Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් පාසලේ අරමුණු හඳුනා ගනිමු

දහම් පාසල් ආරම්භ වී සිය වසක් ඉකුත් වී ඇත. දහම් පාසලට විවිධ බාධක ඇති බව කියනු ලැබේ. දහම් පාසල් යන්න අද බෞද්ධ දහම් පාසල් යනුවෙන් පවා යෙදීමට සිදුවී ඇත. දහම් යන වචනයේ අර්ථ වරදවා ගැනීම එයට හේතුව විය හැකිය. බෞද්ධයන් හා බෞද්ධ පුරා වස්තු පමණක් නොව බෞද්ධ යෙදුම් ද අද හොරා ගනිමින් ඇත.

බොහෝ දෙනාට දහම් පාසලේ අරමුණු හඳුනා ගැනීමට ද අද නොහැකි වී ඇත්තේ මෙසේ සියල්ල පැටලවී ඇති නිසා විය හැකිය. ‘ආගම් සියල්ල සමාන ය’ යන ඇතැම් දේශපාලකයන්ගේ මන්ත්‍රය අනුගමනය කරන බොහෝ දෙනාට බුදුදහම හා එහි අරමුණු හඳුනා ගැනීමට නොහැකි වී ඇත.

දහම් පාසලට සිසුන් ගෙන්වා ගැනීමට අද බොහෝ උපක්‍රම යොදනු ලැබේ. ඒ සඳහා නීති සම්පාදනය කළ යතු යැයි ද යෝජනා ඇත. ඉරිදා හා පෝය දිනවල අතිරේක පන්ති තහනම් කළ යුතුය. යන්න බොහෝ කලක සිට ඇති යෝජනාවකි.

දහම් පාසලේ අරමුණු හඳුනා ගැනීමට අප උත්සහ ගත යුතුය නැතහොත් අප කරන්නේ අපේ හා ළමයින්ගේ කාලය අපතේ හරිමින් ළමයින් නොමග යැවීමකි. දහම් පාසල ද අද තරග බිමට පිවිස ඇත. තරගය ම මුල් කොට ක්‍රියා කරන ඇතැම් දහම් පාසල් ද ඇත. භක්තිගීත තරග නිතර පැවැත්වේ. ඒ සඳහා දස දහස් ගණන් මුදල් ද වැය කෙරේ. විශාල මුදලක් වැය කොට ප්‍රසිද්ධ සංගීතඥයන් ලවා ගීත පුරුදු කරන දහම් පාසල් මෙරට බොහෝ ය. ඒ සඳහා දිවා රාත්‍රී අතිරේක කාලය පවා යොදා ගැනේ. ඇතැම් දහම් පාසල් උත්සව නිමිත්තෙන් සති ගණනාවක් නැටුම් ගැයුම් වැයුම් පුහුණු කෙරේ. එම දිනවල උදයේ මල් පූජාවට ද ඇතැම් ගුරු සිසු පිරිස් සහභාගි නොවෙති. ඒ තරමට ඇතැම් දහම් පාසල් ගුරු සිසුහු සෞන්දර්යයෙන් පිබිදී සිටිති. දහම් පාසලේ කටයුතු නිසා ඇතැම් දිනවල ස්වාමීන්වහන්සේලාගේ දානය වේලාව ද මග හැරී යයි.

දහම් පාසලේ මූලික අරමුණු විය යුත්තේ ළමයා තුළ ශ්‍රද්ධාව ඇතිකිරීම, ළමයා තුළ ගුණධර්ම ඇතිකිරීම, තෙරුවන් හඳුනන දරුවකු කිරීම, පන්සිල් සුරකින දරුවකු කිරීම, රට දැය සුරකින දරුවකු කිරීම, දහම් මග යන දරුවකු ඇති කිරීම ආදිය විය යුතුය.

මෙම අරමුණු නො දැන තරගයට පිවිස ඇති ඇතැම් දහම් ගුරුවරුන් කරන්නේ බොදු දරුවාට හා දහමට මහත් හානියකි. තම දහම් පාසල ජනපි‍්‍රය කරන්නේ කෙසේ ද සිසු පිරිස වැඩි කරන්නේ කෙසේ ද යන්න දහම් ගුරුවරුන් බොහෝ දෙනකුගේ අරමුණ වී තිබේ. ශ්‍රද්ධාව ඇති දරුවකු බිහි කරන්නේ කෙසේ ද යන්න සිතන දහම් ගුරුවරු හා පාසල් අඩුය.

දිනපතා පාසල අනුගමනය කිරීමෙන් අද ඇතැම් දහම් පාසල් තම මූලික අරමුණු අමතක කර දමා තරග පිටියේ වේගයෙන් දුවති. තරගයට පිවිස ඇත්තේ බොහෝ විට දරුවන් නොව ගුරුවරුන් වීම මෙහි ඇති විශේෂත්වයයි. තරගයේ දී තම සිසුවාට ප්‍රථම ස්ථානය නො ලැබුණේ ඇයි? දැයි විමසමින් තම සිසු දරුවන් ප්‍රකෝප කරවන ගුරුවරුන් බොහෝය. එයට මවුපියන් ද එකතු කර ගනිමින් දහම් ගුරුවරුන් ක්‍රියා කරන අවස්ථා දැකිය හැකිය. තීරණය නො පිළිගෙන උද්ඝෝෂණ කරන අවස්ථාවන් ද අසන්නට ඇත. අද තරග විනිශ්චය සඳහා කණ්ඩායමක් සොයා ගැනීම දුෂ්කර වී ඇත. එම පිරිස අසවල් දහම් පාසල සමග හිතවත් ය. එම අයට වැඩියෙන් ලකුණු දී ඇත’ යනුවෙන් චෝදනා නැගෙන අවස්ථා බොහෝය. වාර්ෂික තරග අද නමින් වෙනස් වී ඇත. එහෙත් ගුරු සිසු දෙපිරිස ම එය තරගයක් කොට සලකති. දහම් ගුරුවරුන් තුළ ශ්‍රද්ධාව හා ශාසනික හැඟීම් අඩුවීම මෙයට ප්‍රධාන ම හේතුව බව කිව යුතුය.

යුගයේ අවශ්‍යතාව දහමේ අවශ්‍යතාව ඉක්මවා නොයා යුතුය. දහමේ අවශ්‍යතාව යුගයේ අවශ්‍යතාව කර ගැනීමට දහම් ගුරුවරයා උත්සාහ කළ යුතු යුගයක් අද උදා වී තිබේ. වැල යන අතට මැස්ස ගැහීම නො ව වැල යා යුතු පැත්ත තේරුම් ගෙන එම පැත්තට හරවා මැස්ස ගැසිය යුතුය. ඇතැම් රූපවාහිනි සේවාවන්ගේ කාර්යය දහම් පාසල භාර නො ගත යුතුය. තරුණයන් තුළ වුවමනාකම් ඇති කොට ඒ සඳහා තරුණයන් පෙළඹවීම අද බොහෝ රූපවාහිනී සේවාවන්ගේ කාර්යය වී තිබේ. රූපවාහිනීය යනු වෙළෙඳ ව්‍යාපාරයකි. දහම් පාසල එසේ නොවේ. එය මුදලින් මැනිය නොහැකි වටිනාකමකින් යුත් දහම නොමිලයේ බෙදා දෙන තැනකි.

හම බෙදීමේ ක්‍රමය ජනපි‍්‍රය කිරීමට ගිය මහායාන බුදුදහම අද නැවති ඇත්තේ කොහිදැයි අප තේරුම් ගත යුතුය. ‘තිත්ත බෙහෙතක් මී පැණි දමා දෙනවාක් මෙන් දහම බෙදීමට පැදිය යොදා ගනිමි’ යි අශ්වඝෝෂ හිමියන් කී බවද අපි දනිමු. එම උපක්‍රමය මෙරට භික්ෂූන් වහන්සේ ද අතීතයේ සිට ම භාවිත කොට ඇත. එහෙත් එහි ශ්‍රද්ධාව පිරී තිබිණි. උන්වහන්සේලාට ශ්‍රද්ධාව හා ප්‍රඥාව යන දෙක ම තිබුණි. බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරුව යනු පැදිය යොදා ශ්‍රද්ධාව තුළින් දහම බෙදූ අවස්ථාවන්ය. එම ග්‍රන්ථ කියවූ බෞද්ධයා තුළ ශ්‍රද්ධාව ඉබේ ම වර්ධනය විය. නමුත් ඒවා පද්‍ය ගායනා තරග නො වීය.

දහම් පාසලින් වෙනත් ආගමකින් දිය නො හැකි දෙයක් දිය යුතුය. දිනපතා පාසල්, ටියුෂන් පන්තිය, සංගීත පන්තිය, පරිගණක පන්තිය හා එවැනි වෙනත් ස්ථානයකින් ලැබිය නො හැකි දෙයක් දහම් පාසලින් ළමයාට දිය යුතුය. නැතහොත් දහම් පාසල ද තවත් එක් අතිරේක පන්තියක් පමණක් වන්නේය. දිනපතා පාසලේ ද වෙසක් පොසොන් වැනි උත්සව නිමිති කොට භක්ති ගීත තරග පැවැත්වේ. නැටුම් පුහුණු කෙරේ. විවිධ භාෂා ඉගැන්වේ. දහම් පාසල තුළ ද සිදු වන්නේ එපමණක් නම්, දහම් පාසල යනු තවත් එක් දිනපතා පාසලක් පමණි. නැතහොත් නොමිලයේ පැවැත්වෙන අතිරේක පන්තියකි. දහම් පාසල ඇඳුමෙන් පමණක් වෙනස් වූවාට එහි පරමාර්ථ ඉටු වන්නේ නැත.

දහමින් ළමයා හික්මිවිය යුතුය. දහම් පාසල් ශිෂ්‍ය නායකයා ධර්මය ම විය යුතුය. ඔහු හික්මවීමට තවත් පුද්ගලයෙකු අවශ්‍ය වීම යනු ‘ළමයා දහම සමග නැත’ යන අරුතයි. දහමේ රසය ළමයාට දැනිය යුතුය. ‘ධම්ම පීති සුඛං සේති’ ධර්ම රසය දිය යුත්තේ දහම තුළින්මය. දහම නො දන්නාට දිය හැකි දහමක් නැත. ‘යෝජකා: තත්‍ර දුර්ලභා’ යැයි පෙර පඬිවරුන් කීවේ එනිසාය. ‘ධම්ම මේව සුනිස්සාමි ධම්මේ මේ රමති මනෝ’ ධර්මය ම අසමි ධර්මයෙහි ම මාගේ සිත ඇලේ යැයි දහම් සොඬ රජු කීවේ ද එනිසාය.

ඇතැම් දහම් පාසල්වල මල් වට්ටියට ලකුණු ලැබේ. මා ගිහි කළ ඉගෙන ගත් දහම් පාසලේ ළමයා සමග මව මල් වට්ටිය රැගෙන ආවාය. ඇතැම් මවුවරු බත් වට්ටියට මල් රැගෙන ආහ. ඉටි පන්දමකට ලකුණු 5 ක් ද හඳුන්කූරට ලකුණු 3 ක් ද දෙන ලදී. ඉන් සිදුවුයේ ‘මුදලට’ ලකුණු ලැබීමයි. ‘ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ’ තරගය සතුරන් ඇති කරයි යන දේශනාව සියලු දහම් ගුරුවරු නිතර මෙනෙහි කළ යුත්තකි. අප සැදැහැවත් දරුවකු දහම් පාසලින් බිහි කළොත් ඔහු කිසිවකුටත් මිල දී ගත නො හැකි වේ. ඔහු කිසි දින මිසදිටුවකු නොවේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.