Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු වදනට අනුව පාලකයා කෙබඳු විය යුතු ද?

රටක සමාජයක යහ පැවැත්ම උදෙසා පාලකයාගෙන් ඉටුවන කාර්යභාරය සුළුපටු නොවේ. ප්‍රජාව නීතිගරුක, විනය ගරුක, සාමකාමී ජන සමාජයක් බවට පත්කිරීමට පාලකයාගේ පැවැත්ම කදිම පරමාදර්ශයකි. පාලකයා දැහැමි විය යුතුය. ධාර්මික රාජ්‍ය පාලනයක් ගෙන යාමට නායකයා සතු වියයුතු ධර්මතාවයන් දහයක් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙති. ඒ දසරාජ ධර්මයයි. එනම්

1. දානය
2. ශීලය
3. පරිත්‍යාගය
4. සෘජුබව
5. මෘදු බව
6. තපෝ ගුණය
7. අක්‍රෝධය
8. අවිහිංසාව
9. ක්ෂාන්තිය
10. අවිරෝධතාව

දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ජනතාව රජයෙන් විවිධ ප්‍රාග්ධනයන් ලැබිය යුතුය. දිළිඳුකමින් අතමිදී ධනවත් වීමටත් යම්කිසි රැකියා මාර්ගයක් නිර්මාණය කර ගැනීමටත් රජය අතදිය යුතුයි.

තමා දක්වන කුසලතාවන් හා ලබා ඇති අධ්‍යාපන ඥාණයත් පුරුදු පුහුණු කළ වෘත්තිය දැනුමත් ජීවනෝපායක් බවට පත්වන්නේ රජයෙන් ලබාදෙන යම් මූල්‍යමය දිරිගැන්වීම් මතයි. මේ සඳහා තනි තනිව පුද්ගලයන් වශයෙන් ද, සංවිධානාත්මක ආයතන වශයෙන්ද රජයෙන් ප්‍රාග්ධනය අපේක්ෂා කැරෙයි. පාලන තන්ත්‍රය ඒ සඳහා සූදානමින් සිටිය යුතු අතර රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් ඒ සඳහා දානය කිරීම යහපත් වෙයි.

දානය රාජ්‍ය පාලනයේදී අත්‍යවශ්‍ය වූ සාධකයකි. මෙම දසරාජ ධර්ම අතර තුන්වැන්නට දක්වා ඇති පරිත්‍යාගය යන්නෙන් අදහස් කරන්නට ඇත්තේ කුමක් විය යුතුද? දානය සහ පරිත්‍යාගය අතර ඇත්තේ සමානාර්ථයකි. නමුත් පාලකයා මුල්‍යමය හා ද්‍රව්‍යමය දානපතියකු වන්නා සේම ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියාකරන්නකු බව මෙයින් අදහස් වේ. රට පාලනය කිරීමේදී කායික මෙන්ම බුද්ධිමය පරිත්‍යාගද කළ යුතු වෙයි.

පාලකයා සිල්වත් විය යුතු බව බුදු දහමේ නිර්දේශ වන්නේ සදාචාර සම්පන්න සමාජයකට රජුගේ ජීවිතය ආදර්ශයක් විය යුතු බැවිනි.

සොරකම, දුසිරිත, මත්ද්‍රව්‍ය භාවිතය වැනි රට වැසියාට විපත් ගෙනදෙන දුරාචාරයන් කෙරෙන් ඔවුන් මුදාගත යුතු බැවින් පාලකයා එයින් අත්මිදීම අත්‍යවශ්‍ය වේ. සිල්වත් චරිතයක ඇති ප්‍රාණවත් බව හා අභිමානවත් පෞරුෂය රටක් නිවැරදි මගට ගෙනයාමට ප්‍රබල සාධකයකි. තුන්දොර සංවරය ශීලයයි.

සිත, කය, වචනය අසංවර නම් එම පුද්ගලයා සිතූ මනාපයට ක්‍රියා කරයි. හැගීම් ඔස්සේ ධාවනකාරී වෙයි. කය අසංවර වූ විටද කායික සන්තර්පණයන් කෙරෙහි සිහිවිකල්ව ක්‍රියා කරයි. වචනය පාලනය කරගත නොහැකි පුද්ගලයා හිතුණු දෙයක් ප්‍රකාශ කරයි. අනුන් රවටන, අනුන් කොටවන- අනුන් රිදවන දූෂිත වදන් හොඳ පාලකයකු තුළ නොතිබිය යුතුයි. මේ කරුණු නිසයි පාලකයා සිල්වත් විය යුතු බව ප්‍රකාශ කරන්නේ.

රට පාලනය කිරීමට පාලකයා සතු ගුණාංගයක් ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමේදී දක්වන සෘජු බව බුදු දහමේ හඳුන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් තුළ විවිධ මත හා විවිධ යෝජනා වලට ඇහුම්කන් දීමට සිදුවෙනවා. කාගේත් අදහස් සැලකිල්ලට ගෙන ගැටලුවට අදාළ ක්‍රියාමාර්ගය ගැනීමේදී සෘජු තීරණ වලට එළැඹීමේ හැකියාවක් පාලකයා සතු විය යුතුය.

මෙම ඍජු තීරණය වුවද අත්තනෝමතික ඒකාධිපති තීරණයක් නොවිය යුතු සේම මෘදු බවකින් එම තත්ත්වය සමබර කරගත යුතුය. දැඩි නීතිරීතිවලට හා මුරණ්ඩු පාලන තන්ත්‍රයකට මිනිසුන් කැමැති නැත. පාලකයාගේ මෘදුබව රටවැසියාගේ ගෞරවය හා භක්තිය දිනා ගැනීමටත් රජයට පක්ෂපාති ජන ශක්තියක් ගොඩනඟා ගැනීමටත් ප්‍රබල පිටුබලයක් වෙයි.

තපෝ ගුණයද පාලකයාගේ දැහැමි බව නඟා සිටුවන සාධකයකි. ඉඳුරන් පිනවීමට අධික ලෙස ඇබ්බැහිවන පාලකයෝ ජනතාවගේ අගෞරවයට හා පිළිකුලට බඳුන් වෙති. තපස යනුවෙන් ගුණ සමුච්චයක් නිර්දේශ කෙරෙන්නේ ඒ නිසාය.

අක්‍රෝධය , අවිහිංසාව, ක්ෂාන්තිය හා අවිරෝධතාවය යන රාජධර්ම වලින්ද පොදුවේ අපේක්ෂා කරන්නේ ජනතාව කෙරෙහි දයාබර වූ මානව හිතවාදී චින්තනයකි. කෙතරම් අභියෝග එල්ල වුවද ඒවා ක්‍රෝධයට හෝ හිංසාවට හේතු සාධක කර ගැනීම දක්ෂ පාලකයා සතු ගුණයක් නොවේ. ක්ෂාන්තිය හෙවත් ඉවසීම රජ කෙනකු සතු අභිමානවත් චරිතාර්ථයකි.

ඔහු ජනතාව කෙරෙන් නැගි එන නව මතවාදයන් කෙරෙහි විරෝධතාවක් නොදක්වා මැදහත්ව එය විශ්ලේෂණය කර බලයි. රාජ්‍ය විරෝධතාවන් පැන නගින්නේ කුමන හෝ හේතුවක් පදනම් කරගෙනයි. එම හේතුව සොයා බලා විසඳුමක් ලබාදීම, විරෝධතාව තවත් විරෝධතාවකින් මැඬලීමට වඩා විශිෂ්ඨ පියවරකි.

නිවැරැදි විශිෂ්ට පාලකයා සතු තවත් උතුම් ගුණාංග හතරක් බෞද්ධ විග්‍රහයට අනුව සොයාගෙන තිබේ. ඒවා හඳුන්වන්නේ සක්විතිවත් හතර ලෙසටයි. එනම්

1. දැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම
2. ජීවිත සුරක්ෂිතතාව ඇතිකිරීම
3. ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීම
4. විශාරදයන්ගෙන් උපදෙස් ලබා ගැනීම යනුවෙනි.

මීළඟට වැදගත් වන්නේ යහපත් රටක් ගොඩනැඟීමට අපේක්ෂා කරන පාලකයන් සතර අගති වලින් මිදිය යුතු වීමයි. එනම් ඡන්ද - දෝසය- භය- මෝහය යනුවෙනි. තම කැමැත්ත හා මනාපය කුමක් වුවද රටක අනාගතය වෙනුවෙන් ඡන්දය පාලනය කළ යුතුවෙයි. බුදු දහමට අනුව දැහැමි පාලකයා සැමවිටම සාමයට පි‍්‍රය කරයි. ද්වේෂය යනු සාමයට අහිතකර වූ ධර්මතාවයකි.

ද්වේෂය මැඩ පාලනය කොට සාමයට හා සමාදානයට ඒ ශක්තිය යොමුකර යුතුව ඇත. මෝහය මැඩ ප්‍රඥාව ඉස්මතු කර ගැනීම දක්ෂ පාලකයකු සතු යුතුකමක් මෙන්ම අයිතිවාසිකමකි. සියයට සියයක්ම නුවණින් පිරි ප්‍රඥාවන්තයන් පාලන තන්ත්‍රය තුළින් තෝරාගත යුතු වුවද එසේ කළ නොහැකි ප්‍රායෝගික ගැටලු පැන නගිනු ඇත. නමුත් පාලකයා සැබවින්ම ප්‍රඥාවන්ත විය යුතුය. අතීතයේ සිටම සෑම පාලකයකුටම උපදේශක මණඩලයක් සිටියේ ය.

ඔවුන් එදා හැඳින්වූයේ පුරෝහිතයන් වශයෙනි. පාලකයා විසින් රට වැසියාට සංග්‍රහ කළ යුතු ආකාර 04 ක් බුදුදහමේ නිර්දේශිතය. එනම් දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව යනුවෙනි.

දස රාජ ධර්මවල දානය හා පරිත්‍යාග වශයෙන් රජකෙනෙකු රටවැසියා තෘප්තිමත් කළ යුතු ආකාර කීපයක් දැක්වූවාසේම පි‍්‍රය වචනය ද රට වැසියාගේ ආකර්ශනය දිනා ගැනීමට පාලකයා විසින් ගොඩනඟාගත යුතු ආත්මීය සංග්‍රහයකි.

අර්ථාන්විත වූ චර්යාවන් මතින් සැමට සමානව සලකන්නට පාලකයා සංවේදී විය යුතුය. සමානාත්මතාවය යනු එයයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් සියලු ගැටලු හා අනාගත අභියෝගවලටද එකම විසැඳුම සතර සංග්‍රහ වස්තුවයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.