Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාරතීය ශ්‍රමණ සම්ප්‍රදාය සහ ෂට් ශාස්තෘවරු

ක්‍රි.පූ. 6 - 7 ශත වර්ෂයේ දී භාරතයේ නව පිබිදීමක් ලැබූ සම්ප්‍රදායක් ලෙස ශ්‍රමණ සම්ප්‍රදාය හැඳින්විය හැකිය. ‘ශ්‍රමණ’ යනු යහ සම්ප්‍රදායේ උත්සාහ දරන්නා, පරිශ්‍රමයේ යෙදෙන්නා යනුවෙන් අර්ථ දක්වා ඇත. එම සම්ප්‍රදායේ මුඛ්‍ය පරමාර්ථය වූයේ අධ්‍යාත්මික ප්‍රබෝධය ළඟා කර ගැනීමය. මේ නිසාම ශ්‍රමණයෝ ලෞකික සැප සම්පතට වඩා අධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දී සිය සම්ප්‍රදාය පවත්වාගෙන ගිය හ. එකල භාරතය පුරා පැතිරී තිබූ බ්‍රාහ්මණ සම්ප්‍රදාය නිසා සිදු වූ ආගමික ඒකාධිකාරයට විරුද්ධව ක්‍රියාත්මක වීම මෙහි විශේෂ ලක්ෂණයකි. ලෞකික පූජාවන්ට මුල්තැන දෙමින් දැඩි නීතිරීති පැනවීම තුළින් තම ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ක්‍රියාත්මක වූ බ්‍රාහ්මණ සම්ප්‍රදායට මෙය තදබල ලෙස බලපෑවේය. තාපස චර්යාවන් ද යෝග භාවනා විෂයෙහි කැපවීම ද ශ්‍රමණ සම්ප්‍රදායට උරුම වූවක් විය.

“පින් පව් දැක තමන්ගේ සිත දමනය කැර මෙලොව පරලොව දැක ක්ලේශ තාපනය කර ඉපදීම හැර මරණය ඉක්මවූවෝ ශ්‍රමණයන්” යන්නෙන් අර්ථවත් වන බව සූත්‍ර නිකායේ සඳහන් වේ. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලෞකිකත්වයට මුල්කරගත් ආගමික වතාවත් නිර්දය ලෙස විවේචනය කරමින් ඊට එරෙහිව සෘජුවම නැගී සිටීම දක්නට ලැබුණු සුවිශේෂ කරුණු වේ.

විවිධ නම්වලින් හැඳින්වුණු ශ්‍රමණ කණ්ඩායම් ඒ අතර සිටියහ. බුදුරදුන් ජීවමාන කාලයේදී ජීවත් වූ ශ්‍රමණ කණ්ඩායම් දහයක් පිළිබඳ අංගුත්තර නිකායේ සඳහන් වේ. නිගණ්ඨ, ආජීවක, පරිභාජක, අචේලක, ජටිල ආදී ශ්‍රමණ කණ්ඩායම් ඒ අතර කැපී පෙනුණහ.

පරමාර්ථයන් ඉෂ්ටකර ගැනීම අතින් ද බමුණු සම්ප්‍රදායේ ඉගැන්වීම් හා එකඟ නොවූ අතර සත්ත්වයා හා ලෝකය විශ්ව නිර්මාණික දෙවියන්ගේ මැවීමක් යැයි පෙන්වා දුන් ඉගැන්වීමත්, වේදය, යාගය ආදිය ඉඳුරාම ප්‍රතික්ෂේප කළහ.

චතුර් ආශ්‍රම ධර්මයනට අනුව වානප්‍රත්‍ය හා සන්න්‍යාසි අවධීන්හිදී ගිහිගෙය අතහැර වනගතවීම බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව සිදුවිය යුතුය. එහෙත් ශ්‍රමණ සම්ප්‍රදාය අනුව සත්‍ය ගවේෂණය කිරීමට ජීවිතයේ ඕනෑම අවධියකදී අවකාශ ලැබිණි. බමුණු සංස්කෘතිය තුළදී මෙන් ජීවිතයේ තරුණ අවධිය සියලු ලෞකික සැප සම්පත් විඳිමින් ගතකර මහලුවියේ සත්‍ය සොයායාම ශ්‍රමණ සම්ප්‍රදායේ ඉගැන්වීම හෝ අරමුණු නොවීය.

බමුණු සංස්කෘතියේ තිබූ ජනතාව පීඩනයට ලක්කළ වර්ණ භේදය මෙන්ම ස්ත්‍රී පුරුෂ භේදය ද ප්‍රතික්ෂේප කිරීම ද භේදයකින් තොරව ශ්‍රමණයකු ලෙස ප්‍රවෘජ්ජාවට පත්වීමට කිසිදු බාධාවක් නොවීය.

කාන්තාවන්ට ද පැවිද්ද ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා තිබූ බවට ඇතැම් බෞද්ධ මූලාශ්‍රවල සඳහන් ය. පරිබ්‍රාජ, නිගන්ඨ ආජීවක ආදී වශයෙන් තිබූ ශ්‍රමණ සංස්කෘතිය තුළ ජම්බු පරිභ්‍රාජිකාව එයට හොඳම නිදසුනක් සපයනු ඇත.

දෙවියන් පිළිබඳ විශ්වාසය හා ඊශ්වර නිර්මාණවාදය පිළිබඳ මුළුමනින්ම බැහැර කළ අතර ලෝකය මවන ලද කිසිදු දෙවියකු බ්‍රහ්මයකු හෝ පාරභෞතික බලවේගයන් පිළිබඳ ඉඳුරාම බැහැර කළහ. බමුණන් සිදුකළ පුදපූජා හා සත්ත්ව ඝාතනය කෙරෙමින් පැවැත් වූ යාග හෝම ආදියද ප්‍රතික්ෂේප කළ ශ්‍රමණයෝ වෛදික යාග හෝම ජනතාවට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණ ලෙස හැඳින්වීමට ද නොපසුබට වූහ. මෙසේ ශ්‍රතිය හා ඒ පිළිබඳ ඉගැන්වීම් නොපිළිගෙන විශ්වය හා සත්ත්වයන් පිළිබඳ සත්‍ය සෙවීමට පටන් ගත්හ. භක්තිය හා විශ්වාසය වෙනුවට ඥාන මාර්ගය අනුගමනය කරමින් තර්කනය හා යෝග භාවනාව තුළින් සත්‍ය සොයා යෑමට සත්‍යාවබෝධයට මාර්ගය බව ශ්‍රමණයෝ පිළිගත්හ. ලෞකික සැප සම්පත් පසෙකලා එය ඉක්මවා ගිය උත්තරීතර සත්‍ය සොයායාම, ශ්‍රමණයන් අතින් සිදුවූයේ ඒ නිසාය. තාපස චර්යාවන් පි‍්‍රය කරමින් යෝග භාවනා පුහුණු කරමින් තම දෘෂ්ටි පථයට විෂය වූ පරිදි නව දර්ශන බිහි කළහ. බොහෝ ශ්‍රමණ නායකයන් වටා විශාල අනුගාමිකයන් පිරිසක් බිහි වී සිටිය හ. උරුවෙල් දනව්වේ විසූ ජටිල තුන්බෑයන් වටා පිළිවෙළින් පන්සියය, තුන්සියය හා දෙසිය වශයෙන් පිරිවර දහසක් සිටි බව බෞද්ධ පොතපතේ සඳහන් ය.

මේ ශ්‍රමණයෝ බාහිරචර්යා අතින්ද වෙනස් වූහ. පොදුවේ තපස් වෘත අනුගමනය කරමින් කෙලෙස් තැවීමෙහි යෙදුණහ. විවිධ වෘතයන්ද පිළිබඳ තොරතුරු බෞද්ධ මූලාශ්‍රයන්හිද දක්නට ලැබේ. ‘දීඝ නිකායෝ පාටික’ සූත්‍රයේ සඳහන් වන ‘කොරක්ඛත්තිය’ ශ්‍රමණයා එසේ කුක්කුර වෘත සමාදානයේ යෙදුණු අයෙකි. අජවෘත ගෝවෘත එසේ අනුගමනය කළ තවත් වෘතයන්ය. කුක්කුර වෘත සමාදානයේ යෙදුනු ‘පුණ්ණ’ නමැති අචේලක ශ්‍රමණයකු ගැන මජ්ඣිම නිකායේ සඳහන් වේ.

විවිධ වෘත හා තපසු චර්යාවන් ශ්‍රමණයන් අතර දක්නට ලැබුණු ප්‍රමුඛ ලක්ෂණයකි. සිදුහත් තාපසතුමන් ද කුසලය කුමක්දැයි සොයමින් ‘කිං සච්ච ගවේෂීව‘ ගතකළ සමයේ අනුගමනය කළ තාපස චර්යාවන් මජ්ඣිම නිකායේ මහාසීහනාද සූත්‍රයේ සඳහන්ව ඇත. අත්තඛිලමතානු යෝගයට අයත් වූ එම තාපස චර්යාවන් ශරීරයට දැඩි දුක් පමුණුවන හැසිරීම් සමුදායකි.

ආහාර සීමා කිරීම් ද ශ්‍රමණයෝ අතින් සිදුවිය. ශ්‍රමණයෝ රූක්ෂචර්යාවන්හි යෙදීමත් අත්තඛිලමතානු යෝගීවත් කටයුතු කළේ එමඟින් විමුක්තිය පසක්කර ගැනීමේ චේතනාවෙනි. බෞද්ධ සූත්‍ර දේශනාවන්හි ‘නිජ්ඣා මා පටිපදා’ යනුවෙන් විස්තර කර ඇත්තේ මේ ක්‍රියාකාරකම් ය.

මේ අනුව ශ්‍රමණ සම්ප්‍රදායේ ආගමික චින්තනය හා ප්‍රතිපදාවන් වඩාත් නැඹුරුවූයේ ඥාන මාර්ගය වෙතය. ශීල ව්‍රතයන් පිළිපැදීමෙන් විවේකීව සිත දියුණු කිරීම තුළින් ‘ඥානය’ උපදවා විමුක්තිය ලබාගත හැකි බව ශ්‍රමණයෝ විශ්වාස කළහ. බුදුරදුන් ද ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වූවත්, ශ්‍රමණයන් අනුගමනය කළ මේ අන්තවාදය හා අවිචාරවත් ඉගැන්වීම ප්‍රතික්ෂේප කළ ශාස්තෘන්වහන්සේ නමකි.

සමකාලීනව ඇතිවෙමින් පැවැති දේශපාලන ආර්ථික හා ආගමික සමාජ ප්‍රවණතාවන් ශ්‍රමණ සම්ප්‍රදාය විසින් ග්‍රහණය කර ගන්නා ලදී. සමාජයේ බොහෝ පිරිස්වල සහයෝගය ඔවුන්ට හිමිවිය. බමුණු දහමින් පීඩාවට පත්ව සිටි සමාජයේ බොහෝ දෙනා ශ්‍රමණ සම්පදායට හිස නැමුහ.

ආර්ථික අතින් සවිමත්ව සිටියද සමාජයේ තෙවැනි පාර්ශ්වයට පත්ව සිටි සිටුවරුන් වැනි වෛශ්‍යයෝ මේ ශ්‍රමණ සම්ප්‍රදායට අනුබල දුන්හ. මේ අනුව මෙවැනි හේතු සාධක තුළින් ශ්‍රමණ සම්ප්‍රදාය තුළ වැඩි නියෝජනයක් සිදුවීම ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වූ බව පෙනේ.

මෙසේ බෞද්ධ හා අනෙක් මූලාශවල සඳහන් පරිදි ශ්‍රමණ සම්ප්‍රදායන් අතර වැදගත් චින්තනයක් ඉදිරිපත් කළ ශාස්තෘන්වරුන් ගෙන් ෂට් සාස්තෘවරුන් ලෙස ඉදිරියට පැමිණි ආගමික නායකයින් ඉතා වැදගත් දර්ශනයන් ඉදිරිපත් කොට ඇතිබව පෙනේ. එම ෂට් ශාස්තෘවරු නම්

පූරණ කාශ්‍යප
මක්කලී ඝෝසාල
අජිත කේශකම්බලී
පකුධ කච්ඡායන
සංජය බෙල්ලට්ඨිපුත්ත

නිගන්ඨනාථ පුත්‍ර හෙවත් ජෛන මහාවීර ආදී වශයෙන් වේ.

පූරණකස්සප

බුද්ධකාලීන ප්‍රකට ෂට් සාස්තෘන්වරුන් අතරින් පළමුවැනියා මොහුය. මොහුගේ ගෝත්‍රය කස්සප ලෙසත් නම පූර්ණ ලෙසත් හැඳින්වේ. දීඝ නිකායේ අටුවාව වන ‘සුමංගල විලාසිනියට’ අනුව මොහුගේ උපත් සමග ස්වාමියා ගේ දාසයන් සියදෙනා සම්පූර්ණ වූ බැවින් ඔහු පූර්ණ නම් විය. නිවසේ ඇති වූ ගැටලුවක් නිසා ඔහු නිවෙසින් පැන ගියේය. එසේ පැන යන අතරතුරදී සොරුන් විසින් ඔහුගේ වස්ත්‍රය සොරාගත් නිසා නිරුවත් සාධුවරයකු ලෙස පෙනී සිට ඇත. ජෛන භගවතී සූත්‍රයේ ද මොහු ගැන සඳහන් වන අතර ‘දිව්‍යාවදානය හා මිබෙට් දුල්වා ග්‍රන්ථවලද පූර්ණ කස්සප හා ඔහුගේ ඉගැනීම් පිළිබඳ තොරතුරු හමුවේ.

දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ සඳහන් පරිදි ඔහුගේ ඉගැන්වීම් මෙබඳුය.

‘’සියතින් කරන්නාටද, අනුන්ලවා කරවන්නාටද, අනුන්ගේ අත්පා සිඳීමද, අනුන්ලවා සිඳවන්නාටද, පරපීඩා කරන්නාටද, පරපීඩා කරවන්නාටද, අන්සතු දෑ පැහැරගන්නාටද, පැහැර ගන්වන්නාටද, මංකොල්ල කන්නාටද, කවන්නාටද, පර ස්ත්‍රී සේවනය කරන්නාටද කරවන්නාටද, බොරු තෙපලන්නාටද පව්කම් කරමි යයි සිතා කරන්නාටද, සිතා කරවන්නාටද සිදුවන කිසිදු පවක් නැත. ‘’නත්ථි පාපං - නත්ථි පාපස්ස ආගමෝ’’ යනුවෙන් සිදුවන කිසිදු පවක් නැතැයි ඔහුගේ දහමේ සඳහන් කරයි. පාපයෙහි සහ කුසලයෙහි සිදුවන අමුතු පළඳිමක් ද නැත. ‘’තත්ථි පුඤ්ඤං - නත්ථි පුඤ්ඤස්ස ආගමෝ’ යනුවෙන් දක්වා ඇත. මේ අනුව ඔහු දේශනා කර ඇත්තේ ‘අකිරියවාදියෙකි’. ඉහත සඳහන් කළ පූරණකස්සපගේ දේශනාවන්ට අනුව ඔහුගෙන් ප්‍රකාශවන්නේ දැඩි බ්‍රාහ්මණ විරෝධී ප්‍රතිපත්තියෙකි. ගංගානදියේ උතුරු දිසාව පාලනය කළේ බ්‍රාහ්මණයෝ වූහ. දකුණු තෙර ශ්‍රමණයෝ වූහ. කෙසේ වුවද පූරණකස්සප අකිරියවාදය පිළිගත්තද මිනිසාගේ් මරණින් පසු පැවැත්ම පිළිගත්තෙකි. බැලූ බැල්මට මෙතුමා ‘උච්ඡේදවාදියකු’ (මරණින් පසු උපත පිළිනොගන්නා අයකු) වුවත් විද්වතකු වූ ආචාර්ය බී.එම්. බරුවා පෙන්වා දෙන්නේ ‘ශාස්වතවාදී’ (මැරෙමින් උපදිමින් යන) ලෙසයි. කෙසේ වුවද මේ ඉගැන්වීම් නිසා පුද්ගලයා නිශ්ක්‍රිය අයකු බවට පත්වන අතර පුද්ගලයා සදාචාර විරෝධී අයකු බවටද පත්වේ. බුදු සමය එම දහමට අනුගත නොවේ. පින් පව් පිළිගන්නා ‘කිරියවාදයට’ අයත් දර්ශනයකි.

මක්ඛලීගෝසාල

මෙතුමාගේ තොරතුරු පිළිබඳ ඇතැම් බෞද්ධ මූලාශවල මෙන්ම ජෛන භගවතී සූත්‍රයේද දැක්වේ. මෙතුමන් ආජීවක සම්ප්‍රදායේ නායකයා ලෙස සැලකේ. දීඝනිකා අටුවාවට අනුව එතුමාට මෙම ගෝසාල යන නම ලැබී ඇත්තේ ගවහලක උපත ලැබීම නිසාය. පිරිවැජියකුගේ් පුතකු ලෙස උපන් අතර ගෝසාල නම් සිටුවරයා ළඟ පුත්‍ර තනතුරේ ඇතිදැඩි වූ බව ඇතැම් වාර්තා සඳහන් කරයි. දිනක් සිය ස්වාමියා සමග තෙල් කළයක් හිස තබා ගෙන ගමන් කරද්දී ‘මාඛලී’ (පා පැකිලි නොවැටෙව) යන්න පවසද්දීත් නොසැලකිල්ලෙන් ගමන් කිරීම නිසා පය පැකිලී වැටුණු බවත්, ස්වාමියාට බියෙන් පලායද්දී ඔහු සිය වස්ත්‍රයෙන් කොණක් අල්වාගත් බවත් හෙතෙම එම වස්ත්‍රයද හැරදමා ගොස් අචේලක පැවිද්දකු බවට පත් වූ බව දීඝනිකා අටුවාව සඳහන් කරයි. ඔහුගේ පියා ‘මස්කරීන්’ නම් වූ අතර මව නන්දා නම් වූවාය. හේතු ප්‍රත්‍යක් නොමැතිවම සත්ත්වයා කෙලෙසීමත් පිරිසුදුවීමත් සිදුවිය හැකිය යනු ඔහුගේ් දර්ශනයයි. අකිරියවාදී ඉගැන්වීම් දක්නට ලැබෙන බව කිව හැකිය.

‘නත්ථි අත්තකාරේ නත්ථි පරකාරේ නත්ථි බලං.... නත්ථි විරියං.... යනුවෙන් පුරුෂ බලය පුරුෂ පරාක්‍රමය කියා දෙයක් නැත. සියලු බාලයෝද පණ්ඩිතයෝද ශ්‍රේෂ්ඨ ජාති හයක උපදිති. ඒවායෙහි හැසිර සසර දුක් කෙළවර කර ගනිති. එලෙසින් සසර ජාති හයක ඉපිද සසර කෙළවර කර ගන්නා බවද සඳහන් කිරීම නිසා එතුමා අකිරියවාදියකු ලෙසද අහේතුවාදියකු මෙන්ම සංසාර ශුද්ධිවාදියකු ලෙසද හැඳින්වේ. නියතවාදිය ඉදිරිපත් කළ නිසා ‘නියති සංගතිවාදී’ සාස්තෘවරයාණන් ලෙසද හැඳින්වේ. මේ අනුව මක්ඛලී ගෝසාලගේ ඉගැන්වීම් තුල සෘජුවම කර්මවාදය බැහැර කරයි. ඔහුගේ ඉගැන්වීම් මිනිසා මිත්‍යාවට යොමු කරන්නක් ලෙස බුදුරදුන් විසින් හඳුන්වා දී ප්‍රතික්ෂේප කළහ.

අජිත කේශකම්බලී

අජිත යනු මොහුගේ නමය. එකල ඇතැම් ශ්‍රමණයන් මෙන් කෙස්වලින් කරන ලද කම්පිලියක් දැරූ බැවින් ‘කේශකම්බිලි’ නම් විය. සාමඤ්ඤඵල සූත්‍රයට අනුව මොහු භෞතිකවාදී ඉගැන්වීම් දැරූවෙකි. ඇතැම් බෞද්ධ මූලාශ්‍රවල සඳහන් වන්නේ මොහු දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් ඉදිරිපත් කළ බවකි.

1. දුන් දෙයෙහි ඵල නැත
2. කළ මහා යාගය නිෂ්ඵලය
3. හොඳ හා නරක කර්මවල විපාක නැත
4. මෙලොවක් නැත
5. පරලොවක් නැත
6. මවක නැත
7. පියකු නැත
8. ඕපපාතික සත්ත්වයෝ නැත
9. මැරී නැවත උපදින අයකු නැත
10. නිසිමඟ දැන ලොවට සත්‍ය කියාදෙන මහණ බමුණකු නැත.

ඒ අනුව අජිතගේ දහමට අනුව සත්ත්වයන් නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරමහා භූත කොටස් එකතුවෙනි. “චතුන් මහා භූථිකෝ අයං පුරිසෝ” යනුවෙන් හැඳින්වෙන්නේ එය ය. මෙසේ පුද්ගලයා මරණයට පත්වීමත් සමග ඔහු සතුව පැවැති භූත කොටස් බාහිර භූත කොටස් සමග එකතු වේ. කළ හොඳ නොහොඳ සියල්ල සොහොනින් අවසන් වන අතර මරණින් පසු ඉන්ද්‍රියන් අහසට යයි. දන්දීම සිල් රැකීම ආදිය අඥාන ක්‍රියාවන්ය. ආත්මය විනාශ වූ පසු නුවණැත්තාත් හා මෝඩයන් යන දෙපිරිසම විනාශ වෙති. මේ ආකාරයට ඔහුගේ ඉගැන්වීම් අනුව බලන කළ මරණින් මතු උපතක් විශ්වාස නොකළ නිසා එම ඉගැන්වීම් ‘නාස්තික උච්ඡේදවාදී’ ඉගැන්වීම් ලෙස සැලකේ.

‘තං ජීවං තං ශරීරං’ යනුවෙන් ජීවිතයත් ශරීරයත් යනු එකමය යන්න ඔහුගේ ඉගැන්වීමය. තවදුරටත් ‘යාව ජීවං සුඛං ජීවෙත් - සෘණං කෘත්වා සෘතං ජීවෙත්’ යනුවෙන් කියැවෙන්නේ ශරීරයට ලැබිය යුතු සැප කෙසේ හෝ ලබාගත යුතුය. ජීවත්වනතුරා සතුටින් සිටිය යුතුය. ණය වී හෝ ගිතෙල් අනුභවය කළ යුතුය. දැවී හළු වී යන මේ ශරීරයේ නැවත ඉපදීමක් කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි. මරණින් මතු උපතක් විශ්වාස නොකළ හෙයින් උච්ඡේදවාදියකු ලෙසත්, සතර මහා භූ®තයන්ගෙන් පුද්ගලයා නිර්මාණය වූ බවත් කියන නිසා භෞතිකවාදියකු ලෙසත් කර්මය හා විපාක ප්‍රතික්‍ෂේපකළ හෙයින් අකිරියවාදියකු ලෙසත් මෙතුමා හැඳින්වේ.

පකුධ කච්ඡායන

ෂට් සාස්තෘන්වරු අතර සිටි ප්‍රකට කීර්තිධර ආචාර්යවරයෙකි. ගෝත්‍රය කච්ඡායන බවත් මොහුගේ නම පකුධ ලෙසත් බුද්ධඝෝෂ හිමියෝ සිය දීඝනිකා අටුවාවේ දී සදහන් කරති. දුගී කාන්තාවකගේ කුසින් කුඹුක්ගසක් යට දී උපන් බැවින් ‘නිකුධ’ යන නම ලැබී ඇතිබව ද එහි සඳහන් වේ. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයට අනුව මොහුගේ ඉගැන්වීම් මෙසේය. ලෝකයේ සදාකාලික උත්තරීතර ධර්මතා හතකි.

සත්ත්වයා මේ පරමාර්ථ හත එකතුවෙන් නිර්මාණය වී තිබේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ, ජීව යනු එයයි. මේ කරුණු කිසිවකු විසින් මවන ලද්දක් නොවේ. පර්වතයන් මෙන් එය ස්ථිරය, ඉන්ද්‍රඛීලයක් සේ ස්ථිරය, අමිලය. නොවෙනස්ය.

එක් අතකින් සාස්වතවාදී පිළිගැනීමක් වේ. ඔහු පැවසුවේ යමෙක් තවත් අයකුගේ හිස කඳින් වෙන්කළත් සිදුවන්නේ සත්වධාතු ප්‍රංජරය අතරින් අවිය යැවීම පමණකි. එමගින් කිසිවිටෙකත් ප්‍රාණඝාතය නොවේය යන්නය. සාධුවරයා භෞතිකවාදියකු ලෙසත් ඔහු කර්මය හා විපාක පිළිනොගත් හෙයින් අකිරියවාදියකු ලෙසද හැඳින්වේ. පකුධගේ මේ ඉගැන්වීම් මනුෂ්‍ය සදාචාරය අර්ථගැන්වීමට බලවත් බාධකයක් බව පෙන්වා දෙන බුදුදහම ලෝකයේ ගැටලු උද්ගත කරන අදහස් සේ බැහැර කරයි.

සංජය බෙල්ලට්ඨි පුත්ත

ෂට් සාස්තෘන්වරුන් අතරින් පරිබ්‍රාජක සම්ප්‍රදාය නියෝජනය කළ එහි නායකයා ලෙසද සැලැකේ. අනුගාමිකයන් රැසක් සිටි බව කියැවේ. වීරාට පුරවැසියකු වූ නිසා වෛරාඛ්‍ය හෙවත් බෙල්ලට්ඨිපුත්ත නම් විය. මොහුගේ දර්ශනය අමරාවික්ෂේපවාදය නමින් හැඳින්වේ. ජෛන මූලාශ්‍රවල මොහුගේ ඉගැන්වීම් සඳහන්ව ඇත්තේ අඥානික ඉගැන්වීම් ලෙසය.

කිසිදු කරුණක් අරභයා නිශ්චිත කාරණයක් ඉදිරිපත් නොකර අසන්නා මවිතයට පත්කරවන සුළු පිළිතුරු දුන් නිසා ‘අමර වික්ෂේපවාදී’ ඉගැන්වීම් ලෙස මෙතුමාගේ ඉගැන්වීම් හඳුන්වන්නට ඇත.

නිගණ්ඨනාථපුත්ත

බුදුරදුන්ට සමකාලීන උත්තර ඉන්දියාවේ වාසය කළ ප්‍රකට සාස්තෘවරයන් සය දෙනා අතරින් වඩාත් වැදගත්ම ශාස්තෘන්වරයා ලෙස පිළිගැනෙන්නේ නිගණ්ඨනාථපුත්‍ර හෙවත් වර්තමාන මහාවීර නමින් ජෛන සාසනයේ විසිහතර වන නායකයා ය.

පාර්ශවනාථයන්ගෙන් පසුව ජෛන ආගමේ ශාස්තෘන්වරයා හෙවත් තීර්ථංකරයා බවට පත්වූයේ මෙතුමාය. ක්‍ෂත්‍රීය වංශිකයකු ලෙස සඳහන් ය. සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතයට බෙහෙවින්ම සම්බන්ධ සිදුවීම් ද ජෛන මහාවීරයන්ගේ් චරිතය තුළින්ද ප්‍රකට වන බව මූලාශ්‍ර තොරතුරු මඟින් හෙළි වේ.

එතුමාගේ පියා ලෙස සැලකෙන්නේ සිද්ධාර්ථ රජතුමාය. මව ත්‍රිශාලා වූ අතර බිරිය යශෝධා නම් වූවාය. දියණිය අනෝජා හෙවත් අනෝග්ගා නම් විය. වසර 30 දී අභිනිෂ්ක්‍රමණය කොට වසර 12 ක් දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙමින් වයස අවුරුදු 42 දී කේවල ඥානය අවබෝධ කොට ගෙන ‘ජින’ තත්ත්වයට පත් වූ බව ජෛන මූලාශ්‍රවල සඳහන් වේ. උග්‍ර අත්තඛිලමතානු යෝගයක් අනුගමනය කළ ජෛන පරම අවිහිංසාවාදීන් ලෙස ද හැඳින්වේ. ෂට් සාස්තෘන්වරුන් අතරින් ‘කිරියවාදී’ වූයේ මෙතුමා පමණකි. නිත්‍ය වූ ආත්මයක් ඇති බවට වූ ස්ථාවරයේම පිහිටා සිටියහ.

ස්වේතාම්බර හා දිගම්බර ලෙස ජෛනයෝ දෙයාකාරයකට බෙදී සිටියහ. බුදුදහම හා යම් යම් ආකාරයක සමානාත්මතාවක් මෙතුමාගේ දේශනාවල ද ගැබ් වී ඇත. බුදුරදුන් සතර සංවර ශීලයක් ඉගැන්වූ අතර ජෛනයන්ද චතුයාම සංවර ශීලයක් ඉගැන්වීය. බෞද්ධ පංචශීලයට සමාන පංච විරතියක් ඉගැන්වීය.

ගස්වැල් වලට පවා පණ ඇති බවට ජෛන දර්ශනයේ උගන්වයි. ඔවුන් අශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී පවා මුකවාඩම් බැඳ සිටීමත් ජලය පෙරා පානය කිරීමට නිබඳවම පෙරහන්කඩක් භාවිතා කළ බවත් කියැවේ.

වැසි සමයේ පොළොව මතුපිටට එන කුඩා ජීවින් හා තෘණ වර්ග පෑගී විනාශවන නිසා වැසි සමයේ ගමන්බිමන් වලින් වැළකී සිටියහ. ඒ අනුව මහවැසි නොතකා ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි බෞද්ධ ශ්‍රාවකයන් වහන්සේ අතින් එය සිදු නොවන විට මේ සඳහා මහජන හඬක් නැගෙන්නට විය. මහජන මතයට දැඩි සේ ගරුකළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ උදෙසා වැසි කාලයේ වස් විසීමට ආවාසගත වීමට ප්‍රඥප්තියක් ද පැනවීමට කටයුතු  කළහ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.