UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන්ගේ ජන්ම භූමිය මහා භාරතය

භාරත වර්ෂ, භාරත, ජම්බුදීප, ආර්ය වර්ථ හා ඉන්දියාව යන විවිධ නාමයන්ගෙන් ඉන්දියාව අර්ධද්විපය හඳුන්වනු ලැබේ. දීර්ඝ කාලයක් පැවැති කුරු - පාණ්ඩව යුද්ධය නිසා භාරත වර්ෂ යන්න ඊට ව්‍යවහාර වී ඇත. දුශ්‍යන්ත පුත්‍ර භාරත නිසා ‘භාරත’ නම් විය. පුරාණ වෘත්තවල සඳහන් දඹ ගසක් නිසා ‘ජම්බුදීප’ විය. පාඨලී නමැති වෘක්ෂයක් නිසා ‘පාඨලිපුත්‍ර’ යන නගර නාමය විය. ‘පාඨලීපුත්‍ර’ දැනට හඳුන්වනු ලබන්නේ පැට්නා යනුවෙනි. බිහාර් ප්‍රාන්ත රාජ්‍ය අගනුවර ඉන්දු ගංගා නිම්න ශිෂ්ඨාචාරයෙන් පසු (ක්‍රි. පූර්ව 4000) දැනට ඉරායන යන ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ජනතාව හින්දු නමැති වෛදික ආගම ව්‍යාප්ත කරන ලද අතර ඉන්දු ගංඟා නිම්න ජනයා ඉන්දියාවේ දකුණු ප්‍රදේශවලට සංක්‍රමණය වූහ. එම ජනයාට ද්‍රවිඩ යන නාමය භාවිතා විය. ද්‍රවිඩ යනු දකුණේ මිනිසා යන්නය. දැනුදු එම ජනයා ඉන්දු ශිෂ්ඨාචාරයෙ ලිංග පූජාව වෘක්ෂ වන්දනාව, ගින්න ජලය සුළඟ යන දෑ දේවත්වයෙන් වැදුම් පිදුම් කරති. ඉන්දීය අර්ධ ද්වීපය ලෝකයේ පැරණි ශිෂ්ඨාචාරයන් බිහි වූ රටවල් අතුරෙන් ප්‍රධාන තැන්හි ලා සලකනු ලැබේ.


බුද්ධගයාව

මෙම දේශය විවිධ පුරාවස්තුන්ගෙන් සපිරි කෞතුකාගාරයක් වන අතර විවිධ දෘෂ්ටින්ගෙන් ද සපිරි කෞතුකාගාරයක් ද වේ. මෙම අර්ධද්වීපය උතුර දෙසින් ‘හිමාලය’ කඳු වැටියෙන් වෙන් කෙරේ. තුන්පසකින් සාගරයෙන් වට වී ඇත. හිමාලය කඳු වැටියෙන් දකුණු කොටස වර්තමාන නේපාල රාජ්‍යයද ඇතුළුව ඉන්දියානු අර්ධදීපයයි. හිමාලය කඳු වැටියෙන්, දකුණට හා වින්ද්‍යා කඳුවලට උතුරින් පිහිටා ඇති කොටස උත්තර භාරතයයි. වින්ද්‍යා කඳුවලින් දකුණ සහ දකුණ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කන්යා කුමාරි තුඩුව දක්වා විහිදෙන පෙදෙස දක්ෂිණ භාරතයයි. භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන කාලය වන ක්‍රි.ව. 6 වැනි සියවසේ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය අභාවයට යමින් පැවතුණි. නව ශිෂ්ටාචාරයක් ‘ගංඟා නදිය ආශි‍්‍රතව ගොඩනැගී තිබුණි.

ඉන්දීය හින්දු ජනයාගේ අති උත්තම පූජනීය වූ කිලෝ මීටර් 2500 ක් පමණ දීර්ඝ ගංඟා නම් ගංඟාව ආශි‍්‍රත බිහි වූ ශිෂ්ටාචාරය ගංගා නදී ශිෂ්ටාචාරය යනුවෙන් හැඳින්වේ. බුදුරදුන් පහළ වනවිට එම ප්‍රදේශ ආශි‍්‍රතව සොළොස් මහජන රාජ්‍යයන් පැවැති බවට නිදසුන් ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වෙයි. එම ජන රාජ්‍ය නම් 1. අංග, 2. මගධ, 3. කාසි, 4. කෝසල, 5. වජ්ජි 6. මල්ල, 7. චේදි, 8. වතස, 9. කුරු, 10. පංචාල, 11, මච්ඡ, 12. සුරසේන , 13. අස්සක, 14. අවන්ති, 15. ගන්ධාර, 16. කාම්බෝජ වේ. ඉන් ජනපද 14 ක් ම අයත්වනුයේ ගංගා නදී ආශි‍්‍රත පෙදෙස්වලට වන අතර එම සියලු ජනපදවලට භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක. ගන්ධාර කාම්බෝජ ජනපද රාජ්‍ය දෙකක් පමණක් ඉන්දු නදියේ උතුරු කොටසට අයත් වූ අතර එම පෙදෙස්වලට භාග්‍යවතුන් වහන්සේ නොවැඩි සේක. තවද අවන්ති සහ සූරසේන ජනපදයටද භාග්‍යවතුන් වහන්සේ නොවැඩි සේක.

රාජාණ්ඩු බිහි වීම

බුදුරදුන් දවස වනවිට අංග මගධ ජනපද දෙක එක්වීමෙන් මගධ රාජ්‍ය පිහිටුවා තිබුණි. කාසී (වර්තමාන බරණැස) කෝසල දෙක එක්වීමෙන් කෝසල රාජ්‍යය බිහි වී තිබුණි. මෙම රාජ්‍ය කළ අතර එම රජවරු දෙදෙනාම එම යුගයේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රබල දායකයෝ වූහ. රාජගිරි නොහොත් රජගහනුවර (රජුගේ ගෘහය යන අරුත සහිත ගිරි යනු ගෘහය යන්නයි) මගධ රාජ්‍යයේ අගනුවර විය. කොසොල් රාජ්‍යයේ අගනුවර ශ්‍රාවස්ථිය විය. (වර්තමාන උත්තර් ප්‍රදේශ සහෙත් - මහෙත් අනිකුත් රාජ ආණ්ඩු පැවැති ජනපද නම් වත්ස සහ අවන්ති ජනපද දෙකය.

වත්ස රාජ්‍යයේ අගනුවර කොසාඹෑ නුවර විය. (වර්තමානයේ උත්තර් ප්‍රදේශ් අලහබාඩ් අසල යමුනා ගංගාතීරයේ පිහිටි) උදේනි රජතුමා එහි රජ කළේය. මින් මගධය. කෝසල හා වත්ස ජනපදවල බුදුරදුන් සඳහා ආරාම ඉදි විය. මගධයේ රජගහනුවර වේළුවනාරාමය බිම්බිසාර රජතුමා ද කෝසලයේ සැවැත්නුවර ජේතවනාරාමය අනේපිඬු සිටුවරයාද පූර්වාරාම විශාඛාවද කොසඹෑ නුවර ඝෝසිතාරාමය ඝෝසිත සිටුවරයාද තැනූ අතර එම විහාරවල බුදුරදුන් වැඩ සිටි සේක.

අවන්ති සහ සූරසේන ජනපද

‘අවන්ති’ ජනපදයට බුදුරදුන් වැඩම කළ බවට තොරතුරු කිසිවක් නොමැත. එම පෙදෙස දාන මාන සපයා ගැනීමට අසීරු කටු ලැහැබ් ඇති ගල් බොරළු සහිත මාර්ග වලින් සමන්විත විය. මෙහි බුදුදහම පැතිරුණේ මහා කච්චායන රහතන් වහන්සේ මගිනි. එම රහතන් වහන්සේ අවන්ති ජනපදයේ කුරුරාරග්‍රහී පාවත්ත පර්වතය අසල වැඩ සිටි අවස්ථාවක සෝණ කුරිකන්න නමැත්තා රහතන් වහන්සේ පැවිදි කළේය. (උද්‍යාන 5 - 6 විනය මහා වග්ග 5 - 13) මෙහි ගමනා ගමනයට අසීරු බැවින් එක් සම් කැබැල්ලක් සහිත දැව පාවහන් භාවිතය එම ජනපදයේ භික්ෂූන්ට අනු දැන වදාළේය. ගෝපාල දේවී නමැති පජජෝත රජතුමාගේ බිසව ‘කුණ්ඩල’ නම් රජතුමාගේ බිසව ‘කුණ්ඩල’ නම් උද්‍යානයේ විහාරයක් කරවා මහා කච්චායන රහතන් වහන්සේට පූජා කළාය. වර්තමාන මධ්‍ය ප්‍රදේශ සාංචි විහාරයේ ආරම්භය මෙය විය හැකිය. සාංචි යනු ශාන්ත යන නාමයේ පසු කාලයේ වෙනස් වූවකි. ‘සූරසේන’ ජනපදයද අවන්ති රාජධානියට සමීප රාජ්‍යයකි.


සාංචි ස්තූපය

එහිද බුදුදහම පැතුරුණේ මහා කච්චාන රහතන් වහන්සේ මගිනි. මථුරා (මධුරා) සූරසේන ජනපදයේ අගනුවර විය. බුදුරදුන් දවස එහි රජකළේ අවන්ති පුත්‍රය. එම රජතුමා මහාකච්චාන රහතන් වහන්සේ සමඟ කළ ධර්ම සාකච්ඡාවක් මජ්ජිම නිකායේ ‘මධුරු’ සූත්‍රයේ සඳහන් වේ. ‘අවන්ති’ සූරසේන ජනපද දුෂ්කර ප්‍රදේශ වූ බැවින් බුදුරදුන් ඇතැම් විනය නීතිද එම ප්‍රදේශයට අනුකූල වන අන්දමට වෙනස්කර ඇත. (මහා වග්ගපාලි චම්මකන්ධක) මගධ රාජධානිය ගංඟා නම් නදියෙන් දකුණෙහි පිහිටා ඇත. නේරංජරා (වර්තමාන නාමය එල්ගු) නදිය සහ සෝණ නදිය ආශි‍්‍රත ශාඛා ගංඟාවන්ගෙන්ද සරුසාර බිම් පෙදෙසකි. මගධ රාජ්‍යය ගයා සිස රාජගිරි කඳුවැටි වලින් අලංකෘත පෙදෙසකි. මගධයට නැගෙනහිරින් අංග ජනපදය පිහිටියේය. මගධ රාජ්‍යයේ අගනුවර මුල් අවස්ථාවේ රජගහ වූ අතර පසුව අජාසත්ත රජු (බිම්බිසාර රජුගේ පුත්) අගනුවර පාටලී පුත්‍රයට ගෙන යන ලදී.

‘පාටලීපුත්‍ර’ දැන් හඳුන්වනුයේ පැට්නා යනුවෙනි. එය බිහාර ප්‍රාන්ත රාජ්‍යයේ අගනුවර විය. ‘මගධ’ රාජ්‍යයට නැගෙනහිරින් ‘අංග‘ ජනපදය විය. බිම්බිසාර රජතුමා සිය යුව රජ සමයෙහි එය මගධ රාජ්‍යයට සම්බන්ධ කර ගන්නා ලදී. එහි අගනුවර ‘චම්පා’ නුවර විය. භාග්‍යවතුන් වහන්සේ එම ජනපදයට කිහිප වතාවක්ම වැඩම කර ඇත. ‘ගග්ගාර’ නම් දේවියක විසින් කරවනු ලැබූ ‘ගග්ගරා’ නම් පොකුණ සමීපයේ බුදුරදුන් වැඩ සිට ධර්ම දේශනා කර ඇත. බුද්ධත්වයට පත් වූ පසු දෙවන වර්ෂයේම අංග ජනපදයෙහි ‘භද්දිය’ නගරයට බුදුරදුන් වැඩම කර ඇත. එසමයෙහි විශාඛා තෙමෝ තම මුත්තණුවන් වන ‘මෙණ්ඩක සිටු තුමාගේ උපදෙස් පරිදි බුදුරදුන් හමුවට ගොස් සත් හැවිරිදි වියේම සෝවාන් වූවාය. (ධම්ම පදට්ඨ කථා විශාකා වත්ථු)

බුදුරදුන් දවස ගණතන්ත්‍ර රාජ්‍ය ‘ගංගා’ නදියෙන් උතුරෙහි වූ වජ්ජි මල්ල ශාක්‍ය කෝලිය විදේහ එකල පැවැති ගණ තන්ත්‍ර රාජ්‍යයන් වෙති. වජ්ජි රාජ්‍ය පාලනය වූයේ ලිච්ඡවීන්ගේ පාලකයන් 7707 කින් යුත් රාජ්‍ය මණ්ඩලයක් මගිනි. බුදුරදුන් රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වසන සමයේ විශාලා මහනුවර රාජධානියේ ඇති වූ රෝග, අමනුෂ්‍ය, සහ දූරභික්ෂ යන තුන්බිය දුරුකිරීම සඳහා ලිච්ඡවී රජදරුවන්ගේ් ආරාධනය පරිදි එහි වැඩි සේක. ඉක්බිතිව ආනන්ද හිමියන්ට රතන සූත්‍රය දේශනා කර බුදුරදුන්ගේ පාත්‍රයට ජලය පුරවා එම රජවරුන් සමග එම සූත්‍රය සජ්ඣායනය කරමින් එම පිරිත් පැන් ප්‍රදේශය සිසාරා විසිරීමට ආනන්ද හිමියන්ට උපදෙස් දුන් සේක. මෙම කාර්ය සිදු කිරීමෙන් අනතුරුව එම තුන්බිය තුරන් විය. (සුත්ත නිපාත රතන සුත්‍රය සහ එහි අටුවා)

එම අවස්ථාවේදී ලිච්ඡවී රජවරුන් විශාලා මහනුවර ‘කූටාගාර’ ශාලාව බුදුරදුන් වෙත පූජා කරන ලදී. (මහා වස්තු) භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහාප්‍රජාපතී ගෝතමිය ඇතුළු ශාක්‍ය කාන්තා පිරිසක් පැවිදිවීමෙන් බුදු සසුනට (භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා) භික්ෂුණී සඟ පිරිසක් එකතු වූයේ එම කූටාගාර ශාලාවේදී ය. (චුල්ලවග්ග පාලි භික්ෂූණී කන්ධක අංගුත්තර නිකාය, අට්ඨක නිපාත) බුද්ධ පරිනිර්වානයෙන් පසු අජාසත්ත රජු වජ්ජි රාජ්‍යය ආක්‍රමණය කොට මගධයට සම්බන්ධ කර ගන්නා ලදී.

දැනුදු එම පෙදෙස් අයත් වනුයේ බිහාර ප්‍රාන්තයටය. විදේශ රාජ්‍ය ‘වෛශාලියට’ නැගෙනහිරින් පිහිටා තිබුණි. හින්දු සාහිත්‍යයේ ජනපි‍්‍රය සීතාවගේ පියා වූ ජනක රජතුමාගේ රාජධානිය වූයේ විදේහ රාජ්‍යයයි. මෙය පුරාතනයේ දීම වජ්ජි රාජ්‍යයට එක්වූ බැව් පෙනේ. විථිල එහි අගනුවර විය. දැනට විදේහ පිහිටා ඇත්තේ නේපාලයේ ලුම්බිණියට (රුවන්වොයි) සිට බටහිරට සැතපුම් 56 ක් දුරිනි. සිදුහත් කුමරුගේ මෑණියන් වහන්සේ වූ මහාමායා දේවිය මෙම විදේහ රාජ්‍යයේ කෝලිය වංශයට සහ ලිච්ඡවී ගෝත්‍රයට අයත් වූවාය.

මල්ල රාජධානිය වජ්ජි රාජධානියට පෙරදිගින් එකල පිහිටියේය. භාග්‍යවතුන් වහන්සේ දවස වන විට මල්ලරාජ්‍යය කොටස් දෙකකින් සමන්විත විය. ‘පාචාමල්ල’ සහ ‘කුසිනාරාමල්ල’ වර්තමාන නාමය උත්තර ප්‍රදේශ් කුසිනගර්) මෙම දෙකොටස වූහ. භාග්‍යවතුන් වහන්සේ ගේ මහා පරිනිර්වාණය වූයේ ‘කුසිනාරමල්ල’ රාජධානියේ සාල ප්‍රවර්ධන උද්‍යානයේය. භාග්‍යවතුන් වහන්සේ මෙම මල්ල රාජධානිවල නිතර වැඩි සේක. තමන් වහන්සේ බෝධි සත්ව අවස්ථාවේදී (සිදුහත් කුමරු) පැවිදි වූයේද මල්ල රාජ්‍යයේ අනෝමා නදී තීරයේය. අනෝමා නදියේ වර්තමාන නාමය හබරෝරාය. එය අඩි 30 ක් පමණ පළලක් ඇති කුඩා නදියකි. කොසොල් රාජධානියේ උතුරු සීමාවේ ශාක්‍යයෝ ද ඊට නැගෙනහිරින් කෝලියයෝ වාසය කළෝය.

කාසි ජනපදය කෝසලයන් විසින් අත්පත් කර ගන්නා ලදී. කාසි ජනපදයේ අගනුවර බරණැස විය. හින්දි භාෂාවේ නිතරම ‘ඒ’ අක්ෂරය ‘බ’ අක්‍ෂරය ලෙස යෙදේ. ඒ අනුව බරණැස පැරණිතම චාරානාසිය වාරානාසි යනු ගංඟා නම් ගංඟාවේ අතු ගංඟා දෙකක් වන ‘චාර’ සහ අසී යන ගංඟා දෙක අතර පිහිටි භූමියයි. කොසොල් රජතුමාගේ සොහොයුරිය වූ කෝසල දේවිය බිම්බිසාර රජතුමා සමග විවාහ වූවාය. ඇයට ධනය වශයෙන් කසී ජනපදය බිම්බිසාර රජ වෙත පරිත්‍යාග කරන ලදී. එතැන් සිට කාසි ජනපදය මගධ රාජ්‍යයට අයත් විය. දැනට එය උත්තර් ප්‍රදේශවලට අයත් වේ. බෞද්ධ සාහිත්‍යයේ කොසොල් රජතුමා ප්‍රසිද්ධය.

ඔහුගේ නියම නාමය පසේනදිය. ඔහුගේ මාළිගය ශ්‍රාවස්ථියේ ජේතවනාරාමයට නුදුරින් පිහිටි අතර නිතර භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට ධර්ම සාකච්ඡා පැවැත්වීමට ජේතවනාරාමයට යන ලදී. බරණැස පළමු ධර්ම දේශනාව සිදු කළ මිගදාය ප්‍රදේශයට ‘ඉසිපතන’ යනුවෙන්ද ව්‍යවහාර විය. ඉසිපතන යනු සෘෂිවරයන් එක් තැන් වන ස්ථානයයි. (ඉස් - පතන) එම ස්ථානය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ස්ථානයක් විය. එකල මෙන් මෙකලැ යම් යම් වෘත සමාදාන වී තම තමන් ලබාගත් ආධ්‍යාත්මික ඵලයක් සාකච්ඡා කිරීමට සෘෂිවරු එහි රැස්වෙති. සිදුහත් කුමරු උරුවෙලදී වර්තමාන බිහාර් ප්‍රාන්තයේ නැගෙනහිර චම්පාරන් දිස්ත්‍රික්කයේ ‘දුංගේස්වරී’ යනුවෙන් හඳුන්වන අතර දුප්පත් ජනයා එහි වාසය කරයි.

සිදුහත් බෝසත් කුමරු සමඟ කයට දුක් දීමෙන් මෝක්‍ෂය ලබා ගැනීමට යොමු වූ පස්වග තවුසන් (කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප සහ මහානාම, අස්සජි) සිදුහත් කුමරු එම වෘත නිසරු බැව් දැක ඒවායින් ඉවත්වීම ගැන නොසතුටට පත් වූහ. පස්වග මහණුන් සාරානාත් වෙත පැමිණියේ එහිදී සෘෂීවරයන් හමුවීම සඳහා ඔවුන් සමග තම තමන් ලබාගත් වෘත මාර්ගයෙන් අධ්‍යාත්මික තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමටය.

බුද්ධගයාව

ගයාව මගධ රාජ්‍යයට අයත් වූ පැරැණි කුඩා නගරයකි. වර්තමාන දකුණු බිහාරයේ ගයා දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයකි. මෙම පැරැණි නගරය පසකින් නිතර විශාල වැලිතලයක් සහිත කුඩා ජලය සහිත ස්ථාන සහිත නේරංජරා නදිය ගලා බසියි. සේනානිගම වර්තමාන බකරෝර ග්‍රාමය නේරංජරාවේ උතුර අසබඩ ද කිලෝ මීටර් 3 ක් පමණ පළල මෙම ගංඟාවේ දකුණට අසබඩවද ගයාව පිහිටා ඇත. බුද්ධගයා බෝමැඩට සැතපුම් 10 ක් පමණ දුරින් නේරංජරා නදියේ පහළ පිහිටි ගයාව පිළිබඳ පැරැණි තොරතුරු ත්‍රිපිටක සාහිත්‍යයේ ඇත. බහුකා නදියට ද අධිකක්ක නම් තීර්ථයට ද ගයා තීර්ථයට ද සුන්දරිකා නදියටද සරස්වතී නදියටද, පව් කළ අඥානයෝ ඒ පව් සේදීමට පිවිසෙති. එහෙත් ඔවුහු ඒ පව්වලින් පිරිසුදු නොවෙති. (මජ්ඣිම නිකාය වත්ථුපම සූත්‍රය) හින්දුන් මාතංගවාපී ගයාවාපී නමින් පුණ්‍ය තීර්ථයන් ගැන සඳහන් කරති. මාතුපෝසක ජාතක කතාවේ ද මාතංගවාපි වැවක් ගැන සඳහනක් ඇත.එම ජාතක කතාවේ ඇත් කුලයක උපන් බෝසත්තුමා අන්ධ වූ තම මව එම වැවට නුදුරු ස්ථානයක පිහිටි ගල් ලෙනක තබාගෙන පෝෂණය කළ බැව් සඳහන් වෙයි. එම ඇතාගේ සත් ක්‍රියාව ගැන පැහැදුණු බරණැස රජතුමා මේ ඇතාගේ මරණයෙන් පසු එම ස්ථානයේ ඇත් රුවක් තනා අවුරුදු පතා හත්ථිම්හ නම් උත්සවයක් පැවැත් වූ බව එහි සඳහන් වෙයි.

දැනුදු ගලා බසින නදිය පසෙකින් විෂ්ණු පද්ම මන්දිරය පිහිටා ඇත. එහි ප්‍රධාන උත්සව පවත්නා දිනවල ලක්‍ෂ සංඛ්‍යාත හින්දුන් ‘ස්නාන – ධර්මේච්ච නමැති පව් සෝදා ගැනීමට මෙම නදියට පැමිණෙති. හින්දු බැතිමතුන් සතු විෂ්ණු පද්ම මන්දිරය ප්‍රාග් බෞද්ධ ආශ්‍රමයකි. රාජ ශ්‍රී ගය වාසය කළේ මෙහි විය. තවද ඉන්දු ගංඟා නිම්න ශිෂ්ටාචාර වකවානුවේ (ක්‍රි.පූ. 4000) ඉන්දියන් වෘක්‍ෂ වන්දනාව සිදු කළ බවට එම ශිෂ්ටාචාරයට අයත් හරප්පා සහ මොහෙන්ද්‍රජාරෝ (දැනට පකිස්ථානයට අයත්) ස්ථාන කැනීම් වලදී තඹ සහ මැටි තහඩු හමුව ඇත. වෘක්‍ෂ රූප කොටන ලද ඔවුනගේ විශ්වාසය මිය ගිය අය වෘක්‍ෂ දේවතාවන් ලෙස ඉපදෙන බවත් එම කිසිදු ආර්ථික ඵල ප්‍රයෝජනයට නොගන්නා ඇහැටු ගස් මුල කුස තණ අතුරා ඒ මත ඔහුට ආහාර පාන තබා වන්දනා කිරීමෙන් තමනට සිත්හි ආශා කරන දේ ලබා දෙන බවයි. මෙම වෘක්‍ෂ “චේතිය” යනුවෙන් හඳුන්වන ලදී.

චේතිය යනු සිත්හි ආශාවයි. භාග්‍යවතුන් වහන්සේ 80 වැනි වියට පත්ව රජගහ සිට කුසිනාරාවට මහා පරිනිර්වානය සඳහා පියවි ගමනින් ආනන්ද හිමියන් ද භික්‍ෂු සංඝයා සමග සැතපුම් 451 ක දුරක් වර්ෂයක් තුළ වඩින අවස්ථාවේ වෛ්‍යශාලියේ මෙවැනි වෛදික බ්‍රාහ්මණ චේතියන්හි නවාතැන් ගන්නා ලදී. එම චේතියන් නම් චාපාල චේතිය, උදේන චේතිය, ගෝටමක චේතිය, සට්ටම්භක චේතිය, බාහුපුත්ත චේතිය, සරංදද චේතිය යනාදියයි. මෙම චේතියන් ඉතා සුවපහසු ගෙන දෙයි යනුවෙන් ද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (දීඝනිකාය 16 අංගුත්තර නිකාය, 8.70 උදාන 6.1) තවද සල් වෘක්‍ෂය ඉතාමත් ශක්තිමත් දැවයෙන් යුත් මීටර් 20ක් පමණ උසට වැඩෙන ඉතා සුගන්ධවත් කුඩා කහ වර්ණ මල් හටගන්නා වෘක්‍ෂයයි. ප්‍රාග් බෞද්ධ වෛදික යුගයේ ද සිට සල් වෘක්‍ෂය ද භාරතීයන් වන්දනාමාන කළ වෘක්‍ෂයකි. මෙම සල් උයන්වල නාමය වූයේ සාල ප්‍රවර්ධන උද්‍යාන (එනම් වර්ධනය ගෙන දෙන යනුවෙනි.)

ගැබ් බරින් යුත් කාන්තාවෝ පෙර දවස මෙන් වර්තමානයේ ද සල් වෘක්‍ෂයක් වෙත ගොස් පාවහන් ඉවත්කර දොහොත් මුදුනේ තබාගෙන වෘක්‍ෂය වටා 7 වරක් පැදකුණු කර සිය වම් පාදයෙන් වෘක්‍ෂය සත් වරක් ස්පර්ශ කරති. එවිට තම පපුවේ වම් පස පිහිටි හෘදය වස්තුවට සල් වෘක්‍ෂයට අධිගෘහිත සාලභ ජනිකා යන දෙවියා ද මල්වලට අධිගෘහිත පුෂ්පභජනිකා දේවතාවියද අරක්ගෙන දරු ප්‍රසූතිය පහසුවෙන් සිදුවන බැව් විශ්වාස කරති. එවැනි සල් වෘක්‍ෂ අසල පුෂ්පකරනී නමැති කුඩා පොකුණක් ද විය. සල් වෘක්‍ෂ වන්දනාවට පසු ඈත අතීතයේ එවැනි කාන්තාවන් ස්නානය කළ අතර දැනට ජලය පානය කිරීමක් පමණක් සිදු කරති.

මහාමායා දේවිය කපිලවස්තු සිට දෙව්දහට තම මෑණියන් වෙත පළමු දරු ප්‍රසූතියට එකළ පැවැති ආචාර ධර්ම අනුව සුද්ධෝදන රජතුමා පෙළහරකින් මහාමායා දේවිය දෙව්දහ වෙත යවන ලදී. මාර්ගය අතරමඟ එනම් කපිලවස්තුව සිට (වර්තමාන නේපාලයේ නිලඋරාකොට්) සැතපුම් 56ක් නැගෙනහිර පිහිටි ලුම්බිණි සාර ප්‍රවර්ධන උද්‍යානයේ සල් වෘක්‍ෂ වන්දනාවට විධිවිධාන යොදන ලදී. සිදුහත් කුමරු ලුම්බිණියේ උපත ලැබුවේ ඒ අයුරිනි. එතැන් සිට බටහිරට වූ දෙව්දහ වෙත (සැතපුම් 58 ) යන ගමන අත්හැරි පෙරළා කපිල වස්තුවට පැමිණියා ය. දැනුදු ලුම්බිණියේ ද සල් වෘක්‍ෂ අසල පුෂ්ප කර්ණි පොකුණ ඇත. කුසිනාරා සාල ප්‍රවර්ධන උයනේ ද පුෂ්පකර්නි පොකුණක් තිබූ බවට සලකුණු ඇත.

බුද්ධ කාලීන භාරතය

මෙය වෙන්කර දැක්වීම දුෂ්කරය. බුදුරදුන් 45 වර්ෂයක් වර්ෂා සෘතු ගත කළ ස්ථාන (වස් විසීම කළ ස්ථාන) එසේම භික්‍ෂූන් වහන්සේලාට ශික්‍ෂා පද පැන වූ ස්ථාන සහ ත්‍රිපිටකාගත දේශනාවන් පැවැත් වූ ස්ථාන දැනගත හැකි ය. මෙවන් කාරණා අනුව බුද්ධ කාලීන භාරතය කවරේදැයි නිගමනය කළ හැක්කේ ය.

වස් විසූ ස්ථාන

1. බරණැස ඉසිපතනය
2. රජගහ වේළුවනාරාමය
3. සැවත ජේතවනාරාමය සහ පූර්වාරාමය
4. විසාලා මහනුවර කූටාගාර ශාලාව
5. මංකුලපර්වතය
6. කොසඹෑ නුවර ඝෝසිතාරාමය
7. භග්ග දේසය සුංසුමාර ගිර
8. පාරිල්‍යෙය වනය
9. එකනාලා බ්‍රාහ්මණ ග්‍රාමය
10. වේරඤ්ජා
11. වාලිය පබ්බත
12. කපිලවස්තු නිග්‍රෝධාරාමය
13. අලව්නුවර
14. බේලුවගම (විශාලා මහනුවර සමීපයේ)
15. තව්තිසා

භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ ස්ථාන ගැන අශෝක රජතුමාගේ (ක්‍රි.පූ. 209 – 232 පමණ) රාජ්‍ය සමයේ එනම් රාජ්‍යයට පත්ව අටවැනි වසරේ කාලිංගය යටපත් කරගෙන එහිදී දව්ලි යන ස්ථානයේ දී නීග්‍රෝධ සාමණේරයන් හමුව පසුව උපගුප්ත (මහා මොග්ගලීපුත්තතිස්ස හිමි) හමුව බුදුදහම වැළඳගෙන තමා ගංඟාව අසබඩ සිදු කළ මිනිස් ඝාතනයන් ගැන මුසපත්ව බුදුදහම වැළඳගෙන මෙම පර්වත ශීලා ලේඛනය පිහිටුවන ලදී. “දේවානම්පිය පි‍්‍රයදර්ශන රාජ්‍යයට පත්ව අටවැනි වසරේ කාලිංගය අත් පත් කර ගති. එකසිය පනස්දාහක් පළවා හරින ලදී. එම ප්‍රදේශයෙන් එක්දහස් සියයක් පමණ එහිදී ඝාතනය කරන ලදී. එයට වැඩි ප්‍රමාණයක් විනාශ වූහ. කාලිංගය අත්පත් කර ගැනීමෙන් ඉක්බිතිව දේවානම්පි‍්‍රයගේ ධර්මය අනුගමනය කිරීම ධර්මයට ලැදියාව සහ ධර්මය ප්‍රචාරය අතිමහත් වූහ. කාලිංගය අත්පත් කර ගැනීමෙන් හටගත් කනස්සල්ල මෙසේ ය.”

තවද අශෝක රජතුමා සිය 10 වැනි රාජ වර්ෂයේ බුද්ධ ගයාව වැඳ පුදා ගැනීමට සිය ගුරුවරයා වූ මහා මොග්ගලීපුත්තතිස්ස හිමියන් සමඟ වන්දනාවේ පැමිණි බැව් අංක 18 පර්වත සෙල්ලිපියේ ගිරිනාර්භි මෙසේ පවසයි. පෙර දවස රජවරු විනෝද චාරිකාවල යෙදුණි. මෙම චාරිකාව දඩයම් කිරීම් හා වෙනත් සුඛ විහරණය ක්‍රියා කරන ලදී. එනමුත් දේවානම්පි‍්‍රය ප්‍රියදර්ශීන් රාජාභිෂේකයෙන් 10 වැනි වසරේ සම්බෝධියට ගියේ ය. මෙහි සම්බෝධි යනු බුද්ධගයාවයි.

මේ අනුව අශෝක රජතුමාගේ වන්දනා ගමන් කුළුණු සෙල්ලිපි ත්‍රිපිටකය සංස්කෘත මූලාශ්‍ර සහ වර්තමාන පර්යේෂණ වාර්තා අනුව සිදුහත් කුමරු 29 වැනි වියේ දී ගිහිගෙය අත්හැර කපිලවස්තු රාජධානියේ මාළිගයෙන් නික්ම (වර්තමාන නේපාලයේ නිලඋරාකොච් මාළිගාවේ අත්තිවාරම් නටඹුන් දැනට සොයා ගෙන ඇත.) 35 වැනි වියේ දී බුද්ධත්වයට පත්වීමට බුද්ධ ගයාවට පැමිණි දුෂ්කර මාර්ගය පිළිවෙළින් මෙසේ සටහන් කළ හැකි ය.

මතු සම්බන්ධයි.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 08 වන දා අඟහරුවාදා අපර භාග 06.40 ට ලබයි.
9 වනදා බදාදා අපර භාග 05.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වනදා බදාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]