Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහම තර්කයට දී ඇති තැන

යම් මතයක සත්‍යතාව ඔප්පු කිරීම සඳහා ඊට ප්‍රතිවිරුද්ධ වූ මතයේ සාවද්‍යතාව ගෙනහැර දැක්වීම, තර්ක යන්නේ අර්ථයයි. තර්කය සත්‍ය වශයෙන් තාවකාලිකව පිළිගන්නා දෙයකි. විවාදයන්හිලා ඉදිරිපත් කෙරෙන සාවද්‍ය සාධන ද තර්ක ගණයට ගනී. පෙර අපර දෙදිගම විසූ බොහෝ චින්තකයෝ සත්‍ය සාධනය පිණිස තර්කයෙහි සප්‍රමාණ බව පිළිගෙන තිබේ. බුදු දහම තර්කය පිළිබඳ දක්වන්නේ උදාසීන ආකල්පයකි. ඤාණ මාර්ගයක් වශයෙන් තර්කයේ ඇත්තේ සීමිත උපයෝගිතාවකි. බුදුදහම අතක්කාවචර ය. තර්කය එය වටහා ගැනීමට ප්‍රමාණවත් නැත.

අධිගතෝඛෝ ඤාණං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනීතෝ අතක්කාවචරෝ’

තර්කය සර්වාංග සම්පූර්ණ ඤාණ මාර්ගයක් නොවන බව සූත්‍ර ගණනාවකම දැක්වේ. දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රය, මජ්ජිම නිකායේ සන්දක හා චංකී සූත්‍රය, අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය හා සුත්ත නිපාතය, අට්ඨක පාරායන වග්ගය ඒ අතර ප්‍රධාන වේ. තර්කය නිරවද්‍ය ඤාණ මාර්ගයක් ලෙස නොසැලකීමට තර්කයේ සප්තකාර ඌණතා බල පා තිබේ.

1. තර්කය තාර්කිකයාගේ පෞද්ගලික හැකියාව හෝ නොහැකියාව මත රඳා පවතී.

පණ්ඩිතව නිපුණව අනුන් සමඟ නොයෙක්වර වාදකොට ඇති මහණ බමුණන් අඳුරේ අස්ලොම විද බලා පියන්නට සමත් වාලවේදී දුනුවායන් මෙන් සියුම් තර්කවාද නැගු බව බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වේ. සච්චක, උපාලි ගෘහපති, අභයරාජ කුමාර, බුදුරජාණන් වහන්සේට වාදාරෝපණය කළවුන් අතර ප්‍රධාන වේ.

2. තර්කය මගින් සත්‍ය බහුත්වයක් නිර්මාණය කරයි

බ්‍රහ්මජාල සූත්‍රයේ දෙසැටක් දෘෂ්ටි සත්‍ය ලෙස ගෙන ඇති අයුරු පැහැදිලි කර ඇත. අග්ගිවච්චගොත්ත, චූලමාලුක්‍යපුත්ත හා සිව් වැදෑරුම් දෘෂ්ටින් දැක්වෙන සංයුක්ත සගියේ අචේල කස්සපාදී සුත්‍රවලත්, සූත්‍ර නිපාත අට්ඨක වග්ගයේත් එකී සත්‍ය බහුත්ව දක්නට ලැබේ. දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේදී ශාස්වතවාද, අශාස්වතවාද, අන්තානන්ථිකවාද, අධිච්චසමුප්පන්නවාද යනුවෙන් එල්බගෙන තිබූ දෘෂ්ටිවාද හතරක් දක්වා තිබේ.

අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය ‘මා’ නිපාතය යෙදීම භාවිත කොට නොගතයුතු බව තක්කහේතු, ණයහේතු, ආකාරපරවිතක්කේන, දිට්ඨි නිජ්ජානක්ඛත්තියා යන්නෙන් ද දක්වා තිබේ.

‘නහේව සච්චනි බහුනි නානා
අඤ්ඤත්‍ර සංඥාය නිච්චානි ලෝකෝ
තක්කංච දිට්ඨිසූ මකප්ප යෙත්වා
සච්චං මුසාති ද්වය ධම්ම මානෝ

ලොව සංඥා මාත්‍ර වශයෙන් නිත්‍ය යැයි ගන්නා ලද දේ හැර, නා නා විධ බොහෝ වූ සත්‍යයෝ නැත. දෘෂ්ටින් කෙරෙහි මිථ්‍යා සංකල්ප මාත්‍රය උපදවා තර්කය ද යොදා ‘මාගේ වචනය සැබෑව සත්‍යයකි. ඔබගේ මතය අසත්‍ය ය යන යුග්ම ධර්මය කියති’ යනුවෙන් චූලව්‍යුහ සූත්‍රයේ විස්තර කර තිබේ.

සච්චන්ති සෝ බ්‍රාහ්මණෝ කිං වදෙය්‍ය
මුසාතිවාසෝ විවදේති චේන
යස්මිං සමං විෂමං වාපි නත්ථි
සකේන වාදං පටිසං යුඡෙය්‍ය

සත්‍ය යැයි ඒ බමුණා කුමක් කියන්නද? යමක් අසත්‍ය යැයි කියාත් කෙසේ වාද විවාද කරන්නද? සම විසම යැයි කියා දෙයක් නැත්නම් කුමක් පිහිට කොට වාද කරන්නද?

3.තර්කය අන්තවාදී දෘෂ්ටිගතයනට එළඹීමට මගපාදා තිබේ

1. සෑම දෘෂ්ටියකටම මම එකඟ වෙමි
2. කිසි දෘෂ්ටියකට මම එකඟ නොවෙමි
3. සමහර දෘෂ්ටින්ට මම කැමැති වන අතර සමහර දෘෂ්ටීන්ට අකැමැති වෙමි යන අන්තවාදී දෘෂ්ටිගතයනට එළබෙන්නේ තර්කය නිසාය.
4. තර්කය නිසා ද්වේෂය වෛරය හා කලහකෝලාහල හටගැනීමට ඉඩකඩ ඇත.

ඇතෙකුගේ අග පසග වෙන් වෙන්ව අතගා ඇතා මෙසේ යැයි කී ජාත්‍යන්ධයෝ මෙන්, අන්‍ය තීර්ථකයෝ සත්‍ය මෙයමැ යි වාද කළහ. මේ ඬසා දෘෂ්ටි රාගය හා ද්වේෂය ඇති විය. වාග් සංග්‍රාම ඇති විය. සංඥාවත් දෘෂ්ටියත් යමෙක් අල්ලා ගත්තේ නම් ඔවුන් ගැටෙමින් ලෝකයේ හැසිරෙන බව සුත්ත නිපාතයේ මාගන්ධිය සූත්‍රය දක්වා තිබේ.

තර්කය ප්‍රතිවාදීන්ගේ මත ඛණ්ඩනයට යොදාගත් වක්‍ර සාධකයකි. මේ බව න්‍යාය සූත්‍රය ද පෙන්වා දෙයි.

5. අවිනිශ්චිත ස්වාභාවය

තර්කය දෙපැත්ත කැපෙන කඩුවක් වැන්න. එයින්ම පරමාර්ථ සත්‍ය සාධනය කළ නොහැකිය. තර්කය අවිනිශ්චිත ඤාණ මාර්ගයකි. තර්කයේ නිවැරැදිතාව හතරෙන් එකකි.

1. තර්කය ගොඩනැගූ ආකාරයද නිගමන ද නිවැරැදි ය
2. තර්කය ගොඩනැගූ ආකාරය නිවැරැදි වුවද නිගමන වැරදි ය
3. තර්කය ගොඩනැගූ ආකාරය වැරැදිය. නිගමන නිවැරදිය
4. තර්කය ගොඩනැගූ ආකාරය ද නිගමන ද වැරැදිය

තර්කයට අනුව එළඹෙන නිගමන සියයට සියයක්ම නිවැරැදි නොවීමට බලපාන තවත් හේතු කිහිපයකි.

1. තර්කය සිය කල්පනාවට අනුව නිවැරැදි වුවද එය බොරුවකි
2. කල්පනාවට අනුකූල නොවන සේ තර්කය ඉදිරිපත් වී ඇතත් එමගින් එළඹ ඇති නිගමනය සත්‍යයකි.
3. තමා පිළිගත් දෘෂ්ටියට මනා සේ ගැලපෙන්නකි. එහෙත් එය බොරුවකි
4. තමා පිළිගත් දෘෂ්ටියට අනුකූල නොවන්නක් වුවද එය සත්‍යයකි.
6. සත්‍ය ඉස්මතු කරලීමේ අව්‍යාජ අරමුණින් බැහැරව පටු අරමුණු ඇතිව තර්ක කරන්නවුන්

මේ නිසා අත්තුක්කංසන හා පරවම්භන ඇතිවිය හැකිය. සත්‍ය යටපත් කොට අසත්‍ය ස්මතු විය හැකිය. වැරදිකරු නිවැරදිකරු කරන්නේත් නිවැරදි තැනැත්තා වැරදිකරු කරන්නේත් තර්කය තුළිනි.

7. තර්කයේ මාධ්‍ය වූ භාෂාව හුදෙක් චිත්ත නිර්මිත අවිද්‍යා ජනිත සම්මුතියකි

තර්කයේ මාධ්‍යය භාෂාවය. භාෂාව වනාහි උපකරණයකි. අකුරු පද වාක්‍ය පදනම මත සැකසුණු විට භාෂාව විධිමත් ලෙස උගන්වන්නේ ව්‍යාකරණය තුළිනි. භාෂාව සම්මුතියකි. දේශ කාල ජාති හා භින්න රුචිකත්වය පුද්ගල නානාත්වය මත භාෂාව වෙනස් වේ. සත්වයා යනු භාෂාවේ එන නාම පදයකි. එය සම්මුතියකි. අංගෝපාංග එකතු වූ කල්හි සත්වයා යැයි කියනු ලැබේ. එබැවින් භාෂාව තුළ ප්‍රස්තුතයක සත්‍ය අසත්‍ය ඇත නැත යන ද්වයනිඞශි‍්‍රතය පවතී.

එබැවින් බුදුරජාණන් වහන්සේ භාෂාව චර්යාව අනුව භාවිත කළ බව පොට්ටපාද සූත්‍රයේ දක්වා තිබේ. යමෙකු තර්කනය වීමංසනය පදනම් කොටගෙන ඥානය ප්‍රකාශ කරන්නේනම් එය බුදුදහම ප්‍රතික්ෂේප කරයි. එබැවින් ධර්මවාදි තැනැත්තා තර්ක නොකෙරේ. ‘නාහං භික්ඛවේ ලොකේන විවාදාමි - ලොකෝච ඛෙ භික්ඛවෙ මයා විවදති’

බුදුදහම අහේතුකව කිසිවක් පිළිනොගනී. ක්‍රමානුකූ®ලව යමක් දැක්වීමේදී නිරතුරුව උපමා උදාහරණ හේතු යුක්තීන් දක්වමින් තර්කානුකූලව භාෂා මාධ්‍ය යොදාගනි.

උදාහරණ

යම්කිසි සමූද ධර්මයක් වේද - ඒ සියල්ල නිරෝධ ධර්මයෝය
සියලු සංස්කාර අනිත්‍යයහ - ඒ නිසා සංස්කාර සංසිදවීම සැපයකි
සංස්කාර ධර්ම අනිත්‍යයහ - ඒ නිසා දුකය - දුක් වූ සියල්ල අනාත්මය

බුදුදහම තර්කයේ සීමිත උපයෝගිතාවය පිළිගෙන තිබේ. අනාථපිණ්ඩික සූත්‍රයේ එබඳු තැනක් දැකගත හැකිය. ‘ආනන්දය, තර්කයෙන් යම්තාක් දුරට පිවිසිය හැකි ද ඒ තාක් දුරට ඔබ පැමිණ ඇත’. සකවාද (තමාගේ අදහස්) සමර්ථනය හා පරවාද (අන්‍යයන්ගේ අදහස්) ඛණ්ඩනය සඳහා ද තර්කය යොදාගෙන තිබේ. ‘උප්පන්නංවා පරප්පවාදං - සහධම්මේන සුනිග්ගහීතං නිග්ගහං භිස්සති’.

පශ්චාත් කාලීන බෞද්ධ යුගයේ කථාවත්ථූපකරණය, මිලින්ද ප්‍රශ්නය ආදි ග්‍රන්ථ ද තර්කානුසාරයෙන් ඉදිරිපත් කර තිබේ. මීට අමතරව ලෝක ව්‍යවහාරය දේශනා කිරීමේදී ද තර්කය යොදාගෙන තිබේ. තර්කයේ එන අනුමාන දෙකකි.

1. පරතොඝොසය - පරාර්තානුමානය
2. යෝනිසෝ මනසිකාරය - ස්වාර්තානුමානය

දෙව ඛො ආවුසෝ පච්චයා සම්මා දිට්ඨියා උප්පාදාය පරතොචඝොසො යෝනිසෝ මනසිකාරෝ.

සෑම ගැටලුවකදීම තර්කය උපයෝගී කොටගෙන විසඳුම් ලබාදිය නොහැකිය. එහෙත් තර්කයෙන් බැසගත හැකි සීමිත තැන්ද තිබේ. එබැවින් බුදුදහම සප්‍රමාණ ඥාන මාර්ගයක් වශයෙන් තර්කයේ ඇති උපයෝගීතාවය සීමිත බව පිළිගෙන තිබේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.