සිංහල සන්දේශ සාහිත්‍යයෙන් හෙළි වන
ආගමික පසුබිම
ශාස්ත්‍රපති
වික්‍රමසිංහ අතපත්තු
සිංහල සන්දේශයන්ගේ ඉතිහාසය සොයා බැලීමේදී 13 වැනි සියවස තෙක් පැරැණි
ඓතිහාසික සාධක හමුවෙයි. සිදත් සඟරාවේ සඳහන් වන ‘මොනරිඳු එකල්හි පුල්
සළ’ඟ නවා ගනී’ යන වාක්‍යය පැරැණි මයුර සන්දේශයක තොරතුරු පිළිබඳව සැක
පහළ කරයි. දැනට එවැනි ග්‍රන්ථයක් දක්නට නොමැති බැවින් දැනට විද්‍යාමානව
පවතින සන්දේශ අතුරෙන් මයුර හා තිසර යන සංදේශ දෙක පැරැණිතම සිංහල
සංදේශයන් ලෙස සැලකිය හැකිය. ඉන්පසු වැදගත් වන්නේ කෝට්ටේ යුගයේ ලියවුණු
පරෙවි, කෝකිල, සැලළිහිණි, ගිරා, හංස සහ සීතාවක යුගයේ ලියවුණු සැවුල්
සන්දේශයයි.
සිංහල සන්දේශ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කෝට්ටේ යුගය විශිෂ්ට
සන්දේශ පහක් ප්‍රකාශිත යුගයයි. ලම්බකර්ණ වංශික මඪ වන පැරකුම්බා
නිරිඳුන් මෙකල සිරිලක පාලකයා විය. පරසතුරු උවදුරු නිසා රට සාමයෙහි
පිහිටුවාලු පැරකුම් මහරජු සාසනයට සිදුකළ සේවාවන් අතර ශ්‍රී ජයවර්ධන
පුරයෙහි දළදා මාලිගාව තැනවීමත්, පැපිලියානේ සුනේත්‍රාදේවි මහ පිරිවන
පිහිටුවීමත් රත්නපුර සමන් දේවාලය පිළිසකර කරවීමත් ප්‍රධානකොට සැලකිය
හැකිය. මෙකල අධ්‍යාපනය අතින්ද ස්වර්ණමය යුගයක් වීමට මූලික වූ
කේන්ද්‍රස්ථාන කීපයක් ගැන තත්කාලීන සන්දේශවල තොරතුරු දැක්වේ. තොටගමුව
විජයබා පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන, වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙන
යන ආයතන ආගමික අධ්‍යාපනයට පමණක් සීමා නොවීය. ලෞකික විෂයන්ද මෙම ආයතනවල
ඉගැන්වූ බව ගිරා සන්දේශයෙහි සඳහන් වේ.
මුනිවරු දෙසූ සදහම් මෙන්ඇම දවස
උවදුරු දුරැර රකිනුව සත්වග වෙසෙස
පෙරැදුරු ඉසිවරන් පැවසූ නොයෙක ලෙස
වෙදවරු වෙද සතර පිරුවති එහි සතොස
(ගිරා සන්දේශය - 13)
මෙම විද්‍යා ස්ථාන කේන්ද්‍රකොට ගෙන සිදුවූ සාහිත්‍ය සේවයද අගය කළ යුතු
වන්නේ ය. සන්දේශ කෘතිවලට අමතරව සද්ධර්ම රත්නාකරය, ලෝවැඩ සඟරාව, ගුත්තිල
කාව්‍යය භක්ති ශතකය, කාව්‍යශේකරය, පඤ්චිකා ප්‍රදීපය, රුවන්මල් නිඝණ්ඩුව
වැනි ග්‍රන්ථ පෙන්වා දිය හැකිය.
කෝට්ටේ යුගයේ රචිත සෑම සන්දේශයකින්ම එකල පැවති ආගමික පසුබිම වර්ණිතය.
දළදා මාලිගාව රජ මැදුර අසලම ඉදිකර තිබීම රාජකීය අභිමානය වඩාලන්නකි.
ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී
දෙන නොමදා සිරිසඟ මොක් සැප නි සැදී
ලද මුනිදා දම්කඳ පහස මන බැදී
වඳු දළදා හිමි තෙමහල් පහය රැඳී
(සැළලිහිණිය)
සඳරැස් වැනි සුදු පැහැය ලෝකය පුරා විහිදුවාලූ ස්වර්ග මෝක්ෂ සම්පත්
නොඅඩුව ලබාදෙන, බුදුරජාණන් වහන්සේගේ සිත්හි රැදුණු අමා දහමෙහි පහස ලද,
තුන්මහල් ප්‍රාසාදයෙහි වැඩ සිටින දළදා වහන්සේ වන්දනා කරන ලෙස මෙයින්
ප්‍රකාශ වෙයි. එසේම හංස (47), පරවි (43), ගිරා (50) යන සන්දේශවලද දළදා
මැදුර ගැන සඳහන් කර තිබේ.
මෙකල පැවැති බෞද්ධ සිද්ධස්ථාන අතර ගුරු බැවුල වෙහෙර බව අවුල දුරලන මොක්
පුරයක් බව හංසය කියයි. එකල ප්‍රබල බෞද්ධ නගරයක් වූ කැලණිය රමණීය ලෙස
වර්ණනා කරන්නේ සැළලිහිණි සන්දේශයයි. බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන්
පිවිතුරු වූ කැලණි විහාරයේ දාගැබ, දෙමහල්, තෙමහල් විහාර මන්දිර, බෝධිය
හා සංඝ ආරාම ආදිය වන්දනා කිරීමට සන්දේශ ගෙන යන දූතයෝ ආරාධනා ලබති.
සසරින් මුදා ලෙව් සදහම් අමාදී
එකගින් මුනිඳු උන්වැනි නිපර මාදී
ලකුණින් සපිරි පිළිමය දැක සමාදී
වැදගන් මිතුර තුන් සිත කර සමාදී
(සැලළිහිණිය 67)
කැලණි විහාරයෙහි සමාධි පිළිමය පිළිබඳවයි. සද්ධර්ම නැමැති අමා දීමෙන් ලෝ
වැසියන් සසරින් මිදූ බුදුන්වහන්සේ එකඟ වූ සිතින් වැඩ සිටියේ මෙසේ යැයි
පවසන්නාක් මෙන් යුක්ත වූ ප්‍රමාද රහිත වූවකුගේ ගුණයෙන් යුක්ත සමාධි
පිළිමය දැක තුන්සිත එකඟ කරගෙන ඒ පිළිමය වැඳ ගන්නා ලෙස සැළලිහිණියාට
කියයි.
කෑරගල පද්මාවතී පිරිවෙන වනවාසී ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයකි. හංස
සන්දේශයේ එන කෑරගල වෙහෙර වර්ණාවෙන් මේ පින්බිම අති රමණීය ස්ථානයක් ලෙස
චිත්‍රණය කරයි.
පැසෙයි නිබඳ සුවඳැල් කෙත් වත් අවට
ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට
රසෙයි අමා රසමය ඒ පියස දුට
(හංස සන්දේශය)
එම පුදබිම ගැන ගිරා සන්දේශ කතුවරයා මෙසේ ප්‍රකාශ කරයි.
තුරු යටියෙන් හුණු පැටි ලෙහෙණුන් රැගෙන
සිතු අටියෙන් පිඹැ ඇඟ පිරිමැද සෙමෙන
මල ගෙටියෙන් පැන් පොවමින් අතින තින
සිටි පැටිනන් හෙරණුන්ගෙන් වෙයි සොබන
ගසින් වැටුණු ලේන් පැටවුන් රැගෙන සිතූ පරිද්දෙන් පිඹ ඇඟ පිරිමැද පැන්
පොවා සනසන සාමණේරයන් වහන්සේ ගැන මෙයින් කියවේ.
හිංස සන්දේශය රචනා කිරීමේ පරමාර්ථය ලෙස සැලකෙන්නේ සමන් විභීෂණ,
උපුල්වන් හා කඳ කුමරුට පිරිත් කියා පින්දී රජුට සෙත් පතන ලෙස කෑරගල
වනරතන හිමියන්ගෙන් ඉල්ලා සිටීමයි. පිරිත් ධර්මයට සන්දේශවල සුවිශේෂි
තැනක් හිමිවෙයි. හංසයා පිටත් වන්නේ ද ශුභ නිමිති, නැකැත් බලා නොව
පිරිත් සිහිකරමිනි.
කෝට්ටේ යුගය වනවිට දේව ඇදහිලි ඉතා විශාල වශයෙන් පැවතුනි. දෙමළ ජනයාද
සිංහල ජනයා සමඟ සමඟියෙන් විසූ බවට හින්දු ආගමික බලපෑම් කදිම සාධකයකි.
කළුවැල් කපුරු දුමතුළ ලෙළෙන දද පෙළ
සුවිසල් මිහිඟු සක් සන්මිණි හඩ පතළ
කැරලොල් සතන් පවසන තියු ගී දෙමළ
මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකළ
(සැලළිහිණිය 22)
කළුවැල්, කපුරු දුම් ඇතුළෙහි කොඩි සමූහය සෙලවෙන, ඉතා විශාල මිහිඟු බෙර
හඬ, සක්හඬ , මිණිගෙඩි හඬ, පැතිරී ඇති ජනයා ඉතා කැමැත්තෙන් දෙමළ තුති
ගීත ගයන සිත් ගන්නා සුළු අලංකාර ඊශ්වර කෝවිලේ ලගින්න’ යැයි
සැලළිහිණියාට දන්වයි. මෙයින් හින්දු ආගමික සිතින් ඇගයුමට ලක්වෙයි.
ජයවර්ධන පුරයෙහිම පිහිටි කතරගම දේවාලයක් ගැන සඳහන් වෙයි. හංසයේදී දූතයා
දළදා වැදීමටත් පෙර මෙම දෙවොලට නමස්කාර කරයි. සැළලිහිණියාද මෙම දෙවොල
දකී.
උපුල්වන් දෙවියන්ටද මෙකල ප්‍රධාන තැනක් හිමි වෙයි. කැලණියේ විභීෂණ
දෙවිඳුන්ද මහත් ගෞරවයෙන් ඇදහු දෙවියෙකි. උලකුඩය දේවියට පුත් රුවනක්
ලබාදෙන මෙන් සැලළිහිණියේදී ඇයැද සිටින්නේ විභීෂණ දෙවියන්ගෙනි.
සිද්ධ හා විද්‍යාධර යන සුළු දේව කොටස් ගැනද විෂ්ණු කිරිමුහුද කැළඹීම -
පියුමම්බා හෙවත් ලක්ෂ්මී, විසධසරණ හෙවත් සරස්වතී වැනි හින්දු දෙවියන්
ගැනද සඳහන් ය. කෙසේ වෙතත් බෞද්ධාගමට ප්‍රධානත්වය දෙමින් හින්දු ආගමික
සිරිත්ද අගයමින් ආගමික සහජීවනයෙන් යුතුව එකල වැසියා දිවි ගෙවූ බව
පැහැදිලිය. |