Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපදය සහ එහි එන උපමා

ජීවිතය අනිත්‍යයි. ජරා මරණ ඔබ වෙත ළං වෙමින් පවතියි. පරලොව දී පිහිට වන්නේ කුසල් පමණකි. ජීවිතය , නටුවෙන් ගැලවෙන්නට ආසන්න කහ පැහැ ගැනුණු ,ඉදුණු කොළයක් මෙන් ය. ‘පණ්ඩ පලාසෝවදානිසී...’ යනුවෙන් අනිත්‍යතාව සරල උපමාවක් මඟින් පෙන්වා ඇත. තෘෂ්ණාවෙන් වට කැර ගත් සත්වයෝ ‘මළ පුඩුවේ බැඳුණු සාවකු මෙන්’ බිය වෙති.

“ධම්මපදය” බෞද්ධයන්ට තිබෙන මහානර්ඝ ග්‍රන්ථ රත්නයයි. කිතුනුවන්ට ‘බයිබලය’ ඉස්ලාම් භක්තිකයන්ට ‘කුරානය’, යුදෙව්වන්ට ‘තෝරා’ ග්‍රන්ථය, හින්දූන්ට භගවත්ගීතාව වැදගත් වන්නේ යම් සේද බෞද්ධයන්ට ධම්මපදය වැදගත් වේ. බෞද්ධ ග්‍රන්ථ අතුරෙන් වැඩියෙන්ම විවිධ භාෂාවන්ට නැගුන ග්‍රන්ථයක් ඇත්නම් එය ධම්පදයයි.

සම්බුද්ධ දේශනා සූත්‍ර, විනය, අභිධර්ම වශයෙන් පළවැනි ධර්ම සංගායනාවේ දී පිටක තුනකට බෙදා වෙන් කෙරුණි. එයින් දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන කොටස් පහ සූත්‍ර පිටකයට අයත් වෙයි. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන ,ඉතිවුත්තක, සූත්‍ර නිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථෙර ගාථා, ෙථිරී ගාථා, ජාතක නිද්දේස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංශ, චරියා පිටක, යන කොටස් පහළව ඛුද්දක නිකායට අයත් වෙයි. මේ අනුව ධම්මපදය ඛුද්දක නිකායට අයත් වෙයි.

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි නොයෙක් ස්ථාන වලදී නොයෙක් කරුණු අරබයා දේශනා කරන ලද ගාථාවන් සූත්‍ර පිටකයෙන් උපුටාගෙන මෙම ධම්මපදයට ඇතුළත් කැර ඇත. ප්‍රථම සංගායනාවේ දී මෙහි සඳහන් ගාථා 423 සංග්‍රහ කොට එය ‘ධම්මපදය’ නමින් හැඳින් වූහ. එක් එක් විෂයයන්ට අදාළ කරුණු සහිත ගාථාවෙන් වෙන්ම ‘වග්ග‘ වශයෙන් බෙදා ඇත. ඒ අනුව වග්ග විසි හයක්, එනම් යමක, අප්පමාද, චිත්ත, පුප්ඵ, බාල, පණ්ඩිත, අරහන්ත, සහස්ස, පාප, දණ්ඩ, ජරා, අත්ත, ලෝක, බුද්ධ, සුඛ, පිය, ක්‍රෝධ, මල, ධම්මට්ඨ, මග්ග, පකින්ණක, නිරය, නාග, තණ්හා, භික්‍ඛු, බ්‍රාහ්මණ යනුවෙන් එම වග්ග දැක්විය හැක.

ධම්මපදයේ එන ගාථා වල දැක්වෙන අදහස් මුළු මහත් සමාජයේම යහපත උදෙසා උපයෝගි කර ගත හැකි අර්ථ සම්පන්න ජීවිත විවරණයන් වශයෙන් දැක්විය හැකි ය. මෙහි මුල් වග්ගය ‘යමක වග්ගය’ වෙයි. යහපත් දෙය, අයහපත් දෙය පිළිබඳව පැහැදිලි කරන ගාථා යුගලය බැගින් යමක වග්ගයේ ඇත. පුද්ගලයාගේ ප්‍රඥාව වැඩීමට ඉවහල් වන නොපමාවෙහි අගය දක්වන ගාථා රැසක් ඇත්තේ ‘අප්පමාද වග්ගයේ ය. මිනිස් සිතෙහි ස්වභාවය විග්‍රහ කැරෙන ගාථා රැසක් ඇත්තේ ‘චිත්ත’ වග්ගයේ ය. නුවණැත්තාගේ ස්වාභාවය සහ අඥානයාගේ දුර්වලතා දක්වන්නේ ‘බාල’ සහ ‘පණ්ඩිත’ වග්ග වලිනි. ‘බුද්ධ’ වග්ගයෙන් බුදු හිමියන්ගේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වයි. පුද්ගලයකුට ලැබිය හැකි නිවැරැදි සැපය හා පි‍්‍රය භාවය පිළිබඳ ‘සුඛ’ වග්ගයේ සහ ‘පිය’ වග්ගයේ සඳහන් වෙයි. ජීවිතයේ යථා ස්වභාවය දක්වන්නේ ‘ජරා’ වග්ගයෙනි. ක්‍රෝධය වැනි නපුරු චේතනා දුරු කැර ගැනීමේ වැදගත්කම ‘ක්‍රෝධ’ වග්ගයෙන් පෙන්වා දෙයි. මෙහි එන සියලු වග්ගයන්ට අයත් ගාථා මගින් පුද්ගලයන් විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සහ එමඟින් ලැබිය හැකි ලෞඛික, ලෝකෝත්තර සුන්දරත්වය පැහැදිලි කැර දෙයි.

ධම්මපදයේ එන ගාථාවන් අර්ථ කථනය කැරෙමින් කථා වස්තූන් ද 299 ක් ඇත. බුදු හිමියන් විවිධ අවස්ථාවන්හි දේශනා කළ මෙම ගාථාවන් ශ්‍රවණය කළ දෙවිවරුන් මිනිසුන්, උවසු උවැසියන්, රජවරුන්, භික්‍ෂු භික්‍ෂුණීන් ඇතුළු අනන්ත අප්‍රමාණ සත්ත්වයෝ සතර අපාගාමී නොවී, ඝෝරතර සංසාර දුකින් එතෙරව නිවන් පුර වැදී, නිවී සැනසුණි. අප්‍රමාණ සත්ත්වයෝ අභව්‍ය ස්ථානවලට නොගොස් දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලබා ගත්හ. මිථ්‍ය දෘෂ්ඨියෙන් ඇලී ගැලී සිටි බොහෝ දෙනකු සම්‍යක් දෘෂ්ටිකයන් බවට පත් වූහ. ලෝභ, ද්වේෂ, මෝහාදියෙන් සිත් කිළිටි කැර ගත්තෝ ශ්‍රද්ධා ශීලාදී ගුණස්කන්ධයන් වර්ධනය කැර ගත්හ. මේ අයුරින් බුද්ධ කාලයේ සිට මේ දක්වාම ධම්මපදය තුළින් සිදු වූ යහපත අප්‍රමාණය.

මෙහි සඳහන් ගාථාවල ඇතුළත් සදහම් කරුණු අසූ සැඩ පරුෂැති, පුද්ගලයෝ නිවී සැනසුනාහුය. චණ්ඩාශෝක රජු ධම්මපදයේ එන එක් ගාථාවක් ඇසීමෙන් සැදැහැවත් බෞද්ධයකු වීමෙන් පසු, සිදු කළ ලෝක ශාසනික සේවය කොපමණද? මෙය එක් නිදසුනක් පමණකි. ධම්මපදය ඇසුරින් ලියන ලද ග්‍රන්ථ රැසක් බෞද්ධ සාහිත්‍යයට එක් විය. සිංහලේ පැරණිතම ග්‍රන්ථයක් වශයෙන් සැළකෙන, ක්‍රි.ව. 10 වැනි සියවසෙහි 5 වැනි කාශ්‍යප රජතුමා විසින් ලියන ලද ‘දම්පියා අටුවා ගැටපදය’ බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කළ ‘ධම්මපදට්ඨ කථාව‘ දඹදෙනි යුගයෙහි ප්‍රතිභා පූර්ණ යතිවරයකු වන ‘ධර්මසේන’ හිමියන් විසින් රචනා කරන ලද ‘සද්ධර්ම රත්නාවලිය’ වැනි ග්‍රන්ථ ප්‍රමුඛස්ථානයේ තැබිය හැක. මෙලෙස ධම්මපදය ඇසුරෙන් ලියන ලද විවිධ පරිවාර ග්‍රන්ථ නිසා ධම්මපදය මහ ජනතාව අතර බෙහෙවින් ජනපි‍්‍රය විය.

බුදුදහම පිළිබඳ උනන්දුවක් දක්වන කවුරුන් ධම්මපදය පි‍්‍රය කරති. වෙනත් ආගමිකයන් පවා මෙහි එන අදහස් වලින් තම ග්‍රන්ථ පෝෂණය කැර ගත්හ. ඒ අනුව ධම්මපදය එක්තරා ජාතියකට, ආගමකට සීමා වූ ග්‍රන්ථයක් නොව, විශ්ව සාධාරණ ධර්ම ග්‍රන්ථයකි. දෙලොව දියුණුවට හේතුවන කරුණු බොහෝ ඇත. ඒ ඒ කරුණු පැහැදිලි කිරීම සඳහා සරල උපමා යොදාගෙන ඇති බව මෙහි එන ගාථා විමසීමේ දී දැකිය හැක. ධම්මපදයේ එන පළවැනි ගාථාව ‘චක්ඛුපාල’ තෙරුන් අරබයා දේශනා කැර ඇත. ‘ගැල අදින ගොනා පසුපස එන රථ රෝදයක් මෙන්’ අකුශලයෙහි විපාක තමන්ගේ පසුපස එන බව උදාහරණය මඟින් පැහැදිලි කරති. එසේම යහපත් දෙයක් කරයි ද, කියයිද තමන්ගේ පසුපස එන සෙවණැල්ල මෙන් සැප විපාක පැමිණෙන බව පවසයි. එසේම කුසීත වූ, හීන වීර්යය ඇති, ආහාරයෙහි පමණ නොදන්නා වූ, ඉන්ද්‍රියයන් සංවර නොවූ, පුද්ගලයා දුර්වල වූ ගසක් සුළඟ විසින් බිම හෙලන්නාක් මෙන් ‘මැඩලන බව‘ සේතව්‍ය නුවර, චූල කාල, මහා කාල දෙදෙනා අරඹයා දේශනා කර ඇත. ‘යථා අගාරං දුච්ඡන්නං - වුට්ඨි සමති විජ්ජති’, ‘හොඳින් සෙවිලි නොකළ නිවසක් වැසි දහර විනිවිද යන්නාක් මෙන්’ භාවනාව පුරුදු නොකළ සිත, රාගය විසින් මැඬලයි. නන්ද තෙරුන්ට දේශනා කළ උපමාවකි. අනුන්ගේ හරක් බලන ගොපල්ලා පස්ගෝ රසයට හිමි කරුවෙක් නොවන්නාසේ තෙවලා බුදු වදන් දේශනා කරන භික්‍ෂුව ඒවා නොපිළිපදියි නම්, මහණකමෙහි ඵලයට හිමිකරුවෙක් නොවෙයි. කුශල කර්ම වලට පමා වූවෝ ජීවත් වූව ද, මළවුන් මෙනි. අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං. නොපමාව කටයුතු කරන පුද්ගලයා අනෙක් සියල්ලන් පසුබා නිවන් පුරයට යයි. එය කුමන ආකාරයෙන් ද යත්, ජව සම්පන්න අශ්වයකු දුබල අශ්වයකු පසු කැර යන්නාක් මෙනි.

නුවණ ඇති පුද්ගලයා චපල වූ, සෙලවෙන්නා වූ සිත මැනවින් දමනය කැර ගනියි. එය කෙසේද යත්, ‘හී දණ්ඩෙහි ඇද හැර සකස් කැර ගන්නා හීවඩුවකු මෙනි’ උජුං කරෝති මේධාවී උසුකාරෝව තේජනං’ මෙය වාලිකා පබ්බතයේ දී ‘මේඝිය’ තෙරුන් අරබයා දේශනා කළ සේක.

‘කුම්භූපමං කායම්මං විදිත්වා’ මේ ශරීරය මැටි බඳුනක් වැනි ය. ‘නිරත්තංව කලිංගරං’ මේ ශරීරය ඉවත දැමූ, දිරා ගිය දර කැබැල්ලක් වැනි ය. සැවැත් නුවර ‘පූතිගත්ත තිස්ස’ තෙරුන් අරභයා මෙම උපමා මගින් දහම් දෙසූ සේක. මේ ශරීරය පෙන පිඩක් බඳු ය. ඵෙනූපමං කායම්මං විදිත්වා’ මිනිසුන්ගේ ශ්‍රද්ධාවට හෝ බෝග වලට හානියක් නොවන අයුරින් භික්‍ෂුව පිඬු සිඟා හැසිරෙයි. කුමන අයුරින් ද යත්, මලත්, සුවඳත්, පැහැයත් නොනසමින් මල් පැණි ගන්නා බමරකු පරිද්දෙනි. ‘යථාපි හමරෝ පුප්ඵං...’ ‘අප්ස්සුතායං පුරිසෝ බලිවද්දොව ජීරතී...’ නූගත් මිනිසා ගොනකු මෙන් වැඩෙයි. මස් නම් වැඩෙයි. එහෙත් නුවණ නම් නොවැඩෙයි. යමෙක් මඟ පල ලබා ගැනීමෙහි උනන්දු වේ නම්, හෙතෙම වළාකුලින් මිදුන පුන් සඳ මෙන් මෙලොව එළිය කරයි. සකුන්තෝ ජාලමුත්තෝව දැලෙන් බැඳුන කුරුල්ලන් මෙන් බොහෝ පුහුදුන් මිනිසුන් අන්ධය. ඒ නිසා දැලෙන් මිදුන කුරුල්ලන් මෙන් ටික දෙනෙක්ම නිවනට යති. සතුන්තෝ ජාලමුත්තෝච යනුවෙන් සඳහන් වන්නේ එම කරුණ යි.

ජීවිතය අනිත්‍යයි. ජරා මරණ ඔබ වෙත ළංවෙමින් පවතියි. පරලොව දී පිහිට වන්නේ කුසල් පමණකි. ජීවිතය , නටුවෙන් ගැලවෙන්නට ආසන්න කහ පැහැ ගැනුණු ,ඉදුණු කොළයක් මෙන් ය. ‘පණ්ඩ පලාසෝවදානිසී...’ යනුවෙන් අනිත්‍යතාව සරල උපමාවක් මඟින් පෙන්වා ඇත. තෘෂ්ණාවෙන් වට කැර ගත් සත්වයෝ ‘මළ පුඩුවේ බැඳුණු සාවකු මෙන්’ බිය වෙති. පරිසප්පන්ති සසෝව බාධිතො...’ නෙළුම් පතෙහි දිය මෙන්’ ඉදිකටු අග අබ මෙන්’ ‘වාරි පොක්ඛර පත්තෝව, ආරග්ගේරීව සාසපෝ...’ රාගයෙන් රත් වූ පුද්ගලයා තමා උපදවා ගන්නා වූ තෘෂ්ණාව නැමැති සැඩ පහරෙහි වැටී විනාශ වෙයි. ඒ කෙසේද යත්, ‘සයං කතං මත්තටකෝව ජාලං...’ තමන් විසින් සාදා ගන්නා දැලෙහි පැටලී විනාශ වන මකුළුවකු මෙන් ය.’

ධම්මපදය තුළින් මෙවැනි උපමාවන් විශාල සංඛ්‍යාවක් උපුටා ගත හැකි ය. මේ සියලු උපමාවන් කාටත් වැටහෙන සරල උපමාවන් වීම විශේෂ ලක්‍ෂණයකි. ඒ නිසාම බුදු හිමියන් දේශනා කළ බොහෝ දහම් කරුණු පහසුවෙන් අවබෝධ කැර ගත හැකි විය. එබැවින් නුවණැත්තන් මෙන්ම, නුවණ නැත්තන් ද පහසුවෙන් ධර්මය අවබෝධ කැර ගත්හ. හොඳ සිංහල බෞද්ධයන් අත නිරතුරුවම, කුඩා ‘ධම්මපද’ ග්‍රන්ථයක් තිබීම වැදගත් ය. එවිට ඔහුට හෝ ඇයට තමන් අසූහාර දහසක් ධර්මස්කන්ධය ඇසුරු කරන්නාක් වැනි හැඟීමක් ඇති වේ. වර්ෂ 1818 දී ඉංගී‍්‍රසීන්ගේ කඩුවට ගෙලදුන් කැප්පෙටිපොල වීරයා සිය ඉනෙහි තිබූ ධම්මපදය පොතෙහි ගාථාවක් හඬ නඟා කියවා, නොබියව මරණයට මුහුණ දුන් බව ලක් ඉතිහාසයේ ප්‍රසිද්ධ කරුණකි. ධම්මපදය නිසා ධර්ම ඥාණය දියුණු කැර ගත හැකි ය. එසේම කවර විපතකදී වුව නොබියව, නොසැලී සිටීමට, හැකි ආකාරයේ ආත්ම ශක්තියක් ද ජනිත වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.