Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලක්දිව මහායාන වාදය

බුදුරජාණන් වහන්සේ කායත්‍රයක් ගැන කියවෙන මෙය සම්පූර්ණ වශයෙන් ම මහායානයට අයත් වූවකි. මහායානිකයන්ගේ් නිර්මාණ කාය යන්නෙන් අදහස් කෙරෙන්නේ බුදුවරුන් නිර්මාණ ශරීරයෙන් යුක්ත බවයි. බුදුවරු මිනිස් ලොවෙහි පහළ නොවෙත් යයි සිතන මහායානිකයෝ ලෝකයාගේ යහපත උදෙසා නිර්මිත බුදුරූපයකින් ජීවමාන ලීලාවකින් ධර්මය දේශනා කරත් යැයි කියති.

අනුබුදු මිහිඳු මාහිමියන් විසින් දෙවනපෑතිස් රජ දවස ගෙන ආ ථේරවාදී නිර්මල බුදුදහම අද දක්වා ම පවතී. එහෙත් මේ අතරතුර ථේරවාදී බුදුදහම අභිබවා මහායානය නැඟී සිටීමට වෙරදැරූ අවස්ථා රැසක් ඇත. මේ පිළිබඳව තොරතුරු සපයන සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක සාධක කිහිපයක් අප හමුවෙහි ඇත. ඒ අතරින් ලංකාවේ විවිධ ප්‍රදේශයන් හි විසිර ඇති සංස්කෘත ශිලා ලේඛනවලට හිමිවන්නේ වැදගත් තැනකි. ලක්දිව මහායානය ව්‍යාප්තව පැවති කාල හා ප්‍රදේශ පිළිබඳව දැනගැනීමට යථෝක්ත සෙල් ලිපි මඟින් අත්වන්නේ මනා පිටුවහලකි.

මහායානය යනුවෙන් හැඳින්වන්නේ වෛතුල්‍යවාදය, මිථ්‍යාලබ්ධිය, බුද්ධයානය, උත්තරබුද්ධාගම, සංස්කෘත බුද්ධාගම ආදී නිකාය කිහිපයකින් සුසංයෝග වූ බෞද්ධ ඉගැන්වීමකි. නිර්වාණවබෝධය සඳහා හේතුවන, යානය (රථය) හෙයින් මෙම ධර්මයට මහායානය යනුවෙන් ව්‍යවහාර කෙරෙයි. මෙහි ආරම්භය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් වී ඇත. ඇතමකු කියා සිටින්නේ මහායානය, මහාසංඝික නිකායයෙන් ආරම්භ වී ඇති බවයි. ඇතැම් විද්වතුන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ ඇතැම් මහා සංඝික අදහස් හා ප්‍රවණතා මහායානික ග්‍රන්ථ වලින් ඉදිරිපත් වී ඇතත් මහායානයේ ආරම්භය පිළිබඳව සාධක නොමැති බවයි. මෙම මත අනුව තීරණය කළ හැක්කේ දෙවන තෙවන සංඝායනා වලින් කැඩී බිඳී ගිය විවිධ මත දැරූ නිකායිකයින්ගේ ධර්ම කොටස් එකතුවෙන් මහායානය ඇති වූ බවයි. ක්‍රි.පූ. පළමුවන ශතවර්ෂයේදී එහි ආරම්භය සිදුවන්නට ඇතැයි නිගමනය කරන ආචාර්ය නලිනාක්ෂ දත්ත මහතා හීනයානයෙන් මහායානය වෙන්කර දැක්විය හැකි කරුණු කිහිපයක්ද සඳහන් කරයි.

1. බෝධි සත්ව සංකල්පය
2. පාරමිතා පූරණය
3. බෝධිචිත්ත වර්ධනය
4. දශ භූමි
5. බුද්ධත්වයෙන් ම නිවන දැනීම
6. ත්‍රිකාය සිද්ධාන්තය
7. ධර්ම ශූන්‍ය තා සංකල්පය

මීට අමතරව බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහායානිකයන් දරන අදහස් ද විවිධය. එම අදහස් අතර බුදුරජාණන් වහන්සේ මිනිස් ලොවෙහි නොඉපිද තුසිත දෙව්ලොව වසමින් උන්වහන්සේ ගේ අවතාරයක් මෙලොවට එවූ බව පැවසීම කෝටි ගණන් බුදුවරු විශ්වයේ විවිධ තැන්වල වෙසෙන බව පැවසීම, බුද්ධත්වයට වඩා බව ඇති බෝසත්වරු වෙසෙන බව පැවසීම යන මේ අදහස්ය. මොවුනගේ කැපී පෙනෙන වන්දනාවක් ලෙස ස්ථූප වන්දනාව පෙන්වා දිය හැකිය.

ශ්‍රී ලංකාවට මහායානය පළමුවෙන්ම පැමිණියේ වෝහාරික තිස්ස රාජ්‍ය සමයේ බව (ක්‍රි.ව. 269 - 291) නිගමනය කළ හැකිය. වෛතුල්‍යවාදීන් බලවත්ව නැඟී සිටියේ වෝහාරතිස්ස සමයේ වුවත් ඉන් පෙර සිටම ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින්නට ඇතැයි ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. මේ වෝහාරිතිස්ස රජු මුලින්ම යටපත් කළ බවට සාධක අනුව පෙනී යයි. ඉන් පසුව ගෝඨාභය (ක්‍රි.ව. 309 - 322) ශිලාකාල (ක්‍රි.ව.524 - 537) මහසෙන් ක්‍රි.ව 274 – 301) අග්බෝ (ක්‍රි.ව. 568- 601) පළමුවන සේන (ක්‍රි.ව. 831 - 852) දෙවන සේන (ක්‍රි.ව. 851 - 885) යන රජවරුන්ගේ කාලවල එය යළි හිස එස වූ බව වංශකතා පෙන්වා දෙයි.

සංස්කෘත ශිලා ලේඛනවලින් මහායානය ලක්දිව පැතිරීම පිළිබඳව කරුණු දැක්වීමේදී පස්වන ශතවර්ෂය වනවිට ඒවා මහායාන දර්ශනයට නැඹුරු වූ ඇදහිලිවලට සම්බන්ධ බව පෙනේ.මෙහි එකතු වූ ඇතැම් වාක්‍යවලින් ඒබව මනාව පෙනේ. ‘සවසතනට පති’ යන සියලු සත්ත්වයන්ට පින් පැමිණවීමේ පාඨයට භය, හත සියවස්වලදී ‘රිචි බුදු බවය වය’ යන පාඨය එකතු වී ඇත. මෙහි අදහස වන ‘රිසි වූ බුදුබව ලැබේවා’ යන්නෙන් පෙනී යන්නේ බුදු බව ප්‍රාර්ථනා කිරීමේ කැමැත්ත මේ වන විට මහජනතාව තුළ තිබූ බවයි. මහායාන ඉගැන්වීම් අනුව සියලු සත්ත්වයන් දුකින් මුදවාලීමට ඕනෑම අයෙකුට වීර්ය වැඩිය හැක. මෙයින් පෙනෙන්නේ සුළු පූජාවක් පවත්වා හෝ බුද්ධත්වය ප්‍රාර්ථනා කළ හැකි බවයි. මහායානය ඉතා හොඳින් ව්‍යාප්තව පැවති ප්‍රදේශයක් ලෙස සෑගිරිය පෙන්වා දිය හැකිය. ඒ සඳහා තඹ පත් හා සෙල්ලිපි නිදසුන්ය. මේවා අතර ඉතා පැරණිම සෙල්ලිපිය වන්නේ අම්බස්ථලයේ සේල චෛත්‍ය අසල කොටා ඇති ත්‍රිකායාස්තව ලිපිය බව ආචාර්ය සෙනරත් පරණවිතාරණයෝ පෙන්වා දෙති. අටවන ශතවර්ෂයට අයත් මෙම සෙල්ලිපිය පල්ලව ග්‍රන්ථාක්ෂරවලින් ලියා ඇත. මහායාන බුදුසමයේ කැපී පෙනෙන ලක්ෂණයන් වන ධර්මකාය, සම්බෝගකාය, නිර්මාණකාය, යන බුදුන්ගේ ත්‍රිකාය වන්දනා කිරීමේ ස්ත්‍රෝත්‍රයක් ලෙස රචනා කොට ඇති මෙයින් මහායාන අභාසය මනාව පෙනේ. ඒ අනුව,

1. නිර්ල්ලේපං නිර්විකාරං ශිවමසම සමං... වන්දේ ප්‍රත්‍යාත්මවෙද්‍යාන්තමහමනුපමං ධර්මකායං ජිනානං... (ප්‍රත්‍යාත්ම වේදය වූ (තමන් විසින් දැනගත යුතු වූ උපමා රහිත වූ ඒ ධර්මකාය මම වඳිමි)

2. වන්දේ සම්භෝගකායං තමහමිහමධර්මරාජ්‍යප්‍රතිෂ්ඨම් (ධර්ම රාජ්‍ය ප්‍රතිෂ්ඨාව වූ ඒ සම්භෝගකාය මම වඳිමි)

3. නෛකාකාරප්‍රවෘත්තන් ත්‍රිභවභයහරං රූපෛරුපායෛර් වන්දේ නිර්මාණකායාන් දශදිගුනුගත්තා මහාර්ත්ථං මුනීනම්.... (නානා මූර්තීන්ගෙන් යුක්ත වූ විශ්ව රූපී උපායන්ගෙන් ලෝකත්‍රයෙහි භය දුරු කරන දශ දිශා ව්‍යාප්ත වූ මහදර්ථ වූ ඒ නිර්මාණ කාය මම නම්ස්කාර කරමි)

බුදුරජාණන් වහන්සේ කායත්‍රයක් ගැන කියවෙන මෙය සම්පූර්ණ වශයෙන් ම මහායානයට අයත් වූවකි. මහායානිකයන්ගේ නිර්මාණ කාය යන්නෙන් අදහස් කෙරෙන්නේ බුදුවරුන් නිර්මාණ ශරීරයෙන් යුක්ත බවයි. බුදුවරු මිනිස් ලොවෙහි පහළ නොවෙත් යයි සිතන මහායානිකයෝ ලෝකයාගේ යහපත උදෙසා නිර්මිත බුදුරූපයකින් ජීවමාන ලීලාවකින් ධර්මය දේශනා කරත් යැයි කියති. මිනිස් ඇසින් බැලීමට නොහැකි සියුම් වූ අද්භූත නිමිති පහළ කරන කාය ‘සම්භෝග කාය’ නම් වේ. නිර්මාණ කායට වඩා සියුම් වූ මෙම කාය පිහිටන්නේ බුදුවරුනට හා බෝසත්වරුනට පමණි. ධර්ම කාය නම් බුදුවරුන්ගේ පාරවාර්ථික ශරීරයයි. නිර්මාණ කාය සම්භෝග කාය යන දෙක බුදුවරුනට වෙනස් අයුරින් පිහිටියද ධර්ම කාය සියලු ම බුදුවරුනට එක සමාන බව මහායාන දර්ශනයේ ඉගැන්වීමයි. මෙම සෙල් ලිපියෙහි අවසාන කොටසෙහි ස්ත්‍රෝත්‍රය රචනා කළ භික්ෂුන් වහන්සේගේ නම සඳහන් වුවත් පැහැදිලි නොවේ. උන්වහසේ ‘බෝධි සත්ත්ව ගුණයන්ට ආකරයක් බඳුයැයි’ විස්තර වී ඇත. මෙමගින්ද මහායාන ආභාසය පෙනේ. මේ අවධියේ චේතිගිරි ප්‍රදේශයේ මහායානය ව්‍යාප්තව පැවති බවට නිදසුනක් ලෙස මෙම ඉහත සඳහන පෙන්විය හැකිය. එසේම මිහින්තලය ඉඳිකටුසෑය කැණීම්වලින් හමු වූ තඹ තහඩු මගින්ද මෙහි මහායානය ව්‍යාප්ත වී තිබූ බව සිතිය හැකි. මේවායෙහි ගණන අනූවකට අධික අතර සෑම පත්‍රයකම ලියා ඇත්තේ අකුරු දෙපේළියකි. එසේම ඒවා බෞද්ධ සංස්කෘත ග්‍රන්ථවලින් උපුටා ගත් පෘඨ බව හඳුනා ගෙන ඇත. මහායානිකයන්ගේ මූලික සිද්ධාන්තයන් අතර ත්‍රිකාය සංකල්පයට ප්‍රධාන තැනක් හිමිවන බව ඉහත දැක්විණි. ඉන් නිර්මාණ කාය නම් ශාරීරික ධාතූන්ට වඩා ධර්මකාය උතුම් බව දැක්වේ. ථේරවාදීහු බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කොට චෛත්‍ය ගොඩ නැංවු අතර එහෙත් සාමාන මිනිස් සිතට දැනවීම සඳහා බුදුවදන් ලියූහ. කුඩා ධර්ම පාඨ ඛණ්ඩ ධර්ම ධාතු යනුවෙන් නම් කළ ඔවුහු ඒවා ශාරීරික ධාතු නිදන් කරන්නාක් මෙන් ස්තූපයන්හි තැන්පත් කළහ. ස්තූප ගොඩනැංවීම බෙහෙවින් ව්‍යාප්තව ගිය පසුකාලයේ ලබාගත හැකි වූ ශාරීරික ධාතු ප්‍රමාණය සීමාසහිත වීම නිසාත් මෙසේ සිදු කොට ඇති බව පෙනේ. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන්ට මෙන් ම බුදු වදන් ලියූ ලෝහ තහඩුවලටත් ගෞරව දැක්වීම මගින් පෙනෙන්නේ මහායානික ආභාසයයි. ඉඳිකටු සෑයෙන් හමු වූ මෙම ධර්ම පාඨය ඉතා කෙටිය. එසේම එකිනෙකට සබඳතාවක් ද නැත. මුළු ධර්ම කායට ඒවායෙහි ඇති සබඳතාව බුදුරජාණන් වහන්සේගේ රූපකායට බුද්ධ ශරීරයේ කුඩා ධාතුවක ඇති සබඳතාව වැනි යයි සලකන ලදී.

මෙහි එක තඹ පත්‍රයක (23) ප්‍රඥාපාරමිතා ග්‍රන්ථ නාමය දක්නා ලැබෙතත් අන් ග්‍රන්ථයක නමක් එහි ඇත. එහෙත් පඤ්චවිංසති සහශි‍්‍රකා ප්‍රඥාපාරමිතා කාශ්‍යප පරිවර්තන යන ග්‍රන්ථයන්ගෙන් එම පාඨ උපුටා ගත්බව ආචාර්ය සෙනරත් පරණවිතාණ මහතා සඳහන් කරයි. මහායාන සිද්ධාන්තයන් ප්‍රකට වන අවස්ථාවන් ලෙස

01. රසමි (0) බෝධිසත්ව මෙතද
02. බෝධිසත්වේ භ්‍ය (ඞ) ප්‍රඥාපාර (මිතාං)
03. (ස) මප්‍රකාශයති ත

අනුරාධපුරයේ විජයාරාමය නම් විහාරයේ ස්ථූපයේ තිබී මේ හා සමාන තහඩු ලැබී ඇත. එහෙත් ඒවායේ ලේඛන වෙනස්ය. තාරාදේවියට හා අවලෝකිතේශ්වර ආකාශ ගර්භ යන බෝසත්වරුනටද ශඛින් හා ගගන බුද්ධ යන බුදුවරුනට ද කළ යැදීම් ඇත. ඒවායෙහි “ඕම් කිලිකිලි හුර හුරු ස්වාහා” යන පාඨ බහුලව ඇත. මෙමඟින් තාන්ත්‍රිකවාදයේ ඉගැනීම් අඩංගු වී ඇත. නවවන සියවසට අයත් මෙම තඹපත් මඟින්ද එසමයෙහි මහායාන වන්දනය තිබූ බව සිතිය හැකිය. ඉඳිකටු සෑයෙන් හා විජයරාමයෙන් හමු වූ ඉහත කී තඹපත්වල සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයෙන් ශ්ලෝක යොදා තිබීම මඟින් ද චේතිය ගිරිය හා අවට ප්‍රදේශවල මහායානය පැතිරී තිබූ බව පෙනේ.

අනුරාධපුරයේ ජේතවනාරාමයේ ඉතා මෑතකදී කරන ලද කැණීමකදී හමු වූ ක්‍රි.ව. 9- 10 සියවස් වලට අයත් පඤ්ච විංසති සාහශ්‍රීකා ප්‍රඥාපාරමිතාවේ ධර්ම පාඨ ඇතුළත් රන්පත් ඉරු හතද ලක්දිව මහායානය තිබූ බවට නිදසුනකි. මෙහි 9 - 10 පිටුවල බෝධිසත්ව සංකල්පය ඉතා උත්කර්ෂවත් ලෙස වර්ණනා කරයි. මුලු ලොවේම යම් ‍ෙහාඳක් ඇත්නම් ඒ සියල්ල ම බෝධිසත්වවරයන් නිසා පහළවන බව සඳහන් වේ. මෙම ජේතවනාරාම රන්පත් ඉරු ඉඳිකටු සෑයේ තඹ පත් ඉරු හා තිරියායේ අභිලේඛනයට වඩා ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගනු ලැබූ සිංහල අක්ෂරයෙන් ලියූ දීර්ඝතම අභිලේඛනය බව මහාචාර්ය ජයසූරිය මහතා සඳහන් කරයි. ජේතවනාරාමය ආරම්භයේ පටන් මහායානයට සම්බන්ධතාවක් පැවති බව ද මේ අනුව සිතිය හැකිය.ක්‍රි.ව. 1893 ජේතවනාරාම භූමියෙන් සොයාගත් තඹ සන්නසක වට්ටක ජාතකයේ පාලි ගාථාවක් සංස්කෘත අකුරෙන් ලියා තිබිණි. මහායානිකයන් විසින් එය ගිනි නිවන ධාරණියක් ලෙස භාවිතාකොට ඇත. ත්‍රිකුණාමලයට පිළිවෙළින් සැතපුම් 21 හා 29 උතුරින් පිහිටා ඇති කුච්චවේලි ගිරිලිපිය හා තිරියාය ගිරි ලිපිය අනුව එම ප්‍රදේශ මහායානිකයින් සතුව පැවති බව සිතිය හැකිය. ක්‍රි.ව. පස්වන සියවසට පසුවත් අටවැනි සියවසට පෙරත් ලියන්නට ඇතැයි සිතිය හැකි කුච්චවේලි ගිරි ලිපියේ උපජාති හා වසන්ත තිලකා වෘත්තයන්ගෙන් ලියන ලද ශ්ලෝක දෙකකි.

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.