Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මනස පුහුණු කළ යුතු කෙසේ ද?

අයෝගේ යුඤ්ජමත්තානං
යෝගස්මිං ච අයෝජයං
අත්ථං හිත්වා පියග්ගාහී
පිහේතත්තානුයෝගිනං
ධම්මපද - පියවග්ග 01

“තමා නොයෙදිය යුත්තෙහි යොදන, යෙදිය යුත්තෙහි නොයොදන, වැඩ ඇති තුන් ශික්ෂා හැර දමා , පස්කම් සුව ම පි‍්‍රය ලෙස ගන්නා පුද්ගලයා, තමා යහපතක් සිදුකර ගන්නා ආත්මානුයෝගියා දැක ඔහු කෙරෙහි පහදී.”

මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කැරෙන්නේ ඒකාග්‍ර සිතින් සිතාමතා කටයුතු කරන පුද්ගලයාගේ ලක්ෂණයයි. මෙසේ සිතෙහි ශක්තිය බලගැන්වීමට ඇති එක ම මඟ භාවනාව යි. ඉතින් මේ භාවනා යනු කුමක්ද? භාවනා යන වචනය විග්‍රහ කරතොත් “භූ” ධාතුවට “ න” ප්‍රත්‍යය යෙදීමෙන් සෑදෙන ගුණ නාමයක් ලෙස හැඳින්විය හැකි ය. “ භූ” ධාතුව වෙනවා, පවත්වනවා, වැඩි දියුණු කරනවා ආදි අර්ථ ගන්වයි. “චිත්තං භාවේතිතී භාවනා “ යන විවරණයෙන් කියවෙන්නේ “ සිත දියුණු කරන්නේ ය ආදි අර්ථයෙන් භාවනා නම් වේ “ යනු යි.

වඩාත් පුළුල් විවරණයකින් මෙසේ දැක්වෙයි. “ භාවේති කුසල ධම්මේ , ආසේවතී වඩ්ඩේති ඒකායාති භාවනා “ .”යම් චේතනාවක් හේතුවෙන් කුසල ධර්ම වැඩේ නම්, ඒ චේතනාව භාවනා නම් වේ “ යනුයි. එබැවින් භාවනා යනු අපේ මනස දියුණු කිරීම හෝ කුසල චේතනා වැඩීම හෙවත් බලගැන්වීම ලෙස දැක්විය හැකි ය.

අප අපේ මනස දියුණු කළ යුත්තේ හෝ බලගැන්විය යුත්තේ ඇයි? බුදුන් වහන්සේ මිනිස් මනසේ ස්වභාවය විවරණය කරන තැන් ත්‍රිපිටකයේ නොයෙක් ආගමික මූලාශ්‍රයන්ගෙන් සොයා ගත හැකි ය. උන් වහන්සේගේ එවන් විවරණයක් ධම්මපදයේ මෙසේ දැක්වෙයි. “ මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ඨා , මනෝමයා “ , “ සිතිවිලි මනස පෙරටු කොට පවතී. මනස ම අධිපති කොට පවතී. මනසින් ම උපන්නේ වෙයි.”

ඇතැමෙක් කුරිරු සිතින්, කුරිරු බසින් කතා කරති. කුරිරු සිතින් කුරිරු ක්‍රියා කරති. ඒ හේතුවෙන් එහි අකුසල විපාකය හෙවත් දුක , ගැලෙහි බැඳි ගොනා පසුපස, ඌට දුක් දෙමින් ගැල ඇදෙන්නා සේ ඒ පුද්ගලයා පසුපස එයි. අනෙක් අතට යමෙක් කුසල් සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම්, ඒ හේතුවෙන් ඒ කුසලානිශංසය හෙවත් සතුට කිසිදාක ඔහු අත් නොහැර ඔහුගේ සෙවණැල්ල මෙන් ඔහු පසුපස එයි.

මේ අනුව කෙනෙකුට ඔහුගේ මනස එකකට එකක් ඉඳුරා පටහැනි දෙයාකාරයෙන් ම යොදාගත හැකි බව පැහැදිලි ය. එය රඳා පවතින්නේ ඔහු එයා යොදා ගන්නා ආකාරය අනුව යි. යමෙක් සිය මනස කුරිරු කර ගන්නේ නම්, මිනිස් ඝාතනයක් කරන්නට වුවත් එය පොලඹවා ගන්නට පුළුවන. අනෙක් අතට ඔහු සිය මනස, ස්ථාවර කුසල පාක්ෂික අනුරූපතාවකින් යොදා ගතහොත් අර්හත් තත්ත්වයට පත් වන්නටත් පුළුවන.

කෙනෙක් පැහැදිලි ලෙස ඔහුගේ උපතින්ම කුසල හා අකුසල යන ප්‍රභේද දෙකින් ම උරුමය ලබාගනී. යම් කෙනෙකු කුසල පාක්ෂික මනසකින්, කුසල පාක්ෂික ක්‍රියාකාරකම් සැලසුම් කරන බව නොපෙනෙතත්, ඔහු ඒවා සිය මනස තුළ පුළුල් ලෙස ප්‍රගුණ කර ඇතැයි නොකිය හැකි ය. සත්තකින් ම ඔහු එක්තරා දුරකට ප්‍රගුණ කර තිබෙනු විය හැකි ය. එහෙත් පරිපූර්ණ විසින් නොවන්නට පුළුවන.

එක් අරමුණක් කෙරෙහි කෙනෙකුගේ මනස යොමු කරන්නට පුහුණු කරන භාවනාවෙන් තොරව, ආගමික වත්පිළිවෙත් සැලසුම් කිරීමෙන් පමණක් කෙනෙකුට ඔහුගේ මනස එක් නිශ්චිත සංඥාවක් තුළ දියුණු කළ නොහැකි ය. භාවනාව ඔබේ මනස නියතයෙන් හික්මවයි. සන්සුන් කරයි. එවිට ඔබ බෙහෙවින් තැන්පත් වනු ඇත. එය ඔබට ඔබේ සහ මෙරමාගේ අධ්‍යාත්මයත්, මේ මිනිස් ලෝකයේ යථාර්ථය හා එයට අනුබද්ධ අන් සියලු දේත් තේරුම් ගන්නට මග පාදයි.

බුදු දහම තුළ අපට පියවර දෙකකින් භාවනාව අත්දකින්නට පුළුවන. එනම්, සමථ භාවනාව හෙවත් මනසේ ඒකාග්‍රතාව ප්‍රගුණ කිරීමත්, විපස්සනා භාවනාව හෙවත් ප්‍රතිවේධ ඥානය ප්‍රගුණ කිරීමත් ය. බොහෝ වියතුන් විසින් විපස්සනා භාවනාව හඳුනා ගෙන ඇත්තේ එයින් අප කෙළින් ම පරමාර්ත සත්‍යය හෙවත් නිර්වාණය අවබෝධ කර ගැනීම වෙත මෙහෙයැවෙන්නක් ලෙස යි. විපස්සනා භාවනාවට පදනමක් ලෙස, ඕනෑ ම කෙනෙකුට ප්‍රාථමික විසින් සමත භාවනාව වඩා හොඳ බවට නිර්දේශ කළ හැකි ය. වැඩිමනක් කියතොත් හුදෙක් තමන් විසින් ම සමථ භාවනාව ප්‍රගුණ කිරීමෙන් තොරව, විපස්සනා භාවනාව ප්‍රගුණ නොකළ හැකිය.

බුදුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයෙහි සමථ භාවනාව ප්‍රගුණ කරන්නේ කෙසේ දැයි පැහැදිලි විස්තරයක් දක්වා ඇත. කෙනෙකුට තමා මැනව යි සිතන සුදුසු ඕනෑ ම තැනක සමථ භාවනාව ප්‍රගුණ කළ හැකි ය. සත්තකින් ම භාවනා කරන්නකුට විවේකී හුදකලා තැනක් වඩාත් සුදුසු වෙයි. ඒ සඳහා ඔහු වනගොමුවකට හෝ රුක් මුලකට හෝ වෙනත් සුදුසු සන්සුන් තැනකට යෑම මැනවි.

සූත්‍රයන්හි දැක්වෙන පරිදි, බුදු දහම තුළ විවිධ පුද්ගලයන්ගේ මනඞප්‍රකෘතිය අනුව, යොදා ගත හැකි අවධානය හෝ අවලෝකනය පිළිබඳ ආරම්මණ හතරක් දැක්විය හැකි ය. එනම් කායානුපස්සනා හෙවත් කය අනුව අවලෝකනය , වේදනානුපස්සනා හෙවත් හැඟීම් හෝ විඳීම් අනුව අවලෝකනය , චිත්තානුපස්සනා හෙවත් විඥානය හෝ මනස අනුව අවලෝකනය, ධම්මානුපස්සනා හෙවත් ලෝක නියාම ධර්මය අනුව අවලෝකනය යනු යි. මෙහිදී පළමු වැනි කායානුපස්සනා හෙවත් කය අනුව අවලෝකනය කිරීම ගැන පමණක් විමසා බලනු ලැබේ. බුදුන් වහන්සේ විසින් භාවනාවේදී එහි නිරතවන්නා සඳහා වාඩිවීමේ ඉරියවුව පිළිබඳ ඇතැම් ක්‍රම දක්වා ඇතත් තමාට ගැළපෙන ඕනෑ ම ඉරියවුවකින් වාඩිවීම මැනව යි අනුමත කළ හැකි ය.

ඉතා පහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාසයෙහි නිරත විය හැකි හෙයින් පද්මාසන ඉරියවුවෙන් කඳ කෙළින් තබා හිඳගැනීම වඩා හොඳ විය හැකිය. මෙකි ඉරියවුවෙන් සිටින අතර, තමා එසේ සිටින්නේ භාවනා කරන්නට බව මතක තිබිය යුතු පමණට අවධාන සහිත විය යුතු ය.

ඉක්බිති ඔහුට සන්සුන්ව කේශාන්තයේ සිට පාදාන්තය තෙක් ඉහළටත්, පහළටත් මුළු සිරුරම අවධානයට යොමු කළ හැකි ය. ඒ ක්‍රියාවලියේදි සිය සිරුරේ හැම කොටසක් ම කවරාකාරයෙන් පවතින්නේ දැයි සිතා බලා දැන ගන්නට අවධානය විය යුතු ය. මෙහිදී ඔහුට තමාගේ හිස ඍජුව හෝ නැමී තිබේ දැ යි නිරීක්ෂණය කළ හැකි ය. එවන් විට හිස නැමී තිබේ නම් මනා සිහියෙන් එය කෙළින් තැබිය යුතු ය. සිරුරේ හැම අංගෝපාංගයක් කෙරෙහි ම මෙසේ සාවධාන ගතවීම වැදගත් ය. එහිදී කිසිවක් නොමඟට යොමු වෙතොත් නිවැරැදි කර ගන්නට අවධානය යොමු කළමනා ය. මෙසේ සාමධානගතවූ භාවනානුයෝගියා ඉක්බිති මනා සිහියෙන් යුතුව සිය ආශ්වාස ප්‍රශ්වාසය නිරීක්ෂණය කරයි. එනම් ආනාපාන සතියෙහි පිහිටීම යි. එවිට දිග හුස්මක් ඉහළට අදිමි” යි සිතයි. ඉක්බිති දිග හුස්මක් පහළට හෙළමින් “ මම දිග හුස්මක් පහළට හෙළමි “ යි සිතයි. එසේ ම කෙටි හුස්මක් ඉහළට ගනිමින් ද, කෙටි හුස්මක් පහළට හෙළමින් ද තමා එසේ කරන බව ආවර්ජනය කරයි. මෙසේ මුළු සිරුර කෙරෙහි අභ්‍යන්තරය හා බාහිර විසින් සහ ඒ දෙක ම විෂයයෙහි අවලෝකනය කරමින් පූර්ණ අවධානයෙන් සමස්ත ශ්වසන කාර්ය පද්ධතිය පිළිබඳ අත්දැකීම ලද යුතු ය.

මනස සමාධිගත කිරීමේ එක ම ක්‍රමයක් කෙරෙහි පමණක් තරයේ එල්බ ගෙන නොසිටිය යුතු බව සඳහන් කළමනාය. අපි ආශ්වාස ප්‍රශ්වාසය හෙවත් ආනාපාන සතිය කෙරෙහි අවධානය යොමු කිරීම ගැන සිතා බලමු. භාවනානුයෝගියා සිය චිත්ත සමාධිය පිළිබඳ මානසික අවස්ථාව වඩාත් පුළුල් කළ යුතුය. ඒ ගැන අපට මෙසේ කියන්නට පුළුවන. ඇතැම් විට ප්‍රමාණවත් පාලනයකින් තොරව ආශ්වාස ප්‍රශ්වාසයෙහි යෙදීම ගැන සලකා බැලීමේදී එහිලා සිය අවධානය ද වැඩිමනත් යොමු විය යුතු ය. උදාහරණයක් ලෙස, හුස්ම ඉහළට ගැනීම හා පහළට හෙළීම විෂයයෙහි කයෙහි උද්දාම ස්වභාවයක්, එකී ශ්වසනය විෂයයෙහි කයෙහි දරා ගත නොහැකි ස්වභාවයක් සහ ඒ අවස්ථා දෙකේදී ම උද්දාමය හා දරාගත නොහැකියාවේ ස්වභාවය ගැනත් සිතා බැලිය යුතු ය. එසේ අවධානයෙන් යුතුව පෙරකී අවස්ථාව පසු කළහොත්, ඒ පියවරේ ලැග්ගෙමින් නොසිට භාවනානුයෝගියා වෙනත් පියවරකින් ඉදිරියට යයි. මෙසේ ඔහු සිය කය හෝ වෙනත් කිසිවක් අවලෝකනට කරමින් සිටී. ඔහු එක්කෝ ඉදිරියට යයි, ආපසු එයි, ඉදිරිය බලයි, පසුපස බලයි, ඒ අතර තමා කරමින් සිටින කාරිය ගැන පැහැදිලි වුවමනාවෙන් කය හෝ අතපය නමයි, දිගහරී. භික්ෂුවක් සම්බන්ධයෙන් නම්, සිවුරක් අඳිමින්, පාත්‍රයක් ගනිමින්, පිණ්ඩපාතයේ වඩිමින්, දන්පැන් වළඳමින් , ස්වාභාවික අවශ්‍යතා පිරිමසමින් තමා කරන ක්‍රියාව ඇති සැටියෙන් අවලෝකනය කරයි. ආවර්ජනය කරයි.

2009.10.11බුදුසරණ පත්‍රයේ පළ කරන ලද සවුරබානන්ද හිමියන්ගේ How Should we cultivate the mind ලිපියේ පරිවර්තනයකි.

මෙසේ මනස, කය කෙරෙහි යොමු කර විමසීමේ කායානුපස්සනා ක්‍රමය පද්මාසනාරූඪවීම සහ අවලෝකනයට පමණක් සීමා නොවේ. මා කලින් සඳහන් කළ පරිදි මේ අවලෝකනය යන, එන, ඇවිදින, නිඳා සිටින, කන, බොන, කතා කරන ආදි ඕනෑම ඉරියවුවක සිට කළ හැකිය. හරි හැටියට නම් අප කළ යුතු වන්නේ, ඉරියවුව කුමක් වුවත්, කවර හෝ යමක් අප කරන මොහොතේ එය උපරිතම අවධානයෙන් කිරීම යි.

අපේ නිරවුල් සතිය හෙවත් අවධානය අපේ ප්‍රඥාවේ වර්ධනය තීව්‍ර කරයි. ප්‍රඥාවන්තයා කෙලෙස් බරින් තොරව දිවි ගෙවයි. ඔහු කිසි වස්තුවක් හෝ ද්‍රව්‍යයක් හෝ කායස්කන්ධයක් ආත්ම විසින් නොගෙන මෙලොව ජීවත් වෙයි.

ඔහු කායස්කන්ධය එපමණකට පමණක් සීමාකර මෙනෙහි කරයි. ඔහු මෙලොව ජීවත් වන්නේ සිය ජීවිතය නඩත්තු කර ගැනීමට ප්‍රමාණවත් විය හැකි මූලික අවශ්‍යතා ගැන පමණක් මෙනෙහි කරමිනි. ඔහු සිය අවශ්‍යතා වලට වඩා අමතර අභිලාෂ පසුපස හඹා යමින් කරදර පොදි බදින්නට නොපතයි. මෙසේ එවැන්නකු ගත කරන්නේ ගෞරවනීය ජීවිතයකි. ආනාපාන සති භාවනාව ප්‍රගුණ කිරීමේ සාමාන්‍ය ක්‍රමය පියවර හතරකින් දැකිය හැකිය.

පළමු වැනි පියවරේදී මුලින්ම හුස්ම ගනිමින් ගණන් කරන්නට පටන් ගන්න. ඉක්බිති පද්මාසනගත ඉරියවුවෙන් කඳ කෙළින් තබා, මුළු සිරුර මනා සිහියෙන් නිරීක්ෂණය කරන්න. ඉක්බිති සාවධානව සිය මනස, නාසයේ පිහිටීම කෙරෙහි යොමු කළමනා ය. එවිට හුස්ම නාසයෙන් ඇතුළුව ඉක්බිති පිටවන බව දැනෙයි. අනතුරුව ශ්වසන වාරයක් පාසා එකෙන් පටන් ගෙන පහ තෙක් ගණන් කර යළිත් කීප වරක් එසේ කිරීම මැනවි.දෙවැනි පියවරේදී ගණන් කරන්නට පටන් ගෙන හුස්ම ගන්න. එසේ ගණන් කරමින් වරක් පාසා හුස්ම ඉහළට ගෙන පහළට හෙළන්න. දෙවැනි වරටත් ගණන් කරමින් එසේ කරන්න. මෙසේ පස්වරක් කොට නැවත වරක් පෙර සේ කරන්න.

තුන් වැනි පියවරේදී තව දුරටත් ගණන් කළ යුතු නොවේ. ඒ වෙනුවට නිරීක්ෂණයෙහි යෙදෙමින් හුස්ම ඉහළට ඇදෙන්නේත්, පිටවන්නේත් කෙසේ දැයි විමසිලිමත් වන්න. මෙසේ හුස්ම ඉහළ පහළ ඇදෙන ආකාරය කීප වරක් සාවධානව විමසන්න.

හතර වැනි පියවරේදී ද ගණන් කිරීමක් වුවමනා නැත. නැවත වරක් නාසයේ කෙළවරට අවධානය යොමු කර හුස්ම ඉහළට හා පහළට ගමන් කිරීමේදී සීතල හෝ උණුසුම් දැයි විමසන්න. කෙසේ වෙතත් සීතල හෝ උණුසුම් හෝ ඒ දෙක ම හෝ දැනෙන්නේ කවර තරමින් දැයි මනා සිහියෙන් විඳ ගන්නට අවධානය යොමු කරන්න.

එක් එක් පියවරක කාල පරාසය රඳා පවත්නේ භාවනානුයෝගියා කෙතරම් වේලාවක් අභ්‍යාස කළේද යන්න මත ය. ඔහු එය විනාඩි තිහක් ප්‍රගුණ කළේ යැ යි සිතතොත්, එක් පියවරකට විනාඩි හයක් පමණ ගත වන්නට පුළුවන. ආධුනිකයකුට පටන් ගැනීමේදී මේ පියවරවල් අනුගමනය කිරීම අමාරු විය හැකි ය. එහෙත් උදාසීන හෝ පසුබට නොවිය යුතු ය.අපොයි, මේ වැඩේ නම් හරි අමාරුයි සිතා කනස්සලුවීම නොමැනවි. අඩු තරමින් දිනකට මිනිත්තු පහක් බැගින්වත් දැඩි උත්සාහයක යෙදීම අවශ්‍යය. ඉක්බිති දෙතුන් මසකට පමණ පසු ඔබ තුළ කෙතරම් වෙනසක් ඇති වී තිබේ දැයි ඔබට වැටහෙනු නියතය.

ඔබ අවධානගතවූ පමණට භාවනාවේ ප්‍රතිඵලය කවරේදැයි ඔබට ම තේරුම් යනු නිසැකය.

එබැවින් අපේ ගැඹුරු මනස් පත්ලේ නිදිගත්, විස්තර කළ නොහැකි තරම්වූ අපේ ආධ්‍යාත්මික කුසලතා සංවර්ධනයට සහ අප තුළ සැඟවුණු කෙලෙස් බරින් සහනයක් ලබා ගැනීමටත් ඇති ඒකායන මාර්ගය වන්නේ භාවනාව මැ යි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.