Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - චෛතසික දහ හතරෙන් එකකි. අහිරික චෛතසිකය පැහැදිලි කරන්න.

පිළිතුර - දෙවන සාධාරණ චෛතසිකය නම් අහිරිකය, කාය වාග් දුශ්චරිතාදියෙන් ලජ්ජා නොවීම ලක්ෂණකොට ඇති මේ අහිරිකය අකුසල සිත් දොළාසෙහිම යෙදෙයි.

ප්‍රශ්නය - ගසක වැඩීමට හා නොසැලී පැවැත්මට මුල් උපකාර වනසේ කුසලාකුසල ක්‍රියාවන්ට මූලිකවන චෛතසික කුසල හා අකුසල මූල වශයෙන් දැක්වේ. මේ අතරින් කුසල් මූල - යනු කුමක්ද?

පිළිතුර - අලෝභ - අදොස- අමෝහ

ප්‍රශ්නය - සමකාලීන අන්‍යනිකායිකයන් ඉදිරිපත් කරන ලද විවිධ අදහස් විවේචනයට භාජන කරමින් ‘කථා වත්ථූප්පකරණය’ නමින් ග්‍රන්ථයක් බිහිවිය. මෙම කවුරුන් විසින් කුමන අවස්ථාවක ඉදිරිපත් කරන ලද්දක්ද?

පිළිතුර -ධර්මාශෝක රජු දවස පැළලුප් නුවර අශෝකාරාමයෙහිදී පැවැත්වූ සංගායනාව. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය. කථාවත්ථූප්පකරණය උන්වහන්සේ විසින් රචනා කොට මෙම සංගිනී අවස්ථා වෙහිදී ඉදිරිපත් කළහ.

ප්‍රශ්නය - ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂයෙහිදී දඹදිව පහළ වූ ධර්මාශෝක මහරජතුමා මෙන්ම ක්‍රි. වර්ෂ පළමුවන ශතවර්ෂයේ පහළ වූ මධ්‍ය ආසියාතික රජතුමා කවුද?

පිළිතුර- කුෂාණ අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ට රජතුමා කණිෂ්ක රජතුමා පුරුෂපූරය (පෙෂර්වෝර්) රාජධානිය කොට රජවිය.

ප්‍රශ්නය - අනුරාධපුර අභයගිරි විහාරය (අභියුත්තර) කිත්සිරි මෙවන් රජු දවස සිදු වූ ඓතිහාසික ශාසනික සිදුවීම කුමක්ද?

පිළිතුර - පළමුවන වරට ශ්‍රී ලංකාවේ දළදා පෙරහරක් පැවැත්වූයේ අනුරාධපුර අභයගිරි විහාරයෙහිය.

ප්‍රශ්නය - බුද්ධධර්මයේ කර්මය මූලික වශයෙන් හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණය කුමක්ද?

පිළිතුර - ‘චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ මහණෙනි! මම චේතනාව කර්මය යි පවසමි. සිතින්, කයින් හා වචනයෙන් කර්ම කරන්නේ චේතනාවක් ඇති කරගත් පසුවය. ‘කම්ම’ යන වචනයේ තේරුම ක්‍රියාව යන්නයි. සිතා මතා කරන ඕනෑම කායික හෝ මානසික ක්‍රියාවක් කර්ම ලෙස හැඳින්විය හැකිය.

ප්‍රශ්නය - කුසල කර්මයක මූලික ලක්ෂණ පැහැදිලි කරන්න.

පිළිතුර - අලෝභ , අදොස, අමෝහ සිතිවිලි (චෛතසික) මුල්කොටගත් කායික වාචසික හා මානසික ක්‍රියා කුසල්ය.

ප්‍රශ්නය - නෙක්ඛම්ම සංකප්ප යනු කුමක්ද? පැහැදිලි කරන්න.

පිළිතුර - අධ්‍යාත්මික ප්‍රතිපදාවෙහි යෙදෙන තැනැත්තා නිරතුරුව තිලකුණු මෙනෙහි කොට විදර්ශනාවෙහි යෙදීමෙන් ළාමක වූ කාම වස්තූන් පසුපස දිව යාමේ නිරර්ථකත්වය හා කාමයන්ගෙන් වෙන්වීමෙන් ලැබෙන සුඛාස්වාදයද තේරුම් ගනියි. හෙතෙම ‘ඉවත්වීම’ ‘වෙන්වීම’ පූර්ණ වශයෙන්ම වර්ධනය කරගනියි. උසස් ම නෙක්කම්ම සංවර්ධනය කරගනියි. උසස්ම නෙක්කම්ම සංකල්පනාව නම් සියලු බැඳීම් වලින් වෙන්වීමය.

ප්‍රශ්නය - ශාසනික ඉතිහාසයේ රජවරුන් අතරෙන් තෙරුවන් සරණ ගිය මුල්ම රජතුමා ලෙස සඳහන් වන්නේ් කුමන රජ කෙනෙක්ද?

පිළිතුර - මගධයේ රාජ්‍ය විචාළ බිම්බිසාර රජතුමා වේ.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවිසූ දවසක ශ්‍රී ලංකාවේ කැලණියට වඩිනලෙස ආරාධනා කළේ කවරෙක්ද?

පිළිතුර - මණිඅක්ඛිත නාරජ

ප්‍රශ්නය - ගල මුනිඳු මත්තේ - හෙද කිසිවක් නොදත්තේ
ගලෙක් පිළිගත්තේ - එහෙව් ගුණ මොහු නොපිළිගත්තේ
මෙම පදයෙහි අවසාන පාදයෙහි සඳහන් වන ‘මොහු’ කවුද?

පිළිතුර - දෙව්දත් තෙර

ප්‍රශ්නය - ඇමරිකානු ජාතික සෙන්පති ස්ටීල් ඕල්කට්තුමාගෙන් සිදුවුනු සේවාවන් කිහිපයක් සටහන් කරන්න.

පිළිතුර - 1. බෞද්ධ පාසල් ඇතිකිරීමට පුරෝගාමී වීම
2. දහම් පාසල් ඇතිකිරීමට පුරෝගාමී වීම
3. බෞද්ධ කොඩිය නිර්මාණ කාර්යයෙහිලා දායකවීම
4. බුදුදහම විදේශ රටවල ප්‍රචාරය සඳහා කටයුතු යෙදීම

ප්‍රශ්නය - අනුරාධපුර ‘ලෝවාමහා ප්‍රාසාදය’ නමැති සුවිශේෂ ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ කුමක් සඳහාද?

පිළිතුර - භික්ෂූන් වහන්සේලාගේ උපෝසථ විනය කර්ම කිරීම සඳහා දුටුගැමුණු මහරජතුමා විසින් මහල් නවයකින් යුක්ත කොට කරවන ලද්දකි. මේ නවමහල් මන්දිරයේ වහල සෙවිලි කරන ලද්දේ තඹ උළුවලින්ය. ඊට ලෝවාමහාපාය හෙවත් ලෝහ ප්‍රාසාද යන නම ව්‍යවහාර වූයේද මේ නිසාය.

ප්‍රශ්නය - පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන පිහිටා තිබෙන මේ නගරය පසුකලක හින්දු බල වේගයට යටත්ව ‘ජනනාථපූරය’ නමින් හැඳින්විය. මේ නගරයේ නම කුමක්ද?

පිළිතුර - පොළොන්නරුව

ප්‍රශ්නය - අනුරාධපුර විශාලතම ස්ථූපය වන ‘ජේතවන ස්ථූපය කරවන ලද්දේ කුමන රජ කෙනෙකුන් විසින්ද?

පිළිතුර - මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව. 276 - 304 වර්ෂයෙහිදී කරවන ලද නිර්මාණයක දාගැබ් මලුව අක්කර හතක බිම වසා සිටින අතර විෂ්කම්භය අඩි 370 කි.

ප්‍රශ්නය - සම්මා වාචා අරිඅටඟි මගෙහි (ආර්ය අෂ්ඨාංගික) යහපත් වචනය (සම්මා වාචා) එක් අංගයකි. යහපත් වචනයෙහි ස්වභාවය පැහැදිලි කරන්න.

පිළිතුර - බොරුකීම - කේලාම් කීම, පරුෂ වචන කීම නිශ්ඵල වචනකීම යන මිථ්‍යා වචන වලින් වැළකීම සම්‍යග් වචනයයි. සම්‍යග් වචන කථා කිරීමෙන් සිව්වැදෑරුම් වාග් සුචරිතයෝ උපදිත්. එම වචන නිසා සත්පුරුෂ ආශිර්වාදය ලැබෙන්නේය.

ප්‍රශ්නය - කය අනුව සිහිය පිහිටුවා ගැනීම ‘ මෙම වගන්තියට ඇතුළත් ධර්ම කරුණු පැහැදිලි කරන්න.

පිළිතුර - සතර සතිපට්ඨානයට ඇතුලත් කායානුපස්සනා සතිපට්ඨානයයි. ආශ්වාස ප්‍රශ්වාස දෙකෙහිද කෙස්, නිය, දත් ආදී ශාරීරික අංගයන්හිද සිහිය පිහිටුවා ගැනීමය.

ප්‍රශ්නය - චතුපාරිශුද්ධි ශීලය (සිවු පිරිසුදු සිල්) මොනවාද?

පිළිතුර - 1. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය
2. ඉන්ද්‍රිය සංවර සීලය
3. ආජීවපාරිශුද්ධි සීලය
4. ප්‍රත්‍ය සන්නශි‍්‍රත සීලය

ප්‍රශ්නය - සොපදිසේස - පරිනිබ්බාන ධර්මානුකූ®ලව මෙම පාඨය විවරණය කරන්න.

පිළිතුර - සියලු කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් නිරෝධසමාපත්ති සමවැද නිවන් සැප විඳීම සොපධිශේෂ නිර්වාණයයි. කෙලෙසුන්ගෙන් උපන් බැවින් පංචස්කන්ධ ‘උපාදින්න’ යන නම ලබයි. පංචස්ඛන්ධය යි නම් ලද උපාදින්න ස්කන්ධය තවම පවත්නා බැවින් සොපධිශේෂ නිර්වාණ යන නම යෙදේ. නිවුනේ කෙලෙස් පමණක් බැවින් කිලෙස පරිනිබ්බාන යන නමින්ද හඳුන්වනු ලැබේ. මාර්ගඵලධිගමයෙන් රහත් ඵලයට පැමිණිම (කෙලෙස් නිවීම) මෙයින් සිදුවෙයි.

ප්‍රශ්නය - බුද්ධ සාසනයේ ප්‍රධාන වගකීම පැවරී තිබූ ප්‍රධාන ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?

පිළිතුර - ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධකරගත් ශ්‍රී සද්ධර්මය දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට ඇතුළත් වෙයි. එම ධර්මය ඇතුළත් බෞද්ධ දර්ශනය විදහා දක්වන සංකේතය කුමක්ද?

පිළිතුර - ධර්ම චක්‍රය වේ.

ප්‍රශ්නය - බහුශ්‍රැත ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය සිහිකල්පනා (සතිසම්පජඤ්ඤ) ඇත්තවුන් අතර අගතැන්පත් වහා අවබෝධ කරගැනීමේ ශක්තිය ඇති ශ්‍රාවකයන් අතරෙන් අග්‍රස්ථානය ධෛර්ය සම්පන්න ඇත්තවුන් අතරත් මුල්තැන. මේ ආදී අගතනතුරු ලැබූ ශ්‍රාවකයාණන් වහ්නසේගේ නම කුමක්ද?

පිළිතුර - ආනන්ද තෙරුන් වහන්සේ


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.