Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තායිලන්තයේ උපාලි හිමියන්ගේ ශ්‍රී ලංකාවේ ධර්මදූත මෙහෙවර

ශ්‍රී ලංකා රාජයාගේ ගරුකටයුතු ඉල්ලීමට ප්‍රතිචාර විසින් බොරෝමකෙත් රජ ඒ ගැන සලකා බැලීම සඳහා තායි සංඝ සභාවක් සැලසුම් කළේ ය. එහි ප්‍රතිඵලය වශයෙන් පූජ්‍ය උපාලි මහා තෙරුන් සහ අරියමුනි තෙරුන්ගේ මූලිකත්වයෙන් ප්‍රවීණ භික්‍ෂු පිරිසක් තෝරා ගත් අතර, ඒ පිරිස පිරිවරා ලංකාවට පැමිණීම පිණිස රජු විසින් ගිහි රාජදූත මණ්ඩලයක් පත් කිරීම සිදුවිය. ඒ අතර තායි රජතුමා විසින් ශ්‍රී ලංකාවෙන් ගොස් සිටි දූත පිරිසට බොහෝ තෑගි බෝග ද පිරිනැමිණ. එපමණක් නොව ශ්‍රී ලංකා රජතුමාට රාජකීය සන්දේශයක් සමඟ මහාර්ඝ ත්‍යාග ද එවනු ලැබිණ.

තායිලන්තයේ බොරෝමකෙත් රජුගේ පාලන සමයේ ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් සිදුවීමක් ඉතිහාසගතව ඇත. එනම් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ආගමික සබඳතා ආරම්භවීමයි. එය අදටත් වඩ වඩා ස්ථාවර වෙමින් පවතී. එවක තායිලන්තය පාලනය කළේ බොරෝමකෙත් රජු විසින් වන අතර, ශ්‍රී ලංකාවේ පාලකයා වූයේ ශ්‍රී විජය රාජසිංහ ය. ඔහු රජ බවට පත් වූයේ 1739 දී යි. හෙතෙම ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසවගේ වැඩිමහලු සොහොයුරා වෙයි. ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේගේ තත්ත්වයේ පිරිහීම හා භික්‍ෂුත්වය අභාවයට යෑමක් ගැන රජ සිටියේ බලවත් කනගාටුවෙන් හා පසුතැවිල්ලෙනි.

ඒ අතර තායිලන්තයේත්, මියන්මාරයේත් බුදුදහම බෙහෙවින් සමෘද්ධිමත්ව පවතින බව ලන්දේසීන්ගෙන් රජුට දැන ගන්නට ලැබිණ. ඒ අනුව පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාවේ යළි පිහිටුවන්නට තායි භික්‍ෂූන් වහන්සේට ආරාධනය කිරීමේ අව්‍යාජ අධිෂ්ඨානයෙන්, තායි රජුගේ රාජසභාවට සිය දූතයන් යවන්නට ශ්‍රී විජය රාජසිංහ තීරණය කළේ ය. ඉක්බිති ලන්දේසි වෙළඳුන්ගෙන් කුලියට ගත් යාත්‍රාවලින් රාජදූතයෝ අයුධ්‍යා නුවරට ළඟා වූහ. එහෙත් සිය පණිවිඩය අයුධ්‍යාවේ රජුට ඉදිරිපත් කරන්නට සූදානමින් සිටියදී රජු අභාවප්‍රාප්තවීම පිළිබඳ කනගාටුදායක පුවත අසන්නට ලැබිණ. ඒ 1747 දී ය. ඉක්බිති රාජදූතයෝ සුන් වූ බලාපොරොත්තු ඇත්තාහු ආපසු ශ්‍රී ලංකාවට ආහ.

මේ අතර ශ්‍රී විජය රාජසිංහගෙන් පසු රජ බවට පත් වූයේ කීර්ති ශ්‍රී රාජසිංහය. ඔහුත් සිය පූර්වගාමියාගේ විශිෂ්ට පූර්වාදර්ශය අනුව යමින් ශ්‍රී ලංකාව තුළ සඟ සසුනේ උදාරත්වය යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු සම්පාදනය කළේ ය. අයුධ්‍යාවට ගොස් සිටි රාජදූතයන් මඟින්, තායිලන්තයේ පැවති බුදුදහමේ පිරිසුදු තත්ත්වය සැලකිල්ලට ගෙන සතුටට පත් කීර්ති ශ්‍රී රාජසිංහ, 1750 දී ලන්දේසින්ගේ උපකාරයෙන් මුහුදු මඟින් අගනා තෑගිබෝගත් සමග සිය රාජදූතයන් තායිලන්තයට යැවී ය. මේ රාජකීය තානාපති පිරිස 1751 මැයි මාසයේ දී මුහුදු බොක්කට ළඟා වූහ. ඉක්බිති 1751 ජූලි මාසයේ දී අගනුවර වන ආයුධ්‍යාවට ආවෝ ය. ඔවුහු තායි ජනතාව විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. අයුධ්‍යාවේ නතර වී සිටි කාලය තුළ දී ඔවුහු සරාබුරිහි බුදුන් වහන්සේගේ සිරිපා සටහන පිහිටි තැන හා තවත් එබඳු බෞද්ධ හා ඓතිහාසික විසින් වැදගත් නන්විධ තැන් නරඹන්නට කැඳවාගෙන යනු ලැබූහ. ඒ අතර රාජකීය කඨින පූජෝත්සවය සහ වෙනත් බෞද්ධ සංසිද්ධි අත්දකින්නට ලැබිණ.

ශ්‍රී ලංකා රාජයාගේ ගරුකටයුතු ඉල්ලීමට ප්‍රතිචාර විසින් බොරෝමකෙත් රජ ඒ ගැන සලකා බැලීම සඳහා තායි සංඝ සභාවක් සැලසුම් කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ පූජ්‍ය උපාලි මහා තෙරුන් සහ අරියමුනි තෙරුන්ගේ මූලිකත්වයෙන් ප්‍රවීණ භික්‍ෂු පිරිසක් තෝරා ගත් අතර ඒ පිරිස පිරිවරා ලංකාවට පැමිණීම පිණිස රජු විසින් ගිහි රාජදූත මණ්ඩලයක් පත් කිරීමයි. ඒ අතර තායි රජතුමා විසින් ශ්‍රී ලංකාවෙන් ගොස් සිටි දූත පිරිසට බොහෝ තෑගි බෝග ද පිරිනැමිණ. එපමණක් නොව ශ්‍රී ලංකා රජතුමාට රාජකීය සන්දේශයක් සමඟ මහාර්ඝ ත්‍යාග ද එවනු ලැබිණ. ඒවාට අමතරව, ශ්‍රී ලංකාවේ නොතිබුණු නොයෙක් පාලි පතපොත ද සැපයිණ. 1751 නොවැම්බර් මාසයේ දී දූතපිරිස් අයුධ්‍යාවෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූහ.

ඒ එක්ක ම දෙසැම්බරයේ උපාලි මහ තෙරුන් සහ තායි දූත පිරිස පැමිණි නැව කුණාටුවකින් බලවත් අකරතැබ්බයකට මුහුණ පෑයේ ය. ඔවුනට යන්තමින් බේරී ගොඩබැස ගන්නට හැකිවූයේ දකුණු තායිලන්තයේ නකෝම් ශ්‍රී ධර්මරාජ වරායටයි. ඉක්බිති තායි රජතුමා නැවතත්, උපාලි මහ තෙරුන්ගේ මූලිකත්වයෙන්, ගිහි නියෝජිතයන් ද ඇතුළුව බෞද්ධ දූත පිරිසක් ශ්‍රී ලංකාවට එවී ය. 1752 මැයි මාසයේ දී එකී දූත පිරිස කරදරයකින් තොරව ත්‍රිකුණාමලය වරායට සේන්දු වූහ.

පහත දැක්වෙන්නේ එවර ශ්‍රී ලංකාවට පැමිණි තායි භික්‍ෂූන්ගේ නාම ලේඛනයයි.

උපාලි මහා ස්ථවිර, අරියමුනි ස්ථවිර සහ මහානාම, මහාපුණ්ණ, මහා සුවණ්ණා, මහා මණිස්සර, මහාමණි, බ්‍රහ්මජෝති, මණිජෝති, චන්දජෝති, ධම්මජෝති, පුණ්ණ ජෝති, ඉන්දජෝති, චන්දසාර, සිරිචන්ද, ඉන්දසුවණ්ණ, බ්‍රහ්මසාර, යසදින්න ආදී හිමිවරුන් සහ තවත් සාමණේර පිරිසකි.

1752 ජූලි මාසයේ එක් සිකුරාදාවක කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එකී රාජකීය දූත පිරිස සිරිවද්ධනපුරදී (Kandy)මහත් හරසරින් පිළිගත්තේ ය. තායි භික්‍ෂූන් වහන්සේට අගනුවර ආසන්නයේ පුෂ්පාරාම විහාරයේත්, ගිහි නියෝජිතයනට රාජකීය අමුත්තන්ගේ නිවාසයේත් පහසුකම් සලසන ලදී.

තායි නියෝජිතයන්ගේ පැමිණීමෙන් සතියකට පසු අගනුවරදී, උපාලි මහ තෙරුන් ප්‍රමුඛ සංඝයා විසින්, පුෂ්පාරාම විහාරයේ දී ඔවුන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණි සාමණේර නමකගේ උපසම්පදා කර්මය සිදු කැරිණ. ඉක්බිති පසුදා උපාලි හිමියෝ සරණංකර හිමියන් මුල් තැන තබා ඒ සමඟ සිංහල සාමණේර හය නමක් උපසම්පදාවේ පිහිටැවූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත්, ඔහුගේ ඇමැතිවරුන් සේ ම පරිවාර ජනයාත් ඒ උත්සවය අත්දුටුවෝ ය.

ඉක්බිති භික්‍ෂූහු පුෂ්පාරාම විහාරස්ථානයේ දී වස් විසීම ඇරඹූහ. වස්සාන සමයේ දී, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහයෙන්, උපාලි හිමියන් විසින් මෙහෙයවන ලද භික්‍ෂූන් වහන්සේ විසින් සිංහල බෞද්ධයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්, පුෂ්පාරාම විහාරස්ථානයේ සීමා පැනවීමේ උත්සවයක් සංවිධානය කැරිණි.

වස් පවාරණයෙන් පසු තායි නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන වැඳ පුදා ගන්නට සහ නරඹන්නට කැඳවා ගෙන යනු ලැබූහ. ශ්‍රී ලංකාවට සැපත් තායි දූත මෙහෙවරේ දී උපාලි මහ තෙරුන් විසින් භික්‍ෂූන් 700 ක් සහ සාමණේරයන් 300 ක් ද අදාළ පැවිදි තත්ත්වයට පත් කරන ලදැ යි කියනු ලැබේ. උපාලි මාහිමියෝ ශ්‍රී ලංකාවේ වසර තුනක් ගත කළහ.

1755 ඔක්තෝබරයේ දී, තායි රජතුමා විසින් කලින් එවන ලද භික්‍ෂූන්ගේ හිලවුවට, දෙවැනි පියවරක් ලෙස, විසුද්ධාචරිය සහ වරඤාණමුනි යන හිමිවරුන් විසින් මෙහෙයවන ලදුව උන්වහන්සේලාත් සමඟ උපසම්පදා භික්‍ෂූන් 20 ක් සහ ගණනින් ඊට සමාන සාමණේර පිරිසක් ද එවනු ලැබූහ. ඔවුන් ඒ ගමන පටන් ගත්තේ ද අයුධ්‍යා නුවරිනි. එහෙත් අවාසනාවකි. ඔවුන්ගේ යාත්‍රාව ශ්‍රී ලංකාවේ උතුරු දිග අවට ප්‍රදේශයේ දී නොගැඹුරු මුහුදේ එරී ගියේ ය. එය ඇතැම් විට කෙළින් ම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විය හැකි ය. කෙසේ වෙතත් මුහුද මැද අහිමිව ගිය භික්‍ෂූන් හතර නමක් හා සාමණේර දෙනමකින් තොරව අනෙක් පිරිසට යහතින් වෙරළට සැපත් වන්නට හැකි විය. මේ පිරිස 1756 පෙබරවාරියේ දී සිරිවද්ධනපුරයට ළඟා වන්නට පෙර රෝගාතුර වූ උපාලි හිමියෝ අපවත්වී සිටියහ. කලින් උන්වහන්සේ සමග පැමිණි පිරිසෙන් කීප දෙනෙක් එනම්, භික්‍ෂූන් දස නමක් හා සාමණේර දෙනමක් ද උණ රෝගයෙන් අපවත් වී සිටියහ.

දෙවැනි දූත පිරිසේ නායකයා වූ විසුද්ධාචරිය මහ තෙරණුවෝ පුෂ්පාරාම විහාරයේ ලැගුම් ගෙන සිටියහ. උන්වහන්සේ විපස්සනාවේ ප්‍රවීණයෙක් වූහ. එහිලා උන්වහන්සේ කීර්තියක් අත්කර ගෙන තිබිණ. උන්වහන්සේ 300 ක් දෙනෙකුට භික්‍ෂු පැවිද්දත්, තවත් විශාල පිරිසකට සාමණේර පැවිද්දත් ලබා දුන්හ.

පූජ්‍ය අරියමුනි මහ තෙරණුවෝ, තායි භික්‍ෂූන් කීප දෙනෙකුත්, සාමණේර පිරිසක් සහ ශ්‍රී ලාංකික රාජකීය දූත පිරිසකුත් සමඟ බොරෝමකෙත් රජුට සහ තායි සංඝරාජ හිමියනට වටිනා තෑගි බෝග රැගෙන, 1755 අගෝස්තුවේ දී අයුධ්‍යාවට ගොඩබැස තායිලන්තයට ආපසු පැමිණියෝ ය. මේ සියල්ලෝ තායි බෞද්ධයන් විසින් හරසරින් සහ උද්යෝගයෙන් පිළිගනු ලැබූහ. ඒ වසරේ ම ඔක්තෝබරයේ දී සිංහල රාජදූතයෝ තායි බෞද්ධයන්ගෙන් තෑගි බෝග පමණක් නොව පහත දැක්වෙන පිටපත් 97 කින් යුත් පාලි ග්‍රන්ථ සමූහයක පරිත්‍යාගයක් ද සමඟ ආපසු ආහ. එකී පාලි ග්‍රන්ථ මෙසේයි. සුමංගලවිලාසිනි සහ සූත්‍ර පිටකයේ තවත් අට්ඨකථා හතරක් සමන්තපාසාදිකා, මොග්ගලානපකරණ, විනයට්ඨකථාටීකා, විමතිවිනෝදනී, රූපසිද්ධි, බාලපබෝධිටීකා, බාලාවතාරටීකා, සද්දසාරටීකා, සද්දබින්දාපකරණ, කච්චායනට්ඨපකරණ, සම්පිණ්ඩමහානිදානපකරණ, විමානවත්ථුපකරණ, පේතවත්ථු, චක්කවාළදීපනීපකරණ, සෝතබ්බමාලිනීපකරණ, ලෝකදීපක, සෝළසකීමහානිදාන, ලෝකවිනාස, ජම්බුපතිසුත්ත, ථෙරගූහා, ථෙරගාථාපකරණ, අනුටීකාසංගහ, මහාවංසපකරණ, මංගලදීපනීපකරණ, මජ්ඣීමනිකායපකරණ, අංගුත්තරනිකායපකරණ, සම්මෝහව්නෝදිනී, විභංගට්ඨකථා, වජ්‍රබුද්ධිටීකාපකරණ, නෙත්තිප්පකරණ, චුල්ලවග්ග, මහාවග්ග, පරිවාර, මහාටීකාට්ඨකථාපකරණ, විනයවිනිච්ඡය, තිකසංගහ, අනුටීකාසංගහ, විභංගපකරණ, ධාතුපකරණ, කංඛාවිතරණීපකරණ, පඤ්චපකරණම්ඨකථා, පරමත්ථදීපනී, සීලක්ඛන්ධවග්ග, පාටිකටීකා, පරමත්ථවිනිච්ඡයටීකා, බුද්දසික්ඛාටීකා, තෙරගාථා - අට්ඨකථා, සාරත්ථජාලිනී, පේතවත්ථුටීකා, සුත්තනීපාකටීකා, චරියාපිටකටීකා, නෙත්තිප්පකරණටීකා, පට්සම්භිදාමග්ග - අට්ඨකථා, බුද්ධවංසටීකා, අනාගතවංසට්ඨකථා, අනාගතවංස, අනාගතවංසටීකා, යමකපකරණ, බුද්ධසිංහනිදාන.

විසුද්ධාචරිය තෙරණුවෝ සිවු වසරක් ශ්‍රී ලංකාවේ ගත කොට ඒ වන විට ඉතිරිව සිටි තායි භික්‍ෂූන් වහන්සේලා සමඟ 1758 දී ආපසු අයුධ්‍යාවට වැඩම කළහ. උපාලි මහ තෙරුන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය සරණංකර තෙරණුවෝ 1754 දී දොළොස් වසරක් වස් වැස, උපාධ්‍යාය තත්ත්වයට සුදුසුකම් ලැබ, විනය නීතියට අනුව උපසම්පදා කර්මය මෙහෙයවන්නට අවසර ලැබ සිටියහ.

තායිලන්තයේ බොරෝමකෙත් රජතුමා 26 වසරක පාලනයෙන් පසු 1758 දී පරලෝ සැපත් විය. ඔහුගේ පාලන සමය තුළ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ආගමික හා සංස්කෘතික සබඳතා විෂයයෙහි ශක්තිමත් පදනමක් වැටී ඇත.

තවද මෙහිදී වෙසෙසින් සඳහන් කළ යුත්තක් වෙයි. එනම්, එක්තරා යුගයක, ථේරවාදී බුදුසමයේ බලකොටුවක්ව පැවැති මේ දිවයින තුළ බෞද්ධ සංඝශාසනය ප්‍රතිෂ්ඨාපනයේලා තායිලන්තයේ බොරෝමකෙත් රජතුමා හා ශ්‍රී ලංකාවේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විශිෂ්ට වගකීම් භාරයක් දැරූ බවයි. මෙසේ ප්‍රතිෂ්ඨාපිත ශ්‍රී ලංකාවේ සඟ සසුන ශ්‍යාමවංශ නිකාය හෝ උපාලිවංශ නිකාය නමින් හඳුන්වනු ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සඟසසුන තුළ උපාලි මහ තෙරුන්ගේ නම මෙතෙක්දු මතකයේ රැඳී පවතී..

Mahabodhi Centenary Commemorative Volume – SAMBHASH කලාපයෙන් උපුටා ගන්නා ලද පූජ්‍ය ආචාර්ය එල්. ලිඛිතනොන්ත මහ තෙරුන් වහන්සේගේ Venerable Upali’s Mission in Ceylon මැයින් වූ ලිපියේ පරිවර්තනයකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.