පරම සැපත
නිවන යි
කොබෙයිගනේ පුබ්බිලිය
ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය,
වීරපොකුණ වෙල්ලංගිරිය
පුරාණ රාජමහා විහාරාධිකාරි
ගලගෙදර රතනවංස හිමි
සිංහයෙකුට ගලකින්
ගැසුවහොත්
ඒ ගල ගැසුවේ
කවරෙකු විසින්දැයි සෝදිසි කොට බලා
ගැසූ තැනැත්තා වනසා දැමීම සිංහයාගේ
ස්වභාවය යි.
ගල ගැසූ තැනැත්තා වනසා දැමූ විට
සිංහයාට ගල් නොගසන බව සිංහයාගේ විශ්වාසය යි.
දුක් නැති කිරීමේදී ද
එම න්‍යාය අනුගමනය
කළ යුතු ය.
ලෝකයේ විවිධ සැප පිළිබඳ සඳහන් වේ. අභිධර්මයට අනුව චිත්ත කාණ්ඩය පිළිබඳ
හැඳින්වෙන තැනදී කාමාවචර ගණයට අයත් ලෝක 11 ක් ගැන කියවේ. දිව්‍ය ලෝක
හයකි. මනුෂ්‍ය ලෝකයක් හා සතර අපායක් පිළිබඳ එහි වැඩිදුරටත් සඳහන් වේ.
දිව්‍ය ලෝක හා සතර අපාය පිළිබඳ අපට හරියටම කීමට අපහසු වන්නේ එම ලෝක
අපගේ ඉන්ද්‍රිය වලට ගෝචර නොවන නිසාය. එසේ වුවද එම ලෝක පිළිබඳ අවිශ්වාස
කිරීම නොකළ යුතුය.
මනුෂ්‍ය ලෝකය අපට පෙනෙන හා අප ජීවත් වන ලෝකයයි. දෙවියෙක් වන්නෙත්,
පෙරේතයෙක්, භූතයෙක් වන්නෙත් මනුෂ්‍යයාමයි. එබැවින් මනුෂ්‍යයාගේ
ආධ්‍යාත්මික ශක්තිය ඉතා ගැඹුරුය. බුද්ධ චරිතය තුළ පැහැදිලි වන කරුණක්
නම් සිද්ධාර්ථ සමය තුළ විඳීන ලද සැප වල ප්‍රභේදයයි. මනුෂ්‍ය ජීවිතයක
විඳීය හැකි සැප තුළින් ඉහළම ස්ථානය වන්නේ සක්විති සැපතයි. ඊට අමතරව රාජ
රාජ මහාමාත්‍යාදීන් ද තරමක සැප සම්පත් විඳීන බව දක්නට ලැබේ.
සිද්ධාර්ථ කුමාරයා තරම් ගිහි සැප විදි කෙනෙකු ලොව තවත් නැති තරම්ය.
එතුමාට ගිහි ජීවිතය තුළ ලැබිය හැකි සියලු සැප සම්පත් තිබුණි. කාල තුනට
අවශ්‍ය විධියට රම්‍ය, සුරම්‍ය, සුබ ආදි මාලිගා ද තිබුණි. අතට පයට
වැඩකාරයෝ පවා සිටියහ. අඩුම වශයෙන් කියතොත් කළකිරීමක්, සිත් තැවුලක් ඇති
වූ කල එය නැතිකිරිමට ද නෘත්‍ය, ගීත කණ්ඩායම් පෙළ ගැසී සිටියහ. මේ ආදි
වශයෙන් ගිහි ජීවිතය ගෙවූ සිද්ධාර්ථ කුමාරයාට සක්විති රාජ සම්පත් ලැබීමට
තව දින හතක් තිබියදී එය මුවින් එළියට විසි කළ කෙළ පිඬක් සේ ඉවත්කොට පරම
සැපත සොයාගෙන ගිය බව වැඩිදුරටත් සඳහන් වේ.
පුහුදුන් වැසියා සැපතක් වශයෙන් දකින්නේ ලෞකික සැපතයි. එනම් මිල මුදල්,
ඇදුම් පැළදුම් ගෙවල් දොරවල්, හරක බාන, වතු පිටි, ඉඩකඩම් මේ ආදී වශයෙන්
එදිනෙදා පරිභෝජනයට ඇති සම්පත් සමඟ ගැටී ඇළී ඒවා රැස් කිරීම සැපතක් සේ
දකිමින් ඒ මතම ජීවිතය පවත්වාගෙන යෑමට ඔවුහු උත්සාවත් වෙති.
එහි නිමාවක් දැකීම අපහසුය. එයට හේතුව දැඩි තෘෂ්ණාවයි. එය තිබෙන තාක්
කොතරම් සෙව්වත් රැස් කළත් ඇති වීමක් නැත. එසේ වුවද මේ සමාජය තුළ පැවිදි
පක්‍ෂය උත්සාහ කරන්නේ පරම සැපත ලබාගැනීමට බව සඳහන් ෙව්. එහිදී ගිහියාට
නොයෙක් ප්‍රශ්න ගැටලු මධ්‍යයේ ගමන් කළ යුතුව ඇති නිසා ගිහියාගේ ගමන
මොණරාටත්, පැවිද්දාගේ ගමන හංසයාටත් උපමා කර ඇත. ගිහියා ලෞකික සම්පත්
සමග නිතර ගැටෙන නිසා ඔහුගේ ගමන ප්‍රමාදය. නමුත් පැවිද්දාගේ ගමන ඉක්මන්
වන්නේ නිවන අරමුණු කොටගෙන ඉක්මන් ගමනක් යෙදෙන නිසාය.
පරම සැපත ලැබීම ගිහියාට ප්‍රමාද වන්නේ ඔවුන් ඉතා බර බඩු උපකරණ පොදි බැඳ
කර තබා ගෙන යන නිසාය. එහෙත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පැවිද්දාගේ ගමන්
මල්ල ඉතාම සැහැල්ලුය. ගෙන යන බඩු මල්ලේ බඩු අඩු වූ තරමට ගමන වේගවත්
කරගත හැකිය. “එම්බා , භික්‍ෂුව ඔරුව, හිස් කරනු. එය හිස් කළ විට පරම
සැපත කරා වේගයෙන් ගමන් කළ හැකිය “ “ සිඤ්ච භික්ඛු ඉමං නාවං සිත්තාතේ
ලහු මෙස්සති” යන ධම්ම පද ගාථාවෙන් ඒ බව පැහැදිලි වේ.
පැවිද්දා මෙන්ම ගිහියාත් ඔහුගේ ගමන් මල්ලේ බර හැකි තරම් දුරට අඩුකර
ගන්නේ නම් ඔහුට ද නිවන් අවබෝධය යම් කිසි පමණකින් වේගවත් කර ගත හැකිය.
අල්පේච්ඡ ජීවිතය ගමන් බර අඩුකර ගැනීමේ මාර්ගයයි. පැරණි ගිහියෝ අපිත්
රහතුන් අනුගමනය කරමු “ යි පොහෝ දිනයන් හි පෙහෙවස් සමාදන් වූහ. එබැවින්
පැවිදි පක්‍ෂය සඳහා දේශිත සිල්, ආචාර ධර්ම, චාරිත්‍ර වාරිත්‍ර ආදියද
එකම නිවන් මාර්ගයේ ගමන් කරන ගිහියාට ද ප්‍රයෝජනවත් වන බව අමුතුවෙන් කිව
යුතු නොවේ. බෞද්ධ සිරිත් විරිත් කෙරෙහි ඒවායින් ලැබී ඇති ආභාෂය ද ඉමහත්
ය.
“වත්තන්න පරි පුරෙන්තො - න සීලං පරි පූරති “ වත් සම්පූර්ණ නොකරන්නේ
ශීලය සම්පූර්ණ නොකෙරේ. ශීල ශුද්ධිය නොලබන්නේ සිතේ සමාධිය නොලබයි.
වික්ශිප්ත සිත් ඇත්තෝ ධර්මය නොදකිති. ධර්මය නොදකින්නා පරම සැපත වු
නිවන් සැපත නොලබන බව සඳහන් වේ.
ලෞකික සැපතෙහි උච්චතම අවස්ථාවන් ලැබීමට සමථ භාවනාව තුළින් හැකිය.
ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් වූ සමථ හා විදර්ශනා අතරින් සමථ භාවනාව
ප්‍රගුණ කිරීමෙන් ලෞකික සැපතෙහි දියුණුවත් විදර්ශනා භාවනාව ප්‍රගුණ
කිරීමෙන් ලෝකෝත්තර සැපතෙහි දියුණුවත් ඇති කර ගත හැකිය.
කාමච්ඡන්ද , ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච , විචිකිච්චා යන
පංච නීවරණ ධර්ම යටපත් කිරීමට සමථ භාවනාව තුළින් හැකි ය. ඒ තුළින්
ධ්‍යානාදි සැප ලබාගත හැකිය.
එසේ වුවත් එයද වෙනස් වන බැවින් සදාකාලික සැපතක් වශයෙන් ගැනීමට අපහසුය.
නමුත් විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන
ත්‍රිලක්‍ෂණය පිළිබඳ දිගින් දිගට භාවනානුයෝගිව සත්‍ය වශයෙන් දැන පරම
සැපත වූ නිවන් සුව ලබාගැනීමට පුළුවන.
බුදුරජාණන් වහන්සේ සත්‍ය හතරක් ලෝක සත්වයාට දේශනා කර ඇත. එය චතුරාර්ය
සත්‍ය යනුවෙන් හැදින්වේ. එනම් දුක්ඛ, සමුදය, නිරෝධ , මාර්ග යන සත්‍ය
හතරයි. එම සත්‍ය හතරින් නිවන දැකිය හැකි බව ප්‍රකාශ කොට ඇත. එහි සඳහන්
වන්නේ “ඉධං ඛො පන භීක්ඛ වෙ දුක්ඛ නිරෝධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය
අසේස විරාග නිරෝධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො “ (මහණෙනි , දුක්ඛ
ආර්ය සත්‍ය නම් මෙයයි. තෘෂ්ණාව ඉතිරි නැතිව ඉවත් කිරීම නැති කිරීම, අත්
හැරීම මුළුමනින් ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නොඇලීමයි )
බුදු දහමට අනුව නිවන යනු තෘෂ්ණාව නැති කිරීමයි. “ තණ්හක්ඛයො නිබ්බානං “
සත්වයා සසරට ඇදගෙන යන බන්ධනය වන්නේ තෘෂ්ණාවයි. සම්පූර්ණයෙන් නැති කරන
තාක් රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධ තුළින් දුක්
ඇතිවේ. දුකට හේතුව වන මේ තෘෂ්ණාව නැති කිරීම පිළිබඳ සංකල්පය බුද්ධ
දේශනාවට අනුව සිහාවලෝකන න්‍යාය අනුව ද විස්තර කළ හැකිය.
සිංහයෙකුට ගලකින් ගැසුවහොත් ඒ ගල ගැසුවේ කවරෙකු විසින්දැයි සෝදිසි කොට
බලා ගැසූ තැනැත්තා වනසා දැමීම සිංහයාගේ ස්වභාවයයි. ගල ගැසූ තැනැත්තා
වනසා දැමූ විට සිංහයාට ගල් නොගසන බව සිංහයාගේ විශ්වාසයයි. දුක් නැති
කිරීමේදීද එම න්‍යාය අනුගමනය කළ යුතු ය.
යථාපි මූලේ අනුපද්දෙව දළ්හෙ
ජින්නොපි රුකෙඛා පුනරෙව රූහති
එවම්පි තණ්හානුසයෙ අනුහතෙ
නිබ්බන්ති දුක්ඛං මිදං පුනප්පුනං
ගසක මුල ශක්තිමත්ව තිබියදී එම ගස කපා දැමුවාට පලක් නැත. එය නැවතත්
ලියලනු ඇත. එසේම තෘෂ්ණාව නොනැසූ කල පංචස්කන්ධ දුක නැවත නැවතත් ඇති වන
බව ඉහත ගාථාවෙන් පැහැදිලි වේ.
නිවන යන පදයෙන් නිවීම නැත්නම් නැවැත්ම යන අර්ථයන් ගැන කියවේ. නිවන
හරියට පහනක් නිවී ගියාක් මෙනි. එය විස්තර කිරීමට අපහසුය. “ රාගක්ඛයො
නිබ්බානං “ මෙම සංසාරය දුක් සහගතය. නිවන පරම සුවයයි. සසර සංඛතයි (වෙනස්
වේ) නිවන අසංඛතයි (වෙනස් නොවේ) සසරෙහි දැකිය හැකි දුක, අසහනකාරි බව
ආදියෙහි කෙළවර නිවනයි. එක් භික්‍ෂුවක් විඳීමක් නැත්නම් නිවනෙහි සැපත
කුමක්දැයි ඇසූ ප්‍රශ්නයකට සැරියුත් හිමි පිළිතුරු දෙනුයේ නොවිඳීමම සැපය
බවයි.
සත්ත්වයා සසර සැරිසරන අත්ම භාවය නැවැත්වීම නිවන තුළ සිදුවේ. එය උච්ඡේද
හා සාස්වත වාදයෙන් තොර මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කර ලබාගත යුත්තකි. ඇත
නැත යන අන්ත දෙකට නොවැටී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කොට ලබාගත යුතු
දෙයකි, නිර්වාණය.
නිවීම ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම්ය. කිසා ගෝතමිය සිදුහත් කුමරු
දැක ඔහුගේ මවත්, පියාත් (නිබ්බුත ) නිවුණු අය වේ යැයි සඳහන් කළේද
දුකෙන් සිටි කෙනෙකු බුද්ධිමතකුගේ දේශනයක් ශ්‍රවණය කොට ලද සතුට සැනසුම
ලෞකික සැපතකි. නිවීමකි. එසේ වුවද එය තාවකාලික වේ. නිර්වාණය ලෝකෝත්තර
වශයෙන් නිවීමකි. නුවණැත්තා පිළිවෙළින් මාර්ග ඵල ලබා නිවන කරා ලගා වන
බව පහත දැක්වෙන රතන සූත්‍රයේ සංඝරත්නය ආදර්ශ කොට දක්වා ඇත.
යේ සුප්ප යුත්තා මනසා දල්හේන
නික්ඛා මිනෝ ගොතම සාසනම්හි
තෙපත්ති පත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානො
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හෝතු
යම් රහත් කෙනෙක්, ස්ථිර වූ , සිතින් පිරිසුදු කය වචනය දෙකේහි
යෙදුනාහ.ගෞතම සසුන්හි හැම කෙලෙසුන් ගෙන් මනාව නික්මුණාහුද, අමා මහා
නිවනට බැස නොමිලයෙන් ලදින් බල සමවත් සුව අනුභව කරන්නාහු පැමිණිය යුතු
වු රහත් ඵලයට පැමිණිය නම් වෙත්, සංඝ රත්නයෙහි මේ රතන භාවයද උතුම්යැ. මේ
සත්‍යයෙන් හැම සත්නට සුව වේවා.
පිළිවෙළින් මාර්ග ඵලයට පිවිසීමේදී සංයෝජන සිදී යන ආකාරය මෙනෙහි
කිරීමෙන් ද නිවනට යන ගමන් මඟ ගැන අවබෝධයක් ලැබේ.
සෝතාපන්න
01. සක්කාය දිට්ඨි
(මමය මාගේය කියා දැඩිව ගැනීම )
02. විචිකිච්චාව (සසර හා නිවන පිළිබඳ සැකය )
03. සීලබ්බත පරාමාස (මිත්‍යා ශීල වෘත මගින් නිවන ලැබිය හැකියයි සිතීම )
සකෘදාගාමි
01.කාම රාග (පස්කම් සැපයට ආශාව )
02.ව්‍යාපාද (තරහා ගතිය)
අනාගාමි
( කාම රාග, ව්‍යාපාද, මුළුමනින්ම නැතිවීම )
අරහත්
01.රූප රාග (බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට ආශාව)
02.අරූප රාග (අරූප ලෝකයේ ඉපදීම )
03.මානය (උඩගුකම)
04.උද්ධච්ච (නොසන්සුන්කම )
05.අවිජ්ජා (නොදැනීම )
ඉහතින් සඳහන් කරන ලද දස සංයෝජන ධර්ම නැතිව යෑම යනු නිවන් ලැබීමයි. එනම්
යථාවබෝධය ලබා ගැනීමයි. නිවන් ලැබූ පුද්ගලයා කුසල් අකුසල් නොකරයි.
ඒවා නම් සසරට ඇදගෙන යන උපකරණයි. එසේ වුවද රහතන් වහන්සේට වුවද පෙර කළ
කුසල අකුසල වල විපාක ලැබේ. මුගලන්, චක්ඛුපාල වැනි මහරහතන් වහන්සේලාගේ
චරිත කතා කියවීමෙන් ඒ බව පැහැදිලි වේ.
පංචස්කන්ධයේ එකතුව පුද්ගලයා යැයි කියනු ලැබේ. බුදු, පසේ බුදු, මහරහත්
යන ත්‍රිවිධ බෝධියෙන් නිවන් ලැබිය හැක. සෝපාදිසේය යනු පංචස්කන්ධය
නිරුපද්‍රිතව තිබියදී කෙලෙස් නැති කිරීමයි. නිරුපදිසේය යනු ස්කන්ධ නැවත
ඇති නොවන අයුරින් විනාශ වීමයි.
පිළිවෙළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කොට පිළිවෙළින් ශීල, සමාධි,
ප්‍රඥා යන ත්‍රිශික්ෂාවට පැමිණීම පරම සැපත වූ නිර්වාණය ලෙස හැදින්වීමට
පුළුවන. |