සාර්ථක දිවියකට
මඟ කියන ධම්මපදය
විශ්‍රාමික අධ්‍යාපන අධ්යක්ෂ
ධර්ම සෙන්දනායක
බුදු දහමේ නවාංග සත්ථු ශාසනයට ඇතුළත් ග්‍රන්ථයක් වන “ධම්ම පදය”
බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල, යම් යම් පුද්ගලයන් අරභයා
දේශනා කර ඇති ගාථා එකතුවකි.
චිත්ත වග්ග, යමක වග්ග ආදී වශයෙන් වර්ග 26කින් හා ගාථා 423කින් සමන්විත
ධම්මපදය බෞද්ධයා ළඟ තබා ගත යුතු නිරතුරුව කියවිය යුතු ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ
රක්තයකි. මෙම ගාථා තුළින් සිත පිළිබඳව, කර්මය හා කර්ම ඵල පිළිබඳව,
ධෛර්යය හා උත්සාහය යන කරුණු රැසක්ම මෙහි අන්තර්ගතය. සිත සංවර කර ගැනීම,
අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමේ වටිනාකම, යහපත් ජීවිතයක් ගත කරන ආකාරය
පිළිබඳව අගනා කරුණු රැසක්ම “ධම්මපදය” තුළින් හෙළි කරයි.
ඡායාරූපය - ලක්ෂාන් |
“ධම්ම පදය” බෞද්ධයන්ගේ අත් පොතක් වශයෙන් ද සළකයි. 1817 – 1818
වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන් වීර කැප්පෙටිපොල නිලමෙතුමාද තමා මරා
දැමීමට මොහොතකට පෙර තමා ළඟ තබාගෙන සිටි “ධම්මපදය” පොත එළියට ගෙන ඉන්
ගාථාවක් කියා කඩුවට ගෙල තැබූ අයුරු අපි අසා ඇත්තෙමු.
ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කිරීමට පෙර ධම්මපදයේ ගාථාවක් ඉදිරිපත්
කොට ඒ අනුව ධර්ම දේශනාව කරනු ලබති. එවන් වටිනාකමක් ඇති ධම්මපදය
බෞද්ධයන් ළඟ තබා ගත යුතු, නිරතුරුව කියවමින් තම දිවි පෙවෙත සකස් කර
ගැනීමට ඉවහල් වන අගනාම ධර්ම ග්‍රන්ථයකි.
“සබ්බ පාපස්ස අකරණං -
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං -
ඒතං බුද්ධාන සාසනං”
සියලු පාප ක්‍රියාවන්ගෙන් වැළකීමත්, කුසල් කිරීමත්, සිත දමනය කිරීමත්
සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි.
මේ ධම්ම පදයේ අඩංගු වටිනාම ග්‍රන්ථ රත්නයකි. ඒ තුළින් උපදේශයක් මෙන්ම
බුදුදහමේ අඩංගු සියලු බුදුවරයන් වහන්සේ දක්වන සියලුම කරුණු කැටිකොට
දැක්වීමකි. මේ ගාථාවේ කුසල් යනු භාවනා වඩමින්, සිත දමනය කිරීමෙන් ලබන
කුසල්ය. පින හා කුසලය දෙකක් බව දැක්වෙන එක් තැනකි. සියලු පාපයන්ගෙන්
වෙන්වීම යහපත් ජීවිතයකට මහත්ම රුකුලකි.
සිත පිළිබඳව කෙරෙන විග්‍රහය වෙනත් කිසිදු තැනක නොමැති විග්‍රහයකි.
“දූරංගමං ඒකචරං -
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤ මෙස්සන්ති -
මොක්ඛන්හි මාරබන්ධනං “
සිත දුර ගමන් යන, තනිව හැසිරෙන, ශරීරයක් නැති අතර එවැනි සිත සංවර කර
ගැනීමේ වැදගත්කම මනාව විස්තර කර ඇත.
එමෙන්ම දූෂණය වූ සිතකින් යුතුව කරනු ලබන, කියනු ලබන දේ අනුව සිදුවන
අකුසල විපාකත්, ප්‍රසන්න සිතකින් යුතුව කියන කරන දේ අනුව සිදුවන
කුසලානිශංසයනුත් ධම්ම පදයේ පළමුවන හා දෙවැනි ගාථා දෙකින් දක්වා ඇත.
“මනෝ පුබ්බංගමා ධම්මා -
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුටෙඨ න –
භාසතී වා කාරොති වා
තතෝනං දුක්ඛ මනෙවති –
චක්කංච වහතො පදං”
අකුසල් විපාකය ගවයා අනුව යන රිය සක මෙන්ද, කුසලානිශංසය තමා අත් නොහැර
යන සෙවනැල්ල මෙන්ද ගමන් කරන බව දක්වා ඇත. කුසලානිශංසය දැක්වීමේ දී එම
ගාථාවේම
“තතොනං සුඛමනෙවති – ඡායාව අනපායිනී” යනුවෙන් දක්වයි. එහි “මනසා චෙ
පසනෙනන” යනුවෙන් දක්වා ඇත. මේ ගාථාව පොදු ජනතාවගේ සිතට ඇතුළු වී ඇති
ආකාරය “හය හතර නොදන්නො” යන වදනින්ද හෙළි වේ. හය හතර යනු සදිව්‍ය
ලෝකයත්, හා සතර අපායයි. ඒවා පව් හා පින් අනුව ලැබෙන බවද දක්වා ඇත.
“උත්තිට්ඨෙ තප්ප ම ජෙය්‍ය -
ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති –
අසමිං ලොකෙ පරමහිච”
අලසකම දුරින් දුරු කළ යුතු ය. උත්සාහවන්ත විය යුතු ය. අප්‍රමාදව කටයුතු
කළ යුතු ය. සුචරිතයෙහි හැසිරිය යුතු ය. එසේ හැසිරෙන පුද්ගලයා මෙලොවත්
පරලොවත් සුවසේ වාසය කරනු ඇත.
මේ උපදේශය යහපත් ජීවිතයකට අත්‍යවශ්‍යම එකකි. දියුණුව ලැබීමට මෙවැනි
උපදේශ රැසක්ම මෙහි අඩංගු වේ. අලසකම පිරිහීමට හේතුවක් වේ.
“ඉධමොදති පෙච්ච මොදති –
කත පුඤේඤා උභයත්ථ මොදති
සො මොදති සො පමොදති දිසවා
කම්ම විසුද්ධි මග්ගහො”
හොඳ දේ, පින් කළ පුද්ගලයා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි.
දෙලොවම සතුටු වෙයි.
ජීවත් වීමට අවශ්‍ය උපදෙස් දෙන අතර බුදුන් වහන්සේ හොඳ ක්‍රියා තුළින්
මෙලොව, පරලොව දෙකේදීම සතුටු විය හැකි බව දේශනා කිරීමෙන් පාප
ක්‍රියාවලින් වැළකී යහපත් ක්‍රියාවන් කෙරෙහි නැඹුරු කිරීමට අනුබල දීමක්
සිදුවේ.
“අප්ප මාදො අමත පදං -
පමාදො මච්චුනො පදං
අප්ප මත්තා න මීයන්ති -
යෙ පමත්තා යථා මතා”
අප්‍රමාදය නම් සිහියයි. අප්‍රමාදය (යහපත් සිහිය) නිවනට හේතු වෙයි.
අසිහිය, ප්‍රමාද මරණයට විනාශයට හේතු වෙයි. සිහි ඇත්තෝ නොමැරෙති.
මරණයෙන් කම්පා නොවෙති. ප්‍රමාදයෙන් දිවි ගෙවන්නා සැමදා මළවුන් වැනිය.
සිහියෙන් කටයුතු කිරීමේ වැදගත්කම මේ ගාථාවෙන් පෙන්වා දී ඇත. එළඹ සිටි
සිහිය යහපත් ජීවිතයකට අත්‍යවශ්‍ය වෙයි.
“උට්ඨාන වතො සති මතො -
සුචි කම්මස්ස නිසම්ම කාරිනො
සඤ්ඤ තස්සච ධම්මජිවිනො -අප්ප මත්තස්ස ය සොහි වඩ්ඩති”
හොඳ සිහියෙන් කටයුතු කරන, උත්සාහයෙන් පසුබට නොවී කටයුතු කරන, නිරවුල්ව,
පිරිසුදුව, නුවණින් විමසා කටයුතු කරන දැහැමි ජීවිතයක් ගත කරන අප්‍රමාද
වූවන්ගේ ගුණ සුවඳ කීර්තිය වැඩෙනු ඇත.
යහපත් ජීවිතයකට මෙම ධර්මානුකූල අවවාද ඉතාම ඵලදායකය.
“සුඛා මතෙතය්‍යතා ලොකෙ -
අථො පෙතෙත ය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලොකේ –
අථො බ්‍රහ්මඤචතා සුඛා”
මේ ලෝකයෙහි මවටත්, පියාටත් උපස්ථාන කිරීම සැපයකි. භික්‍ෂූන් වහන්සේට
සත්කාර කිරීමද සැපයකි. බුද්ධාදී උතුමන්ට සත්කාර කිරීම සැපයකි.
යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා මාපියන්ගේ ආශිර්වාදය, උතුමන්ගේ
ආශිර්වාදය, බොහෝ සේ වැදගත් වෙයි. මාපිය උපස්ථානයත් බුද්ධ පූජා,
පැවැත්වීමත්, භික්‍ෂූන් වහන්සේට ගරු සත්කාර කිරීමත් සැපයට හේතු වෙයි.
“අත්තාහි අත්තනො නාථො -
කොහි නාථො පරොසියා
අත්තනාව සුදතෙනන –
නාථං ලභති දුල්ලභං”
සැමදාම අනුන්ගේ පිහිටෙන් ජීවත් විය නොහැකි ය. අන් අයගේ උදව් උපකාර
තාවකාලික වෙයි. කවදා කොයි මොහොතක හෝ තමා තනි වෙයි. තමාගේ ප්‍රශ්නවලට
මුහුණදීමට සිදුවන්නේ තමාටමය. තමාට එකම පිහිට තමාම බව වටහා ගත යුතු ය.
ආත්ම විශ්වාසය ඇති කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරන අගනා උපදේශයකි මෙහි
ඇත්තේ.
“අත්තනාව කතං පාපං -
අත්තනා සං කිලිස්සති අත්තනා අකං පාපං
අත්තනාව විසුජ්ඣති -සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤා
විසොධයෙ”
තමා කළ වරද නිසා තමා අපිරිසුදු වෙයි. පාපයක් වරදක් නොකළේ නම් එයින්
තමාම පිරිසුදු වෙයි. පිරිසුදුවීම අපිරිසුදුවීම තමාගේම ක්‍රියාවන්
තුළින් සිදු වෙයි. අනිකෙක් වෙනත් කෙනෙකු අපිරිසුදු හෝ පිරිසුදු නොකරයි.
මේ අනුව ලෝකයේ කිසිවෙකුට තවත් අයෙකුට තවත් යහපත් අයෙකු හෝ අයහපත් කළ
නොහැකි ය. මෙයද ආත්ම විශ්වාසය ඇති කිරීමට ඉවහල් වන උපදේශයකි.
“ධම්මං චරෙ සුචරිතං -
නතං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති –
අස්මිං ලොකෙ පරමහිච”
හොඳ නරක අවබෝධ කරගෙන යහපතෙහි සුචරිතයෙහි යෙදිය යුතු ය. අයහපතෙහි
දුසිරිතෙහි නොයෙදිය යුතු ය. කුසල් දහමෙහි යහපතෙහි යෙදෙන්නා මෙලොවත්
පරලොවත් සුවසේ වාසය කරයි.
තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් කරදරයක් නොවන සුචරිතයෙහි යෙදීමේ වටිනාකම
මින් කියැවේ. සමාජ ශෝධනයට ද එය ඉවහල් වේ.
මේ ආකාරයෙන් ධම්ම පදය පුරාම යහපත් ජීවිතයක් පවත්වා ගැනීමට ඉවහල්වන අගනා
උපදේශ රැසක්ම අඩංගු වේ. බොහෝ කරුණු ආර්ථිකය සංවර්ධනයට ද ඉවහල් වෙයි.
නිරතුරුව ධම්ම පදය කියවීම තුළින් යහපත් සමාජයකට මං පෑදේවා යයි අපි
පතමු.
|