Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලක්දිව මහායාන වාදය

2010. 02.28 පත්‍රය හා සම්බන්ධයි

අනේන දුඞඛං ව්‍යපනීය සර්වං
පුණ්‍යෙන ලෝකස්ස සුඛං සමග්‍රම්
දාතුං ප්‍රභුර්ජ්ජන්මනි ජන්මනි ස්‍යාං
සදා ක්‍ෂමාවී කරුණාන්විතෝහම්

පුණ්‍යෙන මාර දෝෂා රිපූතනෙන
ජිත්වා පරාං සමයගම්‍ය ජිනේන්ද්‍රතාං තාම්
සංසාර පඞකවිසරාදහමුද්ධරෙය්‍ය
මාර්ත්තම් ජගත් මම මහා කරුණාකරේන.

මෙම පුණ්‍යකර්මයේ බලයෙන් ජන්මයක් ජන්මයක් පාසා ලෝකයාගේ දුක නිවාලීමටත් ඔවුනට සම්පූර්ණ සුවය ලබාදීමටත් හැකිවේවා. සදාකල්හි ම ක්‍ෂමාවෙන් පිරි කරුණාන්විත ජීවිතයක්ගත කිරීමට මට ලැබේවා. මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් මට මාරයා හා පාපය යන සතුරන් ජය ගැනීමට හැකිවේවා. සර්වඥතාඥානය ලබා මහා කරුණාව නමැති මාගේ හස්තයෙන් දුක්විඳින ජනතාව සංසාරය නැමති මඬවගුරෙන් ගොඩ ගැනීමට සමත් වෙම්වා. ඉහත සඳහන් ශ්ලෝකවලින් පෙනීයන්නේ එම කාලයෙහි ස්ථූප කැටයම් කළ කලාකරුවා බුදුබව පැතූ බවයි. බුදුබව පැතීම මහායානිකයින්ට අභිමත වූ දෙයක් හෙයින් මෙයින් ද පෙනී යන්නේ මහායානය ව්‍යාප්තව පැවති බවයි.

ත්‍රිකුණාමලයට නුදුරුව පිහිටා ඇති සංස්කෘත භාෂාවෙන් ලිය වී ඇති තිරියාය ලිපිය මහායාන අදහස් වලින් ගහනය. ගිරිකණ්ඩි හෙවත් ගිරිකණ්ඩික නම් චෛත්‍යයක් වර්ණනා කෙරෙන මේ ලේඛනයේ කර්තෘ සඳහන් නොවේ.

එහෙත් මොහු මහායානික අදහස් දැරූ අයකු බව දහවන ශ්ලෝකයෙන් පෙනේ. එසේ ම අවලෝකිතේශ්වර හා මඤ්ජුශි‍්‍ර ගැන ද සඳහන් වීමෙන් මෙම ස්ථානය මහායානිකයින්ගේ විශේෂ පූජනීය ස්ථානයක් බව පෙනේ. මෙහි සඳහන් වන තොරතුරු අතර ත්‍රිපුෂ්‍යක හා වල්ලික යන වෙළෙඳුන් විසින් මෙය කරවන ලදැයි බුදුනට පළමුව දන් දුන් වෙළෙඳුන් විසින් මෙහි ඇති ධාතු ලබන ලදැයි ද සඳහන් වේ. මහායාන බෝධිසත්ව වරයන් දෙදෙනාගේ නාමයන් සෘජුව සඳහන් වන පද්‍ය දෙකෙන් බෝධිසත්ව වන්දනය පැවති බව පෙනේ.

මකුටමණෞ කෘතස්ඵුටමහාමුණිබිම්බධරෝ
නිවසති යත්‍ර සිද්ධසුරකින්නරපූජ්‍යතමඞ
ගුරු රවලෝකිතේෂ්වර ඉති ප්‍රථිතෝ භගවාන් 
තදහරහර් නමාමි ගිරිකණ්ඩිකචෛත්‍යවරම්

(කිරීට මාණික්‍යයෙහි කරන ලද ව්‍යාප්ත වූ මහා මුනීන්ද්‍රයන් මහන්සේගේ ප්‍රතිමාව දරන සිද්ධ දේව කින්නර යන මොවුන් විසින් වැඳිය යුතු තුන්ලොවට ගුරු වූ අවලෝකිතේෂ්වර යයි ප්‍රසිද්ධ වූ භගවත් තෙමේ යම් තැනක වෙසෙයි ද ඒ ගිරිකණ්ඩික චෛත්‍ය දිනපතා මම වඳිමි)

මණිරපි මඤ්ජුවාග් මදනදෝෂවිෂාදහරඞ
කනකවිභූෂණෝජ්වලවිචිත්‍රිතගාත්‍රරුචිර
න්නියතමුපෛති යත්‍ර සුකුමාරතනුර් භගවාන්
තදහම්පි ප්‍රණෙමි ගිරිකණ්ඩිකචෛත්‍යවරම්.

ශාරීරික ධාතූන් වෙනුවට මහායානිකයන් දාගැබ්වල නිදන් කළේ ධර්ම පාඨ ලියූ තහඩුය. මෙයින් ගම්‍ය වන්නේ ඔවුන් ධර්ම කායට ප්‍රමුඛ තැනක් දුන් බවයි. පොළොන්නරුවේ පබළු වෙහෙරෙන් ක්‍රි.ව. 9- 10 අතරතුර කුඩා තඹ තහඩුවක් හමුවී ඇත. එහි ‘ඕං මණි පත්මේ ස්වස්ති’ යනුවෙන් ලියා ඇත. මෙය මණි පද්ම හෙවත් තාරාදේවියට කෙරෙන ආයාචනයකි. මෙයින් පෙනී යන්නේ මහායානය එම යුගයේ ප්‍රචලිතව පැවති බවයි.

මිහින්තලයේ ඉඳිකටුසෑය අසල පිහිටි කුඩා ස්ථූපයක තිබී හමු වූ රන් පතක්ද සෑගිරියේ මහායානය බලවත්ව පැවති බවට කදිම නිදසුනකි. මෙහි ‘යේ ධම්මා හේතප්පභවා’ යන ගාථාවට විස්තර කථනයක් කොට ඇත්තේ මිශ්‍ර සංස්කෘත භාෂාවෙනි. මිශ්‍ර සංස්කෘතය මහායාන ග්‍රන්ථ ලියවී ඇති භාෂාවයි. හේතු ඵලවාදය මහායාන දර්ශනය විසින් ද ඉවත නොදමන නිසා එය ඔවුන්ගේ ම ත්‍රිපිටකයෙන් ගෙන ඇති බව සිතිය හැකිය. දැනට කොළඹ කටුගේ තැන්පත් කොට ඇති අනුරාධපුරයෙන් ලැබුණු 9 වන සියවසට අයත් තඹ පතක නාගර අකුරින් ‘ඕං වජ්‍රා තී ක්‍ෂරම්’ යනුවෙන් දැක්වේ. මෙයින් මහායාන දෙවියකු පිළිබඳව කියැවේ. මෙයින් ද පෙනී යන්නේ ලක්දිව මහායානය ප්‍රචලිතව පැවති බවයි.

නාගරී අකුරින් ලියවුණු තඹ තහඩු බොහෝ සෙයින් ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ලැබී ඇත. ඒවායේ ‘යේ ධම්මා’ යන ශ්ලෝකය හෝ නොයෙක් මන්ත්‍ර කොටා ඇත. මේ හා සමාන කුඩා ගල් පුවරු අනුරපුර අභයගිරිය අවටින් සොයාගෙන ඇත. මේවා ධාරණී ගල් නමින් හඳුන්වයි. මෙම සියලු නිදසුන් මඟින් තහවුරු වන්නේ ලක්දිව මහායානය පැවති බවයි. මහායාන ධර්මය ඉන්දියාව තුළ ව්‍යාප්ත වූයේ සංස්කෘත භාෂාව මාධ්‍ය කොට ගෙනය. ලංකාවට හඳුන්වා දුන් මහායාන සූත්‍රද සංස්කෘත භාෂාවෙන් ලියන ලද ඒවාය. මීට අමතරව මෙම ලිපි ලිවීම සඳහා පල්ලව ග්‍රන්ථාක්ෂර මෙන්ම මාධ්‍යකාලීන සිංහල අක්ෂර ද යොදාගෙන ඇත. පොදුජන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සැකසීම නිසා මහායාන ඇදහීම් ක්‍රම ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බව පෙනේ. එසේ මහායාන වාදය ව්‍යාප්තව පැවති බවට යථෝක්ත සංස්කෘත ශිලාලේඛන නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.