Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තිරසාර සංවර්ධනයකට මඟ පෙන්වන බෞද්ධ අධ්‍යාපනය

ශාස්ත්‍රපති පේ‍්‍රමතිලක වරාවිට

‘සංවර්ධනය’ යන වචනය පිළිබඳව උගතුන් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. ආර්ථික විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් දේශපාලනඥයින් ආගමික නායකයින්, හා විවිධ විෂයන් පිළිබඳව ප්‍රවීණයින් ඔවුන්ගේ දැනුම් ක්‍ෂේත්‍රය තුළ පිහිටා සංවර්ධනය යන්න විග්‍රහ කරති. ආර්ථික අතින් හා තාක්ෂණික අතින් දියුණු බටහිර රටවල් සමඟ සසඳා පෙරදිග සහ අපි‍්‍රකානු බොහෝ රටවල් ‘ඌන සංවර්ධිත’ හෝ ‘සංවර්ධනය වෙමින්’ පවතින හෝ ‘දිළිඳු’ වශයෙන් වාර්ගීකරණය කරති. එක් දිනකට එක් ඩොලරයක්වත් වියදම් කිරීමට වත්කමක් නොමැති පවුල් දිළිඳු හෝ අර්ධ දිළිඳු පවුල් යනුවෙන් ඔවුහු හඳුන්වා දෙති. රටක ආදායම, එම රටෙහි ජනගහණයෙන් බෙදා එක පුද්ගලයකුට වැටෙන ප්‍රමාණය ගණන් බලා (ඒකපුද්ගල ආදායම අනුව) ආර්ථික අතින් දියුණු බටහිර රටක පවුලක ආදායම සැලකිල්ලට ගනිමින්, ඊට සාපේක්ෂව සංවර්ධනය පිළිබඳ මිනුම් සකස් කරති. යථෝක්ත නිර්ණායකයන් ආර්ථික කෝණයෙන් බලා ඉදිරිපත් කරන අදහස් මිස සැබෑ සංවර්ධනයක් විද්‍යාමාන නොවන බවත්, රටක දියුණුව මැනීමට ‘සාක්ෂරතාවය’ සැලකිල්ලට ගැනීම් වඩා නිවැරදි බව, සමාජ හා අධ්‍යාපන විශේෂඥයින්ගේ මතය වී ඇත. බටහිර ලෝකයේ දියුණු යැයි අප හඳුන්වන රටවල් ඔවුන් ලබා ඇති විද්‍යාත්මක හා තාක්ෂණික ඥානය උපයෝගී කරගෙන නිෂ්පාදනය කර ඇති, විවිධ යුධ අවි නිසා මානව ප්‍රජාවගේ යහපැවැත්මට බලවත් තර්ජනයක් වී ඇත. අවම වශයෙන් රාත්‍රී සැනසිල්ලේ නිදා ගැනීමට තරම් භාග්‍යවත් ඒ රටවල ජීවත්වන මිනිසාට නොමැති තත්ත්වයකට පත්ව ඇති නිසා ඔවුන් ලබා ඇති සංවර්ධනයෙන් කවර පලක්ද යන්න පිළිබඳව විමතියක් ඇති වී තිබේ. මේ හේතූ®න් නිසා ‘ඔරොත්තු දෙන ආර්ථික සංවර්ධන නියායක්’ පිළිබඳ අදහස වර්තමානයේ වඩාත් ඉස්මතු වී ඇත. මෙය සාර්ථක කර ගැනීමට නම් දීර්ඝ කාලීන සැලසුමක් මඟින් අදියරෙන් අදියර ඉදිරියට යා යුතු වේ.

මිනිසා හැදීම සහ පෞරුෂ සංවර්ධනය

පළමුව මිනිසා සකස් කර ගැනීමේ කාර්යය, රටක් හැදීමට පළමුව සිදුකළ යුතු බව පෙන්වා දුන් මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන්ගේ් මතයට අවධානය යොමු කරවමු. ඒ අනුව මිනිසා හැදූ පසු ඉබේටම රට හැදෙන බටව නාහිමියන් කළ ප්‍රකාශය රටේ පාලකයින් ඇතුළු බුද්ධිමතුන්ගේ් සැලකිල්ල යොමු වීම කාලෝචීතය. මේ අදහස අප රටට පමණක් නොව මුළු ලෝකයටම වැඩදායකය. මිනිසා හැදීමට නම්, පළමුව, අනාගතය රට භාර ගැනීමට සූදානම් වන පාසල් දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය ඇතිකරලීමට පියවර ගත යුතුය. අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථයද එයයි. රටක් සංවර්ධනය කිරීමට ආරම්භ කළයුතු වන්නේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළින් බව, වර්තමාන උගතුන්ගේ මතය වී ඇත. එහිදී මිනිසා හා පරිසරය ඵලදායි වන ආකාරයට සැකසීමත්, දැනුම, ආකල්ප හා හැකියාව ලබා ගැනීමට අවස්ථාව සැලසීමත්, මිනිස් හැසිරීමේ යථා ස්වභාවය දැනගෙන, ඒ අනුව තමන්ටත් සැපතක් මිස, විපතක් නොවන පරිදි, මිනිස් හැසිරීමේ ක්‍රියාවලිය සකස් කර ගැනීමට ගන්නා උත්සාහයන්ට හුරු කිරීමක් අවශ්‍ය වේ.’ මේ හා සමඟ සදාචාරය, විචාරශීලි බව, සරල ජීවිතය, සහනදායි දිවි පෙවෙත, මූලික අයිතිවාසිකම් දින ගැනීම යන කාරණා වලට සමීප විය හැකිය. රට හැදීමට නම් මිනිසා හැදිය යුතු බවත්, මිනිසා හැදීමට නම් ‘විනයක්’ අවශ්‍ය බවත් විනය ඇතිවන්නේ, විද්‍යාවෙන් බවත් (විද්‍යා දදාති විනයං) බුදුදහම පෙන්වා දෙයි. මේ අනුව පාසල් දරුවා කුඩාකල සිටම අභ්‍යන්තර හා බාහිර වශයෙන් යම් ප්‍රතිපදාවකට අනුව හැඩ ගැසිය යුතුවේ. ‘විනය’ සමස්ත සමාජයේ ආර්ථික, සාමාජික දේශපාලන සහ සංස්කෘතික, යන ඕනෑම සමාජමය හැසිරීමකට බලපාන සාධකයකි. බුදුසසුන කොපමණ කලක් පවතින්නේ ද යන්න ප්‍රශ්නයට බුදුන් වහන්සේගේ් පිළිතුර වූයේද ‘විනයෝ නාම සාසනස්ස ආයු’ යනුවෙන්, විනය පවතින තාක් සසුන පවතින බවයි’. මෙයින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ ‘විනය’ යන සාධකයේ ඇති වැදගත්කමයි.

භෞතික සංවර්ධනය හා ආධ්‍යාත්මික සංවර්ධනය

බෞද්ධ අධ්‍යාපන ක්‍රමය තුළින් ගුණාත්මක සංවර්ධනයක් ඇතිකරලීම අපේක්ෂා කෙරේ. ආර්ථික දියුණුවට වඩා පුළුල් දියුණුවක් එයින් අදහස් කරනු ලැබේ. පාසල් දරුවා තුල ගොඩනැගෙන යහපත් සිතිවිලි මඟින් මෙත්තා, කරුණා, මුදිතා , උපේක්ඛා යන සිවුබඹ විහරණ තුලින් පරහට කරදරයක් නොවන පරිදි අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගීව ජීවත්වන ආකාරය උගන්වනු ලැබේ. පුද්ගල ජීවිතයේ දර්ශනාත්මක පක්ෂයට අවධානය යොමු කරමින් සැබෑ සංවර්ධනය කුමක්ද? යන්න බුදුදහමින් ඉගැන්වේ. ‘අෙන්‍ධකඛක්ඛු සූත්‍රයේ’ සමාජගත පුද්ගලයන් වර්ග තුනකට බෙදා අන්ධ, ඒකචක්ඛු, සහ ද්විචක්ඛු යනුවෙන් ඇස් නැති, එක් ඇසක් පමණක් ඇති, සහ ඇස් දෙකම ඇති පුද්ගලයා වශයෙන් බෙදා දක්වති. ඇස් දෙක නැති ‘අන්ධ’ යනු අධ්‍යාත්මික හා භෞතික යන අංශ දෙකින්ම පිරිහුණු පුද්ගලයා වන අතර ‘ඒකචක්ඛු’ යනු බාහිර දියුණුව හෝ අභ්‍යන්තර දියුණුව යන අංශ දෙකින් එකක් පමණක් ගැන සිතන්නා වන අතර, ඇස් දෙකම ඇති පුද්ගලයා (ද්වි චක්ඛු) ආධ්‍යාත්මික හා බාහිර දියුණුව යන අංශ දෙකින්ම පෝෂිත පුද්ගලයා අදහස් කෙරේ. මේ පුද්ගලයන් තිදෙනාගෙන් ‘ද්වි චක්ඛු’ පුද්ගලයා හෙවත් ඇස් දෙකම පෙනෙන්නා ඇසුරු කිරීම යහපත් බව බුදුහු පෙන්වා දෙති. (ද්වි චක්ඛු පන සෙවෙථ සෙට්ඨං පුරස පුග්ගලං) මේ අනුව බාහිර දියුණුව යනුවෙන් අදහස් කෙරෙන්නේ භෞතික දියුණුවයි. ගේ දොර, ඉඩකඩම් යාන වාහන වතුපිටි මුදල් හදල් ආදියෙන් සමෘද්ධිමත් වීමයි. අභ්‍යන්තර දියුණුව යනු ගුණ නුවණින් දියුණු වීමයි. එසේම බුදුදහම පෙන්වා දෙන අධ්‍යාපන ක්‍රමය බාහිර හා අධ්‍යාත්මික යන අංශ දෙකේම දියුණුවයි. බාහිර දියුණුව බුදුදහම ප්‍රතික්ෂේප නොකරන අතර අවබෝධයෙන් යුතුව පරිහරණය කළ යුතු දෙයක් බව අවධාරණය කරයි. එසේම එය සමාජයට වැඩදායක වන පරිදි යෙදවිය යුතු බවද පෙන්වා දෙති. භෝග සංරක්ෂණය මගින් රොන් ගන්නා මී මැස්සා, ඒ මලට හානියක් නොවන අයුරින් රොන් ගන්නා සේ සෙසු අයට හානියක් නොවන අයුරින් ධනය හරිහම්බ කොට, පරිභෝජනය කළ යුතු බව පෙන්වා දෙයි.

සංවර්ධනය හා සාමය

‘තිරසාර සංවර්ධනයක්’ ඇති කරලීමට රටක සාමය පැවතීම ඉතා වැදගත් වේ. අද ලෝකයේ රටවල සංවර්ධනයට විශාලම බාධාව වී ඇත්තේ සාමයක් නැතිකමයි. අප රට ගැන බැලූ විට පසුගිය දශක තුනක් තිස්සේ පැවතුන ජනවාර්ගික යුද්ධය අප රටේ සංවර්ධනයට මහත් බාධාවක් විය. යුද්ධය වෙනුවෙන් කොපමණ භෞතික සම්පත් නැති වුයේද කොපමණ වටිනා මානව සම්පත් නැති වූයේද යන්න මොහොතක් සිතා බලන්න. බෞද්ධ සංවර්ධන සංකල්පය මඟින් ‘සාමය’ පිළිබඳ චින්තනය උද්දීපනය වේ. විවාද නොකර සමගිව සිටින ලෙස බුදුන් වහන්සේ නිරතුරුවම සිය ශ්‍රාවකයින්ට උපදෙස් දුන්හ. (සමග්ගා හොථ මා විවදථ) සමඟියෙන් සිටින බුද්ධ ශ්‍රාවකයන් දකින අජාසත් රජතුමා සමගිව ඔවුනොවුන් දෙස පි‍්‍රය ඇසින් බලමින් කිරි හා දිය මෙන් මිශ්‍රව වාසය කළ බව සඳහන් කරති. (සමග්ගා සම්මෝදනා අවිවදමානා කීරොදකී භූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහී සම්පස්සමානා)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.