක් මෙසේ කණපිට හැරවීමට එම පොත ලියු හිමියන් අදහස් කළේ ඇයිදැයි ගැටලුවකි. කෙසේ හෝ වහා ඉදිරිපත් වූ “බුදුසරණ “ භික්‍ෂු ගරුත්වයද රැකෙන පරිදි, මනා සංයමයකින් යුතුව සත්‍යය මතු කරදීමට විද්වතුන්ට අවස්ථාව සලසා දෙමින් කළ මෙහෙවර අගය කළ යුතුය. නිදහස් චින්තනය, කෙතරම් සංයමයකින් හා වගකීමකින් උපයෝගී කර ගත යුතුද?

වාචසික ක්‍රියාවේදි අප තුළ අදහස් නිර්මාණය වන්නේ අප ප්‍රකාශ කරන වචන මගිනි. සමහර වචනවල බහු අරුත් තිබීම භාෂාවක ලක්‍ෂණයකි. යම් වචනයකින් එක් තැනක අරුත තව තැනකට නොගැලපිය හැකිය. “ පහන්” යන වචනය ගත්විට පහන් සිත, පොල්තෙල් පහන්, පහන්දොර යන තුන් තැනෙහි අරුත් තුනක් ගනී. “ අනු සෝතගාමි” යන්නෙහි අරුත “ ඇසීමට අනුව ගමන් කරන “ යනුවෙන් දැක්වූ අවස්ථාවක් අපට දකින්නට ලැබුනි. බුදු මග අනුසෝතගාමී ප්‍රතිපදාවක් නොව පටිසෝතගාමි එකක් ලෙස දැක්වෙයි. එතැන “සෝත” යනු ප්‍රවාහයයි. සෝතාපන්න යන තැනද “සෝත” යන්න යෙදේ. එතැනට “ඇසීම “ යන අරුත යෙදූ විට ඇතිවන්නේ පටලැවිල්ලකි. මේවා ශාස්ත්‍රීය චින්තනය තුළ ඇතිවන විපරිනාමයන්ද?

“දීඝංවා අස්සසන්තෝ දීඝං අස්සසිස්මී ‘ති පජානාති “ යන්න සතිපට්ඨාන හා ආනාපාන සති සූත්‍රවලින් දැක්වෙන පාඨයකි. දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ, දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ යයි දැනගනී යනු එහි අර්ථය ලෙස සියලු දහම් පොත් හි දැක්වේ. එහි අරුත දීර්ඝ ලෙස හුස්ම ගැනීම නොව, නිර්වාන අවබෝධය තෙක්ම මේ ආශ්වාස රැල්ල දීර්ඝ වේවායයි කරනු ලබන පැතුමක් ලෙසට එක්තරා දහම් දෙසුමකින් අසන්නට ලැබුනි. අපගේ නොදැනීමටදෝ, මෙවැනි නව අර්ථ ප්‍රවේශයන්ට කෙසේ මුහුණ දිය යුතුද යන ගැටලුව පැන නගී.

ප්‍රඥාව පිළිබඳ විවරණයක් කෙරුණු තවත් දේශනයකින් ප්‍රකාශ වූයේ පසුගියදා හමුදා ප්‍රහාරයෙන් මිය ගිය, මෙරට සිටි සාපරාධී දරුණු ත්‍රස්තවාදි නායකයා වූ ප්‍රභාකරන්ට ඉතා ඉහළ තියුණු ප්‍රඥාවක් තිබූ බවත්, ඒ ප්‍රඥාව වැරැදි ලෙස යොදා ගත් නිසා ඔහු දරුණු අපරාධ කළ බවත් ය.දේවදත්ත චරිතයද එසේ විස්තර කෙරුණු අවස්ථාවක්ද අසන්නට ලැබිණි. චෛතසික විභාගයේදි ඒකල කුසල චෙතසිකය වූ ප්‍රඥාව අකුසල පක්‍ෂයේ ක්‍රියාවන්ට කෙසේ අනුයෝගී වේද යන්න ශ්‍රාවකයාට ගැටලුවක් වෙයි. දිවා රාත්‍රී දෙකේම දෝස චෛතසිකය සමග ඒකුප්පාද ද්වේශ මුලික චිත්ත පරම්පරාවක් ස්වකීය කොට සිටි ප්‍රභාකරන්ට කෙසේ නම් ප්‍රඥාව පහළ වේද? ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ප්‍රඥාව විස්තර කෙරෙන තැන්හිද එහි සාධනීය පැත්තක් නොව අවසාධනීය පැත්තක් නොදැක්වේ. ස්ථානෝචිත ප්‍රඥාව යන තැනද එසේමය. ත්‍රිශික්‍ෂාවේ ප්‍රඥා මගින්ද ධර්මයන්ගේ යථා ස්වභාවය නුවණින් දැකීම දක්වයි. බුදුමග ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවටය වැටී ඇති එකකි. ප්‍රඥාව යනු මෝහයට ප්‍රතිවිරුද්ධ ධර්මතාවයයි. මෝහාන්ධකාරයේ ගිලී සිටි ප්‍රභාකරන්ට කෙසේ නම් ප්‍රඥාවක් පහළවේද යන්න (පඤ්ඤා උදපාදී) ගැටලුවකි.

සූත්‍ර පිටකය තුළ ශක්‍ර දෙවියන්ට හිමිව ඇත්තේ වැදගත් තැනකි. දෙදෙව්ලොවට අධිපති ඔහු සම්‍යක් දෘෂ්ටික අයෙකු බව දැක්වේ. බෝසතාණෝ බුද්ධත්වය උදෙසා පාරමී දම් පුරන කාලයේදීද ශක්‍රයා බොහෝ සෙයින් උපකාර වුවෙකු බව ජාතක පාලිය සනාථ කරයි.

ශක්‍ර දෙවියෝ අන් කිසිවෙකු නොව බුදුරජාණන් වහන්සේට සමකාලීනව පර්සියාවේ රජ කළ ඩේරියස් රජු බවට කරුණු දක්වමින් එළවන ලද තවත් මතයකි. වප් පුර පසළොස්වක පොහෝ දිනයකදී සිදු වූ දේවාවරෝහණය යනු ඩේරියස් රජුගේ ප්‍රාසාදයේ උඩුමහලේ සිට බුදුරජාණන් වහන්සේ පහළට බැසීමයයි එම මතය මගින්ම දැක්වේ. තව්තිසාව ඩේරියස් රජුගේ මාලිගාව පිහිටි රාජධානියයි. මෙය බෞද්ධ සාහිත්‍යයට එකතුවුනු තවත් නව ප්‍රවේශයකි. ඔහුට අයිති තවත් රාජ්‍යයක් තිබුනි. එය තුසිතයයි.

‍අරමුණු දැන ගන්නා ශක්තිය සිත බවත්, ෂට් ඉන්ද්‍රියයන්ගෙන් ගනු ලබන අරමුණු දෙසට නැමී ඒවා ග්‍රහණය කර ගත් ප්‍රකෘති සිත විඤ්ඤාණය (වෙසෙසින් දැනගන්නා ශක්තිය) නමින් දැක්වෙන බවත් බුදු දහමෙහි නාමකරණය වෙයි. සාංසාරික පැවැත්ම පිළිබඳ වගකීම විඤ්ඤාණය දරයි. පංචස්කන්ධයක් දරා සිටින සත්ත්වයා විඤ්ඤාණ ධාරියෙකු (සවිඤ්ඤාණක) බව බුදු දහම අවධාරණය කරයි. ඒ අනුව සිව්පා සතුන්ද පංචස්කන්ධයක් සහිත සත්ත්වයෝ වෙත්, එහෙත් සමහර සිව්පා සතුන්ට විඤ්ඤාණයක් නැතැයි එක්තරා මාධ්‍ය ධර්ම සාකච්ඡාවකදී ශ්‍රාවකයෙකුගේ පැනයකට පිළිතුරු වශයෙන් දැක්වුනි. එම සතුන් සංඛාර පච්චයා විඤ්ඤාණං යන පටිච්ච සමුපන්න ධර්මතාවයෙන් වියුක්තදැයි කුකුසක් ඇතිවෙයි.

සුරාපානය කාම මිථ්‍යාචාරයට අයත් යැයි තවත් ප්‍රකාශිත අදහසකි. එසේ නම් ශික්‍ෂාපද දෙකක් පැනවෙන්නේ කුමක් නිසාදැයි සලකා බැලිය යුත්තකි. සුරාපානය කාම මිථ්‍යාචාරයට පමණක් නොව අනෙක් සැම වරදකටම රුකුල් දෙන බව නම් සැබෑවකි. කාම මිථ්‍යාචාරය සතර කර්ම ක්ලේශයන්ටත් දස අකුසල කර්ම පථයන්ටත් අයත් වන අතර සුරාපානය ඊට අයත් නොවන්නකි.කාම මිථ්‍යාචාරයටත් සුරාපානයටත් විධිමත් අර්ථ දැක්වීම් ධර්මයෙහි දැක්වෙන බැවින් මේ අදහසද ශ්‍රාවකයාට ගැටලුවක් ඇති කරවයි.

අභිධර්මය බුද්ධ දේශනාවක් ද නැද්ද යන කාරණයද බොහෝ දෙනෙකුගේ විවාදයට ලක් වුයේ බොහෝ කාලයක සිටය. එය බුදු දහමක් නොවේය යන්න තිර ලෙස දැක්වූ, අප රටේ නිදහස් මතධාරි හිමිනමකගේ් ලිපියක් පළවීම නිසා, “ බුදුසරණ “ ක්‍රිස්තියානිකරණයට නම්‍ය බවක් දැක්වෙන බවට ප්‍රකාශ කිරීමට තවත් පුවත්පතක් ඉදිරිපත් වු බවද අපට අසන්නට ලැබුනි. හිමියන්ගේ ප්‍රකාශය මගින් බුදු දහම විකෘති කිරීමක්වත්, ධර්මයට නිගාවක්වත්, අභිධර්මය අසත්‍යයක් කොට දැක්වීමක්වත් නොවන නිසා එකී ක්‍රිස්තියානි කරණ කථාව සාකල්‍යයෙන් ම සාවද්‍යය.

කෙසේ වෙතත් දුරාතීතයට සම්බන්ධ මේ කාරණය, එනම් අභිධර්මය බුද්ධ භාෂිතයක්ද නැද්ද යන්න පිළිබඳව ගැඹුරින් සාක්ෂ්‍ය විභාග කිරීමේ අවශ්‍යතාවයක්, අපට වැටහෙන තරමින්, ධර්ම මාර්ගය පිළිපදින්නාට නොමැත්තේය. තවද නිවන්මග විවෘත කර ගැනීමට පහසුවක් මිස බාධාවක් නොවන නිසාත්, අන්තර්ගතය විනය හා සූත්‍ර පිටකද්වයට ගැටුමක් ඇති නොකරන නිසාත්, සතර පරමාර්ථ ධර්ම පිළිබඳ වැටහීමක් ලබා ගැනීමට ඉඩකඩ සලසන අභිධර්ම පිටකයේ ආරම්භය පිළිබඳව තර්ක විතර්ක කිරීමේ අවශ්‍යතාවයක්ද ශ්‍රාවකයාට නොමැත. දිව්‍ය, මනුෂ්‍ය භුමිවල කාලය පිළිබඳව දැක්වෙන විවරණයන්ට අනුව, අභිධර්මය දේශනා කරන ලදැයි සඳහන් කාලසීමාව වන තෙමසක් කාලය පහසුවෙන් තේරුම් ගත හැකි සරල එකකි.

මේ අන්දමට පසු පෙල ශ්‍රාවක පාඨක පිරිස වන අපට, එන්න එන්නම නොයෙකුත් මත හා අර්ථ ගැන්වීම් අසන්නට කියවන්නට ලැබෙමින් පවතින බව ‍ෙපනේ. එය චින්තන පරිනාම ධර්මතාවයක් වුවද, දහම් මග ගත යුතු ආකාරය පිළිබඳ විමසුම කල්තබා , අසවල් අසවල් ඇත්තෝ මෙසේ මෙසේ කියත්, ඒවා හරිද වැරදිද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට දහම පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ අය ඉදිරිපත්වන බව අපගේ අත්දැකීමයි. දේශනාවලට සවන් දෙන්නේ හෝ දහම් පොත්පත් කියවන්නේ ඒවායේ අඩුපාඩු සෙවීමට යයි නොසිතත්වා! ඒවා මගින් අපට උගත හැකි ඉතා හරවත් කරුණු කාරණා ඇත. ඒ අතරින් උද්ගතවන ප්‍රායෝගික ප්‍රශ්නයක් මතු කර දැක්වීම පමණක් මෙහිදී කෙරේ.

බුදු දහම පිළිබඳ විශිෂ්ට බෞද්ධ සාහිත්‍යයන් අපට උරුමව තිබේ. එය ග්‍රන්ථ ධූරයේ පරිනාමයයි. තාර්කික ඥාන සම්ප්‍රයුක්ත උගතාට ඇති, සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැර වීමට කැමැත්ත නිසා, ධර්මයේ සමහර කරුණු එදා දුටුවාට වඩා වෙනස් අයුරකින් අද දකිනවා විය හැකිය. සම්ප්‍රදාය තුළ සිරවී සිටිය යුතු යයි බුදුරදුන්ගේ ඉගැන්වීම් වල නිර්දේශ නොකෙරේ. බණ අසන පොත් පත් කියවන බොදු පිරිසෙන් බහුතරයක් වීමංසා බුද්ධියෙන් යුත් අය නොවේ. එවැනි ප්‍රජාවකට යම් නව නිර්දේශයක් ප්‍රවේශ කරවන විට එය ඔවුනට කෙසේ බලපාන්නේද යන්න අවධානයට ලක්විය යුත්තකි. යම් කරුණක් දෙතැනකින් දෙයාකාරයකට ඉදිරිපත්වීමේදී අවිනිශ්චයන් ඇති වීම ස්වාභාවිකය. මේ අනුව පොදු ශාසන සම්මුතියකින් වියුක්තව එළඹෙන නොයෙකුත් මත, අදහස් හා අර්ථකථනයන් අභිමුඛයේ දී පසුපෙළ ශ්‍රාවකයාටද වගකීමක් ඇත. අසන කියවන දේ මගින් සසළ නොවී, ඇසු පමණින් පිළිගන්නා ප්‍රතිග්‍රාහකයෙකු නොවී, ශක්ති පමණින් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදීම ඒ වගකීමයි. ධර්ම ශ්‍රවනයට, දහම් පොත් පත් කියවීමට අප තරම් භාග්‍යය ලත් කිසිවෙක වෙනත් කිසිම රටක නැත. ඒ භාග්‍යය භුක්ති විඳින අතර තුර පෙර නොඇසු දේ අසා ඉගෙන ගැනීමට මෙන්ම, දැන සිටි දේ පිළිබඳ නව අදහස් හා අර්ථ ගැන්වීම් ඉදිරියටත් අසන්නට ඉඩ තිබේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.