දුර්ලභ ගණයේ
දහයියා පිළිමයක් ඇති නුවරකන්ද රජ මහා විහාරය
සටහන හා ඡායාරූප –
නිලූෂී විජයරත්න
මාස්පොත
දුර්ලභ ගණයේ දහයියා පිළිමය |
කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොල නගරයෙන් නෑටිය මාර්ගයට
පිවිසි පසු සැතපුම් පහක් පමණ දුරින් හමුවන නුවර කන්ද මංසන්ධියෙන් වමට
දිවෙන මගෙහි කිලෝමීටර් එකහමාරක් පමණ ගිය තැන ප්‍රදේශයේ ඉතාම පැරණි
විහාරස්ථානයක් වන නුවරකන්ද රජමහා විහාරය හමුවේ. පෞරාණික වැදගත්කමකින්
යුතු මෙහි අදටත් පැරැණි නටබුන් දක්නට ලැබේ.
විනාශ වෙමින් පවතින නුවර යුගයේ පිළිම වහන්සේ නමක් |
සතුරු ආක්‍රමණ හේතුවෙන් පන්සියයක් සේනාව සමඟ පලා ආ බව කියන වලගම්බා රජු
බොහෝ කලක් මෙහි සැඟවී වාසය කර ඇති බව පැවසේ. දෙවනපෑතිස් රජු සහ
එතුමන්ගේ මයිලනුවන් වන සූරතිස්ස රජු විසින් කරවන ලද විහාරස්ථානය
ප්‍රතිසංස්කරණය කොට වැඩ නිමකිරීම කළ බව සඳහන් වන මුත් අද වන විට සාංචි
ස්තූපයකට සමාන ස්තූපයක් තිබූ එම විහාරයේ නටබුන්වත් ඉතිරි වී නොමැත.
නමුත් මලසුනක් ලෙස භාවිත කර ඇති බව කියන ගල්කණු සහ හිරු සහ සඳු කැටයම්
කර ඇති පහන් කණු හේතුවෙන් එම ස්තූපයේ විශාලත්වය කොපමණදැයි අනුමාන කළ
හැක. විහාරයේ තිබුණේ යැයි සැලකෙන ඡත්රය, අදටත් විහාර භූමියේ දක්නට ඇත.
දවන පෑතිස් රජු විසින්, අනුරාධපුරයෙන් රහතන් වහන්සේලා තිස්දෙනමක් වැඩම
කරවාගෙන ඒමට දුන් උපදෙස් හේතුවෙන්, සූරතිස්ස රජු විසින් උන්වහන්සේලාට
වැඩ විසීමට ගල්ගුහා 32ක් කරවන ලද බව වංශ කතාවල සඳහන්වේ. දැනට දක්නට
ලැබෙන ගල්ලෙන්හි කටාරම් කොටා සකසා ඇත. ඉතිරි ගල්ලෙන්වලින් වැඩි
ප්‍රමාණයක් කැලයට වැසී ගොස් ඇති හෙයින් දැක ගැනීම අසීරු ය. පුරාණයේ
විහාර භූමිය හරහා වැල්ලෑගල පුරාණ විහාරයට යාමට උමං මගක්ද තිබී ඇත. අද
එය ගල් පෙරලී පිවිසුම ඉබේම වැසී ගොස් ඇති බැවින් ඊට ඉදිරියෙන් කුඩා
චෛත්‍යයක් කරවා ඇති බව දක්නට ලැබේ.
පැරණි විහාර මන්දිරයේ ඇතුලත මදක් අබලන් තත්ත්වයේ පවතී. පොළොන්නරු මුල්
යුගයට අයත් චිත්රවලින් සමන්විත යැයි පවසන මුත් බොහෝ චිත්‍ර
හඳුනාගැනීමට අපහසු තරම් ය. වලගම්බා රජු මෙහි විසූ සමයේ ඔහුට උදව් උපකාර
කර ඇති සිව්රංගා නමැති වැදි රජ සමග පසුව ඇතිවූ අරගලයකින් ඔහුව මරා දමා
ඇති රජු, විහාර මන්දිරයක් තනවා එහි වැදි රජුගේ චිත්‍ර නිර්මාණය කර ඇති
බව සඳහන් ය. නමුත් ඒවාද හඳුනාගැනීම ඉතා අසීරු ය.
උමං මඟ අභියස ඇති කුඩා ස්තූපය |
එක් අයකුට පහසුවෙන් විවෘත කළ නොහැකි විහාර මන්දිරයේ දොර ඉතා පැරණි
නමුත් තවමත් සවි ශක්තියෙන් යුක්ත ය. ඇතුලත බුදු පිළිම සමහරක් නිධන්
සොරුන් විසින් කඩා දමා ඇතත් ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු දැනට
සිදුවෙමින් පවතී.
මෙහි තිබෙන වඩාත්ම පෞරාණික වැදගත්කම වනුයේ දහයියා පිළිමයි. දැනට ලංකාවේ
තිබෙන ඉතා දුර්ලභ ගණයේ පිළිම වන දහයියා පිළිම මෙම විහාරස්ථානයේ දක්නට
ලැබේ. දහයියා පිළිම තනනු ලබන්නේ, දහයියා, මැටි, කුරුම්බා වතුර සහ ගොරකා
යුෂ මිශ්‍ර කිරීමෙන් බව පැවසේ. මේ හා බැඳි විවිධ මත හේතුවෙන් මේවායෙහි
නිධන් ඇති බව විශ්වාස කර නිධන් සොරුන් විසින් පිළිම වහන්සේ තෙනමට විශාල
වශයෙන් හානි සිදුකොට ඇත. ඒවා ප්‍රතිසංස්කරණය කොට වන්දනාමාන කිරීම සඳහා
විවෘත කරන තුරු තාවකාලිකව පිළිම තනා ඇති කුටිය නිරාවරණය නොකරන බව
විහාරවාසී නෑටියේ සීලරතන හිමියෝ පැවසූ සේක.
විහාරයට යන පිවිසුම් මඟ |
මෙහි තිබෙන පෞරාණික දේ අතුරින් තවත් වැදගත්කමක් හිමිවන ස්ථානයකි. නගුල්
ගෙය. එය ඒ අවධියේ ගල් භාවිතා කර තනන ලද ලෙසටම අද ද දැකිය හැක. පුරාණයේ
මෙහි රැඳී සිටි සේනා විසින් ඔවුන්ගේ භාණ්ඩ සහ යුද්ධෝපකරණ තැනීමට මෙය
භාවිතා කරන්නට ඇතැයි සැලකේ.
මෙහි ගලින් නිර්මිත වී බිස්සෙහි පහල කොටස ස්වභාවයෙන්ම ද්වාරයක ආකාරයට
වෙන්ව නිර්මාණය වී ඇත. ජනප්‍රවාදවලට අනුව එය විවෘත වනුයේ එක්තරා
පුද්ගලයෙකුගේ අතක් හා සම්බන්ධ වුවහොත් පමණකැයි කියවේ. මීට අමතරව උමං
මාර්ග පිළිබඳවද වෙනත් විවිධ දේ සම්බන්ධවද ජනප්‍රවාද රැසක් මෙම
විහාරස්ථානය හා බැඳී පවතී.
දැනට ශ්‍රී විමලසීල දහම් පාසල නමින් දහම් පාසලක් දුවා දරුවන් වෙනුවෙන්
පවත්වාගෙන යන මුත් ඒ සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරවාගත නොහැකිව තිබේ. දැනට
විහාර භූමියේ ස්ථාන කිහිපයක පන්ති පවත්වන අතර නොබෝ දිනකින් ගොඩනැගිල්ලේ
වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත ය.
පැරැණි නගුල් ගෙය |
දැනටමත් බොහෝ නටබුන් විනාශ වී ඇති නමුත් ලංකාවේ ඉතා දුර්ලභ ගණයේ දහයියා
පිළිම හෝ ආරක්ෂා කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසි පියවර
ගන්නේනම් යෙහෙකැයි විහාරවාසී නෑටියේ සීලරතන හිමියෝ පැවසූ සේක.
ස්වභාවික ගල් කුළක් ආශ්‍රයේ ඇති වී බිස්ස |
පැරැණි පහන් කණුවක් |
|