Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලිගොඩපොල පුරාණ විහාරය

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හතරලියද්ද කඳුවැටි සහිත සුන්දර ප්‍රදේශයකි. එය පුරාණ බෙදීම් අනුව තුම්පනේ පල්ලේ පළාතට අයත් ය. තුම්පනේ වඩාත් ප්‍රසිද්ධ වූයේ වැලිවිට සරණංකර සංඝරාජ තෙරුන් වහන්සේගේ උපන් ගම මෙයට යාබද වූ නිසා ය. සංඝරාජ හිමියන්ගේ කාලයේ සිට හතරලියැද්දේ වැලිගොඩපොල විහාරය අවට ප්‍රදේශයේ බොදු ජනතාවට විශාල ආගමික ශාසනික සේවයක් මෙන්ම බෞද්ධ අධ්‍යාපනයක් ද ලබාදෙන පුද බිමකි.


ටැම් පිට විහාරය හා හේවිසි මණ්ඩපය

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සියම් රටින් උපසම්පදාව (ක්‍රි.ව. 1753) ගෙනවුත් බුදු සසුනේ ඇති කළ ප්‍රබෝධය මහනුවර අවට පිහිටි මේ පෙදෙසටත් පැතිර යන්නට විය. එකල වැලිගොඩපොල ගම්වාසීන් පිරිසක් මහනුවර රජ වාසලට ගොස් ගමේ වස් ආවාසයක් තැනූ බව දන්වා එහි වස් විසීමට සංඝයා වහන්සේ නමක් ලබාදෙන ලෙස රජුගෙන් අයැද සිටියහ. රජු එම ඉල්ලීම පිළිගෙන වැලිවිට සංඝරාජ හිමියන්ට එම කටයුත්ත ඉටුකර දෙන ලෙස බාර දුන්නේය. එම අවසරය මත සඟරාජ හිමියෙන් අලුත් පන්සලකට අවශ්‍ය සියලු භාණ්ඩ රාජ ගබඩාවෙන් ලබා දී මොරතොට ශ්‍රී ධම්මකන්ධ අනුනායක හිමියන්ගේ ඥාති ශිෂ්‍ය බෝපිටියේ න්‍යග්‍රෝධ ස්වාමින් වහන්සේ වස් විසීම සඳහා වැලිගොඩපොලට පිටත් කර එවූ බව පැවසේ.

එම ස්වාමීන් වහන්සේ පන්සලට කැඳවාගෙන පැමිණ 1755 ඇසළ පොහෝ දින වස් වසවනු ලැබූහ. වස් කාලය අවසානයෙහි බෝධිය පිහිටි බිම සහ හතර කෝරළේ මොල්ලිගොඩ වලව්වට අයත් ඉඩම් කොටසකුත් ඇතුලුව මුල්බිජු අමුණක පවසරිය ඇති ඉඩම ඉර හඳ පවතිනා තුරු සඟසතු කොට තුඩපතක ලියා පූජා කරන ලදී.


නුවර යුගයේ පිළිම වහන්සේ

මෙහි මුල්ම භික්ෂූන් වහන්සේ වන න්‍යග්‍රෝධ හිමි විශාල සාසනික සේවයකින් පසු 1775 දී අපවත් වූහ. ඊට පසු මෙහි විහාරාධිපති වූයේ උන්වහන්සේගේ ඥාති ශිෂ්‍ය වැද්දාවල හිමියෝ වෙති. දැනට දක්නට ලැබෙන ටැම්පිට විහාරය සහ පෝය සීමාව වැද්දාවල හිමියන්ගේ මූලකත්වයෙන් ඉදිකළ විහාරාංග බව පැවසේ. ක්‍රි.ව. 1776 වන විට විහාර මන්දිරය සහ හේවිසි මණ්ඩපය ඉදිකර නිම කළ උන්වහන්සේ වයෝවෘද්ධව සිටි සංඝරාජ හිමි හමු වී එහි පෝය සීමා බන්ධනය කර දෙන ලෙස ඉල්ලා සිටියහ.

සංඝරාජ හිමියන් භික්ෂූන්වහන්සේලා 25 දෙනකු සමග පැමිණ මෙහි සීමා බන්ධනය කළ බව පැවසේ. මෙම සීමා මාලකයේ දැනුදු පොහෝ කර්ම සිදු කෙරේ. උන්වහන්සේ ක්‍රි.ව. 1826 දී අපවත් වූයේ තම ශිෂ්‍ය මාවතගම සෝභිත හිමියන්ට වැලිගොඩපොල විහාරය සහ දලුක්ගල විහාරය ද භාරදීමෙන් පසුව ය. 1894 දී මාවතගම සෝභිත හිමි අපවත් වීමෙන් පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය පල්ලේපොල සරණංකර හිමි විහාරාධිපති ලෙස පත්වූහ. උන්වහන්සේ 1920 වන විට මේ අසල පිහිටි දලුක්ගල විහාර ගොඩනැගිල්ල ඉදිකරවා පන්සල් ගෙය අලුත්වැඩියා කරවීය. පල්ලේපොල සරණංකර හිමි අපවත් වූයේ 1958 දී ය. ඊට පසු විහාරාධිපති වූයේ හේනේපොල සෝමානන්ද හිමියන්ය.

1963 දී මෙහි ඇරඹුණු ශ්‍රී ධර්මානන්ද පිරිවෙන ගිහි පැවිදි සිසුන් රැසකට අධ්‍යාපනය ලබාදෙන සිප්සලකි. මෙහි වර්තමාන විහාරාධිපති වන්නේ මාවෙල සීවලී හිමියන්ය. උන්වහන්සේ විශාල සාසනික සේවයක් නිහඬව ඉටු කරති.


පැරැණි සිතුවම්

ටැම්පිට විහාරයට අමතරව නව සංඝාවාසය නව බුදුමැදුර ඝණ්ඨා කුළුණ පිරිවෙණේ ගොඩනැගිලි බෝධි වෘක්ෂය යන අංගලවලින් විහාරය සමන්වි ය. වැලිගොඩපොල ටැම්පිට විහාරය තරමක් විශාල එකකි. අඩි 2 අගල් 10 ක් උස ගල්ටැම් 22 ක් මත ඉදිකර ඇති විහාර ගොඩනැගිල්ලට පිවිසීමට දැව තරප්පුවකි. ප්‍රතිමා මන්දිරය දිගින් අඩි 17 අඟල් 7 ක් වන අතර පළල අඩි 11 අඟල් 9කි. ඒවටා යන ප්‍රදක්ෂිණා පථය ඉදිරිපසින් අඩි 7ක පළලකින්ද පිටුපසින් සහ දෙපසින් අඩි 2 අඟල් 5ක පළලින්ද සමනවිත ය. ප්‍රදර්ෂිනා පථය වටා යන සේ ඇති බිත්තිය පියස්සේ බර දරා සිටී. මේ නිසා ඇතිවන අඳුර දුරු කිරීමට වම් සහ දකුණු බිත්තිවල කුඩා ජනෙල් දෙක බැගින් තබා තිබේ. පියස්ස පෙති උළු සෙවිලි කළ ආනති දෙකකින් යුක්ත පල හතරක එකකි.

විහාර ගොඩනැල්ල ඉදිරිපසින් පිහිටි හේවිසි මණ්ඩපයයි. මෙම ගොඩනැගිලි දෙක වටා ම යන සේ පෝය සීමා ගල් 6 ක් සිිටුවා තිබේ. හේවිසි මණ්ඩපයේ පෙති උළු සෙවිලි කළ පියස්ස පල හතරකින් යුක්ත ය.

මෙම ප්‍රතිමා මන්දිරය මහනුවර සම්ප්‍රදායේ අනගි බිතිසිතුවම් සහිත ස්ථානයක් වශයෙන් වැදගත් වේ. මෙහි බිතුසිතුවම් තවමත් විනාශ වී නැත. ප්‍රතිමා ගර්භයට පිවිසෙන ප්‍රවේශයේ දෙපස දැකගත හැක්කේ කඩු අතින් ගත්දොරටුපාල මූර්ති දෙකකි. චන්ද්‍ර වංකයෙන් යුත් උළුවස්ස පළලින් අඩු ය. එයට ඉහළින් ඇත්තේ කුඩා මකර තොරණකි. මකරා මත දෙවිවරු හය දෙනෙකි. දොර පියන ද නාරිලතා මල් මෝස්තරයෙන් අලංකාර කර තිබේ. දොරටුව දෙපස මෙම චිත්‍ර මෙයට ආසන්න කලෝටුවාව විහාරයේ ප්‍රවේශයේ චිත්‍රවලට සමාන ය.


මාවෙල සීවලී හිමි

එකම ශිල්පියකු අතින් මෙම නිර්මාණ බිහිවූවා විය හැකිය. ප්‍රවේශය අසල වියන අලංකාර කර ඇත්තේ මහා බ්‍රහ්මයා දෙවියන් පිරිවරාගෙන සිටින දර්ශනයකි. ප්‍රදක්ෂිණා පථයේ බිත්තිවල තිබූ පැරණි සිතුවම් පසුකාලීනව හුණු ආලේපයෙන් වැසී ගොස් තිබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කොටස් කිහිපයක් මතුකර ඇත. බිත්තිය තීරුවලට බෙදා ඇඳි එහි ඉහළ තීරුවේ වෙස්සන්තර ජාතකයේ අලංකාර චිත්‍රාවලියක් සහ දෙවන තීරුවේ කිසිම ටැම්පිට විහාරයක දැකගත නොහැකි සිරිසඟබෝ කතාව නිරූපිත ය. මෙම කතාවල සෙබළ රූප ඇඳ ඇත්තේ පෘතුගීසි හේවායන්ට සමාන අයුරිනි. වෙසතුරු රජු කෙණ්ඩියකින් පැන්වත්කර ඇලි ඇතු දන් දෙන අන්දම අලංකාරව ඇඳ තිබේ.

ප්‍රතිමා මන්දිරයේ ඇතුළු ගර්භයේ හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ දෙපස බිත්තියේ වම් පසින් විෂ්ණු දේව ප්‍රතිමාවක් ද දකුණු පසින් සැරයටියක් අතින්ගත් ප්‍රභවරකුගේ ප්‍රතිමාවක් ද වේ. ඒවාට මෙපිටින් දෙපස බිත්තිවල හිටි බුද්ධ ප්‍රතිමා දෙක බැගින් හතරකි. මෙම සියලුම බුද්ධ ප්‍රතිමා වටා යන සේ කේතු මාලා සහිත ය. මෙහි වම් පස බිත්තිය සරසා ඇත්තේ සොළොස්මස්ථානවලිනි. මහියංගන දාගැබේ ඇතුළතින් තවත් දාගැබක් ද දක්වා තිබීමෙන් එහි පැරණි ප්‍රතිසංස්කරණ පෙන්වයි. දකුණු පස බිත්තිය සත් සතිය නිරූපණයට වෙන් කර තිබේ. බිත්තිවල පහළම තීරු දෙකෙහි නෙලුම් පොහොට්ටුව බැගින් අතින්ගත් රහත් රූප ය.

මෙම රහත් ශ්‍රාවක රූප රතු සහ කලු රේඛාවලින් ඇඳ ඇති අතර වර්ණ පුරවා නොමැත. වියන සම්පූර්ණයෙන් වෙන් වී ඇත්තේ සූවිසි විවරණය සඳහා ය. ඇතුළත චිත්‍ර සඳහා යොදාගෙන ඇති රතු කලු නිල් සහ ආදී වර්ණවල දීප්තිය දැන් මැකී ‍ෙගාසිනි. බුද්ධ ප්‍රතිමාවලට රන්පැහැය ආලේප කර ඇත. මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර කලාවට අගනා නිදසුන් සපයන බොහෝ දෙනා නොදන්නා විහාරයක් වශයෙන් මෙම පුදබිම වැදගත් ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.