Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝ දහම පතළ කළ බුදු වදන්

මිනිසා කර්ම නියාමයේ විධිමත් බලයකින් යුතු ය. අනිත්‍ය විපරිණාම ප්‍රපංච ක්‍රියාවලියක් නිසා එය අවබෝධ කරගෙන ඒ විපරිණාමයෙන් මිදෙන්නට ඔහුට හැකි ය. අප බුදුරදුන් විසින් පමණක් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත් පටිච්ච සමුප්පාද ධර්මතාව පරමාණුවේ පටන් අතිමහත් මහ මුහුද හිමාල පර්වත ආදී සතර මහා භූත සංචිත අනන්ත විශ්වය දක්වා විහිදී යන අයුරු පෙන්වාදී ඇත. එය බුදුරදුන්ගේ බුද්ධියට පමණක් විෂය වන්නේ ය.

හේතුං පටිච්ච සම්භූතං
හේතු භංගා නිරුජ්ඣති

ඉධානන්ද තථාගතො තිසහස්සී මහාසහස්සී ලොකධාතුං ඩභාසේන ථරෙය්‍ය යදාතෙ සත්තා තං ආලෝකං සංජානෙය්‍යුං අථ තථාගතො ඝොසං කරෙය්‍ය සද්දමනුස්සාවෙය්‍ය එවං ඛො ආනන්ද තථාගතො තිසහස්තී මහාසහස්සී ලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්‍ය යාවතා පන ආකංඛෙය්‍යාති.

සුගත තථාගත සදහම් සක්විති අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූප විලාශයෙන්, ඤාණ විලාශයෙන් දේශන විලාශයෙන් අග තැන්පත් ව මෙම විශ්වය තමන් වහන්සේට පමණක් විෂය වන බව දේශනා කළ සේක. එහෙත් සෙසු සියලු සත්වයන්ගේ ඤාණ විෂය, උපදින ලෝකයට, දේශයට, කාලයට පමණක් සීමා වෙයි. මේ නිසා ළිඳේ උපන් මැඩියන්ගේ ලෝකය ළිඳ තුළට සීමා වන්නා සේ දේව, බ්‍රහ්ම, මනුෂ්‍ය, අසුර, යක්‍ෂ, නාග, නිරය ආදී භූමිවල උපදින, ජීවත්වන, මැරෙන, යළි එම භූමිවලම උපදින අපමණ සත්වයෝ පරිසරයට අනුගතව සීමිත නුවණක් ලබාගෙන තණ්හා, දිට්ඨි, මාන යන ප්‍රපංචවලින් ඇලී, ගැලී, වෙලී පැටලී ජීවන ගමනේ නියුක්ත වෙති.

වත්මන් ලෝකයේ බොහෝ මිනිසුන් ආගම දහම පිළිබඳ පටු ආකල්පයෙන් සිතීම නිසා ඇතිවන ආගම් වශයෙන් ගත් භක්තිවාදයෙන් හා ආගමික නොවන භෞතික දෘෂ්ටි වාදයෙන් හෝ ආගමික අන්තවාදයෙන් හෝ මානව ප්‍රගති ගමනට අංශු මාත්‍රයකින් හෝ ප්‍රයෝජනයක් නොමැත.

ආගම යනු වචනයට සීමා වූ කාලය, ශ්‍රමය, ධනය වැය කරන එහෙත් ප්‍රමාදය ප්‍රතිගාමිත්වය, වංචනිකත්වය, මානසික සංවෘතය ඇති කරන විනාශ කරන මිනිසා භයානක ප්‍රපාතයකට හෙළන හිස් ප්‍රපංචයක් නම් එවැනි ආගම්, මිනිසා විසින් බැහැර කළ යුතු ය.

මිනිස් සන්තානය අවුල් වියවුල් කරන ආගමික ඉගැන්වීම් විද්‍යාත්මක ලෝකයේ තියුණු බුද්ධියෙන් බැහැර කිරීම වත්මන් ලෝකයට කරන ප්‍රධානතම සමාජ සේවය යි. භෞතික ලෝකයේ දුක සැප වින්දනය මානව පරපුර මිහි පිට ඇති වූ දා සිට ක්‍රියාත්මක විය. මානව සමාජය බොහෝ ඈත අතීතයේ සිට උසස් ශිෂ්ටාචාරයකට හිමිකම් කියා ඇත. එකල ද දුක සැප පිළිබඳ නිවැරැදි ප්‍රතිපත්ති ඇති කර ගැනීමට අවශ්‍ය සම්මුති පනවාගෙන තිබූ බව පෙනෙයි.

ආගම යන වචනය බිහිවීමට පෙර ද මානව සමාජය ලෞකික වශයෙන් පියවරෙන් පියවර ප්‍රගතිශීලී විය. ආගමික හා ජාතික වශයෙන් මිනිස් සමාජය වර්ගීකරණයෙන් භේද වී විසංවාදී අදහස් අනුව ඇති වූ සංග්‍රාම වලින් සිදු වූ හානිය සිතා කියා නිම කළ නොහැකි ය. මෙතෙක් එය විවිධ ආගම් වලින් සිදුවූ සේවය සමග සැසඳීමේ දී මිනිස් ශ්‍රමයේ නිරර්ථක භාවය හා සාවද්‍ය ගමන් මාර්ගය ප්‍රකට වන්නේ ය.

සෑම ආගමකම හොඳ නරක සීමිත පරාසයක් තුළ විවරණය කැරෙන්නේ, ඒවා බිහි වූ කාලයේ පැවැති සමාජ ප්‍රමිතිය අනුව මිස සමස්ත විශ්වයේ ප්‍රවණතාව ප්‍රත්‍යක්‍ෂ කරගෙන නොවේ. එමෙන්ම ආගමික නායකයන් දැක් වූ අදහස් තම තමන්ගේ පටු ඤාණයෙන් විස්තර කිරීම විනා එම ආගමික නායකයන් හෝ පසුකාලීන ප්‍රධාන අනුගාමිකයන් හෝ තමාගේ හා විශ්වයේ පවත්නා යථාස්වභාවය ප්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් හෝ නොවේ.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපමණ කාලයක් භෞතික ලෝක පිළිබඳ පර්යේෂණ කොට විශ්වයේ පවත්නා විපරිණාම ධර්මතා හඳුනාගෙන එයට සත්වයා යටත්වන අයුරු ද මිනිස් වර්ගයාට පමණක් එයින් මිදෙන්නට හැකියාව ඇති බව ද හේතු සාධකව ගැඹුරු නුවණින් ප්‍රත්‍යක්‍ෂ කොට දේශනා කළ සේක.

මිනිසා විසින් ශ්‍රෘති මාත්‍රයෙන් හෝ අන්ධානුකරණයෙන් යමක් පිළිගන්නේ නම් එය මිනිස්කමක් නොව පොදුවේ උපන් සෑම සත්වයාගේම ලක්‍ෂණයක් වන අතර මිනිසාගේ විශේෂත්වය වන්නේ හේතුසාධකව යම් ධර්මයක් පිළිගෙන පිළිපැදීමෙන් සත්‍යාසත්‍යතාව ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමයි. එය සිද්ධාන්තයක සාධනීය ලක්‍ෂණය වන අතර වර්තමාන පැවැත්මෙන් අනාගත ශාන්තිය තහවුරු කිරීමක් ද වන්නේ ය.

බුදුරදුන් විසින් බුදු වූ විගස සිහිපත් කළ විශ්ව සාධාරණ ක්‍රියාවලිය, පටිච්ච සමුප්පාදය තරම් සත්‍යධර්මයක් වෙනත් කිසිම ආගමකින් සොයා ගැනීමට නොහැක්කේමය. යමක් වශයෙන් අප හඳුන්වන්නේ අපට ලැබෙන ඉන්ද්‍රිය මාත්‍ර සංඥාවකි. එහි ආරම්භය, අවසානය අපට ප්‍රත්‍යක්‍ෂ නොවන්නේ නිර්මාණ වාදය දේව වාදය, ආත්මවාදය යන සංකල්පවලට ආත්ම ශක්තිය යටත් කිරීම නිසා ය. දුබලයා ප්‍රබලයාට යටත්වීමේ න්‍යායට අනුව සත්‍ය ධර්මය අභිබවා ආත්ම මතය පාර්ශ්වය ධනය, බලය පෙරමුණ ගෙන ඇත.

මිනිසා කර්ම නියාමයේ විධිමත් අවිච්ඡින්න බලයකින් යුතුය. අනිත්‍ය විපරිණාම ප්‍රපංච ක්‍රියාවලියක් නිසා එය අවබෝධ කරගෙන ඒ විපරිණාමයෙන් මිදෙන්නට හැකිය. අප බුදුරදුන් විසින් පමණක් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත් පටිච්ච සමුප්පාද ධර්මතාව පරමාණුවේ පටන් අතිමහත් මහමුහුද හිමාල පර්වත ආදී සතරමහා භූත සංචිත අනන්ත විශ්වය දක්වා විහිදී යන අයුරු පෙන්වාදී ඇත. එය බුදුරදුන්ගේ බුද්ධියට පමණක් විෂය වන්නේ ය.

ඇමීබාගේ පටන් සමස්ත ජීව ලෝකයත්, පරමාණුවේ පටන් විශ්ව අවකාශයත් එක් තැනක මොහොතකින් එක් ශබ්දසඥාවක් ආලෝක වේගයක් ක්‍ෂණමාත්‍ර වූ අනිත්‍යවේගය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ සත්වයන්ට පහදා දුන් සේක. සෙසු ආර්ය ශ්‍රාවකයන් වහන්සේගේ ඤාණයට ඉර්ධිබලයට යටත් වන්නේ, විෂය වන්නේ සහස්සීලෝකධාතු, යන දහසක් සක්වල පමණි. බුදුරදුන්ට අසංඛ්‍යගණන් සක්වල සත්වයන්ට ශබ්දය එළිය පතුරුවා සන්නිවේදනය කරන්නට හැකි වූවද ඒ සත්වයන්ගේ කර්මය අනුව මිස, බුද්ධ ධර්මය අහන්ට දැනගන්නට වාසනා මහිමයක් නැත්තේම ය.

මෙම ආශ්චර්යවත් කාරණය ගුරුළුගෝමී පඬිවරයා ධර්මප්‍රදීපිකා ග්‍රන්ථයේ මෙසේ විස්තර කරයි.

“මෙසේ අනන්තාපරිමාණ වූ ලොකධාතුවැ බුදුනට අවිෂය තැනෙක් නම් නැති, එයින් බුදුහු හුනස්නෙහිමැ හිඳ හාත්පස්හි සහ සී‍්‍ර ක්‍ෂුද්‍ර ලොකධාතුවද, ද්විසහ සී‍්‍ර මධ්‍යම ලොකධාතුවද ත්‍රිසහසී‍්‍ර මහා සහසී‍්‍ර ලොකධාතුවද එයින් පිටත් අනන්තාපරිමාණ චක්‍රවාලයෙහිදු සත්නට නභොමධ්‍යගත චන්ද්‍රයාසේමැ පැනෙන්නාහු මධුරස්වරයෙන් ධර්ම දෙසත්.

මෙවන් අසිරිමත් ප්‍රභාමත්, දීප්තිමත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්නේ විවෘත ප්‍රභාස්වර චිත්තසන්තානයෙන් අවබෝධ කරගෙන කරුණාවෙන් සපිරුණු හදවතින් නිසා එය ඇසූ අයට ශ්‍රවණ මාත්‍රයම තවත් භවයක දී ධර්මය දැන ගන්නට පදනම වන්නේ ය.

බුදුරදුන් ධර්මය දේශනා කරන්නේ සදාකාලිකව පවත්නා දහමක් උදෙසා තාවකාලික භෞතික හැඟීම් දුරු කරගැනීමට වූවද වරෙක එම විමුක්තිය උදෙසාම පිළිපදින අතර වරෙක ආත්ම තෘප්තිය සඳහා ද, භාවිතා කෙරේ. ක්‍රම ක්‍රමයෙන් පටිච්චසමුප්පාදය වැනි ගැඹුරු දහම් චංචල ලෝකයට උචිත නැතැයි යන පුහු මතය නිසා ගිහි පැවිදි දෙපක්‍ෂයම බුදුදහමේ සරල ඉගැන්වීම් පමණක් ආත්ම තෘප්තිය සඳහා භාවිතා කරති.

සත්වයාගේ කර්ම ශක්තිය හා ක්‍ෂණයකින් වෙනස්වන භෞතික ලෝකය තුළ නාම රූප ධර්මයන්ගේ ක්‍ෂණමාත්‍ර පැවැත්මත් යළි බිඳීම වෙන්වීම සිදුවන ආකාරයත් සර්වඥතාඥාණයෙන් දැන වදාළ නිසා ලෝකයට අභිනවඤාණයක් එක්විය. එහෙත් සෙසු ආගමික ඉගැන්වීම් සියල්ලම ආත්මවාදය නිර්මාණවාදය යන මිථ්‍යා ඉගැන්වීම් වලින් මිනිස් බුද්ධිය යටපත් කොට ඇත.

අන්ථ ජීවලෝක පිළිබඳ අවබෝධයක් නැතිව මෙම මනුෂ්‍ය ලෝකයට සීමා වූ දැනුමෙන් හා අවිද්‍යාවෙන් නොමඟ යන මානව සමාජයට බුදුදහම එකම ආලෝකයක් බවද එකම සරණ බවද ආගමික ඉතිහාසයෙන් ප්‍රකට වෙයි. මෙම සත්‍යතාව මිනිසාට පිළිගන්නා තරම් විවෘත මානසිකත්වයක් ඇති බව පේනතෙක් මානයක නැත්තේ ය.

සත්වයාගේ අතීතය හා වර්තමානය මෙන්ම මතු පැවැත්මේ වෘත්තාන්තය පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල සම්බන්ධය යි. අද අප ජීවත්වන තත්ත්වය ගෙනාවේ ඊයේ අප ජීවත් වූ පිළිවෙත පිළිබඳ හේතුවේ ඵලය වශයෙනි. යළි එය හේතුවක් වී අනාගතයට ඵලයක් වේ. මෙම හේතුඵල සම්බන්ධය අඛණ්ඩව පවත්වාගෙන යෑමක් නොව, වෙනස් වෙමින් වෙනස්වන ඵලයක් යළි හේතුවක් වශයෙන් පවතින අනිත්‍යස්වභාවය යි.

අද ඇති වූයේ ඊයේ පැවැති හේතුවේ ප්‍රතිඵලයක් වශයෙනි. ඊයේ නොතිබූයේ නම් අද නැත. එසේනම් හෙට ද නැතිවන්නේම ය. අපමණ අතීතයත් වර්තමාන මොහොතත්, අනාගතයත් නිර්මාණය වූයේ වන්නේ පටිච්ච සමුප්පාදයේ බලය ක්‍රියාත්මකවීමෙනි. මෙම අනිවාර්ය පොදු න්‍යාය සත්වලෝක, සංඛ්‍යාලෝක, අවකාශ ලෝක යන විශ්වයේම පවත්නා බව අවබෝධ කරගත්තේ, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඤාණයෙනි.

බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රත්‍යක්‍ෂකරගත් මෙම පටිච්ච සමුප්පාද ධර්මය පිළිනොගැනීමට ප්‍රධානතම හේතුව ආධානගාහී මිථ්‍යා දෘෂ්ටියයි. එයින් ලෝකයට විශාල කරදර යුදගිනි, බඩගිනි, ජලවිපත්, භූතදෝෂාදී විපත් වැඩිවන අතර අප බුදුරදුන් විසින් ප්‍රකට කළ සත්‍යවාදී භූතවාදී පටිච්චසමුප්පාද ධර්මයෙන් සම්පත් ඇති වෙයි. නිවනින් සැනසීමට පුළුවන.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.