Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිනට පමා නැත...

සිටු කුලය ප්‍රථම වයසේ ආරක්ෂා කළේ නම් මහාධන සිටුවරයෙක් වේ. මධ්‍යම වයසේ ආරක්ෂා කළේ නම් මධ්‍යම සිටු කෙනෙක් වෙයි. පැසුළු වියෙහි දී හෝ ආරක්ෂා කළේ නම් සුළු සිටුවරයෙක් හෝ වෙයි. එහෙත් පවිටු මිතුරන් ඇසුර ස්ත්‍රී ලොල් බව හා සුරා ලොල් වූයේ දුශ්චරිත වූ බැවින්, ශ්‍රමණ බමුණන් ඇසුරු නො කළේ සියලු සම්පතින් පිරිහී මහත් විපතට පත්වූයේ, බුදුපියාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩසිටි සමයෙහි එම ප්‍රදේශයේ ජීවත්ව සිටි මහාධන සිටුගේ් පුත් ය. මහා ධන සම්භාරයක් තිබූ මහා ධන සිටු පවුල තම එකම පුතු ගැන සිතනුයේ අප සතු ධනය දිනකට කහවණු දහස බැගින් වියදම් කළත් අවුරුදු සියයකට පසු ද මේ ධනය අවසන් නොවේ.

එහෙයින් මගේ පුතු ක්ලාන්ත නොවූ කයින් හා සිතින් වසනු දැක්ම මගේ සතුටයි සිතා ශිල්ප හෝ ශාස්ත්‍ර හෝ ඔහුට නො ඉගෙන්වූහ.

නිසි වයස් වූ කළ කුලයෙන් ද රූපයෙන් ද තරුණ මදයෙන් ද මත් වූ රාගික වූ කාන්තාවක් පුතුට විවාහකර දුන්හ. ඔහු ඇය සමඟ කම් සැපම විඳින්නේ කිසිම කුසලයකට සිත නොනැමිනි. ශ්‍රමණ, බ්‍රාහ්මණ, ගුරු හෝ තම මවුපියන් කෙරෙහි වුවද ආදර ගෞරව නැත්තේ සුරා සොඬුන් වෙසඟනන් ආදීන්ගේ ඇසුරට වන්හ.

එයින් තුටු පහටු වන්නේ කම්සැප විඳීමට අන් ස්ත්‍රීන් කෙරෙහිද ලොල් විය. මවුපියන් මියගිය නොබෝ දිනකින් ධනයෙන් ද තවත් පිරිහෙන්නේ ණයට ද ගෙන සුරා සහ ස්ත්‍රී ඇසුර, නළු නිළි නාටක බලමින් සීඝ්‍රයෙන් ධනයෙන් පිරිහී ගියහ. ණය ගෙවාගත නොහැක්කේ ණය හිමියන්ට ඉඩකඩම් මෙන්ම ගෙවල් දොරවල් ද ණයට පියවා කබල් ගත් අත් ඇතිව මහමගට වැටුනේ සිඟමන් සඳහා ය. සිඟාකන මොහු මහමග අම්බලමක ළඟින්නේ සොරමුලක ඇස ගැසිනි. මහ සොරු ඔහු ළඟට විත් ඔබ තවම තරුණය. අත්පා ශක්තිමත්ය. මනාව ඇත. මෙසේ අතරමග දුක් නොවිඳිව, වර අප සමග සොරකමේ යාමට. හෙතෙමේ කියන්නේ් මම සොරකම් නො දනිමි.

එය ගැටලුවක් නොවේ.’තොපට අපි එය උගන්වන්නෙමු’ යි මහ සොරා කියා ඔහු ගෙන ගොස් ගෙයි බිත්ති බිඳ මුරට පුරුදු කළහ. සොරකමේ ගිය එක් දවසක ගෘහවාසීන් අවදිවන්නේ සොරමුල පැන ගියහ. මොහු අසුවූහ. දඬුවම් නියම විය.

වදකයන් රාජ නියමය මත පිටතල හයා බැඳ කසයෙන් තලමින් වද බෙර වයමින් මරණයට මහ මග ගෙනයන්නේ ප්‍රසාදයෙන් සිටි සුලසා දුටහ.

සුලසා නගර ශෝභිනියකි. ධනය ඇතිකල මොහු සමඟ වාසය කළ රාත්‍රීන් සිහි වූ ඇයට අනුකම්පාවක් ඇතිවූවා ය.

සේවකයකු කැඳවා ඇය රසවත් අග්ගලා හතරක් හා බීමට පැන් සූදානම් කරවා මහාධන සිටුපුතුවෙත යවා කෙසේ කන්නේ දැයි ප්‍රාසාදයේ සිටම බලා සිටියා ය.

සේවකයා රාජ පුරුෂයන්ගේ අවසරයෙන් ඒවා දී ස්වාමි දියණිය අණ ද සිහිපත් කළහ.

දිවැසින් බලන මහා මුගලන් මහරහතන් වහන්සේ මේ තරුණ සොරගේ විනාශය දැක මහත් කරුණාවෙන් මේ පුරුෂයා පින් නොකළ කෙනෙකි. මහත් පව්කම කළ කෙනෙකි. මේ හේතුවෙන් මොහු නරකයෙහි උපදන්නේයයි අනුකම්පා කොට පෙරමඟ වැඩියහ.

විපතට පත් මේ පුරුෂයා මහ මුගලන් මහ තෙරුන් වහන්සේ ඉදිරිභාග දකින්නේ පහන් සිත් ඇතිව තව මොහොතකින් මේ වධකයෝ මා මරා දමති. අග්ගලා කෑමෙන් මට කවර නම් ප්‍රයෝජනයෙක් වන්නේදැයි සිතන්නේ පරලොව යන මට මග වියදම් අවශ්‍ය වේ යැයි සිතමින් අග්ගලා සහ පැන් මුගලන් තෙරුන්වහන්සේට පූජා කළේ ය. මොහුගේ ප්‍රසාදය වැඩිවනු පිණිස ඔහුට පෙනෙන තැනකම වැඩහිඳ බලා සිටියදීම අග්ගලා වළඳා පැන් බී හුනස්නෙන් නැගිට වැඩිසේක.

චෝර ඝාතකයන් වධක ස්ථානයට ගෙන ගොස් සුළු වේලාවකින් ඔහු මරා දැමීය. මහ මුලගන් මහ රහතන් වහන්සේට සිත පහදා පිළිගැන්වූ දානය හේතුවෙන් මහත් සම්පත් ඇති දිව්‍ය ලෝකයක ඉපදීමට සුදුසුකම් ඇති වුවත් සුලසාව නිසා මා විසින් දාන පින්කමක් කරන ලද්දේ යැයි සුලසාව පිළිබඳ ඇතිකරගත් ස්නේහය නිසා මරණ මොහොතෙහි ඇතිකරගත් සිතේ කිළුටෙන් හීනාත්මයක් ලෙස පර්වත දෙපසෙක සෙවණ ඇති මහා නුග රුකෙක භූමාටු රුක් දෙවියකුව උපන්නේ ය.

ඊට පසු දවසක උයනට වන් සුලාසාවන් දුටු රුක් දෙවියෝ කාමරාග ඇත්තේ අඳුරක් මවා සුලසා භවනයට ගෙන ගොස් සතියක් එහි රඳවා ගෙන සිට බුදුරජාණන්වහන්සේ වේළුවනාරාමයෙහි ධර්ම දේශනා කරන වේලේ පිරිස් කෙළවර ගෙන අවුත් නවතා තමා නොපෙනී සිටියේය.

මුගලන් හිමි විමසීමෙන් සතියක් දුව නොදිටි මවට ද සුලසා මෙහිදී හමුවිය. සිදු වූ සියලු පුවත් සුලසා දහම් හලෙහි රැස්සිටි මහජනයා හට කීවා ය.

පින් නොකළ ඒ පුරුෂයා කෙසේ නම් දෙවියෙක් වී දැයි මිනිසුන් විචාළෝය. අවසන් මොහොතේ (පින් කිරීමට ප්‍රමාද නැත) මුගලන් මහ රහතන් වහන්සේට පැහැදුනු සිතින් අග්ගලා හා පැන්පූජා ‍ෙකාට ඒ පිනින් ඔහු දේවාත්ම භාවයක් ලැබී යැයි සුලසා පැහැදිලි කළාය. මෙය ඇසූ මහජනයාට පුදුමයට පත්වූහ.

රහතන් වහන්සේ (සියලු කෙලෙස් ක්‍ෂය කළ) කෙත (පින්) වැනියහ. දන්දෙන දායකයෝ ගොවීන් හා සමාන වෙති. දාන වස්තුව බිත්තර වී මෙනි. මේ තෙකරුණු හේතුකොට කුසල් උපදියි. මේ පින පරලොව ගිය වුන්මද, දායකයටද උපකාර පිණිස වේ.

කෙත උපමා කොට ගත් ‘ඛෙත්තූපම’ නම් වූ මේ පේ‍්‍රත වස්තුව බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහිදී එක්තරා සිටු පුත්‍රයෙක් අරභයා දේශනා කළසේක.

(ඛෙත්තූපම පේ‍්‍රත වස්තුව)

සටහන - 1. කෙතත්, ගොවියාත්, බීජත්, එක්වන් වූ තැන් අස්වැන්න මහත්වෙති. එසේම ආර්යමහා සංඝ රත්නයත්, කම්ඵල දන්නා දායකයාත්, අත පය බාහු වෙහෙසා දැහමින් උපයාගත් ධනයෙන් සැකසූ දානවස්තු (දෙය්‍ය ධම්ම) ත් එක්වන් වූ තැන් පිදීමෙන් ලැබෙන්නේ මහත්ඵල ඇති පුණ්‍යයෝය.

අද අද එයි මරු පින්කර ගන්නේ
කෙලෙසද සෙට මරුනේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
එම වද බව සයුරෙන් ගොඩ ලන්නේ

2. මහණෙනි, පුණ්‍ය (පින) යනු සැපයට නමෙකි. පින් කිරීමට මැලි නොවන්න. සැප ළඟාවේ යැයි මාපුඤ්ඤභායි සූත්‍ර දේශනාවේද සඳහන් වේ. (ලෝ වැඩ සගරාව - 28)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.