Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය – නිර්වාණාවබෝධය සඳහා විදර්ශනා භාවනාව වැඩීම බෙහෙවින් ම උපකාරී වේ.මේ විදර්ශනා වැඩීම කෙටියෙන් විස්තර කරන්න.

පිළිතුර - ශරීරය පිළිබඳ ව ත්‍රිලක්‍ෂණය අනුව මෙනෙහි කරමින් කරන භාවනාව ය.

ප්‍රශ්නය - බුද්ධත්වය අවබෝධ කරගත් මුල් සතියේම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළේ කුමක් පිළිබඳ වද?

පිළිතුර - ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය පිළිබඳව

ප්‍රශ්නය - ප්‍රියභාවය ශුන්‍ය කරන්නේ පිශුනයි. පිසුනාවාචා හෙවත් කේළම් කීම අකුසලයකි. මේ අකුසලය තුන් දොරින් කුමන ද්වාරයකට අයත්ද?

පිළිතුර - වාග් ද්වාරයට

ප්‍රශ්නය - සතර කමටහන් මොනවාද?

පිළිතුර - බුද්ධානුස්සති මෙත්තානුස්සති , අසුභානුස්සති , මරණානුස්සති.

ප්‍රශ්නය - රූපාවචර පංචම ධ්‍යානය ලබාගත් ධ්‍යානලාභියා විසින් භාවනා කොට උපදවා ගත හැකි ප්‍රථම අරූපධ්‍යානය කුමක්ද?

පිළිතුර - ආකාසානඤචායතනය

ප්‍රශ්නය - කාමසුඛල්ලිකානු යෝගය කෙටියෙන් පැහැදිලි කරන්න.

පිළිතුර - ඉඳුරන් පිනවීම සඳහා පස්කම් සැපයෙහි නිරතුරු ව ඇලී ගැලී වාසය කිරීම

ප්‍රශ්නය - සියලු දානයන් ට වඩා උතුම්ම දානය කුමක්ද?

පිළිතුර - ධර්ම දානය

ප්‍රශ්නය – ලෝකෝපකාරයේ දැක්වෙන මේ පද්‍යයට අදහස කියන්න.

අමා රසයට වැඩි රසයෙක්

නොමැත සුරන් බුදිනා

ඊටත් වැඩිය රසයෙකි

තමා දරුවන් ඇණු සුබොජුන්

පිළිතුර - දෙවියන්ගේ දිව්‍ය භෝජනයට වඩා දෙමවුපියන්ට දරුවන් දුන් අහර ඉතා අගනේය.

ප්‍රශ්නය - සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත්,මේ නම් වලින් කියවෙන්නේ මොනවාද?

පිළිතුර - ලෝකෝත්තර මාර්ග සිත් හතරය

ප්‍රශ්නය – සත්වයින් ගේ උපත විපත දැනගන්නා ඤාණය ධර්මයෙහි සඳහන් වන්නේ කුමන නමකින්ද?

පිළිතුර - චුතුපපාතඤාණය

ප්‍රශ්නය - ව්‍යග්ඝපජ්ජ සූත්‍රාගත දේශනාවට අනුව දිනක් දීඝජානු කෝලිය සිටු පුත්‍රයා බුදුරදුන් හමුව මෙසේ ඉල්ලීමක් කරයි. ස්වාමීනී! කාමභෝගී ගිහියන් වන අපි අඹු දරුවන් හා සම්බාධ සහිතව (පුත්ත සම්බාධ සයන) යෙහි වසමු. කසී සළු සුවඳ සඳුන් (මාලාගන්ධ විලේපන) පරිභෝග කරමු. රන්රිදී මසු කහවනු ඉවසමු. ඒ අපට මෙලොව පරලොව හිත පිණිස (දිට්ඨ ධම්ම හිතාය සම්පරාය - සුඛාය) දහමක් දෙසනු මැනවි. මේ සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දෙසිත දහම් සැකැවින් දක්වන්න.

පිළිතුර - තථාගතයන් වහන්සේ සිටුපුත්‍රයාගේ ඉල්ලීම ඉටු කළ නොහැකිදෙයක් සේ ප්‍රතික්‍ෂේප නොකොට මෙසේ වදාළහ. දිට්ඨ ධම්ම හිත දිට්ඨ ධම්ම සුඛ යනුවෙන් මෙලොව හිතසුව සලසන කරුණු සතරක් ඇති බව පෙන්වා දෙමින් (උට්ඨාන සම්පදා) උත්සාහ සම්පත්තිය ආරක්ඛ සම්පදා ආරක්‍ෂා සම්පත්තිය, (කල්‍යාණ මිත්තතා) කලණ මිතුරු ඇසුර( සමජීවිකතා) සමසේ දිවි පැවැත්ම දේශනාකොට තවද (සම්පරාය හිත) පරලොව සැප (සම්පරායසුඛ) සඳහා ඉවහල් වන ශ්‍රද්ධාව, ශීලය, ත්‍යාගය, ප්‍රඥාව යන කරුණු සතරක් ඇතුළත් වන බව දේශනා කළහ.

ප්‍රශ්නය - තුදුස් ලාමක කම්වලින් බැහැරව සදිසාව වසාලන්නේ (උභය ලොක විජයාය පටිපන්නො හොති) උභයලොක විජය සඳහා පිළිපන්නේ වෙයි. ඔහු මෙලොව හා පරලොව විජයග්‍රාහී වන අතර මරණින් මතු මනාප ගති ඇති දෙව්ලොවට පැමිණෙයි. මෙම දේශනාවට අන්තර්ගත ධර්ම කරුණු විවරණය කරන්න.

පිළිතුර - ගිහි විනය නමින් ප්‍රකට සිඟාලෝවාද සූත්‍රයෙහි විස්තර වන ආකාරයට ආර්ය විනයෙහි සදිසා නමස්කාරය මෙසේ පැහැදිලි කරයි. මාතා පිතා දිසා පුබ්බා - ආචරියා දක්ඛිණා දිසා පුත්තදාරා දිසා පච්ඡා - මිත්තා මච්චාම උත්තරා දාස කම්ම කරා ගෙට්ඨා - උද්ධං සමණ බ්‍රාහ්මණ පූර්ව දිසාව නම් දෙමාපියන් සහ දූ දරුවෝ ය. දකුණු දිසාව ගුරුවරු ය. බිරිඳ සහ ස්වාමි පුරුෂයා බටහිර දිසාව ලෙස සැලකෙයි. උතුරු දිසාව මිතුරු ජනයා අදහස් කරයි. සෙව්‍ය සේවක සම්බන්ධය යට දිසාවයි. උඩ දිසාව මහණ බමුණන් ය. චත්තාරො කම්මකිලෙසා චතුර්විධ කර්ම කෙළෙස් සතුන් මැරීම - නොදුන්දෙය ගැනීම කාමයෙහි වරදවා හැසිරීම බොරු කිරීම - සතර අගතිය නම් ඡන්දා, දෝසා, භයා, මෝහා යන්නය. බෝග විනාශ මුඛ වශයෙන් සුරාලොල් බව අවේලාවෙහි සංචාරය, නෘත්‍ය නැරඹීමට යාම, දූ කෙළිය, පාප මිත්‍ර සේවනයයි.

ප්‍රශ්නය - ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනිව සිටි ශ්‍රාවකයන් වහන්සේ කවුද?

පිළිතුර - සැරියුත් මහරහතන් වහන්සේ

ප්‍රශ්නය -ආර්ය ධන අතරෙන් සුත ධනය කෙටියෙන් විස්තර කරන්න.

පිළිතුර -යහපත් දේ යහපත්ව අසා දැනගැනීමෙන් ඥානය දියුණු කර ගැනීම ය.

ප්‍රශ්නය - සාමාන්‍ය ජන ජීවිතයෙහිදී ගුණ දහමින් පෝෂිත වූ තැනැත්තාම බුහුමනට පැසසුමට ලක් විය යුතුමය. පෙළ දහමට අනුව ගුණ ධර්ම දෙකක් විශේෂිතව බෞද්ධ පිළිවෙතට එකතු වෙයි. එම විශේෂිත ගුණ දහම් දෙක මොනවාද?

පිළිතුර - සොවචස්සතා යනුවෙන් සුවච බව එකකි. එයින් පුද්ගල ජීවිතයෙහි සංයත බව හඳුනාගත හැකිය. දෙවැන්න ආශ්‍රය නිශ්‍රය සම්පතක් වශයෙන් හඳුන්වන කල්‍යාණ මිත්තතා යනුවෙන් සඳහන් කරන කලණ මිතුරු එකතුවයි. සත් ගුණයහපතට සෘජුව මෙම දහම් දෙක බෞද්ධ පිළිවෙතට යොමු විය යුතුම ය.

ප්‍රශ්නය - සර්ව මහද්ධනො ලොකෙ අජෙය්‍යා දේව මානුසේ දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි ‘මහද්ධන’ ඇති තැනැත්තා වශයෙන් බෞද්ධ මතයට අනුව කුමන ධනයක් ඇති තැනැත්තා ද?

පිළිතුර - සද්ධා ධනං - ශ්‍රද්ධාව
සීල ධනං - සීලය
හිරි ධනං - ලැජ්ජාව
ඔත්තප්ප ධනං - බිය
සුත ධනං - ශ්‍රැතය
චාග ධනං - ත්‍යාගය
පඤ්ඤා ධනං - ප්‍රඥාව

දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි ඉහත සඳහන් ධනය ඇති කාන්තාව හෝ පුරුෂයා මහා ධනවතෙක් සේ සැලකෙයි.

ප්‍රශ්නය - සූත්‍ර නිපාතයේ එන මෙත්ත සූත්‍රය හෙවත් කරණීය මෙත්ත සූත්‍රය, මිනිසා නිර්වාණගාමී ප්‍රතිපදාවට යන්නට පළමු කාමයන් කෙරෙහි ගිජු බවින් ඈත්ව (කාමෙසු විනෙය ගෙධං) සංවර විය යුතු බව හෙළි කළහ.සූත්‍රාගත තොරතුරු ඉහත සඳහන් අදහසට අනුගත වූ අයුරු පැහැදිලි කරන්න.

පිළිතුර - (දිට්ඨිං ච අනුපගම්ම) දෘෂ්ටියකට නොපැමිණීම (සීලවා) සීලසම්පන්න වීම. (දස්සනෙන සම්පන්නො) දර්ශනයෙහි යුක්තවීම මෙසේ කායික වූ හා වාචසික වූ චර්යාමය. ප්‍රකට ලක්‍ෂණ මෙසේ ඉදිරිපත් වෙයි. ඔහු සක්‍යතා ඇත්තෙකි. (සක්කො) කයින් වචනයෙන් උජූය - සිතින් (සුජූ) ඇසිය යුතු වදන් අසන සුළුවේ. (සුවචෝ) මෘදුය (මුදු) තමා උසස් කොට නො සිතයි. (අනතිමානී) සිතින් සතුටුවෙයි. (සන්තුස්සකොච) පහසුවෙන් පෝෂණය කට හැක්කේ ය. (සුභරො) වැඩි වැඩ නැත්තේ ය. (අප්ප කිච්ච) සැහැල්ලු පැවතුම් ඇත්තේ ය.(සල්ලහුකවුත්ති) දැමුනු ඉඳුරන් ඇති (සන්තින්ද්‍රිය) සුදුසු ලෙස සොයා බලා කටයුතු කරන කටයුතු ඇත්තෙකි. (නිපකො) ගොරෝසු පැවතුම් වලින් ඈත් ව සිටී. (අප්පගබ්භො) කුලයන්හි නොඇලුනේ (කුලෙසු අනනුගිද්ධො) නැණවතුන්ගේ ගර්හාවට ලක් වන්නා වූ කිසිවක් නොකරන්නේ ය.(නච ඛුද්දං සමාචරෙ කිංචි යෙන විඤ්ඤො පරේ උපවදේ‍යුං)

ප්‍රශ්නය - මිනිසා විසින් (සහධම්මෙන) ධාර්මිකව ලබාගත යුතු ඉතාමත් දුර්ලභ වූ සම්පත් තමා වෙත ළඟා කර ගැනීමට බෙහෙවින්ම උපකාර වන්නා වූ පැවැතිය යුතු පිළිවෙත් (ප්‍රතිපදා) සතරකි. ඒ මොනවාද?

පිළිතුර - 1. ශ්‍රද්ධා සම්පදා
2. සීල සම්පදා
3. ත්‍යාග සම්පදා
4.ප්‍රඥා සම්පදා වේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.