Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යක්කල පැපොල්ගහදෙනියේ ශ්‍රී ජයවර්ධනාරාමය

වැවත් දාගැබත් පදනම් කරගත් ආගමික සංස්කෘතියකින් පෝෂණය වූ රටක් ලෙස ශ්‍රී ලංකාව අතීතයේ පටන් ම ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. “වැව“ යනු ජලයයි. “දාගැබ” දහමේ සංකේතයයි. ජලය නැති තැන ජීවයක් නැත. දහම නැති විට පැවැත්මක් නැත. නමුත් අද වැව පන්සලෙන් ඈත් වී ඇත. එසේ වුවත් එදා මෙන් අදත් යක්කල පැපොල්ගහදෙනියේ ශ්‍රී ජයවර්ධනාරාමය කාස්ටක භූමියක දිවි ගෙවන පවුල් දෙසීයකට වැඩි ජන පිරිසකගේ දෛනික ජල අවශ්‍යතා සපුරාලීමේ මහඟු පුණ්‍ය කර්මයකට උරදී සිටියි.


1928 වසරේ දී නිම කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ

සුවිශාල ළිං දෙකක් කැණ ලබාගන්නා ජලය ගැලුම් හතලිස් දහසක ධාරිතාවකින් යුතු ජල ටැංකියක රැස් කර එමගින් ගමට ජලය සපයනු ලබන්නේ පන්සලේ ප්‍රජා ජල ව්‍යාපෘතිය මගින් ය.


දම්සක් පැවතුම් සූත්‍රදේශනාව පිළිබිඹු කරන නිර්මාණය

කොළඹ නුවර මාර්ගයේ යක්කල මංසන්ධියෙන් හැරී කිරිඳිවැල පාරේ කිලෝ මීටරයක් දුරින් පිහිටා ඇති ශ්‍රී ජයවර්ධනාරාමය දැහැමි අතීතයකට උරුමකම් ඇති පන්සලකි. එය 1879 තෙක් ඈතට විහිදෙයි. එකල මේ ප්‍රදේශය ජනශූන්‍ය හිස් භූ®මියකි. අතරින් පතර පැතුරුණු නිසරු පොල් වතු පමණක් අවට දැක ගැනීමට ලැබුණේය. අමරපුර නිකායික හක ඉන්නේ පඤ්ඤා රාම නම් හිමිනමක් පැපොල්ගහදෙනියට වැඩම කර ශ්‍රී ජයවර්ධනාරාමය ආරම්භ කරනු ලැබුවේ එවන් වකවානුවක ය. පන්සල් භූමියේ සුවිශාල ළිඳක් කණිනු ලැබිණ. වැවකට සරිලන මහත් ජලකඳක් එතුළින් ගලා ආවේ ය. එය යහපත් අනාගතයක පෙරනිමිත්තක් විය. ජලයෙන් ජීවය උපන්නාක් සේ ප්‍රදේශය ටිකෙන් ටික ජනාවාස වෙන්නට පටන් ගත්තේ ය.

පන්සලේ උන්නතියට වැඩ කරමින් වසර අනූහයක් ආයු වැළඳූ හකඉන්නේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේගෙන් පසුව පන්සලේ භාරකාරත්වයට පත් වූයේ නියඳුරුපොළ මේධානන්ද අධිකරණ නාහිමියන් ය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් වු උන්වහන්සේගේ ධර්ම සේවය ගමත් පන්සලත් අතර සබැඳියාව තවත් වර්ධනය කළේය. ඉක්බිති පළඹුරේ පඤ්ඤාරාම අධිකරණ නාහිමියෝ පන්සලේ තුන්වන පරම්පරාවේ වගකීම දැරූහ. වර්තමානයේ විහාරාධිපති ධූරය හොබවන අම්බලපිටියේ ධම්මික ස්වාමින් වහන්සේ නියෝජනය කරන්නේ එහි හතරවන පරම්පරාව ය. පළඹුරේ පඤ්ඤාරාම හිමියන්ගේ ගෝල නමක් ලෙස 1979 දී පැවිදි බිමට ඇතුලත් වූ ධම්මික හිමියන් පන්සලේ විහාරාධිපති ධූරයට පත් වූයේ 1994 වර්ෂයේ දී ය. එය පන්සලේ නව යුගයක ආරම්භයක් විය. විහාරයට ප්‍රධාන අඩුපාඩුවක් ව පැවැති චෛත්‍යය ධර්මශාලාවේ හා දාන ශාලාව ඉදිවූයේ උන්වහන්සේගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ය.


විහාරාධිපති බම්බලපිටියේ ධම්මික හිමි

 


විහාර භූමියේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ

පුජ්‍ය මොරතිහේ ජිනරතන ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ශ්‍රී ජිනරතන දහම් පාසල යක්කල ප්‍රදේශයේ ජනතාව අතරෙහි අද ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇත.අද එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 300 ක් පමණ ඉගෙනුම ලබන අතර ගිහි පැවිදි ගුරු මණ්ඩලය දාහතර දෙනෙකුගෙන් සමන්විතය. දෙමව්පියන්ගේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ළදරු පාසලක් ද මෙහි ඇත. නියරුදුපොල මේධානන්ද විහාරාධිපති හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිහිටුවාගෙන ඇති කුලඟන සමිතිය හා මරණාධාර සමිතිය සක්‍රීය සේවයේ යෙදෙමින් ගමත් පන්සලත් අතර නිරන්තර බැඳීම ඉදිරියට පවත්වාගෙන යෑමට ඇප කැපව ක්‍රියා කරයි. සෑම පෝ දිනකම ගමේ තරුණයන් විසින් පන්සලේ දී ඔසුපැන් දන්සලක් පැවැත්වීම මෙහිලා විශේෂත්වයකි.

පසුගිය ඇසළ පෝ දින පන්සල් භූ®මියේ විවෘත වූ රන්වැට හා දම්සක් පැවතුම් සූත්‍ර දේශනා මණ්ඩපය ම විහාරස්ථානයේ සුන්දරත්වයට මනා දායකත්වයක් සපයයි. මෙම කර්තව්‍යයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේ යක්කල ගැමුණුපුර ග්‍රාමයේ ඩී.එච්. දයානන්ද මහතා ය. ශ්‍රී කුලඟන සමිතියෙන් ප්‍රදේශවාසීන්ගේත් ආධාර උපකාරයෙන් කරවන ලද මේ උතුම් පිංකම සඳහා විශාල මුදලක් වැය වී ඇත. මෙහිලා වඩාත් වැදගත් වන්නේ 2009 වසරේ ජනවාරි පළවෙනි දින මුල්ගල් තබා ආරම්භ කළ එහි ඉදිකිරීම් කාර්යයක් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ නිමකර පසුගිය ඇසළ පුන් පෝ දින සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා විවෘත කර දීම ය. පැපොල්ගහදෙනිය පන්සල් භූමියේ පවතින සාන්ත පරිසරය දහමට මෙන් ම ශිල්පයට ද කදිම තෝතැන්නකි. පෞරුෂ වර්ධනයට ඉන් ලැබෙන පිටිවහල ඉමහත් ය. දැනට මෙහි ශිෂ්‍ය හිමිවරුන් 07 නමක් නේවාසික ව අධ්‍යාපනය ලබන අතර ඉන් පස් නමක් බංගල්දේශ හිමිවරුන් වීම විශේෂයකි. වත්මන් විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනාගත අපේක්‍ෂාව වී ඇත්තේ ගැමුණුපුර සහ සතරපේරුවේ ගම්වාසීන්ගේ හා සියලු පිංවතුන්ගේ දායකත්වය දහම් පාසල හා ළදරු පාසල සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමය.


චෛත්‍යය හා දොළොස්මහේ පහන් කුටිය

 

 


රන් වැට සහිත බෝධීන් වහන්සේ

 

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.