Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාමඤඤ ඵල සූත්‍රයෙන් හෙළි වන පැවිද්දේ ආනිශංස

යම් කිසි පුද්ගලයෙක් පැවිදි වීම නිසා මේ ආත්මයේ දීම ඔහුට ලැබෙන ආනිශංස දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ මහා සිලක්ඛන්ධ වර්ගයට අයත් සාමාඤ්ඤඵල සූත්‍රය දේශනා කරන ලදී. පැවිදි වීම නිසා මේ ආත්මයේ ලැබිය හැකි අවසානම ප්‍රතිඵලය වන්නේ රහත් ඵලය ලබා ගැනීමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රි ලක්‍ෂණය මෙනෙහි කරමින් විදර්ශනා භාවනා කොට රහත් තත්ත්වයට පත්වීම තවත් එක් සාමඤ්ඤ ඵලයක් බව බුදු හිමියෝ අජාසත් රජතුමාට පෙන්වා දෙති.

අජාසත් රජතුමා සිය පියා වන බිම්බිසාර රජතුමා මැරවීමෙන් පසුව කාලය ගත කළේ ඉතා කනස්සල්ලෙනි. දිනක් පුන් පොහෝ දිනක රාත්‍රියේ රජතුමා ඇමතියන් සමග කථා කරමින් සිටින විට සිතේ පැහැදීමක් ඇති කර ගැනීම සඳහා බුදුරදුන් හමුවට යෑමට ජීවක වෛද්‍යවරයා යෝජනා කරයි. එයින් සතුටට පත් රජතුමා ඒ අවස්ථාවේම වෛද්‍යවරයා හා ඇමතියන් පිරිවරා ගෙන බුදුරදුන් හමුවීමට පිටත් වෙයි. මේ අවස්ථාව වන විට උන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා එක් දහස් දෙසිය පනහක් (1250) පිරිවරාගෙන ජීවකගේ අඹ උයනේ වැඩ සිටිති. උයන අසලටම යන තුරු කිසිවෙකුගේ කථාවක් හෝ කිඹුහුමක ශබ්දයක්වත් රජුට ඇසුනේ නැත. මේ නිසා රජුට තරමක සැකයක් ඇති වෙයි. වෛද්‍යවරයා විසින් තමා උගුලකට අසු කර ගැනීම සඳහා වනයට කැදවාගෙන යන්නේ යැයි සැක සිතූ® රජතුමා අඹ උයනේ බුදු රදුන් හා භික්‍ෂූන් වහන්සේ විශාල පිරිසක් වැඩ සිටින්නේ නම් පිටතට කිසිම ශබ්දයක් නොඇසෙන්නේ ඇයිදැයි ජීවකගෙන් ඇසීය. උන් වහන්සේ ලා නිතරම නිශ්ශබ්දතාවය ප්‍රිය කරන බවත් කිසිම සැකයක් නොසිතා ඉදිරියට ගමන් කරන ලෙසට ඔහු රජුට පැවසීය. එයින් රජතුමා තවත් පැහැදෙයි. රජතුමා උන්වහන්සේ දැක මඟුල් ඇතු පිටින් බැස බුදුරජුන් සමීපයට ගොස් උන් වහන්සේට නමස්කාර කරයි. වටපිට බැලූ රජතුමාට විශාල භික්‍ෂූන් පිරිසක් දක්නට ලැබේ. උන් වහන්සේලාගේ සංවරකම දුටු රජතුමා තවත් පැහැදී පැවිදි වීම නිසා මේ ආත්මයේ දී ලැබිය හැකි පල විපාක මොනවාදැයි බුදු රදුන්ගෙන් අසයි. ඒ අනුව යම් කිසි පුද්ගලයෙක් පැවිදි වීම නිසා මේ ආත්මයේ දීම ඔහුට ලැබෙන ආනිශංස දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ මහා සිලක්ඛන්ධ වර්ගයට අයත් සාමාඤ්ඤඵල සූත්‍රය දේශනා කරන ලදී.

දිනපතාම පාහේ රජුගේ මාලිගාවේ සේවය කරන පුද්ගලයෙක් ජීවිතය ගැන කලකිරී පැවිදිවෙයි. මෙම භික්‍ෂුව දුටු විට ඔබතුමා කුමක් කරන්නේදැයි උන්වහන්සේ රජුගෙන් අසයි. එම භික්‍ෂුව දුටු විට වාඩිවී සිටින ආසනයෙන් නැගිටින බවත් ගරු සැලකිලි දක්වා සිවු පසයෙන් සලකන බවත් රජතුමා පවසයි. මුලදී මෙහෙකාර සේවයේ යෙදී පසුව පැවිදි වූ පුද්ගලයාට ගරු කිරීම පැවිදි කම ලැබිමේ එක් පල විපාකයක් බව බුදුරදුන් පෙන්වා දෙයි.

මෙම සූත්‍රයට අනුව පැවිදි වීම නිසා ලැබෙන තවත් ආනිශංසයක් උන්වහන්සේ මෙසේ පෙන්වා දෙයි. රජුගේ වතුපිටි හා කුඹුරු වල වැඩ කරන පුද්ගලයෙක් රජුට නියමිත වේලාවට බදු ගෙවයි. පසුව මෙම පුද්ගලයා පැවිදි වෙයි. ඉන්පසු එම භික්‍ෂුව ගෙන් බදු අය කරනවා දැයි උන්වහන්සේ රජුගෙන් අසයි.බදු මුදල් නොඉල්ලා එම භික්‍ෂුවට සිවුපසයෙන් උපස්ථාන කරන බව රජතුමා පවසයි. පැවිදිවීම නිසා මේ ආත්මයේ දීම ලැබෙන තවත් ප්‍රතිඵලයක් වශයෙන් මේ කාරණය පෙන්වා දෙයි.

යම් කිසි ගිහියෙක් බුදුරදුන්ගෙන් බණ අසා පැහැදී පැවිදි වෙයි. එසේ පැවිදි වූ භික්‍ෂුව සිල් රකියි. භාවනා කරයි.හිතේ කෙලෙස් නැති කර ගනියි. සිතේ ප්‍රීතියක් ඇතිවේ. මේ නිසා පලමුවන ධ්‍යානය ලබා ගනී. මෙසේ ප්‍රථම ධ්‍යානය ලබා ගැනීම පැවිදි වීම නිසා ලැබෙන තවත් ප්‍රතිඵලයකි.

මෙම භික්‍ෂුව සිත එක අරමුණක තබා ගනිමින් තව තවත් භාවනා කරමින් දෙවන ධ්‍යානය ලබා ගන්නා අතර එය පැවිදිවීම නිසා ලැබෙන තවත් ආනිශංසයකි.

යහපත් නුවණින් හා සිහියෙන් කටයුතු කරන මෙම භික්‍ෂුව තුන්වන ධ්‍යානය ලබා ගන්නා අතර එයත් පැවිදිවීමේ තවත් පල විපාකයකි. මෙසේ තුන්වන ධ්‍යානය ලබා ගත් භික්‍ෂුව සිත එකග කර ගනිමින් තව තවත් භාවනා කොට හතරවන ධ්‍යානය ලබා ගන්නා අතර එම කාරණය ද පැවිදි වීමේ තවත් එක් ඵල විපාකයකි.

සාමඤ්ඤ පල සූත්‍රයෙන් පැවිදි වීමේ ආනිශංස පෙන්වා දෙන බුදුරදුන් තවත් එක් ප්‍රතිඵලයක් මෙසේ පෙන්වා දෙයි. මෙසේ කෙලෙස් ප්‍රහීන කළ භික්‍ෂුව විදර්ශනා ඤාණයෙන් ශරීරයේ ඇති අනිත්‍ය ස්වභාවය වටහා ගනියි. මෙසේ ශරීරයේ අනිත්‍ය ස්වභාවය වටහා ගැනීම මේ ආත්මයේ දීම ලැබිය හැකි තවත් එක් ශ්‍රමණ පලයකි.

මෙම භික්‍ෂුවගේ සිත තැන්පත්ය. සිත පිරිසුදුය. කිසිම කරුණකින් සිත කම්පාවට පත්නොවේ. මේ නිසා උන්වහන්සේ සියලු අඟ පසඟින් යුක්ත වූ වෙනත් ශරීරයක් මවා පායි. මෙම හැකියාව ලැබෙන්නේ ද පැවිදි වීම නිසාය. මෙසේ එකඟ වූ සිතක් ඇති භික්‍ෂුව සෘද්ධි විධ ඤාණය ලබා ගැනීමට උත්සාහ කරයි. මෙම ඤාණය ලබා ගත් පසු එක් පුද්ගලයෙක් පුද්ගලයන් කීප දෙනෙක් ලෙස මවා පායි. නොයෙක් සෘද්ධි පායි.අවසානයේ දී එම ඤාණයද ලබා ගන්නා අතර එසේ ලබා ගැනීමද පැවිදි වීමේ තවත් එක් ආනිසංශයකි.

වෙනස් නොවන හිතක් ඇති කර ගත් එම භික්‍ෂුව දිව්‍ය ශ්‍රෝත ඤාණය හෙවත් දිව කන් ඤාණය ලබා ගැනීමට උත්සාහ කර මිනිස් කණ ඉක්මවා ගිය දිව්‍ය ශ්‍රෝත ඤාණය ලබා ගැනීම පැවිදි වීම නිසා ලබන තවත් එක් පල විපාකයකි.

පැවිදි වීම නිසා මේ ආත්මයේ දීම ලැබිය හැකි තවත් එක් ප්‍රතිඵලයක් වශයෙන් අනුන්ගේ සිත් දැන ගන්නා නුවණ නොහොත් පර චිත්ත විජානන ඤාණය ලබා ගනියි.

මීළඟට මෙම භික්‍ෂූන් වහන්සේ තම සිත තව තවත් දියුණු කර ගනිමින් පුබ්බේ නිවාසානුස්මෘති ඤාණය ලබා ගැනීමට උත්සාහ කරති. ඒ ඒ පුද්ගලයා මීට පෙර ආත්ම වල ගත කළ ආත්ම භවයන් පිළිබඳව ප්‍රකාශ කළ හැකි පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ලබා ගැනීම පැවිදි වීම නිසා ලැබෙන තවත් එක් ආනිශංසයකි.

පිරිසුදු හා එකඟ වූ සිතක් ඇති මෙම භික්‍ෂුව තව තවත් ඉදිරියට ගමන් කරමින් සත්වයාගේ චුති උත්පත්තිය හෙවත් ඉපදීම හා මරණය ගැන පැවසිය හැකි චුතුපපාත ඤාණය ලබා ගැනීමට උත්සාහ කරති. මෙම ඤාණය ලබා ගත් පසු ඒ ඒ පුද්ගලයා මරණින් පසු ගමන් කරන්නේ සුගතියට ද දුගතියට ද යන්න පෙන්වා දිය හැකිය. අවසානයේ දී මෙම නුවණ ද ඇති කර ගන්නා අතර එයද පැවිදි වීමෙන් ලැබෙන ආනිශංසයකි.

පැවිදි වීම නිසා මේ ආත්මයේ ලැබිය හැකි අවසානම ප්‍රතිඵලය වන්නේ රහත් ඵලය ලබා ගැනීමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රි ලක්‍ෂණය මෙනෙහි කරමින් විදර්ශනා භාවනා කොට රහත් තත්ත්වයට පත්වීම තවත් එක් සාමඤ්ඤ ඵලයක් බව බුදු හිමියෝ අජාසත් රජතුමාට පෙන්වා දෙති.

උන් වහන්සේගේ ධර්මය අසා පැහැදුණු රජතුමා තෙරුවන් සරණ යයි.බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේට නමස්කාර කළ රජතුමා පිරිවර සමග සතුටු සිතින් පිටවී ගිය පසු බුදුරදුන් භික්‍ෂූන්ට මෙසේ පවසති. මහණෙනි! මේ රජතුමා තම පියා නොමැරුවා නම් මේ ධර්මය ඇසීමෙන් පසු එතුමා සෝවාන් වන්නේ ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.