Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලිපිල්ලේ අකුරු කරවූ බුද්දම රජ මහ වෙහෙර

බ්‍රාහ්මී අක්‍ෂර සහිත සෙල් ලිපි දෙකක් මොනරාගල බුද්දම රජ මහ වෙහෙර ඇති ගිරි ලෙන් දෙකකින් හමුවී ඇත. මේ ලෙන් ලිපි වල ඇති බැහැමි අකුරු අනුරාධපුර යුගයේ මුල් අවධියට අයත් ඒවා බව පුරාවිදු විද්වත්හු පවසති.

ඒ අනුව බුද්දම රජ මහ වෙහෙර අනුරාධපුර යුගයේ පළමුවැනි සමයට අයත් අති පැරණි වෙහෙරක් බව හැඳින්වීම සාවද්‍ය නොවේ. අනුරාධපුර යුගයේ රුහුණේ රජ කළ පළමු වැනි උදය රජු (ක්‍රි.ව.883 – 896) බුද්ගමු වෙහෙරට භෝග උපදවන ගම්වර ලබා දී ඇති බව මහාවංශයේ (51 වැනි පරිච්ඡේදය) සඳහන්වේ. එකල බුද්ගමු යන්න කාලයාගේ ඇවෑමෙන් පද පෙරැළී බුද්දම යන්නෙන් වහරනු ඇත. පොලොන්නරු යුගයේ තොරතුරු පවසන වංශ කතා වල බුද්ගමු රටක් ගැන සඳහන්වේ.


මහනුවර යුගයේ සිත්තම්

කිතුවසින් 1153 වැන්නේ සොළීන් නසා රට එක්සත් කළ පළමුවැනි පැරකුම්බාවෝ සිය පාලන කටයුතු පෙදෙස් වලට බෙදා දීමට (විමධ්‍යගත කිරීමට) කටයුතු කළහ. එහෙයින් රට පාලන ඒකක වලට බෙදා එක් ඒකකයකට ආදිපාදවරයකු බැගින් පත් කළහ. ඒ අනුව රුහුණේ බුද්ගමු වෙහෙර මුල් කර ගෙන “බුද්ගමු රට” නමින් පාලන ඒකකයක් අරඹා ඒ සඳහා පාලකයෙකු ද පත් කළහ යි මහාවංශයේ සැත්තෑව වැනි පිරිසිඳියේ සඳහන්වේ. වත්මන් බුද්දම රජ මහ වෙහෙර අබිමන් බව එයින් ද ස්ඵුට වේ.

මහනුවර යුගයේ කන්දඋඩරට රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ නිරිඳුන් (කි.ව.1747 – 1782) වෙල්ලස්සේ නටබුන් වෙහෙර විහාර රැසක් ම පිළිසකර කරවී ය. බුද්දම රජමහ වෙහෙර ද එයින් එකකි. එහි විසල් ගිරි ලෙන තුළ වූ බුදු මැදුරේ ඇති පිළිම හා සිත්තම් ද ඉදිරි පස දොරටුව අබියස ඇති මකර තොරණ ද එයට සාධක වේ. ඒ නිමැවුම් සියල්ල මැ මහනුවර යුගයේ කලා සම්ප්‍රදායට අයත්වේ.

මේ කරුණු විමසීමේ දී මොනරාගල බුද්දම රජ මහ වෙහෙර අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වූ යුග ගණනාවක් තිස්සේ රජවරුන්ගේ නියමයන් පරිදි වැඩුණු වෙහෙරක් බව පසක් වේ.

මොනරාගල සියඹලාන්ඩුවේ සිට අම්පාර මඟෙහි ගමන් කළ පසු නවයේ කනුව උප නගරය හමුවේ. එහි සිට අවරදිග පසට බුද්දම ගමට යන මඟ වැටී ඇත. රථ වාහන ගමන් කරන නමුදු ඉතා අබලන් මේ මඟෙහි කිලෝමීටර් පහක තරම් දුරක් ගිය පසු හරිත පැහැයෙන් පිරී ගිය කුඩා කන්ද පාමුල බුද්දම රජ මහ වෙහෙර සෑ රදුන් සුදෝ සුදු පැහැයෙන් දිස්වේ.


මහනුවර යුගයේ ප්‍රතිමා

වෙහෙර බිම කෙමෙන් උස්ව යන සේ නිමැවුණ මහල් තුනකින් සමන්විත ය. පහත මාලය තුළ අබිමන් ලෙස අහස් කුස වැළඳ ගත් සෑ රදුන් වේ. යටගියාවේ “ශුද්‍ර චෛත්‍ය” සේ සැලකෙන මේ කුඩා සෑය ඉපැරණි නිමාව වසා වත්මනෙහි නව කමින් නිම කරන ලද්දෙකි.

දෙවැනි මහලෙහි සංඝාවාසය සහ අනෙකුත් ගොඩනැගිලි ඇත්තේය. එහි ඇති අගනා පුරාවිදු සාධකය කුඩා ගිරි ලෙනෙහි කටාරමට පහළින් සටහන් කර ඇති සෙල් ලිපිය වේ. හීන් විහාර ලෙන් ලිපිය නමින් හැඳින්වේ. ගුරුවරයෙකු වෙනුවෙන් සිසුවෙකු විසින් ලෙනක් කරවා පුද කරන ලද බව දැක්වෙන එක මැ ලෙන් ලිපිය මේ යැයි සඳහන් කළ හැක.

වත්මනෙහි බුදු මැදුර ඉදි කර ඇති විසල් ගිරි ලෙණ තෙවැනි මහලෙහි වේ. එය මහනුවර යුගයේ කරවන ලද්දක් බව එහි ඇති සිත්තම් හා පිළිම සාක්ෂි දරයි. එහෙත් අතීතයේ එය රහතුන් වහන්සේලාට බැවුම් වැඩීමට සකස් කැර දුන් එකක් යැයි එහි කටාරමට පහළින් සටහන් කර ඇති සෙල් ලිපියෙන් පැහැදිලිවේ. වත්මනෙහි ඇති බුදු මැදුර ගිරි ලෙන් පියස්සට සබැඳිව කළ ස්තෝප්පුවකින් සමන්විත ය. එකල මේ කොටස හෙළ ඌරුවට අනුගත වූ පැතලි උළු සෙවිලි කැර තිබිණි. කාලයාගේ ඇවෑමෙන් එම වහළය දිරාපත් වී ඇති හෙයින් වත්මනෙහි පිළිසකර කැර රටඋළු සෙවිලි කර තිබේ.

ස්තෝප්පුවෙන් බුදු මැදුර තුළට ඇතුළු වෙන දොරටුව අඟල් හයක් ඝනකම ඇති දැවමුවා උළු වස්සකින් ද අඟල් හතරක් ඝනකම ඇති දොරපලු දෙකකින් ද යුක්තය. ඉතා සවිවර විසල් අගුලක් ද එයට සවිකර ඇත්තේ ය. ඒවා මහනුවර යුගයට අයත් නිමවුම් වේ.

බුදු මැදුර තුළ අටළොස් රියන් (අඩි 24ක්) දිග සැතපෙන බුදු පිළිමයකි.එයට අමතරව ඉඳි පිළිම දෙකක් ද හිටි පිළිමයක් ද වේ. ඉඳි පිළිමයක් උස අඩි හයකි.හිටි පිළිමය අඩි නවයක් උස් වේ. මේවා සියල්ල මැ නුවර යුගයේ පිළිම කලාවට නෑකම් කියයි. දුටුවන් තැති ගන්වන සුළු අබිමන් බවින් යුත් සිහ රජකුගේ රුවක් ද තවත් කුඩා සහ රූ කීපයක් දැන් බුදු මැදුර තුළ දැක ගත හැක. ඒවා ඉදි කිරීමේ අරුත අපැහැදිලිය. නුවර යුගයේ බොදු බැතිමතුන් තුළ පැවති දෙව් බැතිය පිළිබිඹු කරන දෙව් රූ සතරක් මෙහි වේ. මේ සියලුම පිළිම හා පිළිරූ නෙළා ඇත්තේ මැටියෙනි.


පිළිසකර කළ චෛත්‍යය

මේ සිත්තම් සියල්ල මහනුවර යුගයේ කලා සම්ප්‍රදායට අයත්වේ.මේ සිත්තම් බිත්ති දෙකක් පුරා විහිදේ. ගිරි ලෙන් පියස්සද මල්කම් ලියකම් වලින් ලකර ය. ඒවා දැනුදු ඉතා පැහැපත් වැ පැහැදිලිව දැක ගත හැකි ය. බුදු මැදුර ඉතා රැකවරණයෙන් යුතුව ඉදි කිරීම නිසා සිත්තම් සුරැකී පවතී. වෙහෙර බිමේ සිට කඳු මුදුන දක්වා තැනින් තැන කටාරම් කෙටූ ගිරි ලෙන් විස්සක් පමණ ඇත.

අතීතයේ රහතන්වහන්සේලා බවුම් වඩමින් විසූ බවට ඒවා සාධක වේ. එයින් ගිරි ලෙන් කීපයකද ලෙන් ලිපි සටහන් කර ඇත. ඒවා පුරා විදු ඇසට යොමු නොවීම නිසා අරුත් දැන ගත නොහැක. ඇතැම් ලෙන් වල අතීතයේ විවිධ කම්හල් පවත්වාගෙන ගොස් ඇති බව වත්මනෙහි ඒවා හැඳින්වීමට භාවිතා කරන නම් වලින් පැහැදිලි වේ. එක් ගිරි ලෙනක් රිදී ලෙන නම් වෙයි. අතීතයේ එහි රිදීමුවා විවිධ කම් පුහුණු කර ඇති බව ජන වහරෙන් කියැවේ. වඩු ගල්ගේ නමින් වූ ලෙන එකල වඩුකම පුහුණු කළ තැනකි. එහි විවිධ දැව බඩු නිපදවා ඇත.

සියවස් තුන හතරකට පෙර ගමේ බොදු වෙහෙර දරුවන්ට අකුරු කරවන තක්ෂලාව විය. වත්මනෙහි මෙන් මුද්‍රණය කළ පත පොත, කඩදාසි, පෑන්, ආදිය එකල නොතිබිණි. දරුවන් අකුරු ලිවීමට හුරු වූයේ වැල්ලේ ලිවීමෙනි. අකුරු ලියන තැන ලෑලි වලින් හෝ මැටි බිත්ති බැඳීමෙන් හෝ ආවරණය කර සුදු වැලි පුරවා සකස් කර තිබිණි. එය වැලිපීල්ල නමින් හැඳින්විය. වත්මනෙහිද බුද්දම රජමහ වෙහෙරහි එවැනි වැලිපීල්ලක් විනාශයට පත් නොවී සුරැකී තිබෙනු දැකගත හැක. එයින් මේ වෙහෙර එකල දරුවන්ට අකුරු කරවූ තක්සලාවක් ලෙස හැඳින්වීම සාවද්‍ය නොවේ.

වැලිපීල්ල අඩි දාහතරක් දිග ය. එය ආවරණය කර ඇති මැටි බිත්තිය අඩි දෙකක් උස වේ. වැලිපීල්ලේ පළල අඩි දෙකයි අඟල් තුනකි. මෙයට සිය වස් තුනකට අධික යටගියාවක් ඇති බව බුද්ධම වෙහෙරපති පානමයායේ රතනසාර හිමියෝ පැවසූහ. එහෙත් දිගු කලක් පිළිසකර නොකිරීම නිසා පුරාවිදු අගයකින් හෙබි මේ වැලිපීල්ල හුඹස් මතු වී විනාශයට යමින් පවතී.

වෙල්ලස්සේ වෙනත් කිසිදු වෙහෙරක දැක ගත නොහැකි බුද්දම රජමහා වෙහෙරෙහි පමණක් ඇති මේ වැලිපීල්ල රැක ගත යුතුවෙමු. අනුරාධපුර යුගයේ සිට මැ මේ වෙහෙර දරුවන්ට අකුරු කරවූ තක්සලාවක් සේ තිබුණ බව යට සඳහන් කර ඇති ලෙන් ලිපියේ “අචිරිය ගුරහ” යන යෙදුමෙන් පැහැදිලි වේ.

සුදු අදිරදවාදීන්ට එරෙහිව මෑත යටගියාවේ කළ මුල් මැ නිදහස් සටන ඇරඹියේ වෙල්ලස්සෙනි. එම නිදහස් සටනේ පෙරමුණ ගත් හිමිනමක් බුද්දම රජ මහ වෙහෙරේ විසූහ. උන්වහන්සේ නාපේ බුද්ධරක්ඛිත නම් වූහ. නිදහස් සටන වෙනුවෙන් උන්වහන්සේ මහත් කැපවීමෙන් කටයුතු කළ බව මහැදුරු තෙන්නකෝන් විමලානන්ද සූරීහු සිය උඩරට කැරැල්ල නම් ගතේ සඳහන් කරති. මෙම විහාරය පිළිබඳ පුරාවිදු බලධරයින්ගේ අවධානය යොමු කරන්නේ නම් එය ලක්බිමේ මෙන්ම වෙල්ලස්සේ අනාගත දූ දරුවන්ට කරන්නාවූ මහඟු සේවාවකි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.