Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘උපෝසථයට පිටුපාන්නේ නොදැනුමයි – මැළිකමයි නිසා’

කවුරු හෝ අයෙක් උදෑසන සිල් සමාදන්ව පසුව සවස සිල් පවාරණය කොට රූපවාහිනියේ විනෝද වැඩසටහන් ආදිය නරඹයි නම් මිහිරි ගීත අසා කන් පිනවා ගනියි නම්, එය ද නච්ච, ගීත, වාදිත, විසූක, දස්සන ආදී වශයෙන් සඳහන් වන සිල් පදය සමාදන් වීමේ අරුතට පටහැනි පිළිවෙතකි. තමන් කාර්ය බහුල යැයි කියා ගන්නා බොහෝ අය, මෙසේ අඩ වශයෙන් සිල් සමාදන් වන්නේ, උපෝසථ සීලයේ වැදගත්කම ගැන ඔවුන් තුළ පවතින අවබෝධයේ මඳකම විය යුතු ය. ඇතැම් අය තුළ පවතින අලස බවද මෙසේ කිරීමට හේතුවක් බව පෙනෙයි.

බොහෝ දෙනෙක් සිල් සමාදන් වීමෙන් බැහැර වීමට හේතු සේ පවසන ඇතැම් කතා, හාස්‍යය, උපදවයි. ‘මට වැඩිවේලාවක් වාඩි වී ඉන්න බෑ.’ කකුල් දිග හැර ගන්නට බැරුව මම සිල් සමාදන් වෙලා ඉන්නේ කොහොමද? අනික් අයටත් කරදරයි.’ ඒ ඇතැමෙකුගේ අදහසයි.

තවත් අයෙක් පවසන්නේ, මට රෑට කෑවෙ නැත්නම් නින්ද යන්නේ නෑ. නොකා ඉන්න බැරි නිසා මට සිල් අරන් ඉන්න බෑ කියා ය. තවත් අයකුගේ අදහස වන්නේ ටී.වී. නොබලා මට ඉන්න බෑ.’ යන්නයි. මේ අතර පවතින වැඩ රාජකාරිවලින් මොහොතකට හෝ බැහැර වීමට ඇති අකැමැත්ත සිල් සමාදන් වීම ප්‍රතික්ක්‍ෂේප කිරීමට ඇතැම් අයට හේතුවක් වෙයි. මේ සියල්ල ඒ ඒ අය විසින් සිතා මතාම උපෝසථ සීලයෙන් වැළකී සිටීමට හදාගත් තේරුමක් නැති හේතු බව පෙනෙයි. මසකට එක් දිනක් හෝ උතුම් රහතන් වහන්සේ ගත කළ ජීවිතය සේ තමන් ද පැවැතිය යුතු යැයි කෙනෙක් සිතන්නේ නම්, නිර්වාණ මාර්ගයේ තමන් ටිකක් හෝ ඉදිරියට යා යුතු යැයි කෙනෙක් සිතන්නේ නම් සීලාදී ගුණධර්ම පූර්ණය කිරීමට ඔහු හෝ ඇය පසුබට නොවිය යුතු ය. එසේ සිතන උදවිය මොහොතක් හෝ නොපමාව හැකි සෑම විටම උපෝසථ සීලයේ පිහිටීමට උත්සාහ කරති. නිදහසට කාරණා නොපවසති.

මේ වකවානුවේ බොහොමයක් දෙනා සිල් සමාදන්ව, පසුව සවස් භාගයේ දී සිල් පවාරණය කිරීමට පෙළඹෙති. පසුව රාත්‍රියට ආහාර ගනිති. සැබවින්ම, මෙය තමන් සමාදන් වූ සීලයේ අරුත අමතක කර දැමීමකි, නොසලකා හැරීමක් වැනි ක්‍රියාවක් නොවේද? මෙසේ, සීලයේ වැදගත්කම සැහැල්ලු කොට සැලකීමට, ගිහියාට එසේ ඉඩ ලැබීමට භික්‍ෂූන් වහන්සේ ද යම් පමණකට වගකිව යුතු නොවේද? කෙසේ හෝ මෙය දැන් පරම්පරා ගණනක් පුරා පැවතුණ, මේ වන විට සම්මතයක් බවට ම පත් වී තිබේ.

එසේ වූව ද, දැන් දැන් බොහෝ භික්‍ෂූන් වහන්සේ සවස සිල් පවාරණය කරවන සිරිතෙන් වැළැකී සිටිති. නැවත සවස් භාගයේ අටසිල් සමාදන් කැරවීමෙහිලා ඇතැම් භික්‍ෂූන් වහන්සේ විසින් ගිහියන් උනන්දු කරවන බව පෙනී යයි. එය හොඳ ප්‍රවණතාවයකි. එහෙත්, එවැනි භික්‍ෂූන් වහන්සේට එරෙහිව, ඇතැම් ගිහියන් සිල් පවාරණය නොකිරීම පිළිබඳ අප්‍රසාදයෙන් යුතුව බෝධීන් වහන්සේ අභියසට තනිවම හෝ ගොස් සිල් පවාරණය කොට නිවෙස් කරා යනු ද දක්නට ලැබෙයි. එසේ කිරීම, සීලයේ අරුත, හෑල්ලු කිරීමකි.

යමක් කරන විට, අප සාමාන්‍යයෙන් පුරුදු විය යුතු වන්නේ එය සර්ව සම්පූර්ණ ලෙස කිරීමටයි. එබැවින්, සිල් රැකීමටද භාගෙට නොකර සම්පූර්ණ ලෙස කිරීම. එහි නියම ඵලය අප වෙත ලැබීමට හේතු වෙයි. එහි යහපත් ආනිශංස නිසි ලෙස ලැබෙන්නේ එවිට යි. ලෝකයට ඉතා කලාතුරකින් පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් අනුදැන වදාළ අෂ්ටාංග සීලය රැකීමට මසකට එක දිනක් හෝ වෙන්කැර ගන්නට නොහැකි නම් එය නිවන් මඟෙහි පසුගාමී වීමක් ලෙසයි අපට නම් පෙනෙන්නේ. රහතන් වහන්සේ සහ එමඟ යන පැවිදි උතුමෝ විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකෙති. එය, ආදර්ශයක් කැරගෙන සිල් සමාදන් වන දින මධ්‍යහ්න 12 න් පසු ආහාර ගැනීමෙන් වැළකී සිටීම, උසස් ශික්‍ෂණයකි. නිවන් පිළිවෙතෙහි ඉදිරියට යෑමකි.

කවුරු හෝ අයෙක් උදෑසන සිල් සමාදන්ව පසුව සවස සිල් පවාරණය කොට රූපවාහිනියේ විනෝද වැඩසටහන් ආදිය නරඹයි නම් මිහිරි ගීත අසා කන් පිනවා ගනියි නම්, එය ද නච්ච, ගීත, වාදිත, විසූක, දස්සන ආදී වශයෙන් සඳහන් වන සිල් පදය සමාදන් වීමේ අරුතට පටහැනි පිළිවෙතකි. තමන් කාර්ය බහුල යැයි කියා ගන්නා බොහෝ අය, මෙසේ අඩ වශයෙන් සිල් සමාදන් වන්නේ, උපෝසථ සීලයේ වැදගත්කම ගැන ඔවුන් තුළ පවතින අවබෝධයේ මඳකම විය යුතු ය. ඇතැම් අය තුළ පවතින අලස බවද මෙසේ කිරීමට හේතුවක් බව පෙනෙයි.

සිල් රැකීමට නොසිතෙන අනෙක් ප්‍රධාන බාධාව, කම්මැලිකමයි. බොහෝ දෙනෙක් පවසන්නේ සිල් සමාදන්ව කාලය ගත කිරීම ඉතා කම්මැලි දෙයක් බව යි. ධර්මයේ වටිනාකම හා එහි රසය හඳුනා නොගැනීම මෙවැනි අදහස් ඇතිවීමට හේතු වෙයි. මෙය මහා අවාසනාවකි. එම නිසා ධර්මාවබෝධය ලබා ඒ තත්ත්වයෙන් මිදීමට හැකි වෙර දැරිය යුතු යි. සම්බුදු උපතක් නැති සම්බුදු සසුනක් නැති, කාලවලදී පසේ බුදුවරු පහළ වෙති. එමෙන්ම සක්විති රජවරුන් පහළ වනුයේ ද එම කාලවලදී ය. එම කාල වල දී නිර්වාණගාමී සීලය පිළිබඳ අවබෝධය ලෝක සත්වයා තුළ පහළ වන්නේ නැත.

මෙසේ කල්ප ගණනාවක් හෝ පැවැත බුදුවරයන් වහන්සේ කෙනෙක් පහළ වූ පසු නිර්වාණගාමී සීලය පිළිබඳ අවබෝධය නැවත ලෝක සත්වයන්ට ලැබෙයි. පංචසීලය බෞද්ධයකුගේ නිත්‍ය සීලයයි. අටසිල්, දස සිල්, සාමණේර දස සිල්, හා උපසම්පදා සීලය ආදී වශයෙන් ගත් කළ මේ ලෝකයේ මනුෂ්‍යයකුට රකින්නට හැකි උසස්තම සීලය, උපසම්පදා සීලය යි. මේ උතුම් සීලය දිව්‍ය ලෝකවල හෝ බ්‍රහ්ම ලෝකයක හෝ රකින්නට අවස්ථාවක් නැත.

එසේම ලෝකයේ වඩාත්ම සීලවන්ත පුද්ගලයා වනුයේ, ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් මය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනන්ත වූ අප්‍රමාණ වූ සිල් පිහිටා තිබේ. පසේ බුදුවරු අග්‍ර ශ්‍රාවක, අසූ මහා ශ්‍රාවක සහ අනෙකුත් මහරහතන් වහන්සේ යන අනුපිළිවෙළට සීලයේ උතුම් බවද අනුක්‍රම වෙයි. ඉන් පසු උපසම්පදා සීලය ආරක්‍ෂා කරන භික්‍ෂූන් වහන්සේ සාමණේරයන් වහන්සේ හා පිළිවෙළින් දසසිල්, අටසිල් හා පන්සිල් රකින ගිහි පින්වතුන් දක්වා සීලයේ උතුම් බව අනුක්‍රම වෙයි.

සීලය මූලික වශයෙන් කොටස් දෙකකට වෙන් කර දැක්වීමට හැකි ය. ඉන් එක් කොටසක් වනුයේ අජීව අෂ්ඨමක සීලයයි. මේ මගින් කය වචන දෙක සංවර කෙරෙයි. අනිකුත් කොටස වනුයේ ඉන්ද්‍රිය සංවර සීලයයි. ඉන්ද්‍රිය සංවර සීලය මගින් සිත, කය, වචන තිදොරම සංවර කෙරෙයි. මේ ආකාරයට පංචේන්ද්‍රියන් ම සංවර කෙරෙහි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස සංවර කැර ගැනීම එසේ කර නුපුරුදු අයට මුලදී බෙහෙවින් අපහසු වෙයි. එවැනි අයටත් ඇස, විවිධ නිමිති දැකීමෙන් අසංවර වෙයි. ඇස අසංවර කරන්නේ රූප නිමිතිය. මේ ආකාරයට ශබ්ද නිමිති, ගන්ධ, රස පොට්ථබ්බ නිමිති පංචේන්ද්‍රිය අසංවර කරයි. ඒ ඒ නිමිති පිළිබඳ සිහියෙන් සිටීමෙන් ඒ ඒ ඉන්ද්‍රිය සංවර කැර ගත හැකි යි. අප ඇස දකින රූප, කණ, අසන ශබ්ද ආදී අරමුණුවල ආශ්වාදනීය ස්වභාවය නැවත නැවත මෙනෙහි කිරීමෙන් මේ අසංවර බව තවදුරටත් වැඩෙනු ඇත. මේ ආකාරයට අප අත්දකින අරමුණුවල ඇලීමෙන් හා ගැටීමෙන් තොරව ඉන්ද්‍රිය සංවර කැර ගැනීම, නිවනට මඟකි.

එසේ හොඳින් සිහිය පවත්වා ගනිමින් සිල්වත්ව විසීම, මේ කාර්ය බහුල, සංකීර්ණ සමාජයේ සදාචාරවත් ලෙස සාර්ථක ජීවිතයක් ගත කිරීමට මහෝපකාරී වනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.