නැණවතුන් පසසන
මහඟු යුතුකම
ආණමඩුව වෙම්බුවැ ශ්‍රී වර්ධනාරාමයේ
හිදව සෝභිත හිමි
අප සතු යුතුකම්
මොනවාදැයි හරිහැටි
වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ. තමා සතු
යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු
වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම
ඔවුනොවුන්ට ඉටුකළ යුතු
යුතුකම් රාශියක් තිබේ.
සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා
ප්‍රසිද්ධ සූත්‍ර දේශනා
රාශියක එම යුතුකම්
සඳහන් වෙයි.
“නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
යො මාතරංවා පිතරංවා -
මච්චො ධම්මෙන පොසති
තායං න පාරිචරියා -
මාතා පිතූසු පණ්ඩිතා
ඉධවෙ නං පසංසන්ති -
පෙච්ච සග්ගෙ පමොදති.
පින්වත්නි,
මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ටත් අනුන්ටත් හිතකර
මෙලොවත් පරලොවත් දියුණුව සලසන උතුම් දහමකි. ධර්මෝපදේශ රාශියක් අන්තර්ගත
එහි ඒ හැම උපදේශයක්ම නුවණැති උත්සාහවත් මනුෂ්‍යයකුට ක්‍රියාත්මක කළ
හැකි වේ. එබඳු ඉගැන්වීම් දෙස බලන බුද්ධිමත් නූතනලෝකයා පවා අදත් බුදුදහම
කෙරෙහි සිත් ඇද ගනිති. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව
සත්ව ජීවිත කෙරෙහි බලපාන සාධක රාශියක් තිබේ.
සත්වයා විසින් කරනු ලබන කර්ම ඔහුගේ ජීවිතය කෙරෙහි බලපාන ප්‍රධානම සාධකය
වෙයි. සුබ මානවකයාගේ පියා වූ තෝදෙය්‍ය බමුණාගේ ජීවිතය ඊට නිදසුනක්.
පුද්ගලයා කරන හොඳ, නරක ක්‍රියාවන්ට ලැබෙන විපාකවලට වගකිවයුත්තේ ද එම
පුද්ගලයාම බව චුල්ල කම්ම විභංග සූත්‍රයේ පැහැදිලි කර තිබෙනවා. තමාගේ
විමුක්තිය ඇත්තේ තමා තුළම බවත්, අනිත් කෙනෙකුට තමාගේ විමුක්තිය
සලසාදීමට නොහැති බවත් දමනය කර ගන්නා ලද පසිඳුරන් ඇති තමා විසින්ම
දුර්ලභ වූ නිවන් සුවය අත්පත් කරගන්නා බවත් කුමාරකාශ්‍යප මාතාව නිමිති
කරගෙන දේශනා කර තිබේ.
පින්වතුනි, මෙලොව ජීවත්වන අප හැම කෙනෙක්ම කුඩා අවදියේ සිට මරණය දක්වාම
ජීවිතයේ විවිධ අවස්ථා පසු කරනවා. ඒ ඒ අවස්ථාවලදී ඉටු කළ යුතු අප සතු
යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර
ගත හැකි වේ.
තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප
පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට
ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල
සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක
එම යුතුකම් සඳහන් වෙයි.
සමාජයේ ජීවත්වන ඒ ඒ පුද්ගලයන් සතු යුතුකම් මොනවාදැයි බුදුරජාණන් වහන්සේ
දේශනා කොට තිබෙනවා. එම සිඟාලෝවාද සූත්‍රයේ දී මව්පිය, දූ දරු, ගුරු,
ශිෂ්‍ය, ස්වාමි, භාර්යා, හිත, මිතුරු, ස්වාමි, සේවක, ගිහි පැවිදි
යනුවෙන් මුළු සමාජයම දිසා වශයෙන් හයකටත් පුද්ගලයන් වශයෙන් කොටස්
දොළහකටත් බෙදා ඒ ඒ පුද්ගලයන්ගෙන් ඉටු විය යුතු යුතුකම් සියල්ල උගන්වා
තිබේ. එමකොටස්වලට ඇතුළත් නොවන කිසිවෙක් මනුෂ්‍යයන් අතර නැහැ.
මේ යුතුකම් මඟින් සමාජයට අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ කර තිබේ. සිගාල
ගෘහපති පුත්‍රයාට බුදුරදුන් වදාළ සදිසා පිළිබඳ සියලු කරුණු එක්කොට
ගත්විට වගකීම් හා යුතුකම් අතර ඇති සම්බන්ධය පැහැදිලි වේ. ලොව්තුරා
බුදුරජාණන් වහන්සේ සදිසාවෙන් එක් දිශාවක් පෙන්නුම් කළේ දෙමාපියන්
පිළිබඳවය. උන්වහන්සේත් එම උදාර ගුණය පුරුදු කළහ. බෝධිසත්ව කාලයේ දීත්
බුද්ධත්වයෙන් පසුවත් මව්පිය උපස්ථානය ආදර්ශයෙන් පෙන්නුම් කළහ. මාතු
පොසක ජාතකය, සාම ජාතකය ඊට නිදසුන්ගෙන් කීපයකි. තථාගතයන් වහන්සේ පස්වැනි
වස ගත කළ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ දී දිනක් මහා කරුණා
සමාපත්තියෙන් ලොව බලද්දී ශුද්ධෝදන මහ රජතුමා දැඩි ලෙස රෝගාතුරව මරණ
මඤ්චකයෙහි සිටින බව දැන ගත්තා එදිනම උන්වහන්සේ භික්‍ෂු පිරිසකුත් සමග
කිඹුල්වත්පුර රජ මාලිගාවට වැඩමවා පිය රජුගේ ඇඳළඟ පනවන ලද අසුනෙහි
වැඩහිඳ පියාගේ හිසට දකුණත තබා සත්‍ය ක්‍රියා කළහ. විගස හිසේ වේදනාව
දුරු වී ගියේය. සත්‍ය ක්‍රියා කරත්ම රජතුමාගේ සියලුම ශාරීරික වේදනා
දුරුවී ගියහ.
අනතුරුව සතුටට පත් පියාණන්ට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත
ධර්මයක් දේශනා කළ විට එතුමා උතුම් වූ රහත් ඵලයට පත් වූහ. තම මවට සැළකීම
සඳහා තව්තිසා දිව්‍ය ලෝකයට වැඩඬම කර විජම් බණ, දේශනා කර මාතෘදිව්‍ය
රාජයා ඇතුළු දේව සමූහයාට ශාන්තිය සැලැස්වූහ. පින්වතුනි අපේ අම්මාගේ
තාත්තාගේ දරු සෙනෙහස සිවියත් සමත්, මසත්, නහරත්, ඇටත්, විනිවිද ගොස්
එයින් නොනැවතී ඇට මිදුලුව හැපී පවතී . මවුපියන් විසින් දූ දරුවන් ඇති
දැඩි කරනුයේ දහසක් පැතුම් සිත තුළ රඳවාගෙනය. එයින් බලාපොරොත්තු පහක්
ගැන සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කොට තිබේ. මවුපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ
කටයුතු කරදීම, පරපුර ආරක්‍ෂා කිරීම, මව්පියන් දුන් ධනය රැකීම සහ මියගිය
දෙමාපියන්ට පින්දීමය.
එම කරුණු පහෙන් දරුවන් දෙමාපියන්ට සංග්‍රහ කළ යුතුව තිබේ. දූ
දරුවන්ගෙන් මෙම සංග්‍රහ ලැබීම දෙමාපියන්ගේ අයිතියකි. ඒ කරුණු එසේ ඉටු
කිරීම දරුවන්ගේ යුතුකම සහ වගකීම වේ. දූ දරුවන් කෙරෙහි ඉටු කළ යුතු
දෙමාපියන් සතු යුතුකම් ඉටුවන විට එම දූදරු, මව්පිය දෙපක්‍ෂය අතර
අන්‍යොන්‍ය සමගිය හා සාමය ඇති වේ. යහපත් සමාජයක් ගොඩනැඟීමේ පදනම එයින්
ඇති වේ. ආචාරශීලී ගුණ ගරුක දෙමාපියන්ගේ දරුවන් යහපත් ගුණවතුන් වේ.
මංගල සූත්‍රයේ දී දෙලොව දියුණුව ඇති කරන කරුණු දේශනා කරන බුදුරජාණන්
වහන්සේ ‘මාතා පිතූ උපට්ඨානං’ මවුපිය උපස්ථානය මංගල කරුණක් බව දේශනා කර
තිබේ. ‘යො මාතරං වා පිතරංවා ජිණ්ණකං ගත යොබ්බනං පහුසන්තො නභරති’
යනුවෙන් යම්කිසි දරුවෙකු පිළිවන්කම තිබියදී තම මවුපිය දෙදෙනාට
නොසලකන්නේ නම් එය වසල වූ පහත් ගතියක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට
වදාළහ.
මේ කරුණු ගැන මෙනෙහි කර මව්පිය දෙපළ වෙනුවෙන් කළයුතු යුතුකම් නොපමාව
ඉටු කරන්න. අපි මවුපියන් හට හොඳින් සලකා මෙම උදාර බෝධිසත්ව ගුණය දියුණු
කොට ඒ පින් බෙලෙන් අමාමහ නිවන් සම්පත් ප්‍රාර්ථනා කර ගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි.
|