Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දාර්ශනික අගයෙන් යුතු මජ්ඣිම නිකායේ වෙනත් වටිනාකම්

මජ්ඣිම නිකායේ තිබෙන්නා වූ තවත් සුවිශේෂත්වයක් නම් ධර්ම රසයත් කාව්‍ය රසයත් ගැබ් වී තිබීමයි. උපමා රූපක, සංඛත, චරිත නිරූපණ, අවස්ථා නිරූපණ ආදී උසස් සාහිත්‍ය ලක්ෂණ එහි ඇතුළත්ව ඇත. රට්ඨපාල සූත්‍රය තුළින් රට්ඨපාල හිමිගේ් චරිත කථාව විමර්ෂනාත්වකව අධ්‍යයනය කිරීමේ දී ලෞකික හා ලෝකෝත්තර දෙඅංශයම පිළිබඳ විසදෘෂතාව දක්වන සූත්‍රයක් සේ දැකිය හැකිය.

මජ්ඣිම නිකාය පිළිබඳ අවධානය යොමු කර බැලීමේදී එහි ආරම්භය හා අන්තර්ගතය පිළිබඳ සලකා බැලීම අත්‍යවශ්‍ය ය. බුදුරදුන් දෙසූ අසූහාර දහසක් ධර්මස්කන්ධය අපට කොටස් තුනකට බෙදා දැක්වීමට හැකිය. එනම් සූත්‍ර, විනය, අභිධර්ම වශයෙනි. ඒ අතරින් සූත්‍ර පිටකය නිකාය වශයෙන් කොටස් පහකට බෙදා දක්වන ලදී. ඉන් සූත්‍ර පිටකයට අයත් වන දෙවන ග්‍රන්ථය හැටියට මජ්ක්‍ධිම නිකාය හැඳින්වීමට පුළුවන. ඉතා දීර්ඝ නොවූ කෙටිත් නොවූ මධ්‍යම ප්‍රමාණයෙන් යුත් සූත්‍ර ඉදිරිපත් කර ඇති නිසා ‘මජ්ක්‍ධිම’ යන වචනය භාවිතා වී ඇති බව සිතීමට හැකි ය.

ඒ බව දක්වා ඇත්තේ ‘මජ්ඣිමප්පමාණ සූත්තඛිතස්ස’ යනුවෙනි. කොටස් වශයෙන් ‘මූල පණ්ණාසකය, මජ්ඣිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය’ යනුවෙන් දක්වා ඇති අතර, මේවා සූත්‍ර පනහකින් යුක්තව සියල්ල 152 කින් යුක්තව ඇත. ‘පරවාද මතනස්ස’ යනුවෙන් බුද්ධඝෝෂ හිමියන් මෙම පොත ලිවීමට අරමුණ වශයෙන් දක්වා ඇත්තේ පරමාද මතනය කිරීමට බවයි.

ඒ කෙසේ වුව ද ප්‍රධාන අරමුණ හැරුණු කොට තව අභිලාෂ රාශියක් මෙහි ගැබ් වී ඇති නිසා ත්‍රිපිටක කෘති අතරත් අන්‍ය කෘති අතරත් පෙනෙන දාර්ශනික අතින්ද වැදගත් වන කෘතියක් වශයෙන් ‘මජ්ක්‍ධිම නිකාය’ හැඳින්වීමට හැකිය.

මජ්ඣිම නිකාය කොටස් වශයෙන් බෙදා දැක්වීමේදී මූල පණ්ණාසකය සූත්‍ර 50 කින් යුක්ත වේ. වර්ග වශයෙන් ‘මූලපරියාය, සිහනාද, ඕපම්ම, චූල, යමක, මහා යමක’ වශයෙන් දක්වා ඇත. මජ්ඣිම පණ්ණාසකය ‘සූත්‍ර’ වශයෙන් 50 කින් යුක්ත වේ. එසේම වර්ග වශයෙන් ‘ගහපති, භික්ඛු, පරිභ්‍රාජක, රාජ, බ්‍රාහ්මණ’ ආදී වශයෙන් උපරි පණ්ණාසකය සූත්‍ර 52 කින් යුක්ත වන අතර වර්ග වශයෙන් දක්වා ඇත්තේ් දේවදහ, අනුපද, සුඤ්ඤත, විභංග, සලායතන ඒවා බව අපට දැක්වීමට පුළුවන. මජ්ඣිම නිකාය අධ්‍යයනය කිරීමේදී අපට තවත් විශේෂ ලක්ෂණයක් වශයෙන් දැකිය හැකි වන්නේ සූත්‍රවලට නම් තැබීමේදී සංඝිතිකාරක තෙරුන් සැලකිල්ලට ගත් කරුණු කිහිපය පිළිබඳවයි. එනම් ‘දේස, දේසක, ප්‍රතිග්‍රාහක, අත්‍ථ, ගුණ යන කරුණු පිළිබඳ එකින් එක විමසා බැලීමේදී එහි ඇති පිළිවෙළ හා වටිනාකම තේරුම් ගැනීමට හැකිය. ‘දේවදහ, කීටාගිරි, චාතුම, මධුර’ වැනි සූත්‍ර පිළිබඳ අවධානය යොමු කිරීමේදී එම සූත්‍ර දේශනා කර ඇත්තේ දේශය පිළිබඳ සැලකිල්ලට ගෙන ය. එසේම දේශක පිළිබඳ සිතා දේශනා කළ සූත්‍ර හැටියට ‘භද්දිය අනුරුද්ද’ සූත්‍ර ඉදිරිපත් කළ හැකිය. ප්‍රතිග්‍රාහකයාගේ් නමට වැඩියෙන් සූත්‍ර ඉදිරිපත් කර ඇති බව ‘අග්ගිචච්ගොත්ත, රාහුලෝවාද, සන්ධක, චංකි, ජෙතනිජ’ සූත්‍ර ආශ්‍රයෙන් පෙනී යයි.

අන්තර්ගතය දෙස බැලීමේදී ඒ වෙනුවෙන් ද සූත්‍ර ගණනාවක් දේශනා කර ඇත. ‘මූලපරියාය, මධුපිණ්ඩික, ජචක්ක, භයභෙරව, අරියපරියෙෂණ’ ආදී සූත්‍ර වලින් ඒ බව වටහා ගැනීමට හැකිය. ගුණය ගැන සලකා ‘සම්මා දිට්ඨි, පිණ්ඩපාත පාරිසුද්ධි’ යන සූත්‍ර දේශනා කරනු ලැබේ. මජ්ඣිම නිකාය හැම අතින්ම වැදගත් කෘතියක් බව කීමට කොතෙකුත් සාධක ඇත. වර්ග වලට වුව ද නම් තැබීමේදී එකම න්‍යායයක් අනුගමනය කර නැති බවක් ඇත. බුදු හිමි හා ශ්‍රාවකයන් දෙසූ සූත්‍ර වෙන වෙනම හැඳින ගැනීමට හැකිවීම, මජ්ඣිම නිකායේ දාර්ශනික වැදගත්කමක් සේ දැකිය හැකි ය. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර සංගායනාවට ඇතුළත් බව බුද්ධඝෝෂ හිමියන් පැවසුව ද, එය දෙවන හෝ තෙවන සංගීතියට විය යුතු යි. අභ්‍යන්තර හා බාහිර වශයෙන් නොයෙක් සාධක නිසා සූත්‍ර රාශියක් පශ්චාත් කාලීන බව කීමට පුළුවන. මහාසීහනාද සූත්‍රය ගත් කළ එය බුදුරදුන්ගේ දේශනයක් බව කීමට හැකි වන්නේ ‘බුදුන්ගේ වෛශාරද්‍ය ඥාණය ,දසබල හා අභිඥා, මහා පුරුෂ සංකල්ප ආදිය එහි තිබීමෙන් ය. ආටානාටි, ඉසිගිලි වැනි සූත්‍ර තුළින් නම් ගොඩක් ඉදිරිපත් කර ඇත.

මෙම සූත්‍ර පශ්චාත් කාලීන ය. ආටානාටිය, ඉන්දීය භාෂාවට සම්බන්ධවීමත් අස්සලායත, යෝන, කාම්බෝජ රටවල් ගැන සඳහන් වීමත් විශේෂයි. ඉන්දීය වැසියන් මේ රටවල් ගැන දැනගත්තේ ගී‍්‍රක ආක්‍රමණයෙන් පසුවයි.

පශ්චාත් කාලීන ගණයට වැටෙන බවට සාධකයක් සේ පාටලී පුත්‍ර නගරය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිර්මාණය වූවක් බව සිතීමට හැකි ය. පසුකාලීන සූත්‍රයක් සේ නාරද සූත්‍රය පෙන්වීමට පුළුවන. මුණ්ඩ රජු බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 5 කට පසුව සිටි කෙනකු බව තහවුරු වෙයි. අභිධර්ම ශෛලියක් උසුලන බව සම්මා දිට්ඨි වැනි සූත්‍ර තුළින් ඉදිරිපත් කළ හැකි ය. සම්මා දිට්ඨි සූත්‍රයේ ලංකාවේදී එකතු කරන ලදැයි සලකන ගාථා 4 කින්ද මූල පරියාය සූත්‍රයේ සිංහල ප්‍රාකෘත වගන්ති 08 කින් ද පශ්චාත් කාලීන බවට හොඳ උදාහරණ කිහිපයකි.

ඒ කෙසේ වෙතත් පාණ්ඩේ පවසන්නේ මජ්ඣිම නිකායේ සූත්‍ර වලින් 39 ක් ම පැරැණි බව යි. සූත්‍ර 12 ක් ඉතා පැරැණි බවත්, සූත්‍ර 12 ක් පශ්චාත් කාලීන බවත් පැවසෙයි. මේ අයුරින් කල්පනා කර බැලීමේදී සූත්‍ර රාශියක් පසුව ශ්‍රාවකයින් අතින් බිහි වූ බව කීමට පුළුවන. එසේ වුවද මුල් බුදුසමය ඒ සූත්‍ර වලින් ද නියෝජනය කරනු ලබයි.

මජ්ඣිම නිකායේ තිබෙන්නා වූ තවත් සුවිශේෂත්වයක් නම් ධර්ම රසයත් කාව්‍ය රසයත් ගැබ් වී තිබීමයි. උපමා රූපක, සංඛත, චරිත නිරූපණ, අවස්ථා නිරූපණ ආදී උසස් සාහිත්‍ය ලක්ෂණ එහි ඇතුළත්ව ඇත. රට්ඨපාල සූත්‍රය තුළින් රට්ඨපාල හිමිගේ චරිත කථාව විමර්ෂනාත්වකව අධ්‍යයනය කිරීමේ දී ලෞකික හා ලෝකෝත්තර දෙඅංශයම පිළිබඳ විසදෘෂතාව දක්වන සූත්‍රයක් සේ දැකිය හැකිය. රට්ඨපාල හිමි පියා හා පුරාණ දූතිකාව සමග හමුවී ඇතිවන දෙබස නාට්‍යමය අවස්ථාවකි. එසේම එහි භාෂාවද හදවත දක්වා විනිවිද යන බවක් පෙනේ. ස්ත්‍රී ආභරණ සංකේතාත්මක ලෙස යොදාගෙන ඇත.

මජ්ඣිම නිකාය පිරික්සීමෙන් අපට හමුවන තවත් වැදගත් ලක්ෂණයක් සේම දාර්ශනික වැදගත්කමක් වශයෙන් පරවාද මතනය හැඳින්වීමට පුළුවන. සත්ත්වයා හා ලෝකය පිළිබඳව චින්තනය බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව එදා ඉන්දියාවේ සත්‍ය ගවේෂණයේ යෙදුණු නොයෙක් ශාතෘවරුන්ගේ් මිථ්‍යා සංකල්පවලට පහරක් වශයෙන් බුදුහිමියන් කියා සිටියේ ‘ඉමං ඛෝ අහං වච්ච ආධීනවං සම්පස්ස මානෙ එවං ඉමාන සබ්බ සො දිට්ඨිගතානි’ යනුවෙන් සියලු දෘෂ්ටින් අත්හළ බවයි. එදා භාරතේ පසුබිමට මෙය නව අත්දැකීමක් විය. එම පසුබිම තහවුරු කරනු වස් දේශනා කළ සූත්‍ර හැටියට අග්ගිවච්චගොත්ත සූත්‍රය, බ්‍රහ්ම නිමත්ත්තිය සූත්‍රය, චූල මාලුක්‍ය සූත්‍රය’ හැඳින්විය හැකිය.

* සස්සකො ලොකො
* අස්සකො ලොකො
* අන්ත වා ලොකො
* අනන්ත වා ලොකො
* තං ජිවං තං සරීරං
* අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං
* හෝති තථාගතො පරම්මරණං
* න හොති තථාගතො පරම්මරණං
* භොති ච න හොති ච තථා ගතො පරම්මරණං
* නෙව හොති න නෙව ගොති තථාගතො පරම්මරණං

චූල මාලුක්‍ය සූත්‍රයට අනුව, මෙම ප්‍රශ්න 10 ඉදිරිපත් කර ඇති අතර, චූලමාලුක්‍ය භික්ෂුව මෙම ප්‍රශ්න වලට පිළිතුරු නොලැබුණොත් සිවුරු හැර පලා යන බවද කියා සිටියා. මහා තණ්හා සංඛ්‍ය සූත්‍ර විපරම් කර බැලීමේදී විඤ්ඤාණය භවයෙන් භවයට ගමන් කරන බව පවසමින් කළ දේශනයට ගර්හා කොට නැවත බුදුරජුන් එය දෙසන ආකාරය එහි සඳහන් වේ. අලගද්දූපම සූත්‍රය ඉහත කරුණ සනාථ කරන අතර බක බ්‍රහ්මයාට ඇති වූ වැරදි දෘෂ්ටියක් දුරු කිරීමට දෙසූ සූත්‍රයකි. බ්‍රහ්මනිමන්ත්තිය සූත්‍රය, සම්මා දිට්ඨි සූත්‍රයද වැදගත් වන්නේ දෘෂ්ටිවාදින්ගෙ ස්වභාවය හඳුනා ගැනීමට මහෝපකාරි වන නිසාය. මේ අනුව මේ කරුණු සමුදාය නිසාද මජ්ඣිම නිකායේ දාර්ශනික සංකල්පය විදහා පෙන්වයි.

මජ්ඣිම නිකාය දාර්ශනික කෘතියක් බව සනාථ කිරීමට බලපාන තවත් කරුණක් හැටියට මුල් බුදුසමය වටහා ගැනීමට පුළුවන් සූත්‍ර රාශියක් ඉදිරිපත් වී තිබීම වැදගත් වේ. ඊට හාත්පසින්ම වෙනස් සූත්‍ර ද මෙහි අන්තර්ගත වී ඇත.

ඉසිගිලි, සච්චක, ආටානාටිය, අස්සපායන සූත්‍ර මේවා පරීක්ෂා කර බැලීමෙන් එවකට තිබූ නොයෙක් බලපෑම් එකල භාෂාව පශ්චාත් කාලීන බව කීමට හැකි සූත්‍ර බව නීර්ණය කිරීමට පුළුවන. බුද්ධ චරිතය සම්බන්ධයෙන් ගත්කළ ඒ කෙරෙහි ඓතිහාසික සාධක ත්‍රිපිටක ආශි‍්‍රත සූත්‍ර අල්ප වේ. ජාතක නිධාන වර්ණාව, මහ වග්ග පාලිය බුද්ධ වංශය, ථෙරවාද බුද්ධ චරිතය නිර්මාණය වූවා සේම දිව්‍යාවදාය, ලලිත විස්තරය යන මහා සාහිත්‍ය කෘතිවල බලපෑම නිසා සුලලිත බුදු සිරිතක් දැකිය හැකිය.

සැබෑ බුදු සිරිත අතිශයෝතියෙන් බැහැරව හඳුනා ගත්තේ නම් එය දේවාති දේවත්වයට වඩා මානුෂික මුහුණුවරක් ගනියි. මහා සිහනද සූත්‍රය ගත්කළ බුද්ධත්වය ලැබීමට කළ දුෂ්කර ක්‍රියාව අත්දැකීම් වශයෙන් ඉදිරිපත් කිරීම අතිශයෝක්තියෙන් තොරයි. අරියපරියේසණ සූත්‍රය විමසා බැලීමේදී එදා බුදුහිමි ආලාර කාලාම තවුසා ළඟට පවා යෑම ඉතා තාත්විකව දක්වා ඇත. මේ තුළ බුදු සිරිත පමණක් නොව ඓතිහාසික සාක්ෂියක් වශයෙන් ද ධර්මමය වශයෙන් ද ඉතා වැදගත් වේ.

විනය සම්බන්ධයෙන් ගත් කළ ද මජ්ඣිම නිකාය අපට ප්‍රයෝජනවත් වේ. භද්දාලි සූත්‍රය තුළින් ඒකායන භෝජනයෙහිදී ආනිශංස, ලෙඩ රෝග නිවාරණය, ශරීර බලය යන කරුණු දක්වා ඇත. ගුලියාසකි සූත්‍රය සම්බන්ධයෙන් රසවත් අවස්ථාවක් ඉදිරිපත් කරයි. රාති‍්‍ර කල භික්ෂුව පිණ්ඩපාතයට ගෙදරකට ගොස් ‘නැගණියනි, මම භික්ෂුවක් ‘ කී කල ගැහැණිය බිය වී මෙලෙස කියයි.

‘මේ මහ රෑ කළුවරේ පිඩු පිණිස යෑමට වඩා තාගේ බඩ ගෙරි කපන කැත්තකින් කපා දැමීම මැනවැයි’ ආදි වශයෙනි.

මහා සිහනාද සූත්‍රය ගත්කළ බුදු හිමිගේ සියලු චරිත ලක්ෂණ පිළිබිඹු කර ඇත. බෞද්ධයාට ශ්‍රද්ධාව භක්තිය වැඩිවෙන අයුරින් කරුණු හදවතටම මෙහි දක්වා ඇත. බුදුරජාණන්වහන්සේගේ විවිධාකාර ගුණ, දුෂ්කර ක්‍රියා පිළිබඳ විස්තර දක්වා ඇත. වනයෙන් වනයට යන මුවෙකු මෙන් බුදු හිමි ද ගිය බවත් එක එක භාවනාදිය වැඩූ බවත්, සඳහන් වෙයි. බුදුහිමින්ගේ මහලු විය සඳහන් වෙද්දී ලොමුඩැහැගැන්වෙයි. ශරීරය අබල දුබල වුවද ඤාණය හොඳින් තිබෙන බවත් එහි තවදුරටත් සඳහන් වේ. අරියපරියේෂණ සූත්‍රය මහා පරිනිබ්බාන සූත්‍රයට පමණක් දෙවනි වෙයි. පස්වග තවුසන් සමඟ ගෙවූ ජීවිත කතාදිය එහි සඳහන් වේ. මෙහි අසත්‍ය සිදුවීමක් සේ ඇත්තේ බ්‍රහ්මාරාධනය පමණි. මහාසච්චක සූත්‍රය ඉතා දුක් සහගත එකකි. තුන්බෑ ජටිලයන් හමුවීම, මධ්‍යම ප්‍රතිපදාව ආදිය එහි අන්තර්ගතය වේ.

මජ්ඣිම නිකාය පරීක්ෂා කර බැලීමෙන් එහි ඇති ආඛ්‍යාත ස්වරූපය ඉතා වැදගත් බව කීමට පුළුවන. රට්ඨපාල සුත්‍රය මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙයි. රට්ඨපාල කුමරු ගිහිගෙය හැර පැවිදි වී සිටියි. ඔහුගේ් සසර කළ කුසල ධර්මයන්ගේ බලයෙන් මෙසේ පැවිදි වී සිටි අතර දවසක් නැවත මවුපියන් හමු වීමට යෑමෙන් පියාට පුතාව හැඳිනීමට නොහැකිව කළ ප්‍රකාශය ඉතා රසවත් ය. ‘මගේ මහණ කල එකම පුතා තා වැනි තට්ටයෙකැයි’ ආදි වශයෙන් ප්‍රකාශ කරයි. මෙහිදී පියාගේ් නොසන්සුන් භාවය දක්වයි. එලෙසම රට්ඨපාල හිමි දාසිය විසින් විසිකිරීමට ගෙනන ලද පිට්ටු අනුවභව කළ පසු පියා විමසන්නේ ‘ පුත රට්ඨපාලය, පිළුණු වූ ආහාර වළදනවා කියා දෙයකුත් ලෝකයේ ඇද්දැයි’ යනුවෙනි.

මෙහිදී ඇතිවන දෙබස ඉතා නාට්‍යෝචිත අවස්ථාවක් සේ කර්තෘවරු ඉදිරිපත් කරයි. සියලු ආභරණ වලින් පෙර බිරියන් සැරසීම ගැන කළ ප්‍රකාශය ඉතා වැදගත් ය. එසේ වුවද රට්ඨපාල හිමියෝ ඔවුන්ට ‘නැගණියනි’ යන ආමන්ත්‍රණය කරන මෙහිදී පියාගේ සියලු අපේක්ෂා අසාර්ථකවීම නිසා තම ධනස්කන්ධය පෙන්වා උපැවදි වන්නයැයි ඉල්ලා සිටියි. එයට පිළිතුරු වශයෙන් රට්ඨපාල හිමියන් කියා සිටින්නේ ඒ සියල්ල ගඟට විසි කරන්න යනුවෙනි. මෙහිදී අපට වැටහෙන දෙයක් නම් තෘෂ්ණාවෙන් සිටින පියාගේ තෘෂ්ණාව බිඳීමේ උපක්‍රමයක් රට්ඨපාල හිමි අනුගමනය කළ බවයි. ආර්ය මධ්‍ය, අන්ත අවස්ථා දැන ලෞකිකත්වයෙන් ලෝකෝත්තර බව කරා පියවර කරන අයුරු මැනවින් මෙහිදී කතෘවරයා ඉදිරිපත් කරයි. මේ හා සමාන අංගුලිමාල සූත්‍රයද වැදගත් වේ. ඒ අනුව දිට්ඨධම්මවේදනීය වශයෙන් ලෝකෝත්තර තත්ත්වයක් පෙන්නුම් කරන වැදගත් සූත්‍රයක් සේ අංගුලිමාල සූත්‍රයද දැක්වීමට පුළුවන.

ජාතික කථා සිහියට නංවමින් ඒ ස්වරූපයෙන්ද සූත්‍ර සිහිපයක් මජ්ඣිම නිකායේ ඉදිරිපත් කර ඇත. මඛාදේව, ඝටීකාර සූත්‍රය දෙස බැලීමේදී අතීත වර්තමාන සමෝධාන යන අංග තුන මෙහි අන්තර්ගත කොට ඇත. උදාහරණයක් වශයෙන් ගත්කළ මඛාදේව සූත්‍රයෙහි මඛාදේව රජු භවයෙන් භවයට යන බවත්, එකම පුද්ගලයකු මෙලෙස සැරිසරන බවත් ථෙරවාදීන් හා පුද්ගලවාදීන් අතර ඇති වූ පුද්ගලවාදයටත් වජ්ජි පුත්‍රකයින් ඉදිරිපත් කරන ප්‍රධාන සාධකයක් ලෙසත් ජාතක කතාවල දැක්වෙන බෝධිසත්වයන්ගේ් අනන්‍යතාවය මේ තුළින් තහවුරු වේ.

මෙතෙක් සඳහන් කරන ලද සියලු සූත්‍ර විමර්ශනාත්මකව පිරික්සීමෙන් අපට මෙහි දාර්ශනිත පැත්ත විද්‍යාමාන වේ. ත්‍රිපිටකයට ඇතුළත්වන විශාල වටිනා සූත්‍ර ප්‍රමාණයක් ඉදිරිපත් කරන මජ්ඣිම නිකාය තුළින් පරවාද මතනය කිරීමද කරන බව අපට මෙතෙක් දැක්වූ උදාහරණ වලින් කීමට පුළුවන. තවද සමාජ සාහිත්‍යමය බෞද්ධ දේශනපාලනික, ඓතිහාසික යථාර්ථ පිළිබිඹු කරන බුද්ධ දේශනා අන්තර්ගත කෘතියක් වශයෙන් හැඳින්වීමට හැකි ය. සෑම අංශයක් දෙසම විචාරාත්මක දෘෂ්ටි කෝණයකින් බලන මජ්ඣිම නිකාය කතෘවරයා එහි ඇති සත්‍යාසත්‍යතාව පිළිබඳ පුළුල් ලෙස නිගමනය කරමින් ලෞකික ජීවිතය සේම ලෝකෝත්තර පැත්තටද පුද්ගලයා තල්ලු කරමින් නිර්මාණාත්මකව මෙය රචනා කර තිබීම, අතිශයෝක්තියක් නොවේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.