Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය :- සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන සියලුම බෝධිසත්වයන් විසින් පූරණය කළයුතු “පාරමී” දසයක් වෙයි. එයින් පළමුවැන්න දානපාරමිතාවයි. පැහැදිලි කරන්න.

පිළිතුර:- දානය හෙවත් දීම දස පාරමිතාවන්ගෙන් පළමුවන පාරමිතාවය. දන් දීමෙහි දි බෝධි සත්ව ආදර්ශය වඩා වැදගත් වෙයි. බෝධි සත්වයන් වහන්සේගේ පරමාර්ථය තම සිත තුළ පවතින තෘෂ්ණාව දුරුකර ගැනීමයි.

උත්කෘෂ්ට වූ දාන චේතනාව සමග මෙත් සිතද වර්ධනය කරන ඔහු පුද්ගල ප්‍රභේදයකින් තොරව දන්දෙයි.

සාමාන්‍යයෙන් දාන පාරමිතාව එකක් වුවද එය දාන පාරමිතා දාන උපපාරමිතාව සහ දාන පරමාර්ථ පාරමිතා යනුවෙන් ත්‍රිවිධ වෙයි. “පුත්තදාරධනාදි උපකරණ පරිච්චාගො දානපාරමි අත්තනො අංග පරිච්චාගො දාන උපපාරමී අත්තනො ජීවිත පරිච්චාගො දාන පරමත්ථ පාරමී.

ප්‍රශ්නය :- උභයාර්ථ සංසිද්ධිය (දොලෙව දියුණුව) පිණිස සෑම පුද්ගලයෙකුටම (අත්ත සම්මා පණිධී) ආත්ම දමනය බෙහෙවින් හේතුවෙයි.ධර්මයෙහි මෙය ආත්ම සංවරය (සංවර විනය) යනුවෙන් ද සඳහන් වෙයි. මේ සඳහා හේතුකාරක මොනවාද?

පිළිතුර -හේතුකාරක (පංච සංවර විනයා) යනුවෙන් පහක් පෙල දහමෙහි සඳහන් වෙයි. එනම් සීල, සති (සිහිය) ප්‍රඥාව , ඉවසීම, වීර්ය වේ.

ප්‍රශ්නය :- බුදුරජාණන් වහන්සේ “ආනුපුබ්බීකථා “ යනුවෙන් දේශනා පිළිවෙළ කථාවක් අනුව දේශනා කරයි. පැහැදිලි කරන්න.

පිළිතුර :- අනුපටිපාටි කථං ආනුපුබ්බී කථා නාම “ යනුවෙන් පිළිවෙල කථා දේශනා ක්‍රමයක් තථාගතයන් වහන්සේ බොහෝ විට අනුගමනය කළ දේශනා ක්‍රමයි. එය දාන කථා , ශීල කථා, ස්වර්ග කථා , කාම ආදිනව කථා, අත්හැරීම් (නෙක්ඛම්ම) කථා වශයෙන් දැක්වෙයි.

ප්‍රශ්නය :- ආවාසික භික්‍ෂුවරයන් වහන්සේ කෙනෙකු තුල අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණ දහම් ධර්ම ග්‍රන්ථ වල සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - අං:නි: පස් වන නිපාතයේ “ආවාසික “ පිය ශෝභන යන සූත්‍රවල ආවාසික භික්‍ෂූන් වහන්සේ නමකගේ ගුණ දහම් මෙසේ දක්වා ඇත.

යහපත් ආකල්ප වලින් යුක්ත වීම වත් පිළිවෙත් කිරීම බහුශ්‍රැත වීම සුතධර වීම, යෝගාචාරවීම යෝගාවචර ජීවිතය පි‍්‍රයවීම කල්‍යාණ වචන ඇතිබව යථාවාදී තථාකාරී වීම නැණවත් වීම සිල්වත්වීම කුඩා වරදෙහි පවා සැලකිලිමත් වීම, ආචාර ගෝචර සම්පන්න වීම, සරභඤ්ඤ වීම (මිහිරි කථා ඇති බව) යනුවෙනි.

ප්‍රශ්නය :-ප්‍රධාන ඉරියව් හතරක් පිළිබඳව (සතර ඉරියව්) නිරතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මේ ඉරියව් හතර නම් කරන්න.

පිළිතුර :- ‘චත්තාරි ඉරියාපථානි “ ඉරියව් හතර නම් සිටීම , ඉඳගැනීම , හාන්සි වීම, ගමනය යන්නයි.

ප්‍රශ්නය :-ත්‍රිවිධ ශික්‍ෂාවෙන් සමාධි ශික්‍ෂාවට අයත් වන මාර්ග කීයක් තිබෙනවාද? ඒ මොනවාද?

පිළිතුර :-03 යි. සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි වේ.

ප්‍රශ්නය -බුද්ධ ශාසනයෙහි සිව්වනක් පිරිස වශයෙන් සැලකෙන්නේ කවර පිරිසක්ද?

පිළිතුර :-භික්‍ෂූ භික්‍ෂූණී, උපාසක, උපාසිකා, එම සිව්වනක් පිරිසට අයත් වේ.

ප්‍රශ්නය :-ත්‍රිවිධ තෘෂ්ණාව නම් කාම , භව විභව තෘෂ්ණාවයි. මෙයින් කාම තෘෂ්ණාව පැහැදිලි කරන්න.

පිළිතුර :-පස් කම් සැප විඳීමට අවශ්‍ය වන්නා වූ ඒ වස්තූන් කෙරෙහිද? සිත පිනවීමෙහි සමත් වන්නා වූ රාග - ලෝභ ආදි කෙලෙස් කෙරෙහිද පවත්නා ඇලීම කාම තෘෂ්ණාවයි.

ප්‍රශ්නය :-නිර්වාණය අසංඛත ධර්මයෙකි” පැහැදිලි කරන්න.

පිළිතුර :-හේතු ඵල විසින් පිළියෙල කරනු ලැබීමෙන් ඇතිවූ ධර්ම සංඛත නම් වේ. ලෝකයේ පවතින සියලු ජීව (පණ ඇති) අජීව (පණ නැති) සියලු වස්තූන් සංඛත නම් වේ.

හේතුඵල ධර්ම විසින් පිළියෙල කරනු නොලබන ධර්ම වලට අසංඛත යයි කියනු ලැබේ. නිර්වාණය හේතුඵල ධර්මතාවයන්ගේ නිර්මාණයක් නොවන නිසා අසංඛත ධර්මයෙකි. බුදුදහමෙහි ඉගැන්වෙන පරම ආගමික නිෂ්ටාව නිවනයි. බුද්ධ වචනය අතිශයින් තර්කානුකූ®ලය. එහෙත් බුදු සමයෙහි පරම නිෂ්ටාව වූ නිර්වාණය තර්කයෙන් පරිබාහිරය.

ප්‍රශ්නය :-නීවරණයන්ගෙන් ආවරණය වූ සිත මෘදු නම්‍යශීලි නොවේ. වැඩකට යෙදවිය හැකි නොවේ. කෙලෙසුන් දමනය කිරීම සඳහා සමාධිගත නොවේ. මෙබඳු නීවරණ ගණනින් කෙතෙක්ද ඒ මොනවාද?

පිළිතුර :-නීවරණ ගණනින් පහක් වේ. නීවරණ (නී+වර්= අවුරන බාධා කරන - වළකන ) නම් යමෙකුගේ දියුණුව වළකන සගමොක් සුව මග බාධා කරන සිත ආවරණය කරන වසා සිටින දේ නීවරණයි. ඒවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්චය සහ විචිකිච්චාය .

ප්‍රශ්නය :- බුදු දහමට අනුව මෙම සද්ගුණයන් පුරුදු පුහුණු කළ විට මිනිසා මිහිපිට සත් පුරුෂයෙකු වනවා පමණක් නොව ජීවිත කාලය තුළම ඔහු දෙවියෙකු බවට ද පත් කරයි. මේ ගුණාංග මොනවාද?

පිළිතුර :- මේ ස්වර්ණමය ගුණාංග චතුෂ්කය එකට ගත්විට පාලියෙන් බ්‍රහ්ම විහාර වශයෙන් හැඳින්වෙයි. උතුම් හැසිරීම් , දිව්‍යමය ගුණාංග හෝ සාධු චර්යා ලෙස ඒවා හඳුන්වයි. එම ගුණාංග නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන්නයි.

ප්‍රශ්නය :- විපස්සනා භාවනා වැඩීම නිර්වාණාවබෝධය සඳහා බෙහෙවින් උපකාරී වෙයි. විදර්ශනා භාවනා වැඩීම කෙටියෙන් පැහැදිලි කරන්න.

පිළිතුර :– විසේසේන පස්සතීති විපස්සනා “ විශේෂයෙන් දකිනු ලැබේනුයි විපස්සනා නම් වේ. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය දුඞඛ අනාත්ම වශයෙන් නුවණින් දැකීම විදර්ශනා භාවනා නම් වෙයි. මෙයට එම හේතුව පාදක කොටගෙන ත්‍රිලක්‍ෂණ භාවනා නමින්ද භාවිත වේ. විදර්ශනා භාවනා වැඩීමෙහිද සක්කාය , දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත, පරාමාස සංයෝජන ප්‍රහීණ වෙයි. මෙම සංයෝජන ප්‍රහාණය වීමෙන් අනතුරුව සෝවාන් මග ඵල පැමිණ පළමු වරට නිවන් අවබෝධය සඳහා සමීප වන්නේය.

ප්‍රශ්නය :- ලෝකෝත්තර මාර්ග සිත් යන්න පැහැදිලි කරන්න.

පිළිතුර :- ලෝකෝත්තර මාර්ග සිත් 04 යි. එනම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන මාර්ග සිත්ය. මේ මාර්ග සිත් සතර ලෝකයෙන් එතෙර කරවන හෙයින් ලෝකෝත්තර වාද නිවනට පමුණුවන අංගයන්ගෙන් යුක්ත වූ හෙයින් මාර්ග වූ ද පව් නසන හෙයින් කුසල වූ ද සිත් සතරෙකි. මෙහි “මග්ග“ යන්නෙන් අදහස් කරන ලද්දේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

ප්‍රශ්නය :-බෞද්ධ කර්මය කෘත්‍යය අනුව සිදුකරන කාර්යන් පැහැදිලි කර නාමික වශයෙන් සඳහන් කරන්න.

පිළිතුර :-
1. විපාක සිත් හා රූප ඉපදවීම
2. ජීවත් වීමට උපකාර කිරීම
3. ජීවිතයට වරින්වර පීඩා කිරීම
4. ජීවිතය අවසන් පැවැත්ම

ඒ කර්ම මෙසේ නාමික වශයෙන් හැඳින් විය හැකිය.

1. ජනක කර්ම
2. උපස්ථම්භක කර්ම
3. උප පීඩක කර්ම
4. උප ඝාතක කර්ම වශයෙනි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.