හෙළ කලා නිර්මාණ හා බැඳුණු
විශ්ව කර්ම දේව සංකල්පය
කැකිරාව - ශ්‍රී ඥානරතන
දහම් පාසලේ ආචාරිනී
සුභාෂිණී ධම්මිකා ගඟුල්දෙණිය
(බී.ඒ. ගෞරව)
සිරිලක් දෙරණෙහි ප්‍රෞඪ වූ අභිමානය මුළු මහත් ලෝකයටම මනාව විෂද කරලන
අපේ දේශීය කලා නිර්මාණයන් වනාහි, අපේ මුතුන් මිත්තන්ගෙන් අපි ලද
මහාඅනර්ඝ වූ අමිල දායාදයකි. ථෙරවාදී බුදු දහමෙහි කේන්ද්‍රස්ථානය සේම
බෞද්ධ කලා කෝෂ්ඨාගාරයක් ලෙසට ද දුරාතීතයේ පටන්ම සිරිලක් මාතාව සෙසු
රටවල් අතරෙහි අදට ද දිදුලන්නීය.
මහින්දාගමනයත් සමඟම සම්බුදු දහමෙහි පහසින් ආධ්‍යාත්මය නිවා සනහාගත්
ලක්වාසීහු දුමින්දාගමනයේ දී මෙරටට සපැමිණි ශ්‍රේණි 18 ක ශිල්පීන් හා
සබැඳී හිඳ නෙත්, සිත් පහන් සුපහන් කරලන අද්විතීය කලා නිර්මාණයන් ද සිදු
කළහ. අනුරපුර, පොළොන්නරුව වැනි පෞරාණික පූජ්‍යස්ථානයන්හි අදටද එකී කලා
නිර්මාණ වල සුන්දර බව, අභිමානවත් බව ශේෂවී ඇත. නීල අහස් ඉම කරා උස්ව
නැඟී ගත් මහා දාගැබ්, මහා සමුදුරු පරයන සරැලි දියරැලි නංවන මහාවාපි,...
අනූපමේය වූ මහා කරුණා, මහා ප්‍රඥා ගුණ දහරාවන්, මූර්තිමත් කරමින්,
අජීවී කලුගලට පණ පොවා තැනූ ශෛලමය මහා බුද්ධ ප්‍රතිමාද ඊට කදිම නිදසුන්
ය.
මෙම මාහැඟි කලා නිර්මාණයන් සිදු කළේ සාමාන්‍ය මිනිසකු නොව අදිසි
බලවේගයක මෙහෙයවීමෙන් බව හෙළ ජන විශ්වාසයයි. ඒ බලවේගය අන් කිසිවකුත් නොව
“විශ්ව කර්ම දේව පුත්‍රයා” සතුය. මොහු වටා පබැඳි ජනප්‍රවාද, මිථ්‍යා
කථා බොහොමයකි. ඒ පිළිබඳව අපි යම් පමණකට හෝ මෙහිදී විමසා බලමු.
විශ්වකර්ම ගැන ඉතිහාස කථාවන් භාරතයේ පැවති වෛදික සමය දක්වා දිවෙයි. වේද
යුගයේ විසූ මානවයා සිය මනැසට නැණසට ගෝචර නොවන, සංකීර්ණ වූ සිද්ධීන් හා
සොබාදහමේ පවත්නා චමත්කාර ජනක වස්තූන්ටද දේවත්වයක් ආරෝපණය කර තිබිණි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ‘චන්ද්‍ර - සූර්ය – අග්නි – වායු..’ වැනි දේව
පිරිස් බිහිවූ අතරම, මානව පැවැත්මට ඉවහල් වන්නා වූ වස්තූන් මවාලන
දෙවියකු සිටින බවත්, හේ නමින් ‘විශ්ව කර්ම’ වගත් ඔවුහු එදවසදී
පිළිගත්හ.
මෙම විශ්වකර්ම දෙවියාගේ පියා ‘ප්‍රභාෂ’ වූ අතර මව ‘යෝගල සිද්ධා’ය. ඔහුට
‘සඳා හා විශ්වරූප’ ලෙස දරුවන් දෙදෙනෙකු විය. ‘අග්නි පුරාණයෙහි’ සඳහන්
වන පරිදි තාක්‍ෂණික ක්‍රමවේද හා මිනිසුන් දහසකගේ බලයක් ද මොහු සතු ය.
මෙම දෙව් පුතු විසින් ලෝකයට දායාද කළ දෑ, අතර, ගෘහ නිර්මාණ ශිල්පය,
යාන්ත්‍රික විද්‍යාවද ප්‍රධාන වේ. ලොව වසනා, ලොව රක්නා සෑම සියලු
දෙවියකුගේම අබරණ, ආයුධ සහ රථවාහන ද නිමැවූවේ විශ්ව කර්ම විසිනි. තවද
‘රාමායාණයෙහි’ දැක්වෙන පරිදි සර්වඥ වූ සර්වතෝභද්‍ර වූ මහා බ්‍රහ්මගේ
ආඥාව මත විශ්ව කර්ම විසින් රාක්ෂයන් උදෙසා ‘ලංකා පුරය’ නිර්මාණය කර ඇත.
අනතුරුව ලංකාව හා දඹදිව එකිනෙකට යා කරමින් වානරයකු ලවා පාලමක් ද තනා
ඇත.
මෙවැනි නිර්මාණ රැසකට දායකත්වය නොමසුරුව ලබා දුන් විශ්වකර්ම, වෛදික දේව
නාමාවලියෙන් මිදී බුදු දහම හා සබැඳි ගෙන බෞද්ධ දේව නාමාවලියටද ‘විස්ස
කම්ම දේව පුත්ත’ යන නාමයෙන් පසු කාලීනව එකතු විය. බුදු දහමටත්,
තිලෝගුරු සම්මා සම්බුදුරදුන්ටත් සිය සේවාව නිරතුරුව, නිබඳවම සැපයීම
සඳහා ඇප වී කැපවී ක්‍රියා කළ විශ්ව කර්ම දෙවි පුතුව බෞද්ධ සාහිත්‍යයෙහි
එන විවිධ අවස්ථාවන් සමඟද සම්බන්ධ කර ඇත. එවැනි අවස්ථා වලට නිදසුන්
කීපයක් පහත දැක්වේ. එනම්,
දීඝනිකාය – මහා සුදස්සන සුතුර, “විස්කම් දෙවිඳුන්” විසින් මහා සුදස්සන
නමැති චක්‍රවර්තී රජුට “ධම්ම” නමින් මහා ප්‍රාසාදයක් ඉදිකර දී ඇත.
බුදුරදුන් තමන් වහන්සේ සතු වූ මහා කෘතවේදී ගුණය ලොවට පිළිබිඹු කරමින්
මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීම සඳහා තාවතිංසයට වැඩියහ.
බුදුරදුන් තව්තිසාවෙන් නික්මී යළිත් සංකස්ස නුවරට වැඩම කිරීමේ දී ඒ
සඳහා රනින් නිම කළ ගිනි පෙළ තුනක් පිදුවේද විශ්ව කර්ම දෙව් පුතු ය.
දෙවියන්ගේ සැක දුරු කරනු වස් බුදුරදුන් යමා මහ පෙළහර පාන විටදී ගන්ඩබ්බ
රුක් මුල්හි රුවන් මණ්ඩපයක් ද කරවීම. ජාතක කථා විමසා බලන කල්හිදී අප
මහා බෝසතුන් හට පෙර භව වලදී අසපු හා ආවාස තනාදීමට ද මොහු ඉදිරිපත් වීය.
ඒ වග ‘සුතසෝම, තේමිය, කුද්දාල’ වැනි ජාතක කතාවලින් ද පැහැදිලි වේ.
මෙම සාධකයන්ගෙන් ගම්‍ය වන්නේ විශ්වකර්ම දෙවිඳු බුදු සිරිත සමඟද සහ
සම්බන්ධව සිටි බවයි. මොහු පිළිබඳව පවත්නා විශ්වාසයන් භාරතයටම සීමා
නොවී, කාලයා ඇවෑමෙන් ලංකාවෙහි ද මුල් බැස ගත්හ. මහාවංසයෙහි එන
රුවන්වැලි සෑ ප්‍රතිෂ්ඨාපනය හා බැඳි විවරණය තුළ ද මොහුගේ ශ්‍රී නාමය
සඳහන්ව ඇත. රුවන්වැලි මහා සෑයෙහි නිදන් කිරීම සඳහා වැඩමවා ලූ සර්වඥ
ධාතු එහි තැන්පත් කරනතුරු, ඒවා ආරක්‍ෂා කිරීම සඳහා වෙනම මණ්ඩපයක්
කරවූයේ ද මොහු විසිනි. මෙම දාගැබ තැනීමේදී එය භාරව සිටි ශිල්පියාගේ
ශරීරය තුළට ඇතුළ් වූ විශ්වකර්ම, එකී නිර්මාණ ක්‍රියාවලිය සියතින්ම කළවග
හෙළ ජන විශ්වාසයයි. එපමණක්ද නොව අදටත් අප නෙත්, සිත් අමන්දානන්දයට පත්
කරලන විශ්මිත කලා නිර්මාණයන් දුටු සැණින් අප මුවට නිරායාසයෙන්ම නැඟෙන
වදන් වැල වන්නේ අනෙකක් නොව ‘මෙය නම් විශ්ව කර්ම වැඩක්’ බවයි.
සංස්කෘත බසින් රචිත ‘රූපාවලියෙහි’ එන විවරණයන්ට අනුව මොහුට මුහුණු 05
කි, හිසෙහි ඔටුන්නකි, ගෙල වටා නාගයකු ද සිටී. වාහනය වූයේ ගවයායි. සමන්
– විෂ්ණු වැනි දෙවිවරු හා සමානව පුද පූජා බොහොමයකින් පිදුම් නොලැබූවද,
විශ්වකර්ම වටා කේන්ද්‍රගත වූ පූජා චාරිත්‍ර කීපයක් ලක් සමාජය තුළ දක්නට
ලැබේ. විහාරාරාමයන්හි ප්‍රතිමා නෙලීමක් හෝ යම් කලා නිර්මාණයක් කරනු
ලැබූ ශිල්පියා විසින්ම මෙම දෙවිපුතුට ද පූජාවක් පවත්වනු ලැබේ. එම
ශිල්පියා සිය පෞද්ගලික වියදමින්ම එම විහාරයෙහි විශේෂ ස්ථානයක් තෝරාගෙන,
එතැන විශ්ව කර්ම දේව රූපය නෙලීම හෝ චිත්‍රයට නැඟීම කරනු ලැබේ. මෙම
පූජාවෙන් අපේක්‍ෂා කරනුයේ. විශ්ව කර්ම දෙවියන්ට භක්ති ප්‍රණාම දැක්වීම.
ස්වකීය නිර්මාණ කෞෂල්‍යයට එල්ල විය හැකි ඇස් වහ, කට වහ දුරු කර ගැනීම.
එම විහාරයෙහිත්, එකී නිර්මාණකරුවාගේත්, ආරක්‍ෂාව තහවුරු කිරීම
යනාදියයි.
තවද කලාකරුවාට එල්ලවිය හැකි බාධක උපද්‍රව හා ග්‍රහ අපල වලින් ආරක්‍ෂා
වීම සඳහාත්, ආශිර්වාදය ලබා ගැනීම සඳහාත් විස්කම් බලිය නම් වූ යාතු
කර්මයක් ද හෙළයින් පුරාණයේ සිට සිදු කළහ. මෙම යාගය පවත්වන්නේ ද නිර්මාණ
ශිල්පියා විසින් තැනූ විස්කම් දෙව්රුව ඉදිරිපිටදී ය.
භාරතයෙන් ලාංකීයයන්ට උරුම වූ දෑ අතරින් විශ්වකර්ම දෙවියන් ගැන වූ
විශ්වාසයද එකකි. අපේකමත් ජාතික අනන්‍යතාවයත් ලෝකයටම මූර්තිමත් කරලන
ලාංකීය බෞද්ධ කලා නිර්මාණ වටා මෙවැනි විශ්වාසයන් සමුදායක්ම සබැඳීගෙන
තිබුණද, ඉන් අපේ ලාංකීය කලා නිර්මාණ කරුවා සතු මනා සංයමයත්,
ශික්‍ෂණයත්, අසම සම වූ කලා කෞෂල්‍යයත් නිරතුරුවම එම නිර්මාණයන් වෙතින්
මූර්තිමත් වන බැව් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු ය. ඉදින්... කලුගලට
පණපොවා බුදු කරුණාව සියුම්වම නිරූපණය කරන බුදු පිළිමද, සුදෝසුදු
පැහැයෙන් උස් අහස තෙක් පැන නැඟී මහා දාගැබ්ද, සාරකෙත් අස්වද්දන පිණිස
රජරට ස්වයං පෝෂිත කරලමින් මහා වාපිද තැනූ ලාංකීය කලාකරුවාගේ දහදිය,
කඳුළු වලට ඔබ අපි අදටත් ගරු කළ යුතු වෙමු.
ජන විඥානයෙහි මුල් බැස ගෙන අදිසි බලවේගයක් ව එකී නිර්මාණකරණයන් සිදු
කළා යැයි පැවසෙන මහා විශ්ව කර්ම දෙව් පුතු යනු සැබැවින්ම අපේ පැරැණි
කලාකරුවන්ම මිස අනෙකෙක් නොවෙතැයි හඟිමි. |