Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වින්දනීය ධර්මය පදනම් කොට සැප සොයන සත්ත්වයා එහි ආදීනව අමතක කොට යාම නිසා බොහෝ දුක්‍ඛ දෝමනස්සයන්ට මුහුණ දීමට සිදු වී ඇත. සැප වේදනා සොයන ඔහු දුක්ඛ වේදනාවන්ට එරෙහි වේ. එහෙත් බුද්ධ ධර්මයට අනුව දුක්‍ඛ වේදනාවනට වඩා පරිස්සම් විය යුත්තේ සුඛ වේදනාවන් කෙරෙහි ය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ගතද්ධිනො විසොකස්ස
විප්පමුත්තස්ස සබ්බදි
සබ්බ ගන්ථප්පහිනස්ස
පරිළාහොන විජ්ජති

කාරුණික පින්වතුනි,

අරහත් බව නැතහොත් රහත් බව පිළිබඳ අවබෝධය ලැබිය හැකි වන්නේ මරණින් පසුව බව යන්න බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම තවත් කෙනකුගේ එය හුදු ප්‍රාර්ථනාවක් පමණි’ තවත් කෙනෙක් නිවන් සුව අවබෝධය දෙව් මිනිස් සැප කෙළවර ලබා ගැනීමට සිතයි. මේ ආදී වශයෙන් නිවන් සුව අවබෝධය සම්බන්ධව බොහෝ කලක සිට වැරදි විග්‍රහයන්ට භාජනය වූවකි.

එය වඩාත්ම තීව්ර වූයේ මහනුවර රාජධානි සමයේ සිට බව පැහැදිලිය. එහි පැවැති ආර්ථික, දේශපාලන හා ශාසනික බිඳවැටීම් හේතුකොටගෙන බුදු රදුන් වදාළ සසරින් එතෙර වීම පිළිබඳ ගැඹුරු දහම හෙවත් ප්‍රඥා ගෝචර දහම වෙනුවට පුද පූජා ඇදහිලි විශ්වාස පදනම් වූ, එදිනෙදා ජීවිතයට සම්බන්ධවන ආකාරයට බුදු දහම පිළිබඳ ජන මනස තුළ ගොඩ නැගෙන්නට විය. එයින් ඇති වූයේ නිවන කල් දැමීමයි.

අරහත් බව කල් දැමීමට අවශ්‍ය තර්ක විතර්ක හා නව අදහස් එයට තව තවත් එකතු වුණත්. මේ ලක් වැසියාට නිවන අරුම පුදුම වූවක් විය නොහැකිය. ඊට හේතුව අනුරපුර පොළොන්නරු ආදී බොහෝ රාජධානීවල රහතන් වහන්සේ පිරී ඉතිරී ගිය රටකි මේ. වසර 2300 කට වැඩි බෞද්ධ ඉතිහාසයකට උරුමකම් ඇති අපට අරහත් බව අමතක වූයේ මන්ද? අසරණ සරණ සංඝ රාජ මාහිමියන්ගෙන් පසු බුදු දහම පිළිබඳ නව පුනර්ජීවනයක් ඇති වූ බව නොරහසකි.

පිරිවෙන් විශ්වවිද්‍යාල ඇතිවී බුදුදහම පිළිබඳ උගත් ගිහි පැවිදි බොහෝ පිරිසක් ඇති විය. බුදුදහම පදනම් කොට ආර්ථික, දේශපාලන, සමාජවිද්‍යා, මනෝවිද්‍යා විෂය ක්‍ෂේත්‍රයන් විග්‍රහවන ආකාරයට මේ ආදී විවිධ මාතෘකා බෙහෙවින්ම සාකච්ඡාවට, විමසීමට, අධ්‍යයනයට නැවත නැවත පිටුබල දුන්නා මිස එහිදීත් නිවන අමතක කළ බව පෙනේ. විශේෂයෙන් නාගරික මෙන්ම ග්‍රාමවාසී භික්‍ෂු ජීවිතයෙන් නිවන ඈත්වීම නිසා ගිහි බෞද්ධ ජීවිත වලින්ද එය ටිකින් ටික ඈත් වන්නට විය. ඊට හේතුව බෞද්ධ ගිහි සමාජය බොහෝවිට පෙළගැසෙන්නෙ භික්‍ෂු සමාජය පදනම් කරගෙන යන නිසා වීමෙනි. නිවන් අවබෝධය පිණිස බණ අසනවාය, භාවනා කරනවාය ප්‍රකාශ කළවිට හාස්‍යයට, උපහාසයට ගිහියන් පමණක් නොව තරුණ භික්‍ෂූන් වහන්සේද ලක්වන අවස්ථා බොහෝය.දැන් දැන් එම තත්ත්වයේ තරමක වෙනසක් ප්‍රකට වුවද වැඩි දෙනෙකු ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග වල ලොකු හරයක් ඇති බව නොපෙනේ.

කෙතරම් අවංකව මහෝත්සාහයෙන් යුතුව දුරක්කාත පිළිවෙතෙහි හැසුරුණද එහි ඵල නොලැබේ. නිවන් අවබෝධය පිණිස ස්වක්ඛාත ධර්මයෙහිම හැසිරිය යුතුය.යථාභූත ඥාණ දර්ශනය පිළිබඳ විදර්ශනා ක්‍රමය ඒකාකාරී විස්තරයකින් උගන්වනු ලබන ක්‍රමය හුදු වචන ගොඩක් බව නම් කෙරේ. ජීවිතය පුරා දකින විදර්ශනා ක්‍රමයකට වඩා සියලු වැඩ වරා එක්තැන්ව කරන විදර්ශනා ක්‍රමයක්ම උගන්වන බැවින් කාර්්‍යබහුල සමාජයකට එය කෙතරම් සාධාරණ දැයි සිතිය යුතුය. ඊට වඩා වැදගත් වන්නේ වැඩ කරන තැන වීර්යයෙන්ද, ණුවනින්ද, සිහියෙන්ද යුතුව ක්‍රියාව තුළ අවධි මනසක් ඇති කරගැනීමය.

පහත ගාථා රත්නය දේශනා කළේ “ජීවක” නම් මහා වෙදැදුරු තුමන්ටය. බුදුරදුන්ගේ ශ්‍රී පතුලෙ හටගත් ස්වල්ප තුවාලයකට ජීවක තුමන් විසින් බෙහෙත් බඳින ලදුව, එය ඉවත් කිරීමේ කාලය අතපසු වීම නිසා ඔහු තුළ හටගත් සිත් තැවුල දුටු බුදුරජාණෝ සසර ගමන අවසන් කළ ශෝක රහිත, සියලු ඇලීම් වලින් නිදහස්වූ, සියලු කෙලෙස් ගැට සිඳළු රහතුන් තුළ දැවිල්ලක් නැති බව වදාළ සේක.

“පරිළාහොන විජ්ජති” දැවීමක් තැවීමක් හෙවත් වේදනාවක් නොමැති පුහුදුන් මනසකින් හෙබි මනුස්ස, දේව, යක්‍ෂ, ප්‍රේත, භූත, නරක, තිරිසන් යන කොතනක වුවත් වේදනාව නැතහොත් දැවීම තැවීම පොදු වූ ධර්මතාවයකි. එබැවින් ලෞකිකයා වේදනාව පදනම් කරගත් ජීවිතයක් හසුරුවනු ලබයි. වේදනාව පහළවන්නේ සිත ඇසුෙර්ය. එය සුඛ දුක්‍ඛ උපේක්‍ෂා වශයෙන් වර්ගීකරණය කරයි.

වින්දනීය ධර්මය පදනම් කොට සැප සොයන සත්ත්වයා එහි ආදීනව අමතක කොට යාම නිසා බොහෝ දුක්‍ඛ දොමනස්සයන්ට මුහුණ දීමට සිදුවී ඇත. සැප වේදනා සොයන ඔහු දුඛ වේදනාවන්ට එරෙහිවේ. එහෙත් බුද්ධ ධර්මයට අනුව දුක්‍ඛ වේදනාවනට වඩා පරිස්සම් විය යුත්තේ සුඛ වේදනාවන් කෙරෙහිය.

ඊට හේතුව සුඛ වේදනාවට පදනම් වූ අනුසය රාගය වීමයි. ලොව පවත්නා ගිනි එකොලහක් (11)ක් ගැන පැහැදිලි කරන බුදු රජාණෝ රාගය පළමු ගින්න ලෙස වදාරති. ඒ අනුව පරීක්‍ෂා කිරීමේදී අප සැපය යැයි පවසන්නේ දුකමය. අප දුක යැයි පවසන්නේද දුකමය. එබැවින් වේදනාවො සුඛ, දුක්ඛ, උපේක්‍ඛා අයුරින් විග්‍රහ කලද සමස්ථ වේදනාවෝම දුකමය. “සම්මා දිට්ඨි” සූත්‍රයේදී වේදනාවද, වේදනා සමුදයද, වේදනා නිරෝධයද, වේදනා නිරෝධ මාර්ගයද දන්නා බව සම්මා දිට්ඨි ලෙස දක්වත්. නිවන් සුව අවේදයිත ස්වභාවයක් බව තේරුම් ගත යුතුය. විඳීමක් නැති සුවයක් ඇතැයි වදාරණ බුදු දහම ගැන සමහර උගතෙකුට ඇති ගැටළුවත් එයමයි. ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත යන ආයතනයන් ඇසුරේම පිනවීමෙන් සැප සෙවීමට පුරුදු වූ ලෝක සත්ත්වයා අවේදයිත සැපයක් ඇත යැයි සිහිනෙන් වුවද සිතීමට මැලිවෙත්. එසේ වුවත් නිවන මේ යැයි ඉන්ද්‍රිය ගෝචරව විදහා දැක්වීමට ක්‍රමයක් නොමැත්තේය.වෙන වෙනම තම තමා විසින් ක්‍ෂාත්ෂාත් කළ යුතු අවබෝධයකි.

හුදෙකලාවම සොයා යා යුතු රහත්බව තමා සතු වගකීමක් මිස තමා වෙනුවෙන් අන් කෙනෙකුට පැවරීමක් කළ නොහැක්කකි. හුදෙකලාව නම් දෘෂ්ඨිවාද, මතවාද මෙන්ම සම්ප්‍රදායයන්ට හසුවීමෙන් වැළකීමෙන් මෙන්ම අතීත වර්තමාන අනාගත යන කාලත්‍ර ග්‍රහනයෙන් හෝ හසුවීමට භාජනය නොවී ධර්මවල ධර්මතාවය අවබෝධ කිරීමයි. ධර්ම වූයේ, හේතුන් නිසා හටගත් බැවිනි. සිතද හේතුන් නිසා හටගන්නා ධර්මයකි. වේදනාවද හේතුන් නිසා හටගන්නා ධර්මයකි. වේදනාවේ පහසුව පිණිස පහළ වන අනෙකුත් චෛතසිකද ධර්මයෝය. ධර්ම යන්නෙහි ඇති ධර්මතාවය වූ කලී ඇති වී නිරුද්ධ වීමයි. අන් කවරක් ඒ හැරුණු කොට එහි නොමැත්තේය.එහි ධර්මතාවය නොදත් පෘථග්ජනයා එයට හේත්තු වෙත්. එය උපාදානය කරත්. එයින් උපදිත්. එනම් මම ලෙස, මගේ ලෙස සැලකීමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ “අනිස්සිතෝච විහරති නවකිඤ්චි ලෝකේ උපාදියති” කිසිවකට හේතු නොවී කිසිවක් උපාදානය නොකොට සිටීමයි. එය විදර්ශනාවේ මූලික හරය වේ. “ගතද්ධිනො විසොකස්ස” සසර දිනූ ශෝක දුරුකළ යන්නයි. සංසාරය යන්න ප්‍රකාශ කළ විට වැඩි දෙනෙකුට දැනෙන්නේ ජීවිතයෙන් පරිබාහිරව පවත්නා වූ දෙයක් ලෙසටයි.බුදු දහම සමස්ථය විග්‍රහ කරන්නේ ජීවිතය පදනම් කරගෙනය. එබැවින් සසරද පවත්නේ තම තමාගේ අධ්‍යාත්මය තුළය. සංසාරය ජීවිතයට පිටින් පිහිටියේ නම් සියල්ලන්ටම එක හා සමාන ප්‍රමාණයකින් යුක්ත වූවක් විය යුතුය.එහෙත් සංසාරය අධ්‍යාත්මය තුළම පවතින බැවින් එකිනෙකාට වෙන වෙනම බල පවත්නා බැවින් දුර කෙටි වශයෙන් ප්‍රභේද වෙත්. ලෝකය හෙවත් සංසාරය ආයතන හය සීමාකොට පිහිටියකි. ඇස, රූපය, රූපවිඤ්ඤාණය, වේදනාව යන ඒ ඒ තැන මම පහළ කරත්. මේ ඇස මම වෙමි. මේ රූපය මම වෙමි. මේ රූප විඤ්ඤාණය මම වෙමි. මේ කණ මම වෙමි. මේ ශබ්දය මම වෙමි ආදී වශයෙන් ගොනු කිරීම නැතහොත් සංස්කරණය කිරීම සංසාරයයි. රහතුන් තුළ එවැනි සංස්කරණයක් නැත. එබැවින් සංසාරය අවසන් කොට ඇත. ශෝකයද දුරුකොට ඇත.

“විප්පමුත්තස්ස සබ්බදි” ස්කන්ධ ධාතු ආයතන සියල්ලෙන් නිදහස් වූ නැතහොත් කාමලෝක, රූපලෝක, අරූපලෝක යන සියලු ලෝකයන්ගෙන් විමුක්තවූ උන්වහන්ගේ සිත ගති විමුක්තය. පෘථග්ජන සත්ත්වයා මේ කුමන හෝ තැනෙක එල්ලෙත්. සමහර කෙනෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත, පරමාර්ථ ධර්ම පමණක් ඇතිබව පෙන්වත්. පරමාර්ථ ධර්ම ස්කන්ධ ධාතු ආයතන නැතහොත් චිත්ත චෛතසික ධර්ම ලෙස මේ මොන අයුරෙන් පෙන්වා දුන්නත් ඒවා පරමාර්ථ ධර්ම නොවේ. ඒවා එසේ වූවා නම් රහතුන් ඒවා තුළ හෝ ඒවා රහතුන් තුළ හෝ තිබිය යුතුය.අනිදස්සන විඤ්ඤාණයකින් හෙබි රහතුන් තුළ ස්කන්ධ, ධාතු, ආයතන යන කිසිවක් විදහා නොදක්වයි.මේ ලිපියේ ආරම්භක කොටසේදීම නිවැරදි විදර්ශනා ක්‍රමයක් ප්‍රකාශ කල බව ඔබට මතක අතැයි සිතමි. එහිදී අපට වරදින වැදගත් තැනක් නම් මේ පරමාර්ථ ධර්ම පිළිබඳ උගන්වන තැනයි.

“සබ්බගන්ථප්පහීනස්ස” සියලු කෙලෙස්ගැට සිඳලූ කෙලෙස් වලින් අනතුරු වූ ලෝකය එක් ක්ළේශයකින් මිදීම පිණිස තවත් ක්ලේශ ඇති කරගන්නා ආකාරය ගැට පිට ගැට වැටීමේ ක්‍රමයකි.එය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වීමට ඉඩ ඇත. සැබෑ මාර්ගයට පිවිසි ශ්‍රාවකයා තුළ එවැනි ක්‍රියාවකට ඉඩ නොමැතිය.

රහත් බව විග්‍රහ කිරීමේදී මේ කුඩා ගාථා රත්නයෙන් වුවද ජීවිතයේ කෙතරම් ගැඹුරට බැස ගැනීමට හැකි යැයි පැහැදිලිය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.