Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සපත්නි රොෂය

තම හද බැඳගත් පුරුෂයා වෙනත් ස්ත්‍රියක හා ඇසුරු කිරීම, සිනාවීම, කතාබහකිරීම ඇතැම් කාන්තාවන් රුස්සන්නේ නැත. කාන්තා මනස තුළ ඇති වන මේ මනෝ ව්‍යාධී ස්වභාවය හැඳින්වෙන්නේ ‘සපත්නි රොෂය “ යනුවෙනි. ‘සපත්නිය ‘ යනු සැමියාගේ සිත් ගත් වෙනත් ස්ත්‍රියකි. “රොෂය” යනු කෝපයයි. සැමියා බිරිය සිටියදී වෙනත් ස්ත්‍රියක කෙරෙහි ඇලුම් කිරීම මුල්කොට බිරියගේ සිතේ ඇතිවන ඊෂ්‍යාව හෝ ද්වේශය සපත්නි රොෂය යන්නෙන් අදහස් කෙරේ.

කාන්තාවෝ ඇතැම් දෙනෙක් ස්වභාවයෙන්ම ඉක්මණින් කැළඹෙන හැඟීම් බර මානසිකත්වයෙන් යුක්ත වුවෝ වෙති. එබැවින් තම හද බැඳගත් පුරුෂයා වෙනත් ස්ත්‍රියක හා ඇසුරු කිරීම, සිනාවීම, කතාබහකිරීම ඇතැම් කාන්තාවන් රුස්සන්නේ නැත. කාන්තා මනස තුළඇතිවෙන මේ මනෝ ව්‍යාධී ස්වභාවය හැඳින්වෙන්නේ ‘සපත්නි රොෂය “ යනුවෙනි. ‘සපත්නිය ‘ යනු සැමියාගේ සිත් ගත් වෙනත් ස්ත්‍රියකි. “රොෂය” යනු කෝපයයි. සැමියා බිරිය සිටියදී වෙනත් ස්ත්‍රියක කෙරෙහි ඇල්ම කිරීම මුල්කොට බිරියගේ සිතේ ඇතිවන  ඊෂ්‍යාවෙ හෝ ද්වේශය සපත්තිරොෂය යන්නෙන් අදහස් කෙරේ. එම වර්ධනය කරගත යුතු යහපත් සිතිවිල්ලක් නොව මෙලොව පරලොව දෙකේදීම දුක් ලබාදෙන අකුශල සිතිවිල්ලකි. සපත්නිරොෂය ගැන බෞද්ධ සාහිත්‍යයේ එන අවස්ථා විමර්ශනට භාජනය කිරීම මෙම ලිපියේ අරමුණයි.

තම සැමියා අසාමාන්‍ය ලෙස හැසිරේ නම් බිරිය ඔහු කෙරේ සැක උපදවා ගන්නේ ඔහු වෙනත් ස්ත්‍රියක කෙරේ ඇලුම් කරන්නේදෝයි සිතමිනි. මච්ඡ ජාතකයේ එන කථාවක මෙසේ දැක්වේ. එක්තරා මාළුවෙක් දියෙන් ගොඩදැමු පසු හඬන්නට පටන් ගනී. මාළුවා ඇල්ලු ධීවරයා නුඹ හඬන්නේ මරණයට බිය නිසාදැයි විමසති. මත්ස්‍යයා දෙන පිළිතුර නම් “ මරණයට ඇති බියට වඩා මා සිත් කළඹනු කරුණ වන්නේ මා මාගේ බිරිය වෙත යාම පමාවන විට ඇය මා වෙනත් මැසිනියක (මතස්‍ය ධෙනුවක ) වෙත ගියාදෝයි සැක උපදවන්නිය ‘ යන කාරණයයි ‘ යනුවෙන් පවසයි. ස්ත්‍රින් තම පුරුෂාය සපත්නීන් ඇසුරු කරන්නේදෝයි නිතර සැකමුසුව සිටිනා බව මේ ජාතක කථාවෙන් ගම්‍යමාන වෙයි.

උදාර ගති ලක්‍ෂණ ඇති කාන්තාවන් කෙරේද මෙම මානසික සංකූලතාව දක්නා ලැබෙන බවට මනා නිදසුනකි. සම්බුලා ජාතකයේ සම්බුලා බිසව පතිව්‍රතා ගුණයෙන් සපිරි පරමාදර්ශි ශ්‍රේෂ්ඨ චරිතයකට හිමිකම් කියන්නියකි. සුදුකබර රෝගය නිසා වනයට පලවාහරින ලද ස්වාමිපුත්‍රයා සමග වනගත වන සම්බුලා බිසව වනයේදි ඔහු හා වෙසෙමින් වනෞෂධ වලින් පිළියම් කොට ඔහු සුවපත්කර ගනී. පෙරළා රජ මාලිගයට පැමිණි පසු රජකුමරු වෙනත් කාන්තාවන් ඇසුරු කරනු දකින ඇය සපත්නින් කෙරෙහි උපන් ඊර්‍ෂ්‍යාව මුල් කොට ස්වාමියා පිළිබඳ දොම්නස් සිතින් කල් ගෙවයි.

සපත්නිරොෂය ස්ත්‍රින්ට පොදු දුර්ගුණයක් බව භූරිදත්ත ජාතකයෙන් ද සනාථ වේ. එක් නාගමානවිකාවක් රජකුමරකු හා සහවාසයෙන් කල්ගෙවයි. පසුව රජකුමරුට පෙරළා තම රාජධානිය වෙත ගොස් රාජ්‍යත්වය භාර ගැනීමට සිදුවේ. එහිදී රජකුමරු තමා හා පැමිණ අග්‍රමහේෂිකා තනතුර භාර ගනිමින් රජ මාලිගයේ විසීමට නාගමානවිකාවට ඇරයුම් කරයි. ඇය එහිදී කියා සිටින්නේ “ සපත් නිරොෂය නම් ඉතා බැරෑරුම් දෙයක . එසේ හෙයින් මම ඉදින් කිසිවක් දැකත් කිපී බැලීම් නම් සියල්ලෝම සුණු විසුණුව යති, යනුවෙනි. එසේ පවසන ඇය මිනිස්වාසයට යාම ප්‍රතික්‍ෂේප කොට නාගභවනයටම යයි.

සුරුචි ජාතකයේදී බරණැස් රජු සුමෙධා නම් තම දියණිය සුරුචි රාජ පුත්‍රයාට විවාහ කරදීමට පෙර අග බිසවගෙන් අසන්නේ භද්‍රාව ස්ත්‍රීන්ට ඉතා දුක් නම් කවරේද? කියායි. මහරජ සපත්නිරොෂය නම් දෙයෙක් ඇත. ස්ත්‍රින්ට ඊට වැඩි දුකෙක් නැත යනුවෙන් ඇය පිළිතුරු දෙයි.

ඉහත සඳහන් ජාතක කථා රැසකින් පැවසෙන මේ මානසික පීඩාකාරි ස්වභාවය නිසා කාන්තාවන් නපුරු අන්දමට ක්‍රියාකරන බව ද බෞද්ධ සාහිත්‍යයෙන් පෙන්වා දෙයි. ධම්ම පදට්ඨ කථාවේ එන කාලි යක්ඛි කථාව ඉතා ප්‍රකට නිදසුනකි. එක්තරා කුල පුත්‍රයකු ආවාහ කරගන්නා පළමු බිරියට දරුවන් නැති බැවින් ඔහු දෙවන විවාහයක් කරගනී. දෙවනුව ගෙනා බිරියට දරුවකු ලැබීමේ ලකුණු පහළ වේ. ඇයට දරුවකු ලැබුණහොත් ස්වාමියා තමාව නොසලකා හරිතියි ද දෙවන බිරියට වැඩි සෙනෙහසක් දක්වතැයි ද සිතන පළමු බිරිය විෂ ඖෂධ දී දරු ගැබ විනාශ කරයි. මෙසේ කළ තුන් වන වාරයේදී දරුවාත් මවත් දෙදෙනාම මිය යති. මිය යන ස්ත්‍රිය තමා මරුමුවට පත් කළ තැනැත්තිය කෙරේ වෛර බැඳගනී. ආත්මවාර ගණනාවක් එකිනෙකාගෙන් පලි ගනිමින් පැවතෙන ඔවුන්ගේ වෛරය සන්සිඳෙන්නේ බුදුරදුන් හමුවේදීය. මීට සමාන කථාවක් අයොඝර ජාතකයේ ද එයි.

උම්මග්ගජාතකයේ දිය රකුසු පැනය සම්බන්ධ කථාවේ චූලනී බ්‍රහ්මදත්ත රජු තම අග මෙහෙසිය ගේ නුගුණයක් සේ දකින්නේ ද ඇය තුළ පවත්නා සපත්නිරොෂයයි. රජු වෙනත් බිසෝවරුන්ගේ දරුවන්ට ක්‍රීඩා භාණ්ඩ යැවූ විට ඊෂ්‍යාවෙන් දැවෙන අග මෙහෙසිය ඒවා උදුරාගනී. කෙළිබඩු අහිමිවීමෙන් කුඩා දරුවෝ සංතාපයට පත්ව හඬා වැලපෙති. සපත්නිය කෙරෙහි පමණක් නොව සපත්නිය කෙරෙහි සෙනෙහස දක්වන තම ස්වාමිපුත්‍රයා කෙරෙහිද කාන්තාවන් කුපිත වී ඔහුගෙන් පළිගැනීමට පෙළඹෙන අවස්ථා ඇත. ඡද්දන්ත ජාතකයෙන් පූර්වොක්ත අදහස සමර්ථවන සිදුවීමක් හමුවෙයි.

එහිදී රාජ මහේෂිකාව වෛර බැඳ ගන්නේ තම ස්වාමිපුරුෂයා සමඟය. හිමාලය වනයේ ඡද්දන්ත හස්තිරාජයකුට ඇත් රැජිනියෝ දෙදෙනෙක් භාය්‍යාවෝ වෙති. දිනක් මල් පිපුණු සල්රුක් සෙවනක සිටිද්දී ඇත් රජු මල් රොන් හා පෙති විසිරෙන පිණිස කුම්භස්ථලයෙන් සල්රුක සෙලවීය. සල්රුකෙහි තිබුණු පරඬලාත් දිරූ අතු, දිමි කදලු ආදිය යටි සුළඟෙහි සිටි මහා සුභද්‍රාවන්ගේ ඇඟ මත ද මල්රොන් හා මල්පෙති චුල්ල සුභද්‍රාවන්ගේ ඇඟ මත ද වැටුණේය.

මහා සුභද්‍රාවෝ මේ නිසා තම සැමියා වූ ඇත් රජුන් කෙරෙහි වෛර බැඳ ගත්තීය. තවත් දිනෙක සත් බුමු මහ පියුමක් ඇතිනියන් දෙදෙන ජලස්නානය කොට එක් තැනෙක්හි සිටියදී චුල්ල සුභද්‍රාවන්ට දුන්නේය.

බැඳි වෛරය ඉන් දෙගුණ විය. ඔහු සැමියාගෙන් පළිගනිමින් සිතා චිත්ත පීඩාවෙන්ම මියගොස් රාජකුමාරිකාවකව ඉපිදී තම ස්වාමිරාජ පුත්‍රයාණන් හිමාලයෙහි වෙසෙන ඡද්දන්ත ඇත් රජුගේ දළ කපා ගෙන් වන ලෙස පොළඹවාලීය. රජුගේ මෙහෙයුමෙන් එක් වැද්දෙක් ඇත්රජුට හීනයකින් විද දළ කපා ගෙනැවිත් දුන්නේය. ඒ දුටු රාජ කුමාරිකා තොමෝ පූර්වොත්මභාවයේ ස්වාමියාගේ සෙනෙහස සිහිපත්ව හදවත වාවා ගත නොහී ළය පැලී මරුමුවට පත්වූවාය.

ඇතැම් කාන්තාවෝ සපක්නින් කෙරෙහි වෛරයෙන් හා ද්වේශයෙන් දූෂිත වූ සිත් ඇතිව ඔවුන්ට ශාප කෙරෙමින් දේවාල වලට ගොස් පොල් ගසමින් හදිහූනියම් කරමින් තමන්ගේම චිත්තපීඩාව වර්ධනය කර ගනිති. රත් වූ කඩල ඇටය කබල බිඳිමියි සිතා උඩ පැන ලිපටම පෙරළී ගොස් තමන්ම දැවී පිළිස්සෙන්නාසේ එවැනි කාන්තාවෝද ද්වේෂයෙන් තමන්ම දැවෙති.

කාන්තාවන් භාව ප්‍රකෝපන ස්වභාවයෙන් අධික නිසා ඔවුහු බොහෝ විට සැකය මත පිහිටා තම සැමියන් අවිශ්වාසකොට ඔවුන් හා ගැටුම් ඇතිකර ගනිති. හේතු සහිතව හෝ රහිතව තම ස්වාමිපුරුෂයා සමග ගැටුම් ඇතිකර ගැනීමෙන් ඇතැම් විට ස්වාමියා දරදඬු පුද්ගලයකු බවට පත්වෙයි. නිතර නිතර සැකය පදනම් කර ගනිමින් ස්වාමියා සමග අරගල ඇතිකර ගැනීමේ ප්‍රතිඵලය වන්නේ නිවෙසේ සාමකාමි සන්හිඳියාව අහෝසි වී යාමයි.

බුද්ධිමත් කාන්තාවක් විසින් කළ යුතු වන්නේ සැකය හෝ අනුන්ගේ බස් පිළිනොගෙන කරුණු හොදින් සොයා බලා ස්වාමියාගේ වරද නිවරද බව නිශ්චය කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමයි. ගැටුම් ඇතිකර ගන්නවා වෙනුවට ඉවසීමෙන් හා මෛත්‍රියෙන් සැමියාට තමන් විසින් හෝ වෙනත් පිළිගත හැකි වැඩිහිටියකු ලවා කරුණු අවබෝධ කර දීම යෝග්‍යතම ප්‍රතිකර්මයයි. ස්වාමිපුරුෂයන්ගේ පාර්ශ්වයෙන්ද භාර්යාවන්ගේ සිත් තුල ද්වේශය ඇති නොවීම සඳහා ක්‍රියා කිරීමේ සුවිශාල වගකීමක් පවතී.

සිගාල ගෘහපතියාට බුදුරදුන් දේශනා කළ ධර්මයේදී ස්වාමි පුරුෂයාගේ යුතුකම් අතර බිරිය ඉක්මවා නොයාම (අනතිචරියා) වැදගත් කාරණයක් වශයෙන් දක්වා තිබේ.

ස්ත්‍රිපුරුෂ දෙපක්‍ෂය විසින්ම කාම මිථ්‍යාචාරයේ නොයෙදීම ශිෂ්ට සම්මත මානව සමාජ ධර්මයක් ලෙස බුදු දහමේ පංචසීල ප්‍රතිපත්තියෙන් අවධාරණය කෙරේ. ස්වාමි පුරුෂයාගේ අවබෝධ වූත් විශ්වසනීය වූත් ක්‍රියා කලාපය තුලින් බිරියගේ විශ්වාසය හා ගෞරවය හිමිකර ගැන්මට හැකිය. අඹුසැමි අඬදබර වලින් තොරව සාමය සතුට සපිරි වාසනාවන්ත ගෘහ ජීවිතයක් සඳහා මෙවැනි මනොරෝගී තත්වයන් හඳුනාගෙන කටයුතු කිරීම ස්ත්‍රි පුරුෂ දෙපක්‍ෂයේම වගකීමක් වන බව සැලකිය යුතුය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.