Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

එක් වරක් හොඳ දෙයක් කළා කියා, එය අඛණ්ඩව පවත්වා ගැනීම දුෂ්කරයි. සිතේ විවිධ වෙනස්කම් ඇති වෙනවා. තමන්ම දන්නවා තමාගේ හිතේ ලක්‍ෂණය කොහොමද කියා .නිරන්තර අහන්න දකින්න තිබෙන්නේ වංචා, දූෂණ ආදී නරක දේ නම් අපේ සිතත් අපිරි සුදු වනවා. ඒ නිසා යහපත් ක්‍රියාදාම වල නිරන්තර යෙදෙන්නට කාලය කළමනාකරණය කරගත යුතුයි.

 

මේලෝකයේ උපදින මිනිසුන් විවිධාකාර වෙනස්කම්වලින් යුතුව ඉපදීම දක්නට ලැබෙනවා. ඒ මිනිසුන් අතර කාර්මික විප්ලවයක් කරන්නට තරම් ඤාණ ශක්තියක් ඇති කාර්මික ඤාණයෙන් පරතෙරට ගියා වූ විද්‍යාඥයන් ඒවගේම වෛද්‍ය අංශයෙන් නීතිය සම්බන්ධයෙන්, භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ආදි විවිධාකාර ක්‍ෂේත්‍ර තුළින් බුද්ධිමත් චින්තකයන් දාර්ශනිකයන් ඇතිවනවා. එහෙත්, මේ මිහිතලයේ මනුෂ්‍යත්වයේ අග්‍රඵලය ලොවුතුරා, බුදු බවයි.

ඒ උත්තම වූ බව ලොවට ශාන්තියක්ම සලසන්නේ ය. මෙවැනි ශ්‍රේෂ්ඨත්වයකට පත්වීමට සූදානම් වූ උතුමකුගේ උපත කොතරම් භාගයක් ද?

සුදොවුන් රජතුමාට, තම පුතණුවන් බුදු බව ලබා බරණැස ඉසිපතනාරාමයේ දී ප්‍රථම ධර්ම දේශනාව පවත්වා අනතුරුව රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින බව දැනගන්නට ලැබිණි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සඳහා එක් අමාත්‍යවරයෙකුට පිරිවර දහස බැගින් දී ඇමතිවරුන් නව දෙනෙක් නව වාරයකදී යැව්වත් රජතුමාගේ අරමුණ සාර්ථක වූයේ නැත. එසේ වූයේ පැමිණි හැම කෙනෙක්ම බණ අසා පැහැදී පැවිදි වූ නිසා ය.

අනතුරුව සිදුහත් බෝසතුන් හා එකම දින උපන් කාලුදායි ඇමැතිතුමා ගෙන්වා බුදුරජාණන් වහන්සේට වඩින ලෙස ආරාධනය කරන්නැයි ඉල්ලා සිටියේ ය. එම අවස්ථාවේ ද පිරිවර දහසක් සමගින් රජගහනුවර යන්නට සංවිධානය කළහ. කාලුදායි ඇමැතිවරයා ඇතුළු පිරිසද පැවිදි බිමට පත්විය. එහෙත් කාලුදායි ඇමතිතුමා සතියක් පමණ ඉක්ම යන විට කිඹුල්වත් නුවර දක්වා ඇති මඟ දෙපස පිළිබඳ විචිත්‍රත්වය දක්වා රසවත් ගාථා හැටකින් වර්ණා කර සුදොවුන් රජතුමාගේ ආරාධනාව දැන්වූහ.

පරිසර වර්ණා අතර කාලුදායි හිමියන්ගේ මඟ වර්ණනාව ඉතා සාර්ථක නිර්මාණයක් බව එම ගාථා පිරික්සීමේදී පෙනෙයි. එහි එන එක් ගාථාවක් ගෙන බලමු.

අංගාරිනොදාති දුමා භදනෙත
ඵලෙසිනො ජදනං විපස්හාය
තෙ අච්චිමනෙතාව විභාසයනති
සමනො මහා වීර භාගීරතැනං

භාග්‍යවතුන් වහන්ස, දැන් ගස්වල ගිනි අඟුරුමෙන් රතුපැහැති මල් හා දලු ලා වැඩී ඇත. පරණ කොළ වැටීමෙන් මලින් සැරසී ගිය ගස් දැන් ඵල දැරීමට බලා සිටී. ගස් ගිනි දැලින් යුක්ත වූවා සේ බබළයි. මහා වීරයාණන් වහන්ස, භාගීරථ පරම්පරාවට අයත් ශාක්‍යයනට හිත පිණිස වඩින්නට සුදුසු කාලය යි. මේ ආකාරයෙන් ඉතා රමණීය ලෙස මඟ දෙපසෙහි දැකුම්කළු බව දක්වා ඇත.

“සාධු උදායි කරිසසාමි ඤාති සංගහං” එනම්, හොඳයි උදාධි ඤාති සංග්‍රහය කරන්නෙම්යි කාලුදායි හිමියන් කළ ආරාධනාව පිළිගෙන විසි දහසක් පමණ භික්‍ෂූන් වහන්සේ සමඟ වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවර වෙත ගමන් ආරම්භ කළ මැදින් පුර පසළොස්වක දිනය අදයි.

අද වැනි උතුම් පොහෝ දිනක ඔබේ සිත කය සංවර කරගෙන දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පින් දහම්වල යෙදෙන්න තමාගේ ජීවිතයේ යහපත් පැවැත්මක් සඳහා හේතු වන්නේ එවැනි පිළිවෙතකට යොමුවීමෙන් පමණයි. ඒ වගේම ඔබට ධාර්මික සතුටක් සැනසීමක් ලබන්නට නම් ආගමික හැදියාවක් ලැබිය යුතුම යි.

පුඤ්ඤං චෙ පුරිසොකයිරා
කයිරාතෙතං පුනප්පුනං
තමහි ඡන්දං කයිරාඨ
සුඛේ පුඤ්ඤස්ස උච්චයො

යහපත් ක්‍රියාවක්, පිනක් දහමක් සිදු කළාම එය නැවත නැවත සිදු කළ යුතුයි. එසේ කුසල ක්‍රියාවල නිරන්තර යෙදීමෙන් තමන්ට මෙලොවත් පරලොවත් සතුටින් සැනසීමෙන් ජීවත්විය හැකි යි.

සමහර දෙනෙක් හිතෙනවා එක් වතාවක් දෙවතාවක් පින්කම් කළාම ඇති කියලා. සිල් සමාදන්වීම්, බණ ඇසීම් වැනි දේ, කීපවරක් සිදු කළාම ප්‍රමාණවත් වෙයි කීය. ජීවිතයට එක්වරක් පන්සිල් සමාදන් වුණාම ඇති කියා සමහර උගත් යැයි සම්මත අය පවා කියූ අවස්ථා තිබෙනවා.

නමුත්, එක් වරක් හොඳ දෙයක් කළා කියා, එය අඛණ්ඩව පවත්වා ගැනීම දුෂ්කරයි. සිතේ විවිධ වෙනස්කම් ඇති වෙනවා. තමන්ම දන්නවා තමාගේ හිතේ ලක්‍ෂණය කොහොමද කියා .

නිරන්තර අහන්න දකින්න තිබෙන්නේ වංචා, දූෂණ ආදී නරක දේ නම් අපේ සිතත් අපිරි සුදුවනවා. ඒ නිසා යහපත් ක්‍රියාදාම වල නිරන්තර යෙදෙන්නට කාලය කළමනාකරණය කරගත යුතුයි. ඔබට සැපතක්, ශාන්තියක්ම වේවා.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.