Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඵල දායක ධර්ම ශ්‍රවණය

 

සුනාථ’ යනු බණ ඇසීමයි. එසේ අසන බණ දරාගත යුතුය (ධාරේථ). නිතර නිතර මෙනෙහි කළ යුතුය. නිතර නිතර මෙනෙහි කිරීමෙන් බණ සිතේ රැඳෙයි. මෙසේ නිතර නිතර සිහිපත් කරමින්ම ධර්මයේ හැසිරිය යුතුය. ‘චරාථ ධම්මෙ’ යනු එයයි. ඉතාම වැදගත් වූ ද, බොහෝ විට නොකෙරෙන්නා වූ ද කාරණයක් ඒ ධර්මයේ හැසිරීමයි. ‘ධම්මං චරෙ සුචරිතං’ ධර්මය කියන්නේ සුචරිතයයි. සුචරිතයේ හැසිරීම ම ධර්මයේ හැසිරීමයි. නිවැරැදිව බණ අසනවා කියන්නේ මේ කරුණු සම්පූර්ණ කිරීමයි. ධර්මයේ හැසිරීමයි.


සිංහලයා බණ අසන්නේ දේවානම්පියතිස්ස රජු දවස සිටය. ඒ බුද්ධ වර්ෂ 237 සිටය. අද බුද්ධ වර්ෂ 2553 ය. මේ අනුව සිංහලයා වසර දෙදහස් දෙසීය හැත්තෑහය වර්ෂයක් පුරා බණ අසා තිබේ. අදද දුගී පැල්පතේ සිට රජ මැදුර දක්වා හැමතැනම බණ අසති. පන්සල්වල ප්‍රසිද්ධ ශාලාවල, හන්දිවල සිට ද සිංහලයෝ බණ අසති.

දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ බණ ඇසූ බොහෝ සිංහලයෝ මාර්ගාධිගමවලට පැමිණ ඇත. කාවන්තිස්ස රජු දවස රූමත් තරුණියකට රන් ආභරණ පැළඳ කහවනු රැගෙන තනිවම රුහුණේ සිට අනුරාධපුරයට පයින් යා හැකි බව ඉතිහාසයේ කියැවෙයි.

එයින් පෙනෙන්නේ එකල මිනිසුන් නිවැරැදිව බණ ඇසීමේ ප්‍රතිඵලයයි. අද මුද්‍රිත මාධ්‍යවලින් විද්යුත් මාධ්‍යවලින්ද, පන්සල්වලින්ද, රජ ගෙදරින්ද බණ ඇසෙයි . එහෙත් ලංකාවේ සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වන්නේ අපරාධ දවසින් දවස වැඩි වන බවයි.

මෙතරම් සුවිශාල වශයෙන් බණ කියද්දීත් බණ අසද්දීත් අපරාධ බහුල වන්නේ ඇයි? ඒ බණ අසන ක්‍රමයේ වැරැද්ද නිසාය. නැතිනම් නිවැරැදි ලෙස බණ නො අසන නිසාය. එබැවින් නිවැරැදිව බණ ඇසීම ගැන අද කථා කරමු.

නිවැරැදිව බණ ඇසීම ගැන ක්‍රම වේදයක් අංගුත්තර නිකාය ටීකාවේ සඳහන් වේ. එහි ප්‍රථමයෙන්ම කියන්නේ දේශනයට නින්දා නොකර බණ ඇසිය යුතු බවයි. බණ අසනවිට දේශනය වධයක් මෙන් නොසිතා දේශනය පිළිබඳ හොඳ පැහැදුනු සිතින් බණ ඇසිය යුතුය. ස්වාක්ඛාතාදී දහම් ගුණ සිහිකරමින් දේශනයට දොස් නොකියා බණ ඇසිය යුතුයි.

එමෙන්ම දේශකයාට නින්දා නොකර බණ ඇසිය යුතුය. තමන් බණ අහන්නේ කෙබඳු දේශකයාණන් කෙනෙකුගෙන් වුවත් බණ අසද්දී ඔහුට සිතින්වත් නින්දා නොකර බණ ඇසිය යුතුයි. දේශකයාට නින්දා කිරීමෙන් සිතේ වෛරයක් උපදී. ඒ වෛර සිතින් බණ නොඇසිය යුතුය.

තෙවෙනිව තමන් පිළිබඳව මෛත්‍රියෙන් සිතිය යුතුය. බණ අසද්දී මේ මොන කරදරයක්දැයි නොසිතිය යුතුයි. බණ ඇසීමට රැඳී සිටීම ගැන තමන්ට නින්දා නොකළ යුතුයි. සමහරවිට අනුන්ගේ වුවමනාවක්, නිසා බණ අසන්නේ නම් එවිටද වැරැදි ලෙස නොතිසිය යුතුයි.

බුදුහිමියන්ගේ කුළුපගම දායකයකු වූ අනේපිඬු සිටාණන්ගේ පුතා බණ අහන්න ගියේ නැත. දවසක් අනේපිඬු සිය පුතාට කථාකොට දෙව්රමට ගිහින් බණ අසා ආවොත් කහවණු පන්සීයයක් දෙන බවට පොරොන්දු විය.

පුතා දෙව්රමට ගියේය. එහෙත් බණ ඇසුවේ නැත. රාත්‍රී දවස දෙව්රම ගත කොට උදේ ඇවිත් කහවණු ලබා ගත්තේය.

මේ අන්දමට ක්‍රමයෙන් පන්සලට යන්න පුරුදු කර දිනක් අනේපිඬු පුතාට කතාකොට මොකක් හෝ බණ පදයක් උගෙන ආවොත් කහවණු දාහක් දෙන බව කීහ. ඔහු එදා ගොස් කෙසේ හෝ බණ පදයක් උගෙන ගනු සඳහා බණ ඇසීය. එදින බුදුරදුන්ගේ බණ ඇසු ඔහු සෝවාන් විය. පසුදා ඔහු ගෙදර විත් පියා මුණ ගැසුනේ නැත.

තාත්තා කහවණු දෙන්න කතා කරාවි යැයි ඔහු ලැජ්ජාවෙන් සිටියේ ය. මෙසේ අනුන්ගේ පෙරැත්තය බලකිරීම නිසා බණ අසන්නට ගොස් සසරින් එතෙර විය. එහෙත් ඔහු එදා බණ ඇසුවේ බණ පදයක් ඉගෙන ගන්න ධර්මය අවබෝධ කරගන්න අවශ්‍යමය යන එකම බලාපොරොත්තුවෙනි. ධර්ම ගෞරවය උපදවා ගැනීමෙනි. බණ පිළිබඳ ඕනෑකමනි. එසේ බණ ඇසිය යුත්තේ ඕනෑකම උඩය.

නොවිසුරුණු සිතින් යුතුව, එකඟ වූ සිතින් යුතුව බණ ඇසිය යුතුය. ගෙදර දොර කරදර අවශ්‍යතා දරුවන්ගේ ස්වාමියාගේ භාර්යාවගේ ඕනෑ එපාකම් හිතේ තියාගෙන බණ අසන්නන් වාලේ බණ නොඇසිය යුතුය. ඒ නිසි ලෙස බණ ඇසීම නොවේ. නිසි ලෙස බණ අසන්නා එකඟ සිතින් බණ ඇසිය යුතුය. සිහි බුද්ධියෙන් යුතුව බණ ඇසිය යුතුය. සතිපට්ඨාන සූත්‍රයේ දී මේ අදහස් ගැබ්ව තිබේ.

පස්වන කාරණය - නම් අසන ලද ධර්මය නුවණින් මෙනෙහි කළ යුතුය. එය වැදගත්ම කරුණකි. බිම ඉඳගෙන බණ අසා, බණ අවසන්ව තමන් නැගිටි විට අහපු බණ ටික ඔඩොක්කුවෙන් බිමට වැටුණු දෙයක් මෙන් වැටුණොත් බණ ඇසීමේ පල විපාක නැත. ඒ නිසා අසන ලද බණ නැවත නැවත සිහිපත් කළ යුතුය.

මෙසේ සිහිපත් කරමින් ධර්මයේ හැසිරිය යුතුය. ජීවිත පරිත්‍යාගයෙන් රජකම ද අත්හැර බණ පදයක් සොයාගෙන ගිය දහම්සොඬ රජතුමා ගේ කථාවේ සඳහන් වන්නේ ‘සුනාථ ධාරෙථ චරාථ ධමේම’ යන උගැන්වීමයි.

එහි ‘සුනාථ’ යනු බණ ඇසීමයි. එසේ අසන බණ ධාරේථ දරාගත යුතුය. නිතර නිතර මෙනෙහි කළ යුතුය. නිතර නිතර මෙනෙහි කිරීමෙන් බණ සිතේ රැඳෙයි. මෙසේ නිතර නිතර සිහිපත් කරමින්ම ධර්මයේ හැසිරිය යුතුය. ‘චරාථ ධම්මෙ’ යනු එයයි. ඉතාම වැදගත් වූ ද, බොහෝ විට නොකෙරෙන්නා වූ ද කාරණයක් ඒ ධර්මයේ හැසිරීමයි. ‘ධම්මං චරෙ සුචරිතං’ ධර්මය කියන්නේ සුචරිතයයි.

සුචරිතයේ හැසිරීම ම ධර්මයේ හැසිරීමයි. නිවැරැදිව බණ අසනවා කියන්නේ මේ කරුණු සම්පූර්ණ කිරීමයි. ධර්මයේ හැසිරීමයි.

මේ ආකාරයට ධර්මයේ හැසිරෙන්නේ නම්, ඒ තැනැත්තා ධර්මය විසින්ම ආරක්ෂා කරයි. ‘ධම්මේ භවෙ රක්ඛති ධම්ම චාරී’ . සිංහබාහු කථාවේ සිංහබාහු තම පියා වන සිංහයා මරන්නට ගොස් තුන්වරක්ම දුන්නෙන් හීය විද්දේය.

එහෙත් සිංහයා තුළ තිබුණේ සිය පුතා කෙරෙහි මෛත්‍රීය, සෙනෙහස හා කරුණාවය. ඒ ධර්ම ගුණය නිසා ඒ හී තුනම සිංහයාට වැදුනේ නැත. තුන්වරක් විද හතරවන වර විදින්නට තැත් කරන විට ‘මූ නම් ඇවිත් තියෙන්නේ මා මරන්නයි. මූ විසින් මා මරන්නට පෙර මා විසින් මූ මරා දැමිය යුතුයයි. ‘සිංහයා තුළ ක්‍රෝධ වෛර සිත උපන්නේය. එයින් සිංහයාට අධර්මය පහළ විය.

එවිටම විදින ලද හතරවන හීයෙන් සිංහයා මළේය. ධර්මය නිසා ධර්මය මගින් රැකවරණය ලද සැටිත්, ධර්මයෙන් වෙන්වීම නිසාම අනාරක්ෂාව ඇති වූ සැටිත් මේ අනුව පැහැදිලි වේ. සාමාවතී බිසවගේ කතාව ද මෙයට උදාහරණයකි. මේ අනුව ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබීම සත්‍යය.

මේ නිසා බණ අසන සිංහල බෞද්ධයන් මුල් තැන දිය යුත්තේ බණ පිළිපැදීමටය. ධර්මයේ හැසිරීමටය. එවිට සමාජය සදාචාරවත් වේ. බණ ඇසීම උතුම් කරුණක් බව බුදු හිමියෝ මංගල සූත්‍රයේ දී ද ‘කාලෙන ධම්ම සවනං’ යන්නෙන් මතුකර පෙන්වා දී ඇත. එමෙන්ම ධර්ම සාකච්ඡා ද උතුම් කරුණකි.’ ධර්ම සාකච්ඡා කිරීම ධර්මය ප්‍රගුණ කිරීමට ධර්මයේ හැසිරීමට උපකාරී වන්නේය. ධර්මයේ නොහැසිරී සුචරිතය වර්ධනය කළ නොහැකි ය.

නිවැරැදිව බණ ඇසීම ගැන ලෝවැඩ සඟරාව ද උගන්වයි. උපදෙස් දෙයි.

බිම ඉඳ සිට කී බණ නා සන් නේ
විම තිව උඩ ඉඳ සිට නා සන් නේ
කැමතිම කීවොත් විමසා සන් නේ
එම වද සගමොක් සැප සාදන් නේ

හිටගෙන බණ නොකිව යුතුය. හිටගෙන කියන බණ බිම ඉඳගෙන නොඇසිය යුතුය. එසේම දේශකයන් වහන්සේ බිම ඉඳගෙන බද්ධ පරියංකයෙන් බණ කියන්නේ නම් අසන්නා පුටුවක ඉඳගෙන නො ඇසිය යුතුය.

දේශකයන් වහන්සේ ධර්මාසනයක සිට බණ කියන්නේ නම් ඊට වඩා සැප පහසු උසස් පුටුවක ඉඳගෙන බණ නොඇසිය යුතුය. ඉනිමං උඩ, වහල වල් උඩ, ගස් උඩ සිට බණ නො ඇසිය යුතුය. දේශනා කරන බණ ඕනෑකමක් ඇති කරගෙන ඇසිය යුතුය. හැරමිටි ගහගෙන හැරමිටියට වාරු වී බණ නොගැසිය යුතුය. හැරමිටි වාරුවෙන් සිටින අයට බණ නොකිව යුතුය.

මේ හැම දෙයකින්ම උගන්වන්නේ ධර්මයට අගෞරව වන පරිදි බණ නොඇසිය යුතු බවයි. සිටගෙන කියන බණ නොගිලන්ව සිටියදී පොළොවේ ඉඳගෙනවත් නොඇසිය යුතුය.

විමතිව කියා කියන්නේ බණ අසන වේලාවේ මුළු සිත් සතන් වෙනතක යා නොදි බණ ඇසිය යුතු බවයි. උස් වූ ඇද පුටු ආදියේ ඉඳගෙන බණ නො ඇසිය යුතුය. ආලවක ‘සූත්‍රයේ සූස්සූ සා ලභතෙ පඤ්ඤං’ යනුවෙන් උගැන්වෙයි. බණ අසනු කැමැති බව නුවණට හේතුවෙයි. සංයුක්ත නිකායේ ගාථා වර්ගයේ එන්නේ ‘ධම්මඤ්ඤේව සක්කත්වා ගරු කත්වා’ කියාය.

බුදුන් වහන්සේ ධර්මය අවබෝධ කර ගත්හ. එමෙන්ම බුදු හිමියෝ ධර්මය ගරු තන්හි තබා සත්කාර කළහ. මුගලන් හිමියෝ පිරිනිවන්පානට සූදානම්ව ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට තථාගතයන් වහන්සේ වෙත වැඩියහ.

එවිට තථාගතයන් වහන්සේ වදාළේ මට ධර්මය දේශනා කොට පිරිනිවන් පාන්නට කියාය. මේ අනුව තථාගතයන් වහන්සේ මුලගන් ස්වාමීන්ගෙන් බණ ඇසූහ. බණ අසා සාදුකාර දුන්හ.

එයින් ඔප්පුවන්නේ බුදුහාමුදුරුවෝ ද ධර්මයට ගරු කළ බවයි. මේ අනුව බණ ඇසීම යනු ආවාට ගියාට කළයුත්තක් නොවේ’ සන්සුන්ව, සංවරව, නුවණින් මෙනෙහි කරමින් ධර්මය ඇසිය යුතුය. ධර්මය දෙසිය යුතුය.

එසේ ඇසෙන ධර්මය දැරිය යුතුය. දරා ගන්නා ධර්මය පිළිපැදිය යුතුය. රටක් දැහැමි වන්නේ, අපරාධ අඩුවන්නේ එසේ කිරීමෙනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.