Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ ඉතිහාසයක් ඇති ශාස්තෘවරයාණෝ බුදුන් වහන්සේ ය

බුදුන් වහන්සේ පිළිබඳ සැදැහැවතුන් විසින් දැක්ක යුතු සංවේග ඉපදවිය යුතු ස්ථාන හතරක් ගැන සඳහන් කරන ලදී. ඒ හතර නම් උන්වහන්සේ උපන් ස්ථානය , බුදු වූ ස්ථානය, දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානයයි. එනම් ලුම්බිණිය, බුද්ධගයාව, ඉපිසතනය හා කුසිනාරාව යි. බුදුන් වහන්සේ විසින් ම පෙන්වා දුන් මේ ස්ථාන හතර බැලීමට දහස් ගණන් බැතිමත්හු අදත් යති. බලා ඇත්ත වශයෙන් ම සංවේගයට පත් වෙති. එකල රමණී යස්ථාන හැටියට බුදුන් වහන්සේ අනඳ තෙරුන්ට පෙන්වා දුන් ස්ථාන අදත් දැකිය හැකි ය.

බොහෝ ශාස්තෘවරු, මැවුම්කරුවෝ ගැලවුම් කරුවෝ හා දෙවිවරු ඓතිහාසික පුද්ගලයෝ නොවෙති. ඔවුන්ගෙන් සමහරුන් විසූ බවට පිළිගත හැකි ඉතිහාසගත සාක්‍ෂි නැත. එහෙත් බුදුන්වහන්සේ සත්‍ය පුද්ගලයකු බවට, ඇත්ත වශයෙන්ම විසූ බවට ඇති නානාවිධ සාක්‍ෂි බොහෝ ය.

එබැවින් ම උන්වහන්සේ ඓතිහාසික පුද්ගලයකු බවට මුළු ලෝකයම පිළිගෙන ඉවර ය. උන්වහන්සේ ගේ වංශය (ශාක්‍ය) ගෝත්‍රය (ගෞතම) නාමය (සිද්ධාර්ථ) පැරැණි ඉන්දියානු සාහිත්‍යයෙහි සඳහන් ව ඇත. හීනයාන හා මහායාන ග්‍රන්ථවල ලියවී ඇත. උපන් නගරය, බුදු වූ තැන, ප්‍රථම දහම් දෙසූ තැන, පිරිනිවන් පෑ තැන අද දක්වා ම දක්නට ඇත. ඒ තැන්වලට ධර්මාශෝක මහරජතුමා පයින්ම ගොස් වැඳ පුදා ඒ තැන්වල සෙල්ලිපි පිහිටුවා ඇත. උන්වහන්සේ දෙසූ දේශනාවල සඳහන් නගර, ග්‍රාම, පර්වත, ගංගා අද දක්වා ම ඇත. උන්වහන්සේට මුණ ගැසුනු බිම්බිසාර, කොසොල්, අජාසත්, ලිච්ඡවි ආදි රජවරු ද ඓතිහාසික පුද්ගලයෝ යි.

බුදුන් වහන්සේ උත්පත්තිය ලැබූ ලුම්බිණියට ගිය අශෝක රජතුමා එහි ශිලාස්ථම්භයක් පිහිටුවීය. එහි මෙසේ සඳහන් වේ. (දේවානං පියෙන පියදසිනා ලාජිනා විසති වසාහි සිතේන අතන ආගාච මහියිතෙ හිද බුධෙ ජාතෙ සාක්‍ය මුනිති, සිලා විගඩ හිවා කාලා පිත, සිලා ථභෙව, උස පාපිතෙ හිද භගවං ජාතේති, ලුංමිණි ගාමෙ උඛලිකෙ කටෙ අට භිගායෙච) “ දේවානම්පි‍්‍රය පියදර්ශී රජු විසින් අභිෂේකයෙන් විසිවෙනි වර්ෂයෙහි තමා ම පැමිණ ශාක්‍යමුනී වූ බුදුහු මෙහි උපන් හයි මෙහි දී වැඳුම් පිදුම් පවත්වන ලද්දේ ය. ශිලා බිත්තියක් ද කරවන ලදී. මෙහි භාග්‍යවතුන් වහන්සේ උපන් සේ කැයි ශිලාස්ථම්භයක් ද පිහිටුවන ලදී. ලුම්බිණි ගම, අයබද්දෙන් නිදහස් කරන ලදී. අෂ්ටභාගය ද ගමට දෙන ලදී. (ලුම්බිණි ශිලා ලිපිය)

අශෝක රජුගේ ශිලාලිපි රාශියක බුදුන් වහන්සේගේ නම සඳහන් වී ඇත. ත්‍රිපිටකයෙහි සඳහන් වන ‘එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ’ ‘එකං සමයං භගවා සක්කෙසු විහරති කපිල වත්ථුස්මිං නිග්‍රොධාරාමෙ’, එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලාය, එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ’, එකං සමයං භගවා රාජගහෙ විහරති මොරනිවාපෙ’ ‘එකං සමයං භගවා සාකෙත විහරති කාලකාරාමෙ’, ‘එකං සමයං භගවං රාජගහෙ විහරති ගිජ්ජකුඨෙ පබ්බතෙ,’ ‘එකං සමයං භගවං රාජගහෙ විහරති වෙළුවනෙ කාලන්දකනිවාපෙ,’ ‘එකං සමයං භගවා අන්තරා ච උක්කුට්ඨං අන්තරා ච සෙතව්‍යං අද්ධාන මග්ගපටිපන්නො හොති, ‘ එකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ, හෙසකලාවනෙ මිගදායෙ, ‘ ‘එකං සමයං භගවා කොලියෙසු විහරති සජ්ජනෙලං නාම කොලියානං නිගමෙ’, ‘එකං සමයං භගවා කුසිනාරායං විහරති උපවත්තනෙ මල්ලානං සාලවනෙ,’ ‘එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතු පාසාදෙ,’ ‘එකං භගවා නාලිකෙ විහරති නීචුලවනෙ’, ‘එකං සමයං භගවා කිම්බිලායං විහරති ඉසිපතනෙ මිගදායෙ’, ‘එකං සමයං භගවා ආලවියං විහරති අග්ගාලාවෙ චෙතියෙ’, ‘එකං සමයං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණි තීරෙ,’ ‘එකං සමයං භගවා මගධෙසු විහරති මණිමාලකෙ චෙතියෙ,’ ‘එකං සමයං භගවා රාජගහෙ විහරති සීත වනෙ’ යන ආදී නොයෙක් තන්හි බුදුන් වහන්සේ වැඩ සිටි බව දැක්වෙයි. මේ හැම තැනක් ම අදත් උතුරු ඉන්දියාවෙහි දක්නට ඇත. උන්වහන්සේ නොයෙක් විට සඳහන් කළ ගංගා, යමුනා, අචිරවතී, ගෝධාවරි ආදී ගංගාවෝ අදත් එ ලෙසින් ම ගලා බසිති. උන්වහන්සේ නොයෙක් තන්හි ගෙනඇර දැක් වූ හිමාලය, ගිජ්ඣකූට ආදී කඳු අදත් එලෙසින් ම දක්නට ඇත. උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසූ බමුණන් වැනි බමුණෝ අදත් ඉන්දියාවේ සිටිති. උන්වහන්සේ නිසරු ලෙස පෙන්වූ යාග හෝම අදත් එ ලෙසින් ම පවත්වනු ලැබේ. එකල තුබුණු කුලභේදය අදත් එ ලෙසින් ම දක්නට ලැබේ. උන්වහන්සේ චාරිකාවෙහි හැසුරුණු ප්‍රදේශ අදත් එලෙසින්ම පවතී.

බුදුන් වහන්සේ පිළිබඳ සැදැහැවතුන් කුල පුත්‍රයකු විසින් දැක්ක යුතු සංවේග ඉපදවිය යුතු ස්ථාන හතරක් ගැන සඳහන් කරන ලදී. ඒ හතර නම් උන්වහන්සේ උපන් ස්ථානය හා බුදු වූ ස්ථානය, දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානයයි. එනම් ලුම්බිණිය, බුද්ධගයාව, ඉපිසතනය හා කුසිනාරාව යි. (චත්තාරිමානි ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානී, සංචෙජනීයානි ඨානානි, කතමානි චත්තාරි, ඉධ තථාගතො ජාතොති, ඉධ තථාගතො අනුන්තරං සම්මාසම්බෝධිං අභි සම්බුද්ධොති, ඉධ තථාගතෙත අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති, ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බාණධාතුය පරිනිබ්බුතොතී) (මහා පරිනිබ්බාන සූත්‍රය)

බුදුන් වහන්සේ විසින් ම පෙන්වා දුන් මේ ස්ථාන හතර බැලීමට දහස් ගණන් බැතිමත්හු අදත් යති. බලා ඇත්ත වශයෙන් ම සංවේගයට පත් වෙති. එකළ රමණීයස්ථාන හැටියට බුදුන් වහන්සේ අනඳ තෙරුන්ට පෙන්වා දුන් ස්ථාන අදත් දැකිය හැකි ය. (රමණීයා ආනන්ද වෙසාලී, රමණීයං උදේනචේතියං, රමණීයං, ගොතමකචේතියං, රමණීයං සත්තම්බ චේතියං, රමණීයං බහුපුත්තචේතියං රමණීයං, ආනන්ද, සාර නන්දද චේතියං, රමණීයං, චාපාලවේතියං) (මහා පරිනිබ්බාන සූත්‍රය) බුදුරදුන් පිරිනිවන්පාන සමයෙහි ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ ළඟට පැමිණ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේ කුඩා නගරයක, උපනගරයක, ශාඛා නගරයක පිරිනිවන් නොපානු මැනවි. ස්වාමීනි, මේ දඹදිව චම්පා, රාජගහ ශ්‍රාවස්ති, සාකේත, කෝසම්බි, බාරාණසී වැනි මහා නගර තිබේ. මෙයින් මහා නගරයක පිරිනිවන්පානු මැනැවැයි ඉල්ලා සිටියහ. (මා හන්තෙ භගවා ඉමස්මිං කූඩ්ඩ නගරකෙ උජ්ජංගල නගරකෙ, සාඛා නගරකෙ පරිනිබ්බායි, සන්ති හන්තෙ අඤ්ඤානි මහානගරානි සෙය්‍යථිදං චම්පා, රාජගහං සාවත්ථි, සාකේතං කොසම්බී, බාරාණසි ඵත්‍ථ භගවා පරිනිබ්බායතු) (මහා පරිනිබ්බාන සූත්‍රය)

බුදුන් වහන්සේ පෙන්වා දී ඇති බුද්ධකාලයෙහි ඉතා දියුණුව පැවැති සොළොස්මහා ජනපද නම් අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වඩ්ග, කුරු, පංචාල, මච්ඡ, සුරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ යන මේවා ය. (සෙය්‍යථාපි විසාඛෙ යො ඉමෙසං සොළසන්නං මහා ජනපදානං පහුත යත්ත රතනානං ඉස්සරියාධිපච්චං රජ්ජංකාරෙය්‍ය සෙය්‍යථිදං අඩ්ගානං මගධානං, කාසීනං, කොසලානං, වජ්ජිනං, මල්ලානං, චේතීනං, වංඩ්ගානං, කුරූනං පංචාලනං, මච්ඡානං, සුරසේනානං, අස්සකානං, අවන්තීනං, ගන්ධාරානං, කාම්බෝජානං - (අංගුත්තර නිකාය – තික නිපාත) මේ සොළොස්මහා ජනපද ඉතිහාසය අතින් ඉතා වැදගත් තැනක් ගනී. (අංගුත්තර නිකාය – තික නිපාත)

බුදුන් වහන්සේගේ සිරුර ආදාහනය කළ තැන පිළිස්සුනු පස් කලුපාටින් යුක්තව අදත් දැක්ක හැකි ය. උන්වහන්සේ වැඩ සිට බුදු වූ තැන තිබුණු බෝධිය අදත් තිබේ. එහි ශාඛාවක් දැනුත්, අනුරාධපුරයේ ඇත. බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් දෙනමගේ ධාතු සහිත කරඬු දෙක එංගලන්තයේ ඇල්බට් කෞතුකාගාරයේ තිබී නැවත ගෙනවුත් සාංචි විහාරයෙහි තැන්පත් කොට ඇත. ඒ කරඬු දෙකේ ‘සරිපුතස - මුගලනස’ යන වචන දෙක කොටා ඇත. බුදුරදුන්ගේ දන්ත ධාතුන් වහන්සේනමක් අපේ රටේ මහනුවර දළදා මැදුරෙහි තැන්පත් කොට තිබේ. උන්වහන්සේ දෙසූ ධර්මය වූ ත්‍රිපිටකය අදත් බෞද්ධ රටවල ආරක්‍ෂිතව තිබේ. උන්වහන්සේ ඇති කළ සංඝ පරම්පරාව අදත් දහස් ගණනින් බෞද්ධ රටවල වෙසෙති. පළමුවෙනි ශත වර්ෂයෙහි විසූ කණිෂ්ක රජු බුද්ධ රූපය සහිත කාසියක් නිකුත් කෙළේ ය. 7 වැනි ශත වර්ෂයෙහි විසූ පාහියන් හා හියුං සියෑං යන චීන දේශාටකයන් දෙදෙනා බුදුරදුන් වැඩ විසූ හැමතැනට ම ගොස්, ඇත. ආසියාවේ බුද්ධාගම පැවැති හැම රටකම බුද්ධ රූප, බුද්ධ ප්‍රතිමා සිය දහස් ගණනින් නොව ලක්‍ෂ ගණනින් දක්නට ඇත. එබැවින් බුදුන් වහන්සේ ඉතිහාසයක් ඇති, ඉතිහාසයක් තැනූ ඓතිහාසික මහා පුරුෂයෙකි. මිනිස් ඉතිහාසය හා ලෝක ඉතිහාසය අලංකාර කළ මහා පුරුෂයන් අතර බුදුන් වහන්සේ ප්‍රධාන තැන ගනිති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.