Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි 20 වන වර්ගයේ දෙවන ගාථාව මෙසේය.

සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දතී දුක්ඛෙ
එස මග්ගො විසුද්ධියා

යන ගාථාවෙහි අර්ථය කෙටියෙන් හඳුන්වා ‘සබ්බේ සංඛාරා අනිච්චා’ යන්න විවරණය කරන්න.

පිළිතුර - සියලු සංස්කාර ධර්ම නිත්‍ය නොවන්නේය යන්න යමෙක් තම නුවණ මෙහෙයවා දකීද එවිට දුකෙහි කලකිරේ. ඒ කලකිරීම නිවන් මගට ආධාරකයෙකි. නිවනට මඟ ය.

විදර්ශනා භාවනාවෙහි යෙදුණු යෝගාවචරයෙකුට සසර දුකින් මිදීම පිළිබඳව අදහස නුවණින් වැඩුනේ සංස්කාරයන්ගෙන් මිදිය යුතුමය යන නුවණ පහළ වන්නේය. එය ‘මුංචිතුකමපතාඤාණ’ නමින් ධර්මයෙහි හැඳින්වෙයි. භවයෙන් මිදීමෙහි නුවණින් යුතු විදර්ශක තෙම මිදීමෙහි උපාය සෙවීම පිණිස නැවත නැවතත් සංස්කාර ධර්ම හැම එකක්ම ත්‍රිලක්ෂණයට අනුව බලන්නේය. එහිදී ඒ අනුව සංස්කාර ගතිය වූ සැමදා නොපවතින බව තාවකාලික බව බිඳෙන සුළු බව පිරිහෙන බැවින්, හේතුවෙන් හටගන්නා බැවින්, මැරෙන බැවින් සියලු සංස්කාරයෝ අනිත්‍ය වන්නේ්යැයි දකින්නේය. නිතර පීඩාකරන බැවින්, පවට කරුණ බැවින් අනර්ථකර බැවින්, අසරණ බැවින්, උපදින දිරන බැවින් ලෙස රෝග දුක් දනවන බැවින් හැම සංස්කාරයෝම දුඞඛය ලක්ෂණ කොට ඇතිබව දකින්නේ ය. තම වසඟයෙහි නොපවත්නා බැවින්, නිසරු බැවින් කරන්නෙකු විඳින්නෙකු නොවන බැවින් සියලු සංස්කාරයෝම අනාත්ම බව දකින්නේය.


ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ පැවැත් වූ ප්‍රථම විනය සංඝායනාව කුමක්ද? එය කාගේ ප්‍රධානත්වයෙන් කුමන ස්ථානයක පවත්වන ලද්දේද?

පිළිතුර - අනුරාධපුර ථූපාරාමයේ හිදී අරිට්ඨ මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම විනය සංඝායනාව පැවැත්විණි.


ප්‍රශ්නය - සොළොස් මහා ජනපදවලින් එකකි මගධ ය. අගු - මගධ දෙරට බිම්බිසාර රජු පාලනය කළේ රජගහ නගරය රාජධානිකොට ගෙනය. පැරැණි දඹදිව මධ්‍ය දේශයට අයත් මගධ රට බුදුරජාණන් වහන්සේ හා එක් වන අවස්ථා කිහිපයක් සඳහන් කරන්න.

පිළිතුර - රජගහපුර පිඬුසිඟාවැඩි සිදුහත් තවුසන් බිම්බිසාර රජුට හමුවූයේ පාණ්ඩව නම් වූ පර්වත පා මුලදීය. වේභාර, වෙපුල්ල, ඉසිගිලි, ගිජ්ජකූට , පාණ්ඩව, යන පර්වත පස රජගහනුවර හාත්පස පිහිටියේය. දෙව්දත් ගිජ්ජකූටය නැගීමෙන් බුදුන් වහන්සේ විනාශ කිරීම සඳහා ගල් පෙරලීය. ගිජුකුළු පව්වපාමූල තථාගතයන් වහන්සේත් ශ්‍රාවක සංඝයාත් විසූ සේක. ඛාර පබ්බතය, ඉසිගිලි පව්ව, කාලසිලාව වේහාර පර්වත ප්‍රාන්තයෙහි වූ සප්තපර්ණි ගුහාව, ඉන්දසාල ගුහාව, පිප්ඵලි ගුහාව, මගධයේ පිහිටා ඇත. ඉන්දසාල ගුහාවෙහිදී තථාගතයන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය දේශනා කළහ. ගිජුකුල පව්වෙහි පිහිටි සූකර ඛතලෙනෙහි දී තථාගතයන් වහන්සේ දීගනඛ පිරිවැජියාට වෙදනාපරිග්‍රහ සූත්‍රය දේශනා කළහ.


ප්‍රශ්නය - දන් දීමෙහිදී දායක - ප්‍රතිග්‍රාහක දෙපිරිසටම ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - දාන ප්‍රතිග්‍රාහක (ලබන්නා) ‘චත්තාරි භෝජන පටිග්ගාහකස්ස’ පටිලාභානි - ලැබෙන ප්‍රතිදාන හතරකි.

ආයුෂ , වර්ණය, සැප - බල දායකයා විසින් ප්‍රතිග්‍රාහකයාට දන්දීම හේතුවෙන් දීර්ඝායුෂ කායික වර්ණය - සැපය හා බලය ප්‍රදානය කරයි. මේ දානයෙහි ආනිසංශ වශයෙන් දායකයාද මෙම සම්පත් ලබන බව දේශනාවෙහි සඳහන් ව ඇත.
 


ප්‍රශ්නය- ශාසනික ඉතිහාසයේ ඉතා සුවිශේෂ අවස්ථාවක බුදුරජාණන් වහන්ස් මෙසේ වදාළහ.

‘ඉන්ද්‍රිය සංවරයෙන්ද ප්‍රඥාවෙන්ද, උතුම් හැසිරීමෙන්ද, යන මෙබඳු ගුණ දහමින්ම බ්‍රාහ්මණයෙක් වේ. මෙසේ පව් බැහැරකළ පුද්ගලයාට උතුම් බමුණෙකි.

මේ බුද්ධ දේශනාවට පාදක වූ සිදුවීම් පැහැදිලි කරන්න.

පිළිතුර - සුනීත රජගහනුවර විසූ සැඩොල් කුලියට අයත් කසළ ශෝධකයෙකි. රහත් වීමට හේතු සම්පත් ඇතියෙකු බව දුටු බුදුරජාණන් වහන්සේ මහ සඟුන් පිරිවරා පිඬු පිණිස හැසුරුණු සේක. අතර මගදී සුනීත මුණ ගැසී මොහොතක සාකච්ඡාවකින් පසු භාග්‍යවතුන් වහන්සේ වෙතින් සුනීත භික්ෂුවක් විය. පසුව භාවනා වඩා පඤ්චාභිඤා උපදවා රහතන් වහන්සේ වෙත පැමිණ වැඳුම් පිදුම් කළහ. එවිට බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් දේශනාව කළ සේක.
 


ප්‍රශ්නය - නිර්වාණය කෙළෙස් සංසිඳවීම හේතුවෙන් ලැබෙන ‘වූපසම සුවයකි’ (තෙසං වූප සම සුඛො) නිර්වාණය පිළිබඳ මෙම විවරණය පැහැදිලි කරන්න.

පිළිතුර - වූපසම සුවය හා සමාන්තරව යෙදෙන අනෙක් වචනය ‘වෙදයිත’ යන්නයි. එයින් අර්ථවන්නේ කිසියම් තෘෂ්ණාවක්. කැමැත්තක් පිනවීම සඳහා ලබන්නා වූ ලෞකික වූ විඳීමකි. ආශ්වාදයකි. ඉන්ද්‍රියබද්ධ වූ වින්දනයකි. මෙම වෙදයිත ලෞකික සුවය හේතුඵල සමවායන්ගේ නිපදවීමකි. ඒවා කල් නොපතී. අනිත්‍යය. රෝග පීඩාදියෙන් දුක් සහිත වේදනාවෝය. බිඳෙන සුළු ආහාරයෙන් යැපෙන මෙබඳු දේ කෙරෙහි ඇලුම් නොකළ යුතුය. ඉන් මිදීම සැනසිල්ලකි. එය පරම සුවයකි. ‘පරමං සුඛං’ එය නොනැසෙන සුළුය. අජාතය අනර්මිතය ප්‍රත්‍යයන්ගෙන් හට නොගන්නා වූ එය අසංඛතය. එම සුවය කුමක්දැයි වචනයෙන් ප්‍රකාශ කළ නොහැකිය. එය තම තමා විසින්ම පසක්කරගත යුතුය. (පච්චත්තං වෙදිතබ්බෝ)
 


ප්‍රශ්නය - ලංකා සාසන ඉතිහාසයෙහි ඉතා සුවිශේෂ පුවතක් වංස කථාවල මෙසේ සඳහන් වෙයි.

‘මම තෙරුවන් සරණ ගියෙමි. බුද්ධ සාසනයෙහි උපාසක බවට පැමිණියෙමි. නිරෝතමයාණෙනි ඔබද සිත් පහදවන ඒ තෙරුවන් සරණ යන්න’ මෙම ප්‍රකාශය ඇතුළත් එම පුවත පිළිබඳව කෙටි සටහනක් දක්වන්න.

පිළිතුර - දඹදිව අශෝක මහරජතුමන් විසින් මහින්දා ගමනයට කලින් ලක්රජු වෙත එවන ලද මෙම දහම් පණිවිඩය මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිසේ කාර්යභාරය පිළිබඳව කළ පෙර වදනක් ලෙස සැලකිය හැකිය.
 


ප්‍රශ්නය - ඉපැරැණි ශ්‍රී ලංකාවේ මුල්වරට දළදා පෙරහරක් පැවැත් වූ බවට වංශකථාවල දක්නට ලැබෙයි. මේ දළදා පෙරහර පැවැත්වීමට මූලිකව කටයුතු කළ රජතුමා කවුද? පෙරහර පවත්වන ලද ඓතිහාසික ස්ථානය කුමක්ද?

පිළිතුර - කිත්සිරි මෙවන් රජු දවස අනුරාධපුර (අභියුත්තර විහාර) අභයගිරි විහාරය මූලික කොටගෙන පෙරහර පැවැත්විණි.
 


ප්‍රශ්නය - කලාත්මක අතින් වැදගත්ම ‘සඳකඩ පහණ’ දෙක පිහිටා ඇති ස්ථානය කොතැන්හිද ඒ පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - ශ්‍රී ලාංකික විශිෂ්ටතම කලාකෘතියක් වන සඳකඩ පහනෙහි මූලික අවස්ථා දෙකම අනුරාධපුර අභයගිරි පෙදෙසේ පිහිටා ඇත. එයින් විශාල සඳකඩ පහණ පංචාවාස ඒකකයේ මැද ප්‍රධධාන ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පඩි පෙළ අග වෙයි.

දෙවැන්න බිසෝ මාළිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලෙහි දොරටුවෙහි පඩිපෙල අග වෙයි. ඉහත සඳහන් සඳකඩ පහන්වල ගිනිදැල් - සිව් පා පන්තිය ලොකු ලියවැල හංස ජාතිය - කුඩා ලියවැල හා මැද පද්මය වෙයි.


ප්‍රශ්නය - විනය, සූත්‍ර, අභිධර්මය යනුවෙන් සුවාසූ දහසක් ධර්මස්ඛන්ධය, පිටක වශයෙන් වෙන්කිරීම සිදුවූයේ කුමන අවස්ථාවකද? මෙම අවස්ථාවෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කළෝ කවරහුද?

පිළිතුර - සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු තෘතිය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති පළමුවන සංඝායනාවෙහිදීය. රජගහනුවර වේභාර පර්වත පාමුල ‘සප්ත පර්ණී’ නම් ගල්ගුහා දොර ඉදිරි පස තුන වූ ශාලාවෙහි ධර්මධර විනයධර මහ රහතන් වහන්සේ පන්සියයක් නමකගේ සහභාගිත්වයෙන් සත් මසක් ගතවීමෙන් අවසන් විය.


ප්‍රශ්නය- ප්‍රධාන ඉරියව් හතරක් පිළිබඳව නිරතුරුවම බුදුරජාණන් වහන්සේ විසින් තම දේශනා වලදී දක්වා තිබේ. මේ සතර ඉරියව්ව කුමක්ද?

පිළිතුර - ප්‍රධාන ඉරියව් 04 ක් ඨිතො - සිටීම, නිසින්නො හිඳ ගැනීම, සයන්තො - හාන්සිවීම (නිදීම) ගච්ඡන්තො - ගමන්කිරීම, මේ සතර ඉරියව්වෙහිදීම ‘සති සම්ප්‍රජනය (සිහිය පිහිටුවාගෙන) වැඩීම භාවනා ක්‍රමයෙහි පැහැදිලි කොට ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.