Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණිය හැඩ කළ බිතු සිතුවම් පෙළ

ශ්‍රී ලාංකේය සම්භාව්‍ය චිත්‍ර කලාවට උරුමකම් කියන සීගිරි බිතු සිතුවම් නිර්මාණයෙන් පසු මෙරට උත්තම ආරෙක බිතු සිතුවම් සමුච්චයක් ඇඳුණේ නම් ඒ අන් කිසිවක් නොව කැලණි බිතු සිතුවම් යැයි කිවහොත් එයට බහුතරයක් එකඟ වේ යැයි සිතමි.

පෞරාණික බෞද්ධ මධ්‍යස්ථානයක් වන කැලණි විහාරයේ බුදු මැදුරු දෙකකි. ඒ පැරණි බුදුමැදුර හා නව බුදුමැදුර වශයෙනි. දහඅටවන සියවසේ මෙරට ව්‍යාප්තව ගිය උඩරට බිතු සිතුවම් සම්ප්‍රදාය සිහිගන්වන බිතු සිතුවමින් පැරණි බුදු මැදුර හැඩගැන්වී තිබේ. සංස්කෘතික වශයෙන් ඉමහත් වැදගත්කමක් උසුලන සිතුවම් පෙළක් ලෙස මෙම සිතුවම් ප්‍රකට වී ඇත. නමුදු කැලණි විහාරය යන නම කී පමණින් අප සිහියට නැගෙනුයේ නූතන යුගයට නෑකම් කියන නව බුදු මැදුර විසිතුරු කළ බිතු සිතුවම් සමූහයයි. එකී සිතුවම් නිර්මාණය වූයේ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පී, සොයිලියස් මෙන්ඩිස් මහත්මා අත රැඳි තෙළි තුඩෙනි.

සාම්ප්‍රදායික බෞද්ධ බිතුසිතුවම් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නව බුදු මැදුරේ චිත්‍ර සඳහා සොයිලියස් මෙන්ඩිස් ශිල්පියා වස්තු විෂය කරගනු ලැබුවේ බුද්ධ චරිතය හා ලක්දිව පැරණි ඓතිහාසික සිද්ධීන් ඇසුරෙන් උකහා ගත් තේමාවන් ය.

මන බඳනා ලෙස නිමකළ සිතුවම් අතර අලුත් විහාරයේ ප්‍රතිමා මන්දිරයේ පිළිමගෙයට පිවිසෙන ද්වාරයට ඉහළින් ඇඳ තිබෙන චිත්‍රයෙන් දැක්වෙන්නේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී වැඩ සිටින බුදුරජාණන් වහන්සේ සිරිලක සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන ලෙස උත්පල වර්ණ දෙවිඳුනට සහ ශක්‍ර දේවේන්ද්‍රයාට වදාරන ආකාරයයි. ඒ අබියස බිත්තිය සැරසී තිබෙනුයේ ස්වකීය පිරිසක් කැටුව ලක්දිව පැමිණ විජය කුමරු ගොඩබසින ආකාරය නිරූපණය කෙරෙන විශාල සිතුවමකි. ඒ හා සම්බන්ධව ඇති ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීම නමැති චිත්‍රයෙන් නිරූපණය වන්නේ දේවානම්පියතිස්ස රජතුමා ඇතුන් දෙදෙනෙකු බඳීන ලද රජතමය නගුලකින් මිහිඳු මහ රහතන් වහන්සේ වෙනුවෙන් මහා මේඝවන උද්‍යානයේ සීමාව ලකුණු කර දෙන ආකාරයයි. මෙයද විශාල චිත්‍රයකි. සිත්තමට අන්තර්ගත උද්‍යාන දර්ශනය අතිශය චමත්කාරජනක ය. එය ඈතට දිවෙන ආකාරය ඉතා තාත්ත්වික ලෙස නිර්මාණය කිරීමට ශිල්පියා දක්වා ඇති කුසලතාව අති විශිෂ්ට ය.

පැරැණි විහාරයට වම්පසින් ඇති මන්දිරයේ විශිෂ්ට කලා ලක්ෂණයන්ගෙන් අනූන විශාල බිතු සිතුවම් හතරක් දක්නට ලැබෙයි. ‘මහියංගනං’, ‘නාගදීපං’, ‘කල්‍යාණං’ හා ‘පාද ලාංඡනං’ යනාදි වශයෙන් මෙම සිතුවම් නම්කර තිබේ. ‘මහියංගනං’ නමැති චිත්‍රයෙන් නිරූපණය වන්නේ බුදුරජාණන් වහන්සේ සිරිලක් දිව මහියංගනයට වැඩම කොට යක්ෂයින් දමනය කළ ආකාරය යි. කිසියම් අයෙකුට චිත්‍ර සම්පිණ්ඩනය පිළිබඳව විශිෂ්ඨ ආදර්ශයක් ලබාගත හැකි නිර්මාණයක් ලෙස මෙම සිතුවම ප්‍රකට ය. ගිනි ජාලා මවාලමින් සම්බුදු පියාණන් ඒ මධ්‍යයේ වැඩ සිටින ආකාරය මැදට යොදා යක්ෂයින් හතරවට දිවයන ආකාරයට මෙම සිතුවම සංරචනය කර තිබේ. බුදුරජාණන් වහන්සේ සඳහා ශිල්පියා යොදා ඇත්තේ ප්‍රභාවත්වර්ණ මාලාවකි. යක්ෂ ගෝත්‍රිකයන් සඳහා අළු සහ කළු පැහැයන්, එම වර්ණයන්හි ප්‍රභේදත් යොදාගෙන තිබෙන අයුරු පෙනේ. අවස්ථාවට සහ තේමාවට ගැලෙපන ආකාරයට වර්ණ මාධ්‍ය හැසිරවීමෙහි ලා ශිල්පියා දක්වන ප්‍රතිභාව කදිමට මෙමගින් ඉස්මතු වේ. අතරින් පතර අවශ්‍ය තැන්වල රතු සහ සුදු වර්ණ ශිල්පියා යොදයි. යක්ෂ ගෝත්‍රික රූප රචනයේදී වේගය සහ චලනය මතු කර දැක්වීම නිසා සිතුවමෙහි සෞන්දර්යාත්මක අගය වඩා වර්ධනය වෙයි. ‘නාගදීපං’ නමැති චිත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ සිරිලක නාගදීපයට වැඩි පුවත නිරූපිතය. අහසෙහි වැඩ සිටින බුදුපියාණන් වහන්සේ වෙත රැස්ව සිටින සෑම නාග ගෝත්‍රිකයෙකුගේම නෙත් සිත් ඇදී ගොස් ඇති ආකාරය දක්වා තිබෙනුයේ හරි අපූර්වත්වයෙනි. චිත්‍රය වර්ණ ගැන්වීමේ දී බුදුරජාණන් වහන්සේ සඳහා අඳුරු කහ සහ ගුරු පැහැයන්, නාග ගෝත්‍රිකයන් සඳහා අඳුරු පැහැයට බර වර්ණ මාලාවකුත් යොදා තිබීම විශේෂිත ලක්ෂණයකි.

මණි අක්ඛිත නාගරාජයාගේ ආරාධනය පරිදි කැලණියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මිණි පළඟ මත වැඩ සිටිමින් දහම් දෙසන ආකාරයත්, කැලණියේ නාග ගෝත්‍රික පිරිස මහත් සැදැහැයෙන් වැඳ නමස්කාර කරමින් ධර්ම ශ්‍රවණය කරන විලාසයත් ‘කල්‍යාණං’ නමැති චිත්‍රය මගින් ශිල්පියා කියාපායි.

රමණීය කැටයමින් විචිත්‍ර වූ මිණි පළඟ මත වැඩ සිටින බුදු පියාණන් වහන්සේ පද්මාසන ක්‍රමයෙන් නිරූපණය කර දක්වන අතර වැළමිටෙන් ඉදිරියට නැමූ දැතෙහි ධම්මචක්ක මුද්‍රාව යෙදීමට ශිල්පියා තෙළිකුඩ හසුරුවා තිබේ. සුමන සමන් දිව්‍ය රාජයාගේ ඇරයුම පරිදි සමනළ පර්වතය මුදුනට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහි ශ්‍රී පාද ලාංඡනය පිහිටුවාලන ආකාරය සිත්තම් කිරීමට ‘පාදලාංඡනං’ නමැති සිතුවම තුළින් ශිල්පියා වෑයම් කර තිබේ. මෙම බිතු සිතුවම් ද්විත්වය සඳහා ගුරු සහ කහ මිශ්‍ර වර්ණයෙහි විවිධ ප්‍රභේද යොදාගෙන ඇති නිසා සංගත වර්ණ මාලාවක් අන්තර්ගතවීම චිත්‍රයන්හි රමණියත්වය වඩා වර්ධනය කිරීමට හේතුකාරක වී තිබේ.

‘පාද ලාංඡනං’ නමැති චිත්‍රයට වම්පස එම වර්ණ මාලාවෙන් යුත් තවත් චිත්‍ර තුනක් වෙයි. ඒ බුදුපියාණන් වහන්සේ අහසින් සමනළ ගිරට වැඩම කිරීම, බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය විෂයයෙහි මණිඅක්ඛිත නාගරාජයා දානය පිළිගැන්වීම හා සමනළ ගිර මතට වඩින ලෙස බුදුපියාණන් වහන්සේ වෙත සමන් දෙවියන් විසින් ආරාධනය කිරීම යන සිතුවම් ඒ අතරට අයත් ය. ‘පාද ලාංඡනං’ චිත්‍රයට දකුණු පස ඇඳ ඇති සිතුවමෙන් ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා ලීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා දිවා ගුහාවට වැඩම කොට දිවා විහරණය ගැනීම, නිරූපණය වේ.

ශ්‍රී ලාංකීය ඉතිහාස වංශ කතාවෙන් සුවිශේෂීව තෝරා බේරාගෙන ඓතිහාසික සිද්ධීන් ගණනාවකට තෙළිතුඩ ඇසුරින් ශිල්පියා ජීවය කවන බිතු සිතුවම් රැසක් කැලණි විහාරයේ නව බුදු මැදුරෙන් හමුවේ. ඒ අතර අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ සිරිලක මිහින්තලාවට වැඩම කිරීම, මිහිඳු මහ තෙරුන් වෙත මහමෙවුනා උයන පිළිගැන්වීම, ජය ශ්‍රී මහ බෝධි ශාඛාව රැගෙන සංඝමිත්තා රහත් මෙහෙණිය සිරිලකට වැඩම කිරීම, කැලණිතිස්ස රජ පුවත, උණු තෙල් සැලියෙක ලා රහතන් වහන්සේ මැරවීම, මුහුද ගොඩගැලීම, විහාර මහා දේවිය මුහුදට බිලිවීම, ප්‍රතිකාලුන් කැලණි විහාරය විනාශ කිරීම, යනාදී ඓතිහාසික තේමාවන් නිරූපිත සිතුවම් ගණනාවක් දක්නට ලැබේ.

පෙර සඳහන් කළ මහමෙවුනා සීමා පිහිටුවීම දැක්වෙන චිත්‍රය සමීපයේ සිතුවම් කොට ඇති සිතුවම බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධියක් රූපමය මාධ්‍යයෙන් පණ ගන්වයි. ඒ මහ සඟ ගණ මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ පුවතයි. ප්‍රතිමා ගෘහයට පිවිසෙන දොරටුවේ වම්පස ඇති චිත්‍රයෙන් නිරූපණය වන්නේ බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ විසුද්ධි මාර්ගයේ පිටපත් තුන මහා විහාරවාසී, සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වනු ලබන අවස්ථාවයි. මෙයට දකුණු පසින් සිතුවම් කොට ඇති කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, වැලිවිට ශ්‍රී සරණංකර මාහිමිපාණන් වහන්සේ වෙත අසරණ, සරණ, සරණංකර, සංඝරාජ පදවිය පිරිනැමීම නිරූපණය වන සිතුවම ද අති විශිෂ්ට කලා ලක්ෂණවලින් හෙබි චිත්‍රයක් ලෙස කලා රසිකයන් අතර පරසිදු ය.

ප්‍රතිමා මන්දිරය අභ්‍යන්තරයේ බිත්ති දෙකක ප්‍රතිවිරුද්ධ ආකාරයට ඇඳ තිබෙන සුවිශේෂි වූ බිතු සිතුවම් දෙකක් කැලණි බිතු සිතුවම් යන නාමය කණ වැකෙන සෑම මොහොතකම එක්වර සිහියට නැඟේ. ඉන් එක් සිතුවමක් ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩමවීම’ නමින් ප්‍රකට ය. දන්ත කුමාරයාත් හේමමාලා කුමරියත් අප්‍රසිද්ධ වේශයෙන් ඇගේ කෙස් කළඹේ දළදා වහන්සේ සඟවාගෙන වන පියසක් මැදින් එන අයුරු මින් නිරූපණය වේ.

මෙම චිත්‍රයේ සම්පිණ්ඩනය ඉතා සරල ය. නමුදු මන බඳිනා සුළුය. අවශ්‍ය ආම්පන්න සියල්ල රැගෙන ඉතා සෙමින් වනය මැද ඉදිරියට පියනගන මේ දෙදෙනා අතරින් හේමමාලාවන්ගේ ශරීරයේ නාරි ලාලිත්‍යය සොයිලියස් මැන්ඩිස් ශිල්පියා තෙළිතුඩට නතු කරගෙන ඇති ආකාරය අසිරිමත් ය. සළු පිළි තුළින් ඉස්මතු වන සුරූපී නාරි දේහය නෙත ගැටුණු කල්හි සිත පිළිසිඳගන්නේ සුවිනීත වනිතා ලක්ෂණ විනා සරාගී බවෙක් නම් නොවේ. දන්ත කුමරුගේ දේහ විලාසය ද රමණීය ය. මෙම මානව රූප දෙක වර්ණ ගැන්වීම සඳහා ශිල්පියා භාවිතා කර ඇත්තේ ගුරු, දුඹුරු, අඳුරු කහ යන වර්ණයන්හි ප්‍රභේදයන් ය. ශරීරවල ත්‍රිමාණ ලක්ෂණ මතු කිරීමට ශිල්පියා ඉතා සියුම් රේඛා කැබලි හා වර්ණ තිත් වශයෙන් යොදයි. ශිල්පියාටම අනන්‍ය වූ රේඛාව ප්‍රාණ පූර්ණය. පසුතලය පූරණය සඳහා යොදා ඇති ගස් කිහිපයෙන් චිත්‍රයට අමුතු ආලෝකයක් ලැබේ. ගස්වල කොළ සඳහා යොදනුයේ දුඹුරු මිශ්‍ර පච්ච වර්ණ ප්‍රභේද කිහිපයකි. සමස්ත චිත්‍රයේ නිමාව චමත්කාරජනකය.

අනෙක් සිතුවම ‘සිරිලකට ශ්‍රී මහ බෝධි ශාඛාව වැඩමවීම’ නමින් හැඳින්වේ. ඉතිහාස ග්‍රන්ථවල සඳහන් ආකාරයටම චිත්‍රය සංරචනය කර තිබේ. ශ්‍රී‍්‍රමහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව ස්වර්ණමය බඳුනක බහා ඡත්‍ර නංවා ගෞරව සම්ප්‍රයුක්තව රුවල් නැවෙහි තැන්පත් කරගෙන වැඩමවන අවස්ථාවේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ සැදැහැ සිතින් එකත්පස්ව වැඩ සිටිනා විලාසය චිත්‍රණය කළ ආකාරය ඉතා මනෝරම්‍ය ය. දෙවන පෑ තිස් නරනිඳුන් කරවටක් මුහුදෙහි බැස දොහොත් මුදුන් දී ශ්‍රී මහ බෝධි ශාඛාව පිළිගන්නට සැදී පැහැදී සිටින ආකාරය කදිමට නිරූපණය වේ. යොදා ඇති ගුරු, දුඹුරු මිශ්‍ර වර්ණ මාලාව මේ ඓතිහාසික සිද්ධිය වඩා විචිත්‍රවත් කරයි. සහෘද කලා රසිකයන් අතර අමරණීයත්වයට පත්ව ඇති මේ අති විශිෂ්ට කලා කෘති හුදෙක් භාවමය හැඟීම් ගැඹුරින් දනවන බව නොරහසකි.

දෙස් විදෙස් සැදැහැවතුන් නිරාමිස පී‍්‍රතිය දනවන අතිරමණීය බිතු සිතුවම් සමුච්චයක් කැලණි විහාර මන්දිරයේ බිතු තල මත චිත්‍රණය කර ශ්‍රී ලාංකේය බිතු සිතුවම් වංශ කතාවේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කළ අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පී සොයිලියස් මැන්දිස් මහත්මාගේ් තෙළතුඩ රැඳි දෑතට අප සදා ණය ගැතිය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.